ශ්‍රී ලංකාවේ ජනතාව අලින්, රිලවුන්, දඬුලේනුන්, කිඹුල්ලුන්, ඉත්තෑවුන්, මොණරුන්, වල් ඌරන් වැනි බොහෝ ජීවින් සමග ගැටුම්වලට මුහුණ දෙනවා. මෙහි ජීවිත හානි පවා වැඩිපුරම සිදුවන අලි-මිනිස් ගැටුම අවම කරලීම සඳහා විවිධ ක්‍රම රජය සහ විවිධ සංවිධානවලින් ගන්නා අතර, දැන් එයට තවත් විසඳුමක් වශයෙන් අලි පළවා හැරිය හැකි හඳුන්කූරු විශේෂයක් අත්හදා බලමින් පවතිනවා.

ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම බොහෝ කාලයක පටන් තිබෙන ගැටළුවක්. වන අලි ජනතාවගේ හේන් පාළු කිරීමට අමතරව, ගම් වැදීමෙන් දේපල විනාශ කිරීමෙහි ද නිරත වන නිසා කෘෂි බෝග හානි, ‍දේපල හානි පමණක් නොව, ශාරීරික හිංසාවන් සහ මානසික පීඩාවන් ද ඇති කරන්නට එය බලපානවා. සවස් භාගය වන විටම දරුවන්ට නිවෙස් තුළට වැදී බියෙන් කාලය ගත කරන්නට සිදුවන අතර මව් පියන් ද රාත්‍රියේ ඇසෙන කුඩා ශබ්දයක දී පවා බියෙන් රැය ගත කරනවා.

අලි මිනිස් ගැටුම මෙරට බොහෝ කාලයක පටන් තිබෙන ගැටළුවක් (livejournal.com)

මෙම ගැටුම්වලට හේතුව අඛණ්ඩව සිදුවන කෘෂිකාර්මික සංවර්ධනය හා, අලින් සතු චර්යාවක් වන තම මව රැ‍ඳී හැදීවැඩී වැඩිවිය එළඹුණු පසුව රංචුව හැර දමා තනිව විසීමට පෙළඹීම බව සංරක්ෂණ පර්යේෂණ සංවිධානයේ සභාපති ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු පවසනවා. තනි අලින් බෙහෙවින් ගැටුම්කාරී බව නිතර දකින්නට ලැබෙනවා.

සාමාන්‍යයෙන් අලියෙක්‌ දිනකට කි.ග්‍රෑ 150ක පමණ ආහාර ප්‍රමාණයක්‌ ගන්නා අතර දිනකට පැය 17 - 19 අතර කාලයක්‌ ඒ වෙනුවෙන් වැය කරනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ආහාර සොයාගෙන අලින් ගම් වැදීම සිදු වෙනවා. මෙසේ නිවෙස් සොයාගෙන අලින් පැමිණීම වළක්වාලීම වෙනුවෙන් සකසන ලද හඳුන්කූර මීටර් 20ක් පමණ දුරට දුම විහිදුවමින් ආරක්ෂාව සලසනවා.

අලුතින් හඳුන්වාදෙන ‘අලියා’ හඳුන්කූර

Aura සමාගම ‘අලියා’ යන නමින් හඳුන්වාදෙන මෙම නිෂ්පාදනය නිකවැරටිය හා ගල්ගමුව යන ප්‍රදේශ ආශ්‍රිතව වනජීවී නිලධාරීන් විසින් අත්හදා බලනු ලබනවා. එහි අලින් අකමැති සුවඳ වර්ග 5ක් වන ඉඟුරු, සේර, පැඟිරි, ගං‍ කොලන් (පැචෝලි), සහ පැල්මාරෝසා යන ශාකසාර අඩංගු වෙනවා. අඟල් 12ක දිගක්, මිලිමීටර් 3ක විෂ්කම්භයක් සමග සැකසූ ‘අලියා’ හඳුන්කූර පැය 5½ - 6ක් අතර අඛණ්ඩව දල්වා තබන්නට හැකි නිසා රාත්‍රී කාලය පුරාවට ජනතාවට ආරක්ෂාව සලසා ගැනීමට අවස්ථාව ලැබෙනවා.

සාමාන්‍ය හඳුන්කූරක දුම විහිදීම අවිධිමත් ආකාරයට සිදුවන නමුත් මෙම හඳුන්කූරට පොළවට සමාන්තරව තිරස්ව දුම පතුරුවාලන්නට හැකියාව තිබෙන නිසාම 20m තරම් දුරක් ආවරණය කිරීමේ හැකියාව දරනවා. 

නිකවැරටිය, තිඹිරියාව, නාවාන ප්‍රදේශවාසීන්ට හඳුන්කූරු බෙදා දෙමින්

බුද්ධි‍යේ වැඩි බවට මෙන්ම අලි ඇතුන් නම් දරන තවත් දෙයක් වන්නේ ගන්ධ සංවේදීතාව යි. තමන්ගේ රෑන සොයාගන්නට නොහැකිව තනිවූ විට අලි තම හොඬය ඉහළට ඔසවා හාත්පස තම රෑනෙන් එන ගන්ධය සඳහා පරීක්ෂා කරනවා. අලි රෑන ද ඒ ආකාරයට ම තම සගයා සොයන්නට හොඬයෙන් ඉහළ‍ වාතලය පිරික්සනවා. ඉතින් මෙහි වාසිය ඔවුන්ව පළවා හැරීමට යොදා ගන්නා‍ට මානවයා සමත් වන්නේ ‘අලියා’ හඳුන්කූර සමග යි. 

අලි වෙඩි, අලින්ට මෙන්ම වනයට පවා හානි පමුණුවන ගින්දර විසි කිරීම, හක්ක පටස් තැබීම ඇතුළු තවත් අමානුෂික ක්‍රම වෙනුවට මිනිසා, අලි, සහ ගහකොළ ඇතුළු පරිසරයට කිසිදු හානියක් නොවන සේ, පරිසර හිතකාමීව ආරක්ෂාව සලසා ගැනීමේ මෙවන් ක්‍රමවේද දැනටමත් සාර්ථක ප්‍රතිඵල පෙන්වමින් පවතින බව යි වනජීවී නිලධාරීන් පවසන්නේ.