මිනිසා නිසා ම මිහිමතින් සදහට ම සමුගත් සත්වයෝ

අතීතයේ ලොවපුරා සතුන් වඳ වී යාම ස්වාභාවික හේතු මත සිදු විය. ඩයිනෝසෝරයන් වඳ වී යාම මෙයට එක් උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. දැන් මිනිසා නිසාම ශාක හා සත්ව විශේෂ විශාල ප්‍රමාණයක් වඳ වී යාම සිදු ව ඇති අතර තවත් විශාල විශේෂ  ප්‍රමාණයක් මෙම ව්‍යසනය ඉදිරියේ පෙළ ගැසී ඇති බව විශේෂඥයෝ අනතුරු අඟවති.

ගොවිබිම් හා වාසස්ථාන කර්මාන්ත වෙනුවෙන් වනාන්තර කපා දැමීමත් සමඟ ඔවුන්ගේ වාසස්ථාන විනාශ වීම වායු දූෂණය, ජල දූෂණය, වෙනත් රටවල ජීවී විශේෂ ව්‍යාප්තවීම සහ මසුන් ඇල්ලීම හෝ දඩයම් කිරීම මෙම වඳවීම්වලට ප්‍රධාන හේතුවකි. වඳ වී ගොස් ඇති සත්වයන් අතර මිනිසා නිසාම වඳ වී ගිය සතුන් කිහිප දෙනෙක් පිළිබඳ මේ ලිපියෙන් විමසා බලමු.

බටහිර අප්‍රිකානු කළු රයිනෝ -www.crittersquad.com

01 – බටහිර අප්‍රිකානු කළු රයිනෝ

බටහිර අප්‍රිකානු කළු රයිනෝ වසර මිලියන 7 කට පෙර මිහි මත ජනිත විය. මේ සත්වයාගේ විද්‍යාත්මක නාමය – Diceros bicornis longipes නම් වෙයි. දිගින් මීටර් 3-3.8 ක් සහ උස මීටර් 1.4-1.7 ක් වන මෙම බටහිර අප්‍රිකානු කළු රයිනෝ කිලෝග්‍රෑම් 800-1,300 ක් අතර බරකින් යුතු ය. මෙම සත්වයාට නාසය මත අං යුගළක් පිහිටන අතර රයිනෝ අං වසරකට අඟල් තුනක් දක්වා වර්ධනය වේ. ඉදිරියෙන් පිහිටි අඟ අඩි පහක් දක්වා දිගට වැඩෙන අතර අනෙක සෙන්ටිමීටර 2ත් 55ත් අතර වර්ධනය වෙයි. ගැහැනු සතුන් පැටවුන් ආරක්ෂා කිරීමට අං භාවිත කරන අතර පිරිමි සතුන් ප්‍රහාරකයන්ට එරෙහි ව සටන් කිරීමට ඒවා භාවිත කරයි.

මොවුන්ට  ඉතා දුර්වල ඇස් ඇති අතර, මීටර් 30 කට වඩා දුරින් ඇති කිසිවක් පැහැදිලි ව දැකීමට නොහැකි විය.  ඒ අඩුව පිරිමසන්නට ඔවුන්ට සුවඳ සහ ශ්‍රවණය පිළිබඳ විශිෂ්ට සංවේදනයක් තිබිණි. බටහිර අප්‍රිකානු කළු රයිනෝ සතුන් විශාල වුව ද ඉක්මනින් ගමන් කළ හැකි වූ අතර ඒ වේගය පැයට කිලෝමීටර 55 ක් තරම් ඉහළ විය. ඔවුන්ට පුදුම සහගත ලෙස ඉක්මනින් සිය දිශාව වෙනස් කළ හැකි වූ අතර පඳුරු සහ  වන ලැහැබ් හරහා කෙළින් ම දිව යා හැකි විය.

