මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

මේ දිනවල ඕස්ට්‍රේලියාවේ වනාන්තරවල පැතීරී යන ලැව්ගිනි ගැන අසා ලාංකික අපි කම්පාවට පත් වීමු. ඒ ලැව්ගිනිවලට මැදි වූ සතුන් බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් ඉදිරිපත් වූ ගිනි නිවන භටයින්ට අපි ගෞරව පුද කළෙමු. ඒ අතර, සතෙකු බේරා ගැනීමට ලැජ්ජාව මඳකට අමතක කොට තම උඩු ඇදුම් ගලවා, සතා ඒ ඇඳුමින් ඔතා අල්ලා ගෙන ගිය කාන්තාවගේ මනුස්සකම අපි අගය කළෙමු. එහෙත් මීට දින කිහිපයකට පෙර ඕස්ට්‍රේලියාවෙන් ඇසුනු පුවතක් අපේ හදවත් නැවතත් සසල කරන ලදී. ඒ නම් මේ දිනවල ඕස්ට්‍රේලියාවේ අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතී වී ඇති ජල හිඟයට විසදුමක් වශයෙන්, ජලය අධික ලෙස පරිභෝජනයට ගන්නා වල් ඔටුවන් ස්නයිපර්කරුවන් යොදවා මරා දැමීමට ගත් තීරණය යි. ඒ අනුව මේ වන විටත් ඕස්ට්‍රේලියාවේ වල් ඔටුවන් 15,000ක් පමණ මරා දමා ඇති බව වාර්තා වී ඇත. ඔටුවන් ඕස්ට්‍රේලියාවේ ආදිවාසී අබෝරිජින්වරුන්ගේ ගම්මානවලට වැදී ඔවුන්ගේ ජලය පානය කරන බවත්, එක් සතෙකු වරකට ජලය ගැලුම් 50ක් පමණ පානය කරන නිසා ආදිවාසීන්ට ජල හිඟයක් ඇතිව ඇති බවත් ඔවුන් තව දුරටත් ප්‍රකාශ කොට තිබුණා.

එමෙන්ම ඕස්ට්‍රේලියාවේ කිරි කර්මාන්තයට යොදාගන්නා කිරි එළදෙනුන්ට මේ දිනවල දී තණකොළ හිඟයක් ඇතිවී ඇති බැවින්, තණකොළ ආහාරයට ගන්නා වල් හාවුන් ලක්ෂයක් පමණ මරාදමා ඇති බවත් එම පුවතේ සංවේගයෙන් ප්‍රචාරය විය.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි/ The Economy

මෙය ලාංකික අපට හද කම්පා කරවන පුවතක් වුව ද, ඕස්ට්‍රේලියාවුන්ට නම් එතරම් අරුමයක් නොවන්නේ එම රටෙහි ඉතිහාසයේ මෙවැනි සමූහ සත්ත්ව ඝාතනයන් සිදුවී ඇති බැවින් ය. මීට වසර 10කට ඉහත කාලයේ කෘෂිකාර්මික හේතූන් මත එම රටෙහි ජාතික සත්ත්වයා ලෙස සැලකෙන කැන්ගරුවන් පවා ලක්ෂ 10කට අධික පිරිසක් මරා දමා ඇති බව මෙරට ජනමාධ්‍ය පසුගිය දා වාර්තා කළේ ය. එමෙන්ම මීට වසර 90කට පෙර ද, ඕස්ට්‍රේලියානු රජය තමන්ගේ ජාතික පක්ෂියා වන ඉමියු නම් පක්ෂියාට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළ අතර එය මහා ඉමියු සටන ලෙස ඉතිහාසයට එක් වී ඇත. ඕස්ට්‍රේලියානු හමුදාවට අන්ත පරාජයට පත් වූ එම සටනේ වගතුග හොයා බැලීම කාලෝචිත ය.

