ශ්‍රී ලංකාව වැනි සමකය ආසන්නයේ සහ උතුරු දෙසින් කටක නිවර්තනය සහ දකුණු දෙසින් මකර නිවර්තනයට මැදි ව පිහිටි රාජ්‍යයන් මුහුණ දෙන්නේ ‘වැසි සමය’ සහ ‘වියළි සමය’ යන නිවර්තන ඍතු ද්විත්වයට පමණක් වුවත්, උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන්ට ආසන්න ව පිහිටි රාජ්‍යයන් හි දී සොඳුරු මලින් බර වූ ‘වසන්තය’, දැඩි හිරු රශ්මියෙන් නැහැවෙන ‘ගිම්හානය’, වෘක්ෂයන්ගෙන් වර්ණැති පත්‍ර ගිලිහී යන ‘සරත් සමය’ සහ හිමෙන් වැසී ගිය ‘හේමන්තය’ ලෙස සැලකිය යුතු විවිධත්වයකින් යුුතු ව ඍතු භේදයක් දැක ගැනීමට ලැබෙනවා. එයට හේතුව පෘථිවිය ආනත පිහිටීමක් සහිත ව හිරු වටා ගමන් කිරීම යි.

ගෙවී ගිය සැප්තැම්බර් 23 වැනි ඉරිදා දින ඉන්දියානු සම්මත වේලාවෙන් උදෑසන 7.24ට උතුරු අර්ධ ගෝලයට සරත් සමය උදා වුණේ අනුකම්පා විරහිත ව දැවුණු හිරුගේ දැඩි රශ්මිය මධ්‍යයේ ගත වී ගිය ගිම්හානයේ අවසානය සනිටුහන් කරමින්. රතු, තැඹිලි, රන්වන්, සහ දුඹුරු පැහැයෙන් දිදුලන වර්ණවත් පත්‍ර මිහිකත මත සොඳුරු රටා මවන සරත් සමය, සත්ත්ව ලෝකයට කාර්යබහුල කාල සීමාවක් බව පැවසීමේ වරදක් නැහැ. සත්ත්ව විශේෂ බොහෝමයක් නුදුරේ දී ම එළැඹෙන කටුක හේමන්තයේ දී භාවිතයට ගැනීම සඳහා ‍අවැසි ආහාර ද්‍රව්‍ය රැස් කිරීම සිදු කරන්නේ සරත් සමයේ දී යි.

ලෙනෙක් - (© Brian Gordon Green)

එසේ හේමන්ත ඍතුවේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආහාර රැස් කරන සතුන් අතර මූලිකත්වය හිමි වන්නේ ලේනුන්ට සහ දඬුලේනුන්ට වුවත්, තවත් සත්ත්ව විශේෂ බොහෝමයක් සරත් සමය තුළ දී ලහිලහියේ ආහාර රැස් කිරීමේ සහ ගබඩා කිරීමේ කාර්යයේ යෙදෙනවා. මේ ලිපිය එවැනි සතුන් කිහිප දෙනෙකු පිළිබඳ ව යි.

කෘමි පිලවුන් ප්‍රිය කරන කෙටි වලිගයක් සහිත ෂෘෘ

කුඩා දෑස් සහ දිගු නාසයක් හිමි මූෂිකයෙකු සේ දිස්වෙන ෂෘෘ සතුන්, කෘමි භක්ෂකයින් වන අතර ඔවුන් කෘමි පිලවුන් ආහාරයට ගැනීම වඩාත් ප්‍රිය කරනවා. එසේ ම ජීව විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත්තේ දැනට හඳුනාගෙන ඇති කෙටි වලිගයක් සහිත ෂෘෘ විශේෂ සියල්ල ම හේමන්තය සඳහා අවැසි ආහාර රැස් කිරීමේ දී ඔවුන්ගේ ගොදුරු පණ පිටින් තබා ගැනීමට වග බලා ගන්නා බව යි. ඕක්ලහෝමා හි ෆෝට් හේස් ප්‍රාන්ත සරසවියේ ජීව විද්‍යාඥ එල්මර් ෆින්ක් සඳහන් කරන ආකාරයට ෂෘෘ සතුන්ගේ ඛේටය, විෂ සහිත වන අතර ඔවුන් විසින් ගොදුරු සපා කෑමේ දී අදාළ සත්ත්වයින්ගේ සිරුරට ඇතුළු වන ෂෘෘ ඛේටය හේතුවෙන් ඔවුන් පක්ෂඝාත තත්ත්වයකට පත් වෙනවා.