රයිනෝ අං සඳහා දඩයම් කිරීම

බටහිර අප්‍රිකානු කළු රයිනෝ සතුන් වඳ වී යාමට ප්‍රධාන ම හේතුව වූයේ රයිනෝ අං ලබා ගැනීම සඳහා ඔවුන් දඩයම් කිරීම ය. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේ දී මෙම අං ඖෂධ සැකසීමට භාවිත කරන අතර ඒවාට විශේෂිත රෝග සුව කිරීමට බලය ඇති බව විශ්වාස කෙරිණි. රයිනෝ අං පිළිකා සුව කිරීමේ ගුණයෙන් යුතු බවට වියට්නාමයේ විශ්වාස කරයි.

මෙයට විද්‍යාත්මක පදනමක් නොතිබුණ ද ඔවුන් දඩයම් කිරීමට ලක්වීමට මෙම තත්ත්වය දැඩි ව හේතු විය. ඉතා දුර්වල ඇස් ඇති ඔවුන් සුවඳ සහ ශ්‍රවණය පිළිබඳ විශිෂ්ට සංවේදනයක් දැරුව ද කනගාටුදායක තත්ත්වය වූයේ දඩයම්කරුවන්ගෙන් ආරක්ෂා වීමට ඔවුන්ට මේ සංවේදන හැකියාව ප්‍රමාණවත් නොවීම ය.

ඔවුන්ගේ වඳ වී යාමට ප්‍රධානම හේතුව වූයේ රයිනෝ අං සඳහා දඩයම් කිරීමයි – en.wikipedia.org

බටහිර අප්‍රිකානු කළු රයිනෝ යනු වඳ වී ගිය උප විශේෂයක් වන අතර අතීතයේ  ඔවුන් උප සහරා අප්‍රිකාව, බටහිර අප්‍රිකානු සැවානා කලාප පුරා ම දක්නට ලැබිණි. මධ්‍යම අප්‍රිකානු ජනරජය (CAR), නිරිතදිග චැඩ්, ඊසානදිග නයිජීරියාව සහ උතුරු කැමරූන් වැනි ස්ථානවල රයිනෝ ගහනය ඉහළ විය. ඔවුන් 20 වැනි සියවස ආරම්භයේ දී විශාල වශයෙන් දඩයමට ලක් විය.

කෙසේ වෙතත්, ඔවුන්ගේ ගහනය සුරක්ෂිත කරන්නට 1930 ගණන්වල සංරක්‍ෂණ ක්‍රියාමාර්ග කිහිපයක් ඒ ඒ රටවල රජයන් ගත් අතර ඒ නිසා රයිනෝ ගහනය යහපත් මට්ටමකට පත් විය. කලක දී ආරක්ෂණ පියවර අඩු වීමත් සමඟ නැවතත් ඔවුන් දඩයම් කිරීම නිසා ගහනය පිරිහිණි. 1995 වන විට බටහිර අප්‍රිකානු කළු රයිනෝ ජනගහනය 2500 දක්වා අඩු විය. අධික ව දඩයම් කිරීම නිසා ම 21 වන සියවස ආරම්භයට පෙර බටහිර අප්‍රිකානු කළු රයිනෝ සතුන් දහ දෙනෙක් පමණක් ඉතිරි විය. 2001 දී එම සංඛ්‍යාව පහ දක්වා අඩු විය.

සංරක්ෂණය  නිසි අයුරින් සිදු නොවීම

අවසාන බටහිර අප්‍රිකානු කළු රයිනෝ සත්වයා 2006 දී කැමරූන්හි උතුරු පළාතේ දක්නට ලැබිණි. සංරක්ෂණය  නිසි අයුරින් සිදු නොවීම මෙම සත්වයාගේ වැනසී යාමට හේතු විය. 20 වන ශතවර්ෂයේ අග භාගය වන විට, සංඛ්‍යාත්මක අගය භයානක ලෙස පහත බැස ගිය විට පවා, මොවුන් බේරා ගැනීම සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබිණි.