1918 දී අවසන් වූ පළමු ලෝක යුද්ධයෙන් පසු සියරට බලා පැමිනි ඕස්ට්‍රේලියානු හමුදා සෙබලුන්ට එම රජය මඟින් කෘෂිකාර්මික කටයුතු සදහා ඉඩම් ලබා දෙන ලදී. එහෙත් 1930 දශකයේ මුල බාගයේ සිදුවූ ජත්‍යන්තර වෙළදපොළේ කඩාවැටීම හේතුවෙන්, බොහෝ අය කෘෂිකර්මාන්තයෙන් ඉවත්ව නාගරික පෙදෙස්වලට සංක්‍රමණය වීමට පටන් ගත්හ. කෘෂිකර්මාන්තයේ ඉතිරිවූවන්ගේ වගාවන්ට ඕස්ට්‍රේලියාවේ ජාතික පක්‍ෂියා ලෙස සැලකෙන ඉමියු කුරුල්ලන්ගෙන් දිගින් දිගටම වගා හානි සිදුවන ලදී.

සටන ඇරඹිණි

 වැඩුණු ඉමියු පක්ෂියා සාමාන්‍යයෙන් පැස්බරෙකුට වඩා පමණක් කුඩා වන අතර මෙම සත්ත්වයාගේ විශේෂම හැකියාව නම් පැයට කිලෝමීටර 64ක තරම් වේගයෙන් දිවීමට ඇති හැකියාව යි. බටහිර ඕස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් ගැවසෙන මෙම පක්ෂීන් ඉතා ශක්තිමත් ය. ඉමියු රංචු වශයෙන් පැමිණ වගා වැටවල් කඩා දමමින් කෘෂිවගාවන්ට හානි සිදුකරන අතර, එම කැඩුණු වැටවල් හරහා හාවුන් වැනි සතුන්ගේ පැමිණීම ගොවින්ට මහත් හිසරදයක් විය. එමෙන්ම ඉමියුගේ වසුරු හේතුවෙන් කුඩා පැලවලට ද හානි සිදු වූ බවට ගොවියන්ගේ මැසිවිලි නැගිනි. මේ වනවිට බට හිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ඉමියු 20,000ක් පමණ ඇති බවට ගණන් බලා තිබිණි. 

ගොවීන් රජයට තමන්ට ඉමියු-සාවුන්ගේ ඒකාබද්ධ සන්ධානයෙන් වන හානිය සැලකර සිටි අතර, ඒ වන විටත් රජය තමන්ට ලබා දීමට පොරොන්දු වී සිටි නොයකුත් සහන ලබා නොදීම ගැන ඔවුන් රජය කෙරෙහි දැක්වූයේ එතරම් යහපත් ආකල්පයක් නොවේ. ඒ අනුව රජය මේ ගැටළුව කෘෂිකර්ම අමාත්‍යය ෆෙඩ්රික් ස්ටුවර්ඩ් වෙත ඉදිරිපත් කරන ලෙස දැන්වූවත් ගොවියන් කියා සිටියේ ඉමියු ගැටළුව යොමු කළ යුත්තේ කෘෂිකර්ම අමාත්‍යවරයාට නොව ආරක්ෂක ආමාත්‍ය ජෝර්ජ් පියර්ස් වෙත බව යි. මෙය ඉතා පහසු සටනක් මෙන්ම විවේකව සිටින සෙබළුන්ට අගනා පුහුණුවක වනු ඇති බව ආරක්ෂක ඇමතිවරයා ගොවීන් හමුවේ ප්‍රකාශ කර සිටියේ ය. 

ඉමියු පක්ෂීන්/ sporcle.com

මේ සාකච්ඡාවන්ට අනුව ඉමියු පක්ෂීන් ඝාතනය කළ යුතු බව ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියත්, ඊට දස අතින් විරෝධතාවයන් එල්ලවිය. විශේෂයෙන්ම ඉමියු ඕස්ට්‍රේලියාවේ ජාතික පක්ෂියා වීම ඊට තදින් බලපෑවේ ය. එහෙත් ආරක්ෂක අමාත්‍යවරයා කිසිදු නම්‍යශීලීභාවයක් පළකර සිටියේ නැත. දේශද්‍රෝහී ඉමියුන්ට එරෙහි මහා සංග්‍රාමය 1932 නොවැම්බර් මස ඇරඹිණි. එහිදී බටහිර ඕස්ට්‍රේලියාවේ කැම්පියන් දිස්ත්‍රික්කයේ ඉමියු ඉලක්ක කරමින් පළමු සටන ආරම්භ කරන ලදී. මැෂින් තුවක්කු සහිත සේනාංකයක් ඉමියු මර්දනයට කැඳවුව ද, ඉමියුන් කුඩා කණ්ඩායම් සෑදී පළාගිය අතර ඒ සටනින් ඕස්ට්‍රේලියානු හමුදාව පරාජයට පත්විය. මේ සටනේ පරාජයට හේතුව ඉමියුන්ට දුරින් ප්‍රහාර එල්ල වූ නිසා බව තීරණය වූ අතර, දෙවන සටනේ දී ඉමියු අසලට පැමිණෙන තුරු සිටියත් එහි ප්‍රතිඵලය ද වූයේ පළමු සටනේ ප්‍රතිඵලය යි. දෙවන සටනේ දී ජලාශයක් අසල සිටි ඉමියුන් දහසක් අතරින් ඕස්ට්‍රේලියානු හමුදාවට ඝාතනය කළ හැකිවූයේ පක්ෂීන් දොළොස් දෙනෙකු පමණි.

