Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව කෙටිම ආයුෂ සහිත සත්ත්වයන්

දිගු ජීවිතයක් විඳින්න කවුරුත් කැමතියි.මිනිසාට ඇති පරම ආයුෂ අවුරුදු 120 අපි අසා තිබෙනවා. ලෝකයේ අනෙකුත් සත්ත්වයින් සමඟ සලකන විට මිනිසා දිගු ආයුෂක් විඳින සත්ත්වයෙක් ලෙස තමයි ගණන් ගැනෙන්නේ. මේ අතර අපේ ජීවිත කාළය තුළ ආදරයෙන් ඇති කළ සුරතල් සතුන් වයසට යන තුරු ජීවත් වුණත් ඒ තරම් දිගු ජීවිත කාල ගත නොකරපු බව අපි ඇත් දැක තිබෙනවා. සාමාන්‍යයෙන් බළලෙකුගේ පරම ආයුෂ අවුරුදු 10-12 හා බල්ලෙකුගේ අවුරුදු 12-15 ලෙස ගණන් ගැනෙනවා. ජ්‍යොතිශාස්ත්‍රයේ විම්ශෝත්තරී මහදශා ක්‍රමය සකසා තිබෙන්නේත් මිනිසාගේ පරම ආයුෂ අවුරුදු 120ක් ලෙස සලකායි. අපි හා අපේ සුරතල් සතුන්ගේ ආයු අපේක්ෂාවේ තරම ඒ ඒ පමණ වුණත් මේ ලෝකයට ජනිත වෙන සමහර සත්ත්ව කොට්ඨාශ වලටනම් ඒ හැටි කල් ජීවත් වන්නට වාසනාව ලැබෙන්නේ නෑ. ලෝකයේ වෙසෙන කෙටිම ආයුකාලය සහිත සතුන් ගැන අධ්‍යයනය කරන විට ඇත්තටම පුදුමත් හිතෙනවා.

ගෘහාශ්‍රිත හාවුන් (වසර 8-12)

(nydailynews.com)

ගෘහාශ්‍රිත හාවුන් නම් ලෝකයේ බොහෝ ප්‍රදේශ වලදී හමු වන, නිතරම ඇසට හසුවන සත්ත්වයින් කොට්ඨාසයක්. අහිංසක පෙනුම නිසා බොහෝ දෙනා මොවුන්ව සුරතල් සතුන් ලෙස ඇති කරන්නට කැමතියි. විවිධ පාටැති හාවුන් සිටිනවා. මේ කෙසේ වෙතත් හාවුන් වැඩි කල් ජීවත් වීමේ වාසනාවනම් ලබන්නේ නෑ. විවිධ හේතූන් නිසා සාමාන්‍ය හාවෙකුගේ ජීවිත කාලය වසර 8-12 කට සීමා වෙනවා. බොහෝ විට වයසට යෑමත් සමඟ ශරීරයේ මේද එකතු වීමත්, ගැබ්ගෙල පිළිකා ඇති වීමත් නිසා මොවුන්ගේ ජීවන ඉරණම විසඳෙනවා. ගෘහාශ්‍රිතව ඇති කරන හාවුන්ට නිසියාකාර ඖෂධ හා ආහාර නොලැබුණහොත් මොවුන් ඉතාම පහසුවෙන් අසනීප වෙනවා.

හාවුන් පමණ ඉක්මවා කැරට් වැනි දේ කෑම නිසා ඔවුනට සෞඛ්‍ය ප්‍රශ්න මතු වෙන්නට පුළුවන්. ඒ වාගේම දෛනිකව හාවුන්ට විශාල ජලය ප්‍රමාණයක් අවශ්‍යයි. මොවුන්ගේ  ජීවිත කාලය කෙටි නිසා ශීඝ්‍ර ප්‍රජනනය (ඉතා ළඟ ළඟ පැටවුන් ලැබීම) සිදු වෙනවා.

ගිනි ඌරන් (වසර 4)

(warrenphotographic.co.uk)

ගිනි ඌරන් එහෙමත් නැත්නම් ගිනිපිග් කියන්නේ මීයෙක්ගේ හෝ බීවරයෙක්ගේ පෙනුම ඇති ඉතාම සුරතල් සතෙක්. මොවුන්ව විද්‍යාගාර පරීක්ෂණ සඳහාත් යොදා ගන්නවා. මෙවැන්නෙක් ජීවිත කාලයටම ළඟ තබා ගන්නට බොහෝ දෙනා කැමති වෙවි. නමුත් අවාසනාවට මේ සත්ත්වයෙක්ට ජීවත් වෙන්නට ලැබෙන්නේ අවුරුදු 4ක් වැනි ඉතාම කෙටි කාලයක්. මේ සත්ත්වයා ලෙඩ රෝග ගණනාවකටම ඉක්මනින්ම ගොදුරු වෙනවා.