2006 දී, රාජ්‍ය නොවන ජෛව පරික්ෂණ ආයතනයක් හා  පශු වෛද්‍ය කණ්ඩායම් ඔවුන්ගේ ප්‍රාදේශීය කණ්ඩායම් සමඟ එක් ව කළු රයිනෝ සෙවීම ආරම්භ කර තිබිණි. කළු රයිනෝ ගේ පැවැත්ම පිළිබඳ සාක්ෂි සොයමින් කණ්ඩායම් කැමරූන්හි උතුරු පළාත විමර්ශනය කළ අතර කිලෝමීටර් 2500 ක ප්‍රදේශයක මාස හයක් පුරා සමීක්ෂණ පැවැත්විණි. කණ්ඩායම අවසන වාර්තා කළේ මෙම කළු රයිනෝ උප විශේෂය බොහෝ කලකට පෙර වඳ වී ගොස් ඇති බව ය.

 2011 දී IUCN (International Union for Conservation of Nature) ආයතනය මෙම උප විශේෂය වඳ වී ගොස් ඇති බව නිවේදනය කළේ ය.

ටැස්මේනියානු කොටියා – parks.tas.gov.au

02 – ටැස්මේනියානු කොටියා

ඕස්ට්‍රේලියාව, ටස්මේනියාව සහ නිව්ගිනියාව නිජබිම වූ ටැස්මේනියානු කොටියා, මාංශ භක්ෂකයෙකි. කොටින්ට සම්බන්ධ නැති මෙම සත්වයාට මධ්‍යම ප්‍රමාණයේ සිට විශාල ප්‍රමාණයේ බල්ලකුගේ පෙනුමක් තිබුනුණු අතර නහයේ සිට වලිගය දක්වා දිග මීටර් 2කට ආසන්න දිගකින් යුත් මේ සත්වයා කිලෝග්‍රෑම් 30 ක් බරකින් යුක්ත විය. කොටියාට සමාන අඳුරු පැහැ පිටුපස ඉරි නිසා මෙම සත්වයාට ටැස්මේනියානු කොටියා යන නම ලබාදී ඇත. උගේ විද්‍යාත්මක නාමය Thylacinus Cynocephalus වන අතර ග්‍රීක භාෂාවෙන් එහි තේරුම “බලු හිස සහිත බෑගය” යන්න යි.

ටැස්මේනියානු කොටියා වඳ වී යාමටත් දඩයම හේතු වූ බව විශ්වාස කෙරේ. එකල මොවුන් දඩයම ත්‍යාග හා තරග මඟින් දිරිමත් කෙරිණි. එයට අමතර ව ඔවුන්ගේ වාසභූමි මිනිසුන් ආක්‍රමණය කිරීම, බල්ලන් ගහනය වැඩිවීම සහ රෝග ද මේ වඳවීමට දායක විය. ටස්මේනියානු කොටියා ටස්මේනියානු යක්ෂයාගේ සමීපත ම ඥාතියා ලෙස සැලකේ. මෙම ජීවීන් ඉතා කුලෑටි වූ අතර මිනිසුන්ගෙන් ඉවත් ව සිටි නිසා අනතුරුදායක සතුන් ද නොවී ය.

ටස්මේනියානු යක්ෂයාගේ සමීපත ම ඥාතියා

අවසන් වනගත ටස්මේනියානු කොටියා 1910 සිට 1920 කාලයේ දී මරා දැමිණි. 1936 දී ටස්මේනියාවේ හෝබාර්ට් සත්වෝද්‍යානයේ දී මිනිසුන් භාරයේ සිටි අවසන් ටැස්මේනියානු කොටියා ද මිය ගියේ ය.

සමහර සත්ව විද්‍යාඥයන් විශ්වාස කරන්නේ ඔවුන් තවමත් ජීවතුන් අතර සිටින බව ය. නිල වශයෙන් තහවුරු කිරීමට සාධක හමු වී නොමැත.

