ඇන්ඩීස් කඳු මුදුනේ සිට අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදිය

ලොව වඩාත් වැදගත් ම සහ සංකීර්ණ ම පරිසර පද්ධතිය බවට අවිවාදාත්මක දකුණු ඇමෙරිකාවේ ඇමසන් වැසි වනාන්තරයට ජීවය ලබා දෙමින් ගලා බසින ‘ඇමසන් නදිය’ ජල පරිමාවෙන් මෙන් ම පළලින් ද පෘථිවිය සතු විශාලතම ගංගාව ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. වැසි සමයේ දී ඇතැම් විටෙක කි. මී. 48 (සැතපුම් 30)ක පමණ පළලකින් යුතු වන ඇමසන් නදිය සහ ද්‍රෝණිය, දුර්ලභ ශාක, සත්ත්ව, සහ පැළෑටි විශේෂ රැසකට නවාතැන් සපයනවා.

කි. මී. 6,437 (සැතපුම් 4,000)ක දුරක් ගෙවාගෙන අත්ලාන්තික සයුර බලා ඇදෙන ඇමසන් නදියේ දීර්ඝ චාරිකාව ඇරඹෙන්නේ ඇන්ඩීස් කඳු මුදුනින්. නැගෙනහිර දෙසින් හමාගෙන එන තෙත් බව රැඳි සුළඟ රඳවා ගන්නා ඇන්ඩීන් කඳු වැටිය හේතුවෙන් වර්ෂය පුරා ම නදියට ජලය සපයන උල්පත් පෝෂණය කරන අධික වර්ෂාපතනයක් ඇමසන් වැසි වනාන්තරයට ඇද හැලෙන බව පැවසීම වැරදි නැහැ. රුක් ගොමු සහ පහත්බිම් අතරින් සැතපුම් ගණනාවක් නැගෙනහිර දෙසට ගලා බසින් ඇමසන් නදිය, අවසානයේ දී අත්ලාන්තික සයුර හා මුසු වන්නේ බ්‍රසීලයේ ඊසාන දිග වෙරළ තීරයෙන්.

© Chad Scarborough

කි. මී. 6,853 (සැතපුම් 4,258)ක දිගකින් යුතු ඊජිප්තුවේ නයිල් නදියට වඩා මඳ වශයෙන් දිගින් අඩු ඇමසන් නදිය, ලෝකයේ දෙවැනියට දිගින් වැඩි ම ගංගාව ලෙස සැලකෙනවා. නමුත් ඇතැම් විද්වතුන්ගේ මතය වන්නේ ඇමසන් නදිය සතු ප්‍රදේශ බොහෝමයක් තවමත් නිසි පරිදි ගවේෂණය කර නොමැති බැවින් එහි දිග නිශ්චිත ව ම ප්‍රකාශ කළ නොහැකි බව යි. කෙසේ වුව ද අතු ගංගා 1,100කට අධික ප්‍රමාණයක් (මෙයින් අතු ගංගා 17ක දිග ආසන්න වශයෙන් කි. මී. 1,500 ඉක්මවන බව යි වාර්තා වන්නේ) හිමි ඇමසන් ගංගාව ලොව විශාලතම ස්වභාවික ජලප්‍රවාහන පද්ධතිය බවට සැකයක් නැහැ. ඇස්තමේන්තු කර ඇති ආකාරයට පෘථිවි පෘෂ්ඨය මතින් ගලා බසින සමස්ත ජල පරිමාවෙන් ⅕ක ප්‍රමාණයක් ඇමසන් නදිය සතු වෙනවා.

ඇමසන් නදිය නම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ක්‍රි. ව. 1541 දී ප්‍රථම වරට එහි ගවේෂණ කටයුතුවල නියැලුණු යුරෝපීයයා ලෙස සැලකෙන ස්පාඤ්ඤ ජාතික ෆ්‍රැන්සිස්කෝ ද ඔරියානා නම් සොල්දාදුවාට යි. ගවේෂණ කටයුතුවල දී ඔහුට එරෙහි ව සටන් කළ ස්වදේශික කාන්තා රණශූරියන්, ග්‍රීක මිථ්‍යා සාහිත්‍යයේ සඳහන් වන ඇමසන්වරුන් ගැන ඔහුගේ මතකය අවදි කිරීමට සමත් වූ හෙයින් ඔහු විසින් එය ‘ඇමසන් නදිය’ ලෙස නම් කරන ලද බව යි සඳහන් වන්නේ.

(© Joseph King) ඇමසන් නදියේ හිරු උදාව

වැසි වනයෙන් වැසුණු ඇමසන් ද්‍රෝණිය

ඇමසන් නදිය සහ එහි අතු ගංගා ආශ්‍රිත ව පවතින ප්‍රදේශය හඳුන්වන්නේ ඇමසන් ද්‍රෝණිය ලෙස යි. දකුණු ඇමෙරිකා මහද්වීපයේ සමස්ත භූමි ප්‍රදේශයන් 38%ක ප්‍රමාණයක් ආවරණය කරන එය ව. කි. මී. මිලියන 6.9 (වර්ග සැතපුම් මිලියන 2.67)ක බිම් කඩක් පුරා විසිරී පවතිනවා. සෑම වසරක ම ඇමසන් නදිය සහ එහි අතු ගංගා පිටාර ගලන්නේ සාරවත් ඇමසන් ද්‍රෝණිය මනා ව පෝෂණය කරමින්. ඇමසන් ද්‍රෝණියේ ⅔ක ප්‍රමාණයක් ආවරණය වී ඇත්තේ වැසි වනාන්තරයෙන් වන අතර එය බ්‍රසීලය, පේරු, කොළොම්බියාව, ඉක්වදෝරය, බොලිවියාව, සහ වෙනිසියුලාව යන රාජ්‍යයන්ට පොදුවේ අයත් වන අයුරින් පිහිටා තිබෙනවා.

