නිතර කතාබහට ලක්වෙන අරුවක්කාලු

අරුක්වකාලු කියන්නේ පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි වනගත බිම් ප්‍රදේශයක්. උතුරින් කලා ඔයෙන් ද නැගෙනහිරෙන් එළුවන්කුලම ගමෙන් ද දකුණින් සේරක්කුලිය හා බටහිරෙන් පුත්තලම කලපුවෙන් ද එය සීමා වෙනවා. මේ  වනාන්තරය 1960 දශකයේ අගභාගයේ පටන්ම පුත්තලම සිමෙන්ති කම්හලේ හුණුගල් ලබාගන්නා ප්‍රදේශය යි. එයට කොළඹ සිට දුර කි. මී. 167ක්. පසුගිය කාලයේ නිතර නිතර මේ නම මාධ්‍ය ඔස්සේ කියැවුණු අතර සමාජයේ ද කතාබහට ලක් වුණා. එයට හේතුව කොළඹ කුණු බැහැර කරන කසළ රදවනය මෙහි ඉදිකිරීමේ ව්‍යාපෘතිය නිසා යි. මෑතක දී යළිත් අරුවක්කාලු නම කරළියට ආවේ ප්‍රදේශයේ අක්කර ගණනාවක වනාන්තර හිටිගමන් අනවසරයෙන් විනාශ කිරීමේ සිද්ධියක් හේතුවෙන්.

අවුරුදු මිලියන 23ක් පැරණි පොසිල  

මයෝසීන බෙල්ලන්ගේ පොසිල – ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්ව සංරක්ෂණය සදහා ක්‍රියාකාරී සැලසුම කෘතියෙනි

ගොන්ඩ්වානාලන්තය නම් එකම මහාද්වීපයක කොටසක් වශයෙන් පැවති ලංකාව ඉන්දියාවෙන් වෙන්ව දූපතක් බවට පත්වූයේ මයෝසීන යුගයේ දී යි. සුමාත්‍රා, බෝර්නියෝ ආදී දූපත් ද ගොන්ඩ්වාලන්ත මහාද්වීපයෙන් වෙන්ව ගියා. මයෝසින යුගය අදින් වසර මිලියන 23ක සිට වසර මිලියන 5.3 දක්වා අතීතයකට අයත්. අරුවක්කාලු, මන්නාරම, යාපනය, මිනිහාගල්කන්ද (යාල) ආදී ප්‍රදේශවලින් මයෝසීන යුගයට අයත් පාෂාණ තැන්පතු වාර්තා වෙනවා. යාපනය හුණුගල ආවරණය කරමින් සංවර්ධන කටයුතු සිදුවී අවසන් නිසා එහි පොසිල  සාධක දැන් දැකගැනීම අසීරුයි. නමුත් ඒ අතරින් පැරණි පොසිල සාධක හෙළිදරව් කරන හොදම තැන්පතුව ඇත්තේ අරුවක්කාලුවල බවයි භූ විද්‍යාඥයන් පවසන්නේ.

වදවී ගිය මයෝසීන යුගයේ තල්මසෙක්- ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්ව සංරක්ෂණය සදහා ක්‍රියාකාරී සැලසුම කෘතියෙනි

එම හුණුගල් පාෂාණ අක්කර හාරදහසක වනගත භූමියක පැතිර පවතිනවා. වටිනා පුරා ජෛව විවිධත්ව සාධක සහිත මේ භූමිය ඉක්මනින් පුරාවිද්‍යා කලාපයක් බවට පත් නොකළහොත් දැනට දැකගත හැකි සාධක විනාශ වී යාමේ අවදානමක් පැන නැගී ඇති බව යි, පුරාවිද්‍යාඥයන් පවසන්නේ. සිමෙන්ති නිෂ්පාදනයට අවශ්‍ය හුණුගල් වර්ෂ පනහක් තිස්සේ අඛණ්ඩව කැණීම නිසා පුරාවිද්‍යා සාධකවලට සේම සත්ත්ව හා ශාක ප්‍රජාවට ද විශාල බලපෑමක් එල්ල වන බව පරිසරවේදීන් කියනවා.  

කැණීම් බිම සහ අවට වනාන්තර www.researchgate.net

අද අරුවක්කාලු මුහුදු මට්ටමේ සිට තරමක් උසින් පිහිටි පෙදෙසක් වුවත් මයෝසීන යුගයේ දී මුහුද තිබී ඇත්තේ ඒ ප්‍රදේශයේ. පසුව මුහුදු මට්ටම පහළ යාම නිසා  ගොඩබිමක් බවට පත් වෙලා.  දෙපියන් බෙල්ලන්, ගැස්ට්‍රොපෝඩාවන්, සාගර ඇල්ගාවන්, නාල පණුවන්, තල්මසුන්, මඩුවන්, මස්ත්‍යයන්, ඉදිබුන් හා කැස්බෑවන් ආදී මුහුදු සතුන් මෙම හුණුගල්වල පොසිල ලෙස හමුවෙනවා.  ඊට අමතරව ජල පහරින් ගෙවී ගිය ගල්, බොරළු හා වැලි තිබීමෙන් ද මිරිදිය සත්ත්ව පොසිල හමුවීමෙන්ද මයෝසීන යුගයේ දී මේ ප්‍රදේශය හරහා මිරිදිය ගංඟාවක් ද ගලාගොස් ඇති බවත් පේනවා. අද එය ගංගාවක් නැති වියළි ප්‍රදේශයක්.                                 