ස්ටෙලර්ස් මුහුදු ගවයා – www.sci.news

03 – ස්ටෙලර්ස් මුහුදු ගවයා 

ස්ටෙලර්ස් මුහුදු ගවයා  වඳ වී ගිය සමුද්‍ර ක්ෂීරපායි සත්වයෙකි. මෙම සත්වයාට එම නම ලැබුණේ 1741 දී මෙම විශේෂය මුලින් ම විස්තර කළ ජෝර්ජ් විල්හෙල්ම් ස්ටෙලර් නිසා ය. එකල ඔවුන් හමු වූයේ ඇලස්කාව සහ රුසියාව අතර බෙරිං මුහුදේ කමාන්ඩර් දූපත් අවට පමණි. ඔවුන්ගේ සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂ ව ඔවුන්ගේ හිස කුඩා විය. ඔවුන්ගේ මුඛය කුඩා වූ අතර එය දත් රහිත විය. ඔවුන්ට ඉහළ සහ පහළ ද්විත්ව තොල් ද පිහිටා තිබිණි. ස්ටෙලර්ස් මුහුදු ගවයන් ජීවත් වූයේ රංචු වශයෙන් මුහුදු තෘණ ආහාරයට ගැනීම සඳහා මුහුද මතුපිටට සමීප ව පාවෙමින් ය.

මොවුන් අවම වශයෙන් මීටර් 8ක් 9ක් දක්වා වර්ධනය වූ අතර ටොන් 8ක්10ක් පමණ බරකින් යුක්ත විය. ස්ටෙලර්ස් මුහුදු ගවයා කෙල්ප් නම් දුඹුරැ ඇල්ගී මත යැපුණු බව පැවසෙයි. කෙල්ප් නොගැඹුරැ සිසිල් සාගර ජලයේ වැඩෙන අතර මේ සතුන්ට දඩයම්කරුවන්ගෙන් ගැලවී යාමට අපහසු වන්නට ඇත්තේ කෙල්ප් ආහාරයට ගැනීමට ඔවුන් නොගැඹුරැ ජලයේ සිටිනවිට තම අතිවිශාල ශරීරය ක්ෂණික ව ගිල්වා දැමීමට නොහැකි වීම හා ඔවුන් සෙමෙන් ගමන් කිරීම ය. ස්ටෙලර්ස් මුහුදු ගවයා වඳ වී යාමට හේතු වී ඇත්තේ ඔවුන් මස් සහ සම සඳහා දඩයම් කිරීම ය. මේ සතුන්ගේ චර්මාභ්‍යන්තර මේදය බටර් ලෙස භාවිත කර ඇති අතර එය කිසිදු සුවඳක් නොදරයි. සත්වයාගේ තෙල් ලාම්පු සඳහා ද භාවිතා කරන ඇත. ඔරු සෑදීම සඳහා ඔවුන්ගේ සම භාවිත කර ඇත. 

මස්, මේදය සහ වෙනුවෙන් දඩයම් කිරීම

සීල් දඩයම්කරුවන්, නාවිකයන් සහ සාගරයේ යාත්‍රා කළ වෙළෙන්දන් මෙම සතුන්ගේ වඳ වී යාමට මූලික ව වගකිව යුතු බවට චෝදනා එල්ල වෙයි. එක් මුහුදු ගවයකු සතු මස් හා මේදය මිනිසුන්ගෙන් පිරුණු නැවක් දින 30 ක් පෝෂණය කිරීමට එවක ප්‍රමාණවත් වූ බව පැවසෙයි. සෙමින් ගමන්කරන, පහසුවෙන් අල්ලා ගත හැකි මෙම ක්ෂීරපායී සත්වයා මස් සහ මේදය වෙනුවෙන් දඩයම් කිරීමෙන් 1768 දී වඳවී යාම සිදුවිය. ඒ මෙම විශේෂය මුලින් ම සොයා ගැනීමෙන් වසර 26-27 කට පසු ව ය‍‍. 

පිරෙනියානු අයිබෙක්ස් – www.inaturalist.org

04 – පිරෙනියානු අයිබෙක්ස්

පිරෙනියානු අයිබෙක්ස් සත්වයා Capra pyrenaica pyrenaica විද්‍යාත්මක නාමයෙන් දක්වයි. පිරෙනියානු අයිබෙක්ස්ගේ ස්පාඤ්ඤ නාමය බුකාර්ඩෝ (bucardo) වේ. මොවුන් අයිබීරියානු අර්ධද්වීපයේ වාසය කරන වල් එළුවන්ගේ උප විශේෂ හතරෙන් එකකි. 

