සත්ව ලෝකය හරිම අපූරුයි; විවිධාකාරයි. ඒ වගේම හරිම සුන්දරයි; විස්මය ජනකයි. ලොව පුරා සිටින දහස් සංඛ්‍යාත සත්ව වර්ග එකිනෙකාට වෙනස් වූ සුවිශේෂ ලක්ෂණ පෙන්නුම් කරන අතර මේ ලක්ෂණ ඇතැම් ඒවා හරිම පුදුමාකාරයි. මෙයට සත්ව ලෝකයේ ඒ ඒ සතුන් අතර දක්නට ලැබෙන විවිධ චර්යා රටා, ගති ලක්ෂණ උනත් ඇතුලත්.

ලෝකයේ සිටින සත්ව වර්ග, ඔවුනොවුන්ට ආවේනික හැකියාවන්, විශේෂතා ආදිය නිසා  නිරන්තරයෙන්ම මිනිසාගේ අවධානයට ලක් වෙනවා. වේගයෙන් දිවීම, බොහෝ දුර පියඹා යාම, වේගයෙන් පිහිනා යෑම, බොහෝ දුරකට ඉව දැනීම, බොහෝ දුර පෙනීම, ආදී ලක්ෂණ වලට ප්‍රමුඛස්ථානය ගන්න සත්ව වර්ග ලොව පුරා විසිරි සිටිනවා.

මොවුන් අතරින් ඉතාම අලස නැතිනම් මන්දගාමී සත්වයා  කව්ද කියලා ඔබ දන්නවද? අන්න ඒ සත්වයා ගැන තොරතුරු බිඳක් ඔබ වෙත ගෙන එන්නයි අද අප මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ- නෑ, මේ ලිපිය ඉබ්බන් ගැන එහෙම නෙමෙයි, අද අපේ කතා නායකයා හඳුන්වන නාමය තමයි “ ස්ලොත් ”- (Sloth).

ස්ලොත් ගේ නිජබිම සහ විද්‍යාත්මක තොරතුරු

කම්මැලි පාටක් නම් තියෙනවා තමයි.

මධ්‍යම සහ දකුණු ඇමරිකානු වනාන්තර වල තමයි ස්ලොත් බහුල වශයෙන් දකින්න ලැබෙන්නේ. මිට අමතරව ඝර්ම කලාපිය වනාන්තර ආශ්‍රිතවත් මෙම අපූරු සත්වයා දක්නට ලැබෙන බවයි සත්ව වි‍ද්‍යාඥයින් පවසන්නේ. වලස් පවුලට නෑකම් කියන ස්ලොත් සම්පුර්ණයෙන්ම ශාක භක්ෂක සත්වයෙක්.

ජීව විද්‍යාත්මක නාමය “ෆොලිවෝරා” (Folivora) ලෙස හැඳින්වෙන ස්ලොත්ගේ ගර්භනී සමය දින 183 වන අතර, සාමාන්‍යයෙන් වැඩුන සතෙකුගේ  දිග සෙ.මි. 45 – සෙ.මි. 80 අතර වෙන බව සොයාගෙන තිබෙනවා. අලුත උපන් පැටියෙක් මවගෙන් කිරි බොන මුල් සති හතරත් හයත් අතර කාලයේදී මවගේ ඇඟේ එල්ලී සිටිනවා. ඉන්පසු මාස පහේ සිට අටවන තුරුත් මව්ගේ ඇඟේම එල්ලී සිටීම තමයි උන්ගේ පුරුද්ද. ඒ කාලයේදී මව දිරවීමට පහසු ළපටි කොළ, දළු ආදියෙන් පැටියාව පෝෂණය කරනවා. පැටවා මවගේ ඇඟේ එල්ලී සිටියදීම, තමන්ට අවශ්‍ය කොළ දළු කඩාගෙන කන්න ස්ලොත් මවට පුළුවන්. මේ කාලය අතරතුරේදී මව උන් ජීවත් වන වටපිටාවට පැටියාව හුරු කරනවා.