සිමෙන්ති හදන හුණුගල්  

හුණුගල් කැණීම් කරන ප්‍රදේශය- Kusumsiri Wijayawardhana

අරුවක්කාලු භූමියේ හුණුගල් කැණීම ඔබ මේ ලිපිය කියවන විටත් සිදුවනවා. එලෙස කැණීම් කරන හුණුගල් දුම්රිය මඟින් පුත්තලම සිමෙන්ති කම්හලට ප්‍රවාහනය කරනවා. එය මෙරට විශාලම කැණීම් ක්‍රියාවලිය බව යි පැවසෙන්නේ. මෙහි කැණීම් මුලින්ම ආරම්භ කළේ ලංකා සිමෙන්ති සංස්ථාව විසින්. වර්ෂයකට හුණුගල් මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් ඉන් නිෂ්පාදනය කරනවා. පසුව සිමෙන්ති සංස්ථාව පෞද්ගලික අංශයට පැවරූ අතර දැනට මේ භූමිය එම සමාගම විසින් නඩත්තු කරනවා. වනාන්තරය රජයට අයත් වුවත් එහි කැණීම් කිරීමේ අවස්ථාව සිමෙන්ති සමාගමට හිමියි.

හුණුගල් දුමිරිය මඟින් ප්‍රවාහනයට සූදානමින්- Kusumsiri Wijayawardhana

මුලින්ම මීටර් 30ක් ඝනකම මතුපිට රතු පස් තට්ටුව ඉවත් කරගෙන ඊට පසු හුණුගල මතුපිට ඇති වැලි මිශ්‍ර අපද්‍රව්‍ය පස් ඉවත් කරනවා. ඊට පසු මීටර 12ක් ඝනකම හුණුගල් තට්ටුව හමුවෙනවා. විදුම් යන්ත්‍රවලින් විද, පුපුරන ද්‍රව්‍ය යොදා හුණුගල පුපුරවනවා. පුපුරවා ගත් හුණුගල කඩා ගබඩා අංගනය වෙත ප්‍රවාහනය කරන්නේ ලංකාවේ භාවිත කරන විශාලතම ඩම්ප් රථ මඟින්. පසුව ගබඩා අංගනයේ සිට පුත්තලම සිමෙන්ති කම්හල වෙත දුම්රිය ගැල් මඟින් ප්‍රවාහනය කරනවා. වර්ෂයකට මෙහි නිෂ්පාදනය කෙරෙන හුණුගල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක්.

පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක හතරක්

මයෝසීන පස් ස්තර – Kusumsiri Wijayawardhana

මෙම කලාපයේ ස්ථාන හතරක් පුරා ජෛව විවිධත්ව ආරක්ෂණ කලාප ලෙස නම් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මේ වර්ෂය මුල දී හිටපු පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් විද්වතුන් කණ්ඩායමක් එහි නිරීක්ෂණය කළ අතර  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබද මූලික පියවර අරන් තිබෙනවා. අරුවක්කාලු ප්‍රදේශය පුරා ජෛව විවිධත්ව ආරක්ෂක කලාපයක් ලෙස නම් කරන ලෙස පරිසරවේදීන්, පුරාවිද්‍යාඥයන්, මාධ්‍යවේදීන් ඉල්ලීම් කරන්නේ දශකයක කාලයක සිට යි. එය ලංකාවේ සංචාරක කර්මාන්තයට ද බරපතල ආකර්ශනයක් වෙනවා.

හුණුගල් ලබාගන්නා අතරම වැදගත් ස්ථාන හතරක් පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරක ලෙස නම් කිරීමට නියමිත යි . ඒවා නම් මයෝසීන පොසිල සහ ප්ලයිස්ටොසීන රතු පස් නිධි හරස්කඩක් සහිත හුණුගල් කැණීම් කර අත්හැරි ප්‍රදේශයක්, පූර්ව ශිලා යුග මානව මෙවලම් හමුවන අලි වළ නම් ප්‍රදේශය, බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයට අයත් මැනුම් කුලුන සහිත ප්‍රදේශය, සහ සේරක්කුලියේ ශිලා මෙවලම් වළං කටු හමුවන පොල්වත්ත නම් ස්ථානය යි.