මොවුන් දිග අඩි පහක් පමණ සහ උරහිස දක්වා උස අඟල් 30 පමණ වූ සත්වයන් විය. ඔවුන්ගේ බර රාත්තල් 130 – 150 අතර විය. ජීවිත කාලය වසර 16ක් පමණ වෙයි.

පිරිමි සහ ගැහැනු සතුන් ඔවුන්ගේ වර්ණය, අං සහ ලොම්වල වෙනස අනුව පහසුවෙන් වෙන්කර හඳුනාගත හැකි විය. පිරිමින් අළු දුඹුරු වන අතර නළල, සහ ඉදිරි පාද වැනි ස්ථාන කිහිපයක් කළු පැහැ විය. ගිම්හානයේ දී කෙටි ලොම් ඇති අතර ශීත මාසවල දී එය දිගු හා ඝන බවට පත්වෙයි. ඔවුන්ගේ බෙල්ලේ රෝම වසර පුරා දිගු ව පවතී.

පිරෙනියානු අයිබෙක්ස් ගැහැනු  සත්වයා දුටු විට මුවකු ලෙස වරදවා සිතිය හැකි ය. පිරිමි සතුන්ට මෙන් ඔවුන්ට කළු පැහැයක් නොමැත.

ප්‍රදේශය සම්බන්ධයෙන් දරුණු සටන්

පිරිමින්, ගැහැනු සතුන් සහ ප්‍රදේශය සම්බන්ධයෙන් දරුණු ලෙස සටන් වදියි. අයිබෙක්ස් උපත් හුදකලා ස්ථානවල සිදු කරයි. තනි දරු උපත් වඩාත් සුලබ ය. නිවුන් දරුවන් ඉඳහිට උපත ලබයි.

පැටවුන්ට ඉපදී දිනක් ඇතුළත ඇවිදීමට හැකි ය. උපතින් පසු මව සහ දරුවා ගැහැනු රංචුවට එකතු වේ. දරුවන්ට මාස 8-12 ට පසුව මව්වරුන්ගෙන් ඉවත්ව ජීවත් විය හැකි ය. මේ සතුන් වයස අවුරුදු 2-3 දක්වා ලිංගික ව පරිණත නොවේ.

මිනිස් ජනාවාස සතුන් වන බැටළුවන්, අශ්වයන් සහ ගෘහාශ්‍රිත එළුවන්ගේ ආහාරය වන, තෘණ හවුලේ ආහාරයට ගැනීමට ඔවුහු පුරුදු ව සිටියහ. ආහාර වෙනුවෙන් ඔවුනොවුන් අතර හා අන්තර් විශේෂ තරගය මොවුන්ට හානිකර විය. දිගින් දිගට ම දඩයම් කිරීම, අං වෙනුවෙන් දඩයම් කිරීම,ජ නාවාස නිසා ගෘහස්ථ සතුන්ගෙන් පැමිණි රෝග සහ ආසාදන මෙන් ම දේශගුණික තත්ත්වයන් ද අයිබෙක්ස්ගේ වඳ වී යාමට පාදක විය.

අයිබෙක්ස් සංරක්ෂණය

මුල් කාලයේදී අයිබෙක්ස් සතුන් විශාල වශයෙන් පිරනීස්  කලාපයේ හමු වූ නමුත් මිනිසුන් අඛණ්ඩ ව මේ සතුන් දඩයම් කිරීම නිසා 19 සහ 20 වන සියවස්වල දී අයිබෙක්ස් ගහණය ක්‍රමයෙන් අඩු විය. 20 වන ශතවර්ෂයේ අවසාන භාගයේ දී ස්පාඤ්ඤයේ මධ්‍යම පිරනීස් හි ඔර්ඩෙසා ජාතික වනෝද්‍යානයේ අයිබෙක්ස් සතුන් කුඩා සංඛ්‍යාවක් ජීවත් විය.

