මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වඳ වී ගිය අලංකාර සත්ත්ව විශේෂ

පසුගිය සියවස් කිහිපය තුළ මිනිසාගේ සීග්‍ර වර්ධනය පෘථිවියේ ජීවත් වන අනෙකුත් සත්ත්ව විශේෂවලට අහිතකර ලෙස බලපා තිබෙනවා. කාර්මීකරණය ඇතුළු මෑත කාලීන ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවී ඇති පාරිසරික වෙනස්කම් සමහර සත්ත්ව විශේෂවලට කිසිසේත්ම දරාගන්නට බැහැ. මේ නිසා ඔවුන්ගේ ගහනය ක්‍රම ක්‍රමයෙන් අඩු වී අවසානයේ සදහටම මිහිතලයෙන් වඳ වී යනවා. මේ පසුගිය කාලය තුළ එලෙස සම්පූර්ණයෙන් වඳ වී ගිය අලංකාර සත්ත්ව විශේෂයන් කිහිපයක් ගැන තොරතුරු යි.

ඩෝ ඩෝ පක්ෂියා

history.com

මුරුසි දිවයිනට ආවේණික සත්ත්ව විශේෂයක් වූ ඩෝ ඩෝ පක්ෂියා මෑතක දී නෂ්ට වූ සත්ත්ව විශේෂයන් අතරින් අලංකාර මෙන්ම ජනප්‍රිය සත්ත්වයෙක්. පියාපත් නොමැති මේ පක්ෂි විශේෂය පිළිබඳව මුලින්ම සටහන් වී ඇත්තේ 1598 වසරේ දී යි. ඒ, ඕලන්ද නාවුකයින්ගේ නැව් සටහන් පොත්වල යි. ඉන් දශක කිහිපයකට පසු මොවුන් සදහටම මිහිතලයෙන් වඳ වී ගොස් තිබෙන අතර අවසාන ඩෝඩෝ පක්ෂියා වාර්තා වන්නේ 1662 වසරේ දී යි.

17 වන සියවස ආරම්භයේ දී ඩෝ ඩෝ පක්ෂීන් විශාල ගහනයක් මුරුසියේ සිටි අතර ඔවුන් ඉක්මණින් විනාශ වීමට හේතු වී තිබෙන්නේ දඩයම් කිරීම හා වාසස්ථාන විනාශ වීම යන කාරණා යි. බටහිර ජාතීන් මොවුනට කෙතරම් ප්‍රිය කළ ද වර්තමානය වන විට ඔවුන්ගේ අවශේෂ පවා පවතින්නේ කෞතුකාගාර කිහිපයක පමණ යි.

ක්වාගා

Pachyornis/newdinosaurs.com

වර්තමානයේ අප්‍රිකා මහාද්වීපයේ ජීවත් වන සීබ්‍රා සතුන්ට සමීප බන්ධුතාවක් දැක්වූ ක්වාගා නම් ක්ෂීරපායී සත්ත්ව විශේෂය ජීවත් වූයේ දකුණු අප්‍රිකාවේ යි. ප්‍රමාණයෙන් සීබ්‍රාට සමාන ඔවුන් හැඩයෙන් ද ඊට සෑහෙන දුරකට සමාන වූ නමුත් සීබ්‍රාවන්ගේ මෙන් නොව මොවුන්ගේ සිරුරෙහි කළු සුදු ඉරි පිහිටියේ ඉදිරිපස අර්ධයේ පමණ යි.

දකුණු අප්‍රිකාවට ලන්දේසීන් ආගමනය වී ජනාවාස පිහිටුවාගත් පසු මොවුන් සිය ගණන්වලින් ඝාතනය කරන ලද්දේ ගවයින් වැනි ගෘහාශ්‍රිත සතුන්ට ආහාර ලබා ගැනීමට මොවුන් සමග විශාල තරගයක් කිරීමට සිදුවීම නිසා යි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මොවුන් 1878 වසරේ දී සම්පූර්ණයෙන්ම ස්වභාවික පරිසරයෙන් නෂ්ට වූ අතර මනුෂ්‍ය ග්‍රහණයේ සිටි අවසන් සත්ත්වයා ද 1883 වසරේ දී ඇම්ස්ටර්ඩෑම් හී දී මියයනවා.

තස්මේනියානු කොටියා

nationalgeographic.com.au

ස්වරූපයෙන් සුනඛයෙකුට සමාන, නිශාචර සත්ත්වයෙකු වූ තස්මේනියානු කොටියා බ්‍රිතාන්‍යයින් ඕස්ට්‍රේලියාවේ ජනාවාස ඇති කරගත් සමය වන විටත් එහි ප්‍රධාන භූ ස්කන්ධයේ ස්වභාවික පරිසරයේ සිටියේ ඉතා අඩු වශයෙනුයි. කෙසේ නමුත් ඔවුන් ඒ වන විට තස්මේනියාවේ සැලකිය යුතු මට්ටමකින් ඉතිරිව සිටියා. දඩයම් කිරීම, ලෙඩ රෝග සහ සුනඛයින්ගේ ආගමනය වැනි කාරණා නිසා ඉක්මණින්ම එහි ද ඔවුන්ගේ ගහනය වියැකී ගිය අතර අවසාන තස්මේනියානු කොටියා 1936 වසරේ දී තස්මේනියාවේ අගනුවර වන හෝබාර්ට් හි සත්වෝද්‍යානයක දී අවසාන සුසුම වා තලයට මුසු කළා.