ෂෘෘ සත්ත්වයෙක් - (©Paul  P. Kelly)

ෂෘෘ සත්ත්වයෙකුගේ සපා කෑම හේතුවෙන් තාවකාලික කෝමාවකට වැටෙන ගොදුරු, ෂෘෘ සතුන් විසින් ඔවුන්ගේ කූඩු තුළ ගබඩා කරන්නේ පසු ව ආහාරයට ගැනීම සඳහා යි. යම් හෙයකින් ආහාරයට ගැනීමට පෙර ගොදුරක් පියවි සිහියට එළැඹුණොත් ෂෘෘ සතුන් විසින් නැවතත් අදාළ සත්ත්වයා ව සපා කෑම මඟින් ආපසු කෝමා තත්ත්වයට පත් කරන බව යි ජීව විද්‍යාඥයින් නිරීක්ෂණය කර ඇත්තේ.

ගැඩවිල් පණුවන්ට උගුල් අටවන වැලි මීයන්

වැලි මීයෙක් - (© Steve Adams)

https://www.discoverwildlife.com/uncategorized/how-to-identify-animal-food-stores/

ෂෘෘ සතුන් මෙන් ම තමන්ගේ ගොදුරු පණ පිටින් තබා ගැනීමට කැමති වැලි මීයන්, ගොදුරු අල්ලා ගැනීම සඳහා භාවිතා කරන්නේ අපූරු ක්‍රමවේදයක්. උණුසුම් කාලගුණයක් සහිත දිනවල දී වැලි මීයන් පොළොව යට උමං ජාලයක් නිර්මාණය කරන අතර, එය ගැඩවිල් පණුවන් අල්ලා ගන්නා උගුලක් ලෙස ක්‍රියාත්මක වෙනවා. වැලි මීයන්ගේ ඇස් පෙනීම දුර්වල වුව ද සියුම් චලනයන් පවා මැනවින් හඳුනාගැනීමේ හැකියාවක් ඔවුන් සතු වෙනවා. උමං ජාලය තුළට ගැඩවිල් පණුවෙකු ඇද වැටුණු විගස අදාළ සත්ත්වයාගේ හිස සපා කෑම තුළින් ඔවුන් ව අඩපණ කිරීම සිදුකරන වැලි මීයන්, පසු ව ආහාරයට ගැනීම සඳහා හිස රහිත ගැඩවිල් පණුවන් ව උමං බිත්ති තුළ රඳවා තබන බව යි වාර්තා වන්නේ. ජීව විද්‍යාඥයින් සඳහන් කරන්නේ වැලි මීයෙකුගේ උමඟ තුළ සාමාන්‍යයෙන් එවැනි ගැඩවිල් පණුවන් 470ක් පමණ දැකගැනීමට ලැබෙන බව යි.