1950 සහ 1960 කාලයේ අයිබෙක්ස් සංරක්ෂණය සඳහා ජාතික මට්ටමින් ස්ථාන සැකසීමෙන් පසු ගෝලීය සංරක්ෂණ වැඩසටහන් ද ක්‍රියාත්මක විය. 1973 දී අයිබෙක්ස් ආරක්ෂිත සතුන් ලෙස සැලකිණි. මෙම උප විශේෂය සුරැකීමට කළමනාකරණ සැලැස්මක් 1993 දී ක්‍රියාත්මක කරන විට ඉතිරි ව සිටියේ සතුන් දස දෙනකු පමණකි.

මුල් ම ක්ලෝනීකරණය

ස්වභාවිකව උපත ලද අවසාන  පිරෙනියානු අයිබෙක්ස් ගැහැනු සතෙක් මාරාන්තික තුවාල ලබා සිටිය දී විද්‍යාඥයන් පිරිසක් සොයා ගත්හ. ඒ 2000 ජනවාරි මස 6වන දින උතුරු ස්පාඤ්ඤයේ කඩා වැටුණු ගසකට සිර ව සිටිය දී ය‍. මේ සතාගේ වයස අවුරුදු 13ක් වූ අතර ඇය සීලියා යයි නම් කෙරිණි. සීලියා මිය ගියා ය. ස්පාඤ්ඤ ජීව විද්‍යාඥයෝ නැවත සත්වයකු ඉපැදවීමට ඇගේ පටක සංරක්ෂණය කළහ. 2003 දී මෙම පටක සෛලවලින් සිදු කළ මුල් ම ක්ලෝනීකරණය අසාර්ථක විය‍. නැවත ක්ලෝනීකරණය කළ කලලයකින් 2009 ජනවාරි මාසයේ දී පැටවකු උපත ලැබී ය. පෙනහළු ආශ්‍රිත ආබාධ හේතුවෙන් පැටවා ඉපදී විනාඩි හතකට පසු මිය ගියේ ය. ඒ සමඟ ම ඔවුන්  මිහිමතින් ද සමුගෙන අවසන් විය.

මෙක්සිකානු ග්‍රිස්ලි වලසා – – www.zoochat.com

04 – මෙක්සිකානු ග්‍රිස්ලි වලසා

Ursus arctos nelsoni යන විද්‍යාත්මක නාමය දරන මෙක්සිකානු ග්‍රිස්ලි වලසා උතුරු අමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දුඹුරු වලසුන්ට වඩා කුඩා ය. පිරිමි වලසුන්ගේ බර කිලෝග්‍රෑම් 315 ක් පමණ වන අතර ගැහැනු සතුන් ඔවුන්ට වඩා කුඩා වේ. සිරුර දිගින් සෙන්ටිමීටර 180 ක් පමණ වෙයි. දීප්තිමත් හිරු එළියේ දී රිදී පැහැයෙන් දිස්වන, මීපැණිවල කහ වර්ණයේ සිට සුදුමැලි අළු හෝ සුදු දක්වා වර්ණය වෙනස්වන බැවින් වලසාගේ මෙක්සිකානු නම “el oso plateado” (රිදී වලසා) නම් විය. මෙම සත්වයා මෙක්සිකෝවෙන් සොයා ගත් විශාලත ම ක්ෂීරපායින්ගෙන් අයෙකි. 

ග්‍රිස්ලි වලසා එක්සත් ජනපදයේ සහ මෙක්සිකෝවේ උතුරු  ප්‍රදේශවලින් හමු විය. මෙක්සිකෝවේ ඔවුන් ජීවත් වූයේ බජා, සොනෝරා සහ චිහුවාහුවා යන ප්‍රාන්තවල ය. එක්සත් ජනපදයේ, ඔවුන් නිව් මෙක්සිකෝවේ සහ ඇරිසෝනාහි ද සොයා ගැනිණි. මෙක්සිකානු ග්‍රිස්ලි වලසා සෞම්‍ය තෘණ බිම් වල සහ කඳුකර පයින් වනාන්තරවල වාසය කර ඇත. සොනෝරන් කාන්තාරයේ සහ කැනියොන්ලන්ඩ්වල ශුෂ්ක පරිසර තත්වයන්ට ඔරොත්තු දීමට ද හැකි ලෙසට ඔවුහු හැඩ ගැසී සිටියහ.