ස්ටෙලර් මුහුදු ගවයා

Wikimedia Commons

ස්ටෙලර්ගේ මුහුදු ගවයා ගවේෂණය කළ සමයේ දී සැලකුණේ තල්මසුන්ට අමතරව ලොව ජීවත් වන විශාලතම ක්ෂීරපායී සත්ත්වයා ලෙස යි. මේ විශේෂයට අයත් සත්ත්වයෙකු උපරිම වශයෙන් මීටර 9ක් තරම් දිගට වැඩුණා.

ස්ටෙලර්ගේ මුහුදු ගවයින් නිරීක්ෂණය කරන ලද්දේ ජෝර්ජ් විල්හෙල්ම් ස්ටෙලර් නම් යුරෝපීයයෙකු විසිනුයි. මොවුන්ට ගොඩබිම වෙසෙන ගවයෙකුගේ ස්වරූපයට සමාන දේහ ලක්ෂණ ඇති බවත්, පාද වෙනුවට ශාඛාවලට බෙදුණු වරල් සහිත බාහු ඇති බවත් ඔහු නිරීක්ෂණය කර තිබුණා. මීට අමතරව ඔවුනට නොගැඹුරු මුහුදු තීරවල ගල් හා වැලි මත සැරිසැරීමට හැකියාව තිබූ බවත්, ඇල්ගී හා මුහුදු පැලෑටි ආහාරයට ගත් බවත් පැවසෙනවා. කෙසේ නමුත් මුලින්ම මොවුන් නිරීක්ෂණය කර වසර 27ක් ගත වූ තැන හෙවත් 1768 වසරේ දී මොවුන් මිහිතලයෙන් වඳ වී ගියා. අධික ලෙස දඩයම් කිරීමට ලක් වීම එයට හේතු වූ අතර මේ සත්ත්වයෙකුගේ සම්පූර්ණ සැකිල්ලක් හෙල්සිංකි නුවර ස්වභාවික ඉතිහාසය පිළිබඳ වූ කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

යෝධ පින්ටා ඉබ්බා

learnaboutnature.com

ගැලපගෝස් දිවයිනෙහි ජීවත් වූ යෝධ ඉබ්බන්ගේ උප වර්ගයක් ලෙස සැලකෙන යෝධ පින්ටා ඉබ්බා කලක් තිස්සේම සැලකුණේ ඉතා දැඩි ලෙස වඳ වීමේ තර්ජනයට ලක් වූ සත්ත්ව විශේෂයක් ලෙස යි. කෙතරම් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කළ ද 2012 වසරේ දී මොවුන් සම්පූර්ණයෙන්ම මිහිතලයෙන් වඳ වූ ගිය බවට ප්‍රකාශ කෙරුණා. එහි මේ විශේෂයේ අවසාන සාමාජිකයා වූ ‘ලෝන්සම් ජෝර්ජ්’ මියයාමත් සමග යි. කෙසේ නමුත් මෑතක දී යේල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් ප්‍රකාශ කර සිටියේ ගැලපගෝස් දූපත්වලින් විශාලතම දිවයින වන ඉසබෙලා දූපතෙහි මේ වර්ගයේ සතුන් තවමත් ඉතිරිව සිටින්නට ඉඩක් පවතින බවයි.

පිරනීස් ඉබෙක්ස්

extinctanimals.org

ස්පාඤ්ඤ ඉබෙක්ස් සත්ත්වයින්ට සමීප බන්ධුතාවයක් දැක්වූ පිරනීස් ඉබෙක්ස් සත්ත්වයින් මිහිමතින් සම්පූර්ණයෙන්ම නෂ්ට වූ ලෙස ප්‍රකාශ වූයේ 2000 වසරේ දී යි. එළුවන්ට සමාන රූපකායක් ඇති මේ සත්ත්වයින් මීට වසර 100කට පමණ පෙර පිරනීස් කඳුකර පෙදෙස්වල බහුලව සිටියා. කෙසේ නමුත් පසුගිය දශක කිහිපය තුළ මොවුන්ගේ ගහනය සීග්‍රයෙන් පහළ ගිය අතර 20 වන සියවසෙහි අවසාන දශකය වන විට අතිශයින්ම දුලබ වී තිබුණා.

2003 වසරෙහි ක්ලෝනකරනය කිරීම මඟින් මේ වර්ගයේ සතෙකු උත්පාදනය කරන්නට විද්‍යාඥයින් සමත් වූයේ නැවතත් ඔවුන් මෙලොව බෝ කර හැරිය හැකි බවට ඉඟි පලකරමින්. කෙසේ නමුත් උපතින් මිනිත්තු කිහිපයකට පසු එම ගැහැණු සත්ත්වයා මියගියේ සියළු දෙනාගේ බලාපොරොත්තු කඩ කරමින්. වර්තමානය වන විටත් මේ සත්ත්වයින්ට සමීප බන්ධුතාවක් දක්වන සත්ත්ව වර්ග කිහිපයක් ලොව වෙසෙන නිසා යම් දිනෙක නවීන තාක්ෂණයේ පිහිටෙන් මොවුන් නැවත සාර්ථකව නිපදවා බෝ කරගැනීමේ හැකියාවක් පවතින බැවින් විද්‍යාඥයින් තවමත් ඒ පිළිබඳ බලාපොරොත්තු අත්හැර නැහැ.

කවරයේ පින්තූරය- National Wildlife Research Centre

Related Articles