සාමාන්‍යයෙන් දිගු ලෝම සහිත සිරුරක් ස්ලොත් සතු වෙනවා. නමුත් ඒ ඒ සතුන් වෙසෙන ප්‍රදේශ අනුව ලෝම වල ප්‍රමාණය වෙනස්විය හැකි බව තමයි පැවසෙන්නේ.

ස්ලෝත්ගේ අලසකම

ගමන නම් බොහොම හිමින්.

ස්ලොත් කියන්නේ ලෝකයේ ඉන්න ඉතා සුන්දර, අහිංසක, මන්දගාමි  සත්වයෙක් කියල කිව්වොත් වඩාත් නිවැරදියි. ස්ලොත් යන ඉංග්‍රීසි පදයේ අර්ථය වන්නේද අලසකම යන්නයි. ස්ලෝත්ගේ ගමන් කිරීමේ උපරිම  වේගය විනාඩියට මීටර 2 ක්, ඒ කියන්නේ පැයට මීටර 120ක් වගේ ප්‍රමාණයක්. ඒ විතරක් නෙමෙයි ස්ලොත් සාමාන්‍යයෙන් දිනකට පැය 15 – 18 කාලයක් නිදාගන්නවා. ඉතින් හිතාගන්න පුළුවන් නේද මෙයාගේ අලසකම කොච්චරද කියලා?

ස්ලෝත්ගේ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි, හැම වෙලාවේම ගස් වල එල්ලී සිටින එක. තම ජිවිතයේ බොහෝ කාර්යයන් මේ සතා කරන්නේ – ඒ කියන්නේ, කන්නේ – බොන්නේ, නිදාගන්නේ, පැටව් බිහිකරන්නේ ගසක එල්ලිලයි. උන්ට මෙසේ එල්ලී සිටීමට උපකාරවත් වන්නේ අඟල් තුනක් දිග ඇඟිලි හා නියපොතුයි. මේ සතා ගස් වල එල්ලි සිටින්නේ පිට යටට සිටින ඉරියවවෙනුයි. මධ්‍යම ඇමරිකාවේ කඩින් කඩ ඇද හැලෙන වර්ෂාව උන්ට තර්ජනයක් නොවන්නේ, උන්ගේ ලොම් පිහිටා තිබෙන ආකාරය නිසයි. උන්ගේ ලොම් වැඩී තිබෙන්නේ උදරයේ සිට පහතට නිසා වතුර නොරැඳී පහතට රූරා වැටෙනවා. පොළොවේ ගමන බිමන අපහසු වුණත් ගස් උඩ ඌ හෙමින් සීරුවේ ඒ මේ අත හමන් කරනවා දකින්න පුළුවන්. මීට අමතරව පිහිනීමට ඇති හැකියාව ස්ලොත් තුළ තිබෙන සැඟවුණු කුසලතාවක්.

ස්ලොත් වර්ග දෙකක්

ආ, කොහොමද?

නිය දෙකක් ඇති උන් සහ නිය තුනක් ඇති  උන් වශයෙන් ස්ලොත් ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් සිටින බව සත්ව විද්‍යාඥයින් සොයාගෙන තිබෙනවා. නියපොතු සහිත මේ ඇඟිලි අඟල් 3 පමණ දිග වෙනවා. ඇවිදීම, අල්ලාගැනීම, වගේ කටයුතු වලදී මේ දිගු නිය උන්ට බොහොම ප්‍රයෝජනවත්.