අලි වළ නම් ප්‍රාග් ඓතිහාසික බිම – Kusumsiri Wijayawardhana

අලි වළ නම් ස්ථානයට ඒ නම ලැබී තිබෙන්නේ අලි නිතරම ජලය බීමට පැමිණෙන තැනක් නිසා යි. එහි පූර්ව ශිලා යුගයේ මෙවලම් හමුවන ගොඩැලි කිහිපයක් තිබෙනවා. අවස්ථා ගණනාවක දී මේ ස්ථානයෙන් අවට මාර්ගවලට පිරවීමට බොරළු කපා තිබෙනවා. මෙහි විධිමත් පුරාවිද්‍යා කැණීමක් කළොත් ප්‍රාග් ඓතිහාසික සාධක ගැන වැදගත් තොරතුරු හමුවිය හැකි බව පුරාවිද්‍යාඥයන් පවසනවා.

පැරණි මැනුම් කුලුන – Kusumsiri Wijayawardhana

බ්‍රිතාන්‍ය යුගයේ දී භූමියේ මිනින්දෝරු කටයුතු සඳහා භාවිත කළ මැනුම් කුලුනක් මෙහි කැලය මැද තිබෙනවා. කිසිවකුගේ අවධානයෙන් තොරව පවතින එය ගඩොල් සහ සිමෙන්ති යොදා ඉදිකළ එකක්. දැනටත් මෙම පුරාණ ස්මාරකය විනාශ වෙමින් පවතින බව යි නිරීක්ෂණය කළ විට පෙනුණේ. අප රටේම ඉතිරිව පවතින්නේ මෙවැනි මැනුම් කුලුනු කිහිපයක් පමණ යි.

පරණ කොරිය නමින් හඳුන්වන හුණුගල් කඩා අත්හැර දැමූ භූමියත් තවත් වැදගත් ස්ථානයක්. එහි භූමියේ විශාල හරස්කඩක් දැකගත හැකියි. මයෝසීන යුගයේ සිට යුග ගණනාවක් නිරීක්ෂණය කිරීමට එම ස්ථානය සුදුසු යි.

අරුවක්කාලු පුරා ජෛව විවිධත්ව සංරක්ෂණ ප්‍රදේශය ගැසට් කර නම් කළ බවක් නම් තවම වාර්තා වී නැහැ. එයට අවශ්‍ය නීතිමය ආරක්ෂාව සැලසීම අත්‍යවහ්‍ය කරුණක්. එමෙන්ම භූ විද්‍යාව, භූගෝල විද්‍යාව මෙන්ම පුරා විද්‍යාව හදාරන විද්‍යාර්ථීන්ට සහ ඒ සඳහා උනන්දු වන කාටත් එම ස්ථාන ගවේශනය කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම ද අවශ්‍ය වෙනවා.

සනීපාරක්ෂක කසළ රඳවනය

කසළ අංගනය – Kusumsiri Wijayawardhana

ලොව බොහෝ රටවල කසළ බැහැර කිරීමට විද්‍යාත්මක කසළ රදවන  භාවිත කරනවා. අරුවක්කාලුවලත් පටන් ගත්තේ එවැනි කසල රඳවනයක් වුවත් එය තනා නිම කිරීමටත් පෙර විද්‍යාත්මක නොවන ක්‍රමවේදවලට අනුව කොළඹ කුණු ගෙන ගොස් දැමීම ආරම්භ කළා. මේ නිසා ප්‍රදේශවාසීන් එයට විශාල විරෝධයක්  එල්ල කළා. කුණු ගෙන යන ට්‍රක් රථවලට පාර අවහිර කළා. අවසානයේ පොලිස් ආරක්ෂාව යොදා කුණු ප්‍රවාහනය කිරීමට සිදු වුණා.

මෙම කසළ රදවනයට යන වියදම ඇ. ඩො. මිලියන 120ක්. එහි සම්පූර්ණ ඉදිකිරීම් 2021 සැප්තැම්බර් වන විට අවසන් වනු ඇතැයි පැවසෙනවා. කොළඹ සිට දුම්රිය මගින් කසළ ප්‍රවාහනයට නියමිතයි. මේ ගැන සකස් කළ පරිසර ඇගැයීම් වාර්තාවේ අවට ජනාවාස ඇති බව සදහන් නොවූවත් මෙහි සිට මීටර් 500කට ආසන්නව ගම්මාන දෙකක් පිහිටා තිබෙනවා. ඒවායේ 5000ක් දෙනා වාසය කරනවා. පරිසරවේදීන් පවසන්නේ අවට වනයේ ජීවත් වන අලිඇතුන් ඇතුළු සතුන්ටත් මෙහි කුණුවලින් අහිතකර විපාක ඇතිවිය හැකි බව යි. පසුගිය වර්ෂයේ මෙහි ගොඩනැගිල්ලක පිපිරීමක් සිදුවූ අතර එය මීතෙන් වායුව නිසා සිදුවූ බවට සමහරු අනුමාන කළා. විල්පත්තු වනෝද්‍යානයට නුදුරු ගඟේවාඩිය නම් සංචාරක ආකර්ශනය දිනූ කඩොලාන ප්‍රදේශය පිහිටා ඇත්තේ ද මෙයට තරමක් ආසන්නව යි.

Related Articles