මොවුනට නියම වේලාවටම ආහාර සැපයිය යුතුයි. ඒ වාගේම නියම වේලාවට පශු වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි. මේ සියළු දේ නිසියාකාරව ලබා දුන්නොත් අවුරුදු 4 ක් දක්වා මොවුන්ව ජීවත් කරවිය හැකි අතර විදුරුමස් දියවීම, බ්‍රොන්කයිටීස් වැනි රෝග වලින් ගලවා තබා ගැනීම මඳක් අසීරු දෙයක්.

මදුරු මාළුවා (වසර 2)

(en.wikipedia.org)

මේ මිරිදිය හ කිවුල් දිය මත්ස්‍යයා ඇමෙරිකා එක්සත් ජනපදයට ආවේණික වූ සත්ත්වයෙක්. මොවුන් ගේ ආයු කාලය අවුරුදු දෙකක් පමණ වන අතර කිවුල් දියට වඩා ගෘහාශ්‍රිතව ඇති කරන විට වැඩි කාලයක් ජීවත් වෙනවා. ඒ වාගේම ගැහැණු සතා පිරිමි සතාට වඩා මඳක් වැඩි කාලයක් ජීවත් වෙනවා.

සාමාන්‍යයෙන් කිවුල් දියෙහි අඩු කාලයක් ජීවත් වූවත් විලෝපිකයන්ගේ මඳ කම නිසා කරදරයකින් තොරව එහි ජීවත් වෙන්නට ඔවුනට පුළුවන්.

බොදිලිමා (වසර 1)

(animalsadda.com)

විලෝපිකයෙකු වන බෝදිලිමා ජීවත් වන්නේ  කෙටි කාලයක්. උරගයන් අතරත් බෝදිලිමා වර්ග අතරත් කෙටිම ආයු කාලය ගතකරන්නන් වෙනවා. මොවුන් හමුවන්නේ මැඩගස්කරයේ නැඟෙනහිර ප්‍රදේශයේදීයි. ඉතාම වේගයෙන් සිය වර්ගයා බෝ කරන නිසා මොවුන්ගේ ජීවිත කාලය කෙටි වෙනවා.

බිත්තර කැඩී නව පරම්පරාව පැමිණෙන්නට පෙර පසුගිය පරම්පරාවේ බෝදිලිමන් සම්පූර්ණයෙන්ම පරිසර පද්ධතියෙන් ඉවත් වී යනවා. වර්ණ මාරු කිරීම තුළින් පරිසර පද්ධතියට අනුවර්තනය වීමට මොවුන්ට ඇත්තේ සුවිශේෂී හැකියාවක්. පණුවන් හා කුඩා කෘමීන් මොවුන් විසින් ආහාරයට ගන්නවා.

ගෙවල් මීයා (වසර 1)

(bbc.com)

ලෝකයේ සෑම ප්‍රදේශයකම පාහේ විසිරී සිටින මීයන් ගේ ආයු අපේක්ෂාවත් ඔබ සිතනවාට වඩා අඩුයි. සාමාන්‍යයෙන් ගෘහාශ්‍රිත මීයකුගේ ආයුෂ වසරක් පමණ වුණත් මී පාසානම් වැනි දේ හා බළලුන්ගේ ගොදුරු බවට පත් වීම නිසා ඕනෑම අවස්ථාවක ජීවිතක්ෂයට ලක් වෙන්නට පුළුවන්. මොවුනුත් ඉතාම පහසුවෙන් ජීවිතේ ඕනෑම අවධියකදී ලෙඩ රෝග වලට ගොදුරු වීමේ නැඹුරුතාවයක් දක්වන අතර ඉතාම වේගවත් ලෙස සිය වර්ගයා බෝ කරනවා.

බත්කූරා (මාස 4)

(commons.wikimedia.org)

ලොව පුරා වර්ග 5000 කට පමණ අයත් බත් කූරන් හමු වෙනවා. මොවුන්ගේ උපරිම ආයු කාලය මස 4ක් පමණයි. නමුත් ඉතාම පහසුවෙන් කටුස්සන්, ගෙම්බන්, මකුළුවන් හා පක්ෂීන්ට ගොදුරු වීම නිසා බොහෝ විට මොවුනට සිය පරමායුෂ විඳින්නට වෙන්නේ නැහැ. මීට අමතරව විවිධ  අහිතකර දේශගුණික තත්ත්ව නිසා සිය කීට අවස්ථාවෙන් මිදීමටත් මොවුනට අපහසු වෙනවා.