කුහුඹු කූඩු වටලන දිමියන්

දිමියෙක් - (© Jonathan Garcia)

වෙනත් විශේෂයන්ට අයත් කුහුඹුවන් ආහාරයට ගැනීම ප්‍රිය කරන දිමියන්, පළමුව සිදුකරන්නේ ගොදුරු විශේෂය වටලා ඔවුන්ට පහර දීම යි. ඉන්පසු ව දිමියන් කණ්ඩායම් වශයෙන් එක් ව ප්‍රහාරයට ලක් වූ කුහුඹු විශේෂයේ කූඩුව, දිමි ගොටුව කරා රැගෙන එන අතර, 2008 දී සිදුකරන ලද පර්යේෂණයකින් මියගොස් සිටින කුහුඹුවන් ගබඩා කිරීමට පෙර ඔවුන් ව හොඳින් වියළීමට දිමියන් කටයුතු කරන බව හෙළිදරව් වී තිබෙනවා. ෆ්ලොරිඩා ප්‍රාන්ත සරසවියේ කීට විද්‍යාඥ වෝල්ටර් ආර්. ටීෂින්කල් සඳහන් කරන්නේ දිමියන් සතු ඔවුන්ගේ ගොදුරු තුළ ඇති දියර උරා ගත හැකි ‘වියළි ආමාශය’ ලෙස හඳුන්වන ශරීර කොටසක් පවතින බව යි. එසේ උරා ගන්නා ලද දියර පසු ව වමාරා කූඩුවේ සිටින අනෙක් දිමියන් සමග බෙදා ගැනීමට ද දිමියන් කටයුතු කරනවා.

ආහාර කොටස් සහිත රොන් මඩ ගබඩා කරන ෆිඩ්ලර් කකුළුවන්

ෆිඩ්ලර් කකුළුවෙක් - (© Jenny)

2010 දී දකුණු කොරියාව, දකුණුදිග ජපානය, තායිවානය, සහ නැගෙනහිරදිග චීනය ආශ්‍රිත ව වාසය කරන ෆිඩ්ලර් කකුළුවන් යොදාගෙන සිදුකරන ලද පර්යේෂණයක දී අනාවරණය වී ඇත්තේ ඔවුන් පසු ව ආහාරයට ගැනීම සඳහා ඔවුන්ගේ ගුල් තුළ කුණු වූ මාංශ සහ ආහාර කොටස් සහිත රොන් මඩ ගබඩා කරන බව යි. එසේ ගබඩා කරන ලද ආහාර අතර ඇල්ගී, මයෝෆෝනා (ජලයේ ජීවත් වන කුඩා සිදුරු සහිත ජීවීන්), සහ කෝපෙපෙඩ් (කවචයක් සහිත කුඩා මුහුදු මසුන්) වැනි සතුන් ද සිටින බව යි හෙළිදරව් වී ඇත්තේ. ෆිඩ්ලර් කකුළුවන් විසින් ගබඩා කරන ආහාර වැසි කාලයේ දී සහ අභිජනන සමයේ දී ප්‍රයෝජනයට ගන්නා බව සාගර ජීව විද්‍යාඥයින් නිරීක්ෂණය කර තිබෙනවා.

ඇට වර්ග එකතු කරන රතු ලේනුන්

රතු ලේනෙක් - (© Geert Weggen)

සරත් සමයේ වඩාත් කාර්යබහුල වන රතු ලේනුන් හේමන්තයේ දී ප්‍රයෝජනයට ගැනීම සඳහා වැඩි වශයෙන් එක්රැස් කරන්නේ ඇට වර්ග යි. රැස් කරන ලද ඇට වර්ග ඔවුන් විසින් පසු ව භාවිතා කිරීම සඳහා පස් තුළ සඟවන අතර, එසේ සැඟවීමට පෙර අදාළ ඇට සියල්ල ඔවුන්ගේ වලිගයේ ඇතිල්ලීම සිදුකරනවා. එසේ සිදුකිරීමේ අරමුණ වන්නේ සඟවන ලද ඇට වර්ග පසු ව සොයාගැනීම පහසු කිරීම යි. ඇට වර්ගවලට අමතර ව ලේනුන් විසින් හතු වර්ග වියළා ඒවා කේතුධර ශාකයන් හි අතු අතර (බොහෝ විට පයින් කේතු තුළ) සඟවන බව යි වාර්තා වන්නේ.

 

කවරයේ පින්තූරය : © Sandy MacLennan