නිය තුනේ ස්ලෝත්ගේ දක්නට ලැබෙන තවත් විශේෂ ලක්ෂණයක් තමයි උගේ ඉදිරි පාද දෙක පිටුපස පාද දෙකට වඩා දිගු වීම. මේ වර්ගයේ සතුන්ට ගෙල පෙදෙසේ කශේරුකා නවයක් පිහිටා තිබෙන නිසා උන්ගේ ඔළුව අංශක 270ක් දක්වා කරකැවිය හැකියි. මේ නිසා උන්ට තමන් ප්‍රිය කරන  කොළ වර්ග කඩාගැනීමට ඉතා පහසුයි. අනික් වර්ගය වන නිය දෙකේ උන්ගේ පාද හතරම ප්‍රමාණයෙන් එක හා සමානයි. උන්ගේ සුමුදු ලොම් දිගට වැඩෙන අතර එය රන්වන් පැහැයට හුරු දුඹුරු වර්ණයක් ගන්නවා.

තවත් විශේෂ තොරතුරු කිහිපයක්

පොඩි rest එකක් ගන්න කියල.

ආහාර දිරවීමට ශරීර උෂ්ණත්වය අවශ්‍යයි. නමුත් උන්ගේ ශරීර උෂ්ණත්වය අඩු නිසා ආහාර දිරවීම ප්‍රමාද වෙනවා. ස්ලෝත්ගේ ආමාශයේ කුටීර කිහිපයක් තිබෙන නිසා ඌ ගන්නා කොළ දිරවා කුඩා බඩවැල් වලට යෑමට මාසයක් පමණ ගත වෙනවා. මේ නිසා වැසි කාලයේදී දින කිහිපයකට හිරු එළිය නොලැබෙන ඇතිවන සිසිලසත් සමග ස්ලොත් ගන්නා ආහාර දිරවන්නේ නැති නිසා ඌට ශක්තිය නොමැතිව මිය යන්නත් පුළුවන්. මේක ස්ලෝත්ගේ අසාමාන්‍ය ජිවන විලාසය නිසාම ඌ මුහුණ දෙන අවාසනාවන්ත තත්වයක්.

ස්ලොත් දවස ගෙවන්නේ ගස් මුදුන්වල අව්ව තපිමිනුයි. උගේ ශරීර උෂ්ණත්වය දවල් කාලයේදී සෙල්සියස් අංශක 33ක් වන අතර රාත්‍රි කාලයේදී සෙල්සියස් අංශක 24 දක්වා පහත වැටෙනවා. වෙන ක්ෂීරපායි සතුන්ගේ මෙවැනි වෙනසක් දක්නට ලැබෙන්නේ නැහැ. මොවුන්ගේ ශරීරයේ මාංශ තිබෙන්නේ සුළු ප්‍රමාණයක් නිසා ස්ලොත්ට සිතල කාලගුණ දරාගැනීමට අපහසුයි. ඌ වකුටු වී නිදාගන්නේ ශරීර උෂ්ණත්වය රඳවාගැනීම සඳහායි. එමෙන්ම උගේ කෙටි ලොම්ද ශරීර උෂ්ණත්වය රඳවා තබාගැනීමට උපකාරවත් වෙනවා. මේ නිසා තමයි ස්ලොත් දවසේ වැඩිකාලයක් නිදාගන්නටම ගත කරන්නේ.

හුදෙකලාවේ ජීවත් වෙන්න කැමති ස්ලොත්, අපේ රටේ සතෙක් නොවුනත්, ලෝක සත්ව ප්‍රජාවට අයත් අපූරු සතෙක්. ඒ වගේම අපට නිතරම දකින්න නොලැබෙන සතෙක්. මේ වගේ අපූරු සතුන් වර්ග අපේ රටේ වනාන්තර වල ඉන්න පුළුවන්. ඉතින් අපේ යුතුකම වෙන්න ඕන මේ සතුන් පුළුවන් තරම් ආරක්ෂා කරලා අනාගත පරපුරටත් දැකගන්නට ඉඩ සලස්වන එක.

තොරතුරු : විකිපීඩියා 

ඡායාරූප : www.slothville.com, www.youtube.com, kids.nationalgeographic.com, www.sira.lk

කවරයේ පින්තුරය: hellogiggles.com