බත් කූරන්ට කීට අවස්ථාව සම්පූර්ණ කළ සැනින්ම හොඳින් පියාඹන්නට බැහැ. මේ නිසා පහසුවෙන්ම ඔවුන් විලෝපිකයන්ට ගොදුරු වෙනවා. මීට අමතරව ශීත දේශගුණ අනුවර්තනය වෙන්නටද ඔවුනට අපහසුයි.

ගෙමැස්සා (සති 3)

(bbc.com)

මේ සත්ත්වයාද ලෝකය පුරාම පාහේ ව්‍යාප්ත වී සිටිනවා. බොහෝ විට මිනිසාට රෝගාබාධ වැනි දේ සාදමින් විශාල බලපෑමක් සිදු කළත් මේ ගෙමැස්සෙක් ජීවත් වන්නේ සති 4 ක පමණ කුඩා කාලයක් පමණයි. ගෙමැස්සන් ගෘහාශ්‍රිතව සිටින විට ඉන් පිටතට වඩා වැඩිකල් ජීවත් වෙනවා. මේ කෙටි ජීවිත කාලය තුල ගැහැණු ගෙමැස්සා බිත්තර 1000 ක් පමණ දමනවා.

ඩ්‍රෝන කුහුඹුවා (සති 3යි)

(antark.net)

ඩ්‍රෝන කුහුඹුවන් යනු කඩියන්ගේ ජනාවාසයක පිරිමි කුහුඹුවනුයි. මොවුන්ගේ ජීවිත කාලය සති 3කට සීමා වෙනවා. මොවුන් ගත කරන්නේ හරිම අලස ජීවිතයක්. සාමාන්‍යයෙන් කුහුඹු ජනාවාසයක වැඩි වැඩ කොටස කරන්නේ ගැහැණු කුහුඹුවන්. අභිජනනය සඳහාම සෑදුණු පිරිමි කුහුඹුවන් ගැහැණු සතුන් සමඟ ලිංගිකව එකතු වූ විට ඉක්මණින්ම මිය යනවා. මේ නිසා ජීවිත කාලය කෙටි වුණත් කුහුඹුවන්ගේ ජනාවාසයක පැවැත්මට මොවුන් ඉතා වැදගත් වෙනවා.

ගැස්ට්‍රොටිච් ක්ෂුද්‍ර ජීවීන් (දින 3යි)

(increasingdisorder.wordpress.com)

මුහුදුබඩ පරිසර වල දක්නට ලැබෙන Gastrotrich ක්ෂුද්‍රජීවීන් උපරිම වශයෙන් මිලිමීටර 3ක් පමණ දිගට වැඩෙනවා. මොවුන්ගේ සම්පූර්ණ ජීවන චක්‍රය දින 3 කින් සම්පූර්ණ වෙනවා. මොවුන්ගේ දේහය විනිවිද පෙනෙන අතර උදම් සමඟ සංචරණය වෙනවා. මොවුන්ගේ සිරුරේ ඇති ඇලෙන සුළු නාළිකා වලින් විවිධ තැන් වලට සවි විය හැකියි. මොවුන් ද්වී ලිංගිකයි.

මැයි මැස්සා (පැය 24 යි)

(troutnut.com)

ලොව කෙටිම ආයු කාලය සහිත සත්ත්වයින් ලෙස මැයි මැස්සා වාර්තාගත වෙනවා. ඔවුන්ගේ ජීවිත කාලය පැය 24ක් තුළ නිම වෙන බව අහන්නත් පුදුමයි නේද? මැයි මැස්සන් වර්ග 2500ක් පමණ ලොව ජීවත් වෙනවා. සමහර මැයි මැස්සන් ඉපදී පැය කිහිපයක් ඇතුලත මිය යනවා.

මැයි මැස්සන් තම ජීවිත කාලයෙන් වැඩි කොටසක් ගෙවන්නේ ලිංගික ප්‍රජනනයටයි. තමන් ජීවත් වෙන කෙටි කාලය තුළ ඔවුන් රංචු වශයෙන් ගැවසී සිටිනු දැකිය හැකියි.

කවරයේ පින්තූරය- bluecross.org.uk

වැඩිදුර මූලාශ්‍ර – themysteriousworld.com

Related Articles