Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොබාදහමේ සොඳුරු සංසිද්ධි

රට රටවල සංචාරයේ යෙදෙන විට හමු වන වර්ණවත් වීදි චිත්‍ර සහ පැස්ටල් සිතුවම් සේ දිස් වන මනස්කාන්ත නගර දකින අයෙක්ට ලොව කොතරම් විචිත්‍රවත් ස්ථානයක් දැයි සිතෙන