© Os Passos Do Gato Preto

ඇමසන් ද්‍රෝණිය ආශ්‍රිත ව නූතන නගර මෙන් ම ගෝත්‍රික ගම්මාන ද පිහිටා ඇති අතර එහි වාසය කරන ස්වදේශික ජනගහනය මිලියන 2.7ක් බවට යි වාර්තා වන්නේ. මෙම ස්වදේශිකයන් ගෝත්‍ර 350ක පමණ අයත් වන අතර ඇමසන් ද්‍රෝණියේ ස්වදේශික සංවිධාන පිළිබඳ සම්බන්ධීකාරක සංගමය (Coordinator of Indigenous Organizations of the Amazon River Basin) සඳහන් කරන අන්දමට එයින් ගෝත්‍ර 60කට අධික ප්‍රමාණයක් පවතින්නේ සම්පූර්ණයෙන් ම නූතන ලෝකයෙන් හුදෙකලා ව යි.

ඇමසන් නදියේ සොඳුරු ජීව ලෝකය

(© Jeff Kubina) ආරපයිමා මත්ස්‍යයෙක්

දැනට අනාවරණය වී ඇති අන්දමට ඇමසන් නදිය සතු ගණනින් 5,600 ඉක්මවන මත්ස්‍ය විශේෂ අතර විදුලි මත්ස්‍ය විශේෂ 100ක් ද, පිරානා විශේෂ 60ක් ද සිටින බව යි වාර්තා වන්නේ. එසේ ම ලොව විශාලතම මිරිදිය මත්ස්‍ය විශේෂය ලෙස සැලකෙන ප්‍රමාණයෙන් මීටර් 4.6 (අඩි 15)ක් පමණ වන ආරපයිමා හෙවත් පයිරරකී මසුන් ද ඇමසන් නදියේ වාසය කරනවා. එසේ ම ලොව විශාලතම මිරිදිය ඩොල්ෆින් විශේෂය ලෙස සැලකෙන (වයස්ගත වීමේ දී අළු පැහැයේ සිට රෝස පැහැයට ද, පසු ව සුදු පැහැයට ද වර්ණය මාරු කරන) ඇමසන් ඩොල්ෆින්ගේ නවාතැන්පොළ වන්නේ ද ඇමසන් නදිය යි. එසේ ම ඇමසන් නදිය ආශ්‍රිත ව යෝධ දියබල්ලන් සහ ඇමසන් මැනටි සතුන් ද දැක ගත හැකියි.

(© Greenpeace USA) ඇමසන් නදියේ කොරල්පර

මෑතක දී අන්තර්ජාතික විද්‍යාඥයින් කණ්ඩායමක් සිදු කරන ලද ගවේෂණයක දී ඇමසන් නදිය අත්ලාන්තික සයුර සමග මුසු වන ප්‍රදේශය ආශ්‍රිත ව ක්‍රමයෙන් වර්ධනය වන කොරල්පර පද්ධතියක් සොයාගැනීමට සමත් වුණා. සාමාන්‍යයෙන් ගංගාවක් මුහුද සමග එක් වන ප්‍රදේශය, කොරල්පර වර්ධනය සඳහා ඉතාමත් අහිතකර වන බැවින් මෙය තේරුම් ගැනීමට අපහසු සිදුවීමක් බව යි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. වාර්තා වන අන්දමට ඇමසන් නදියේ කොරල්පර පද්ධතිය සම්බන්ධයෙන් සිදු කරන පර්යේෂණ තවමත් අවසන් වී නැහැ.

පාරුවෙන් තරණය කරන සුවිසල් ගංගාව

© Peru Best Tours

නූතන ලෝකයේ තාක්ෂණය කොතරම් දියුණු වුව ද ඇමසන් නදිය තරණය කිරීම සඳහා විද්‍යාඥයින්ගේ සිට ගෝත්‍රික වැසියන් දක්වා සෑම දෙනෙක් ම යොදාගන්නේ ප්‍රාථමික ප්‍රවාහන මාධ්‍යය යි. ඒ අනුව වැසි වනාන්තරය තුළ සැඟවුණු ඇමසන් නදිය ඔස්සේ භාණ්ඩ සහ පුද්ගලයින් ප්‍රවාහනය සඳහා වැඩි වශයෙන් පාරු සහ කුඩා නෞකා භාවිතා කරනවා. නමුත් දිනෙන් දින ම ඉහළ යන ඇමසන් ජනගහනයේ අවශ්‍යතාවන්ට සරිලන පරිදි නිසි අධීක්ෂණයකින් තොර ව ප්‍රවාහන මාධ්‍යයන් විශාල වශයෙන් ඉහළ යාම හේතුවෙන් මේ වන විට ඇමසන් නදිය ආශ්‍රිත ව මුහුදු කොල්ලකරුවන් හිස ඔසවන බව යි වාර්තා වන්නේ. ඒ අනුව භාණ්ඩ නෞකා පැහැර ගැනීමේ අවදානම මෙන් ම, ඇමසන් නදිය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ද ක්‍රමයෙන් ඉහළ යා හැකි බවට මත පළ වී තිබෙනවා.

කවරයේ පින්තූරය : © Cochas Yaguas

Related Articles