මේ මෙහෙයුමට සම්බන්ධවූවන්ගේ අදහස වූයේ ඉමියු වේගයෙන් දිව යන බැවින් රථයකින් ගොස් මෙම පක්ෂීන්ට වෙඩි තැබීම වඩාත් සුදුසු බව යි. ඒ අනුව මැෂින් තුවක්කු සවිකරන ලද හමුදා ට්‍රක් රථ මෙම මෙහෙයුමට සම්බන්ධ කර ගත් අතර එය ද අසාර්ථක විය. විශේෂයෙන්ම, ගොඩැලි සහිත බිම්වල ට්‍රක් රථ ගැස්සීම හේතුවෙක් ඉලක්ක ගැනීමේ අපහසුතා මෙන්ම ට්‍රක් රථ පාලනය කිරීමේ අපහසුතා ද මෙම මෙහෙයුමේ අසාර්ථකත්වයට හේතුවිය.

කිසිදු මෙහෙයුමක් සාර්ථක නොවූ තැන, ඕස්ට්‍රේලියානු රජය ඉමියු පක්ෂීන්ගෙන් වන හානිය සදහා වන්දි ගෙවීමේ ක්‍රමයක් හඳුන්වාදීමෙන් තත්ත්වය සමනයට පත් කරන ලදී. පසුව රජය ඉමියු මර්දනය සදහා ගොවියන්ට වෙඩි බෙහෙත් ලබා දුන් අතර එය තරමක් සාර්ථක ක්‍රියාමාර්ගයක් විය. 1934, 1943, 1948 දීත් ගොවියන් ඉමියු පක්ෂීන්ට එරෙහිව යුධ ආධාර ඉල්ලා සිටි අවස්ථාවන්වල දී රජය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලද නමුත් වන්දි ක්‍රමය දිගටම ක්‍රියාත්මක කරන ලදී.

අද දිනයේ ඕස්ට්‍රේලියාවේ ඉමියු පක්ෂීන් ඝාතනය නොවන නමුත්, කැන්ගරුන්, ඔටුවන් හා හාවුන් තොග වශයෙන් මරා දමනුයේ මිනිසා යනු මේ මිහිපිට තනි භුක්තිය ඇති සත්ත්වයායැ යි පූර්ව නිගමනයකට එළඹෙමින් ය. සංවර්ධනය යනු හුදෙක් මිනිසාගේ සුඛ විහරණය නොව, කූඹියාගේ සිට දැවන්ත තල්මසාගේ ජිවිතයට ද වටිනාකමක් දෙන ධරණීය සංවර්ධනය බව නූතන මිනිසා කවදා තේරුම් ගනී ද? රතු ඉන්දීය නායක සියැටල් එදා කී පණිවුඩය තේරුම් නොගත් මේ නවීන මිනිසා හෙට දිනයේ මෙවැනි විපත් තව තවත් තීව්‍රව සිදුකරනු ඇත. ඔවුන්ට එරෙහිව පරිසරය නැගී නොසිටිනු ඇත්ද?

මහා ඉමියු සංග්‍රාමය ගැන වැඩි විස්තර සඳහා කියවන්න: ඕස්ට්‍රේලියා හමුදා අන්ත පරාජයක් ලැබූ ‘මහා ඉමියු සංග්‍රාමය’