සර්ව භක්ෂක සතෙක්

මෙක්සිකානු ග්‍රිස්ලි වලසා බොහෝ විට වනයේ වසන විට අවුරුදු විසි පහක පමණ ස්වභාවික ආයු කාලයකට උරුමකම් කීවේ ය.

අනෙකුත් දුඹුරු වලසුන් හා සමාන ව මෙක්සිකානු ග්‍රිස්ලි වලසා ශාක, පලතුරු, කෘමීන්, කුඩා ක්ෂීරපායින් සහ මළකුණු අනුභව කළ සර්ව භක්ෂක සතෙකි.

මෙම වලසුන් ශීත කාලයේදී ගුහාවල යම් කාලයක් ගත කළත් ඔවුන් වෙනත් සතුන් මෙන් නිද්‍රාවට පත් වන්නට ඇතැයි සිතිය නොහැකි ය. ගැහැනු සතුන් පැටවුන් එකත් හෝ තුනත් අතර බිහි කළහ. ඔවුන් දරැවන් සමඟ වසර දෙකහමාරක් පමණ සිටින අතර එම කාලය තුළ මව නැවත ගැබ් නොගනු ඇත. 

මෙම වලසුන්ගේ වාසස්ථානවල මිනිසුන්  ගව පාලනය ව්‍යාප්ත කිරීමත් සමඟ මෙම වලස්සු ගවයන්ට පහර දීම සිදු කළහ. ගොවීන් මෙම සතුන් සත්ව පාලනයේ සතුරන් ලෙස සැලකීමට පටන් ගත් අතර ඔවුහු උගුල් අටවා, වෙඩි තබා, වස දී මෙක්සිකානු දුඹුරු වලස්සු මරා දැමූහ.

නීති විරෝධී දඩයම් කිරීම්

විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ දී මෙම තත්ත්වය වඩා වේගවත්වූ අතර 1930 දී මෙම වලස් විශේෂය දුර්ලභ විය. අවසානයේ දී ඔවුන්ගේ වාසස්ථාන Cerro Campano, Santa Clara සහ Sierra del Nido යන හුදකලා කඳුවලට පමණක් සීමා විය. මේ නිසා 1960 වන විට ඉතිරි ව සිටියේ වලසුන් තිහක් හෝ ඊට අඩු ප්‍රමාණයක් පමණක් බව සටහන් විය.

 වලසුන් ආරක්ෂාකිරීමටට නීති ඇතත් නීති විරෝධී දඩයම් කිරීම සහ හිංසා කිරීම දිගට ම සිදු විය. 1969 වන විට ඉක්මනින් ම මෙක්සිකානු දුඹුරු වලසුන්ගේ උප විශේෂය ද වඳ වී ගියේ ය. වරින් වර හුදකලා සතුන් දැක ඇති බවට කටකතා පැතිර ගිය අතර මෙක්සිකෝවේ තවමත් ග්‍රිස්ලි වලසුන් සිටිය හැකි බවට වාර්තාවක් ප්‍රකාශයට පත් විය. එය සනාථ කිරීමට තරම් සාක්ෂි නොවිණි. IUCN ආයතනය මෙක්සිකානු ග්‍රිස්ලි වලසා වඳ වී ගොස් ඇති බවට 1982 දී නිවේදනය කළේ ය.

කවරයේ ඡායාරූපය: ස්ටෙලර්ස් මුහුදු ගවයා - www.youtube.com/@BenGThomas
මූලාශ්‍ර: 
www.bearconservation.org.uk
www.extinctanimals.org
www.bbc.com
www.nationalgeographic.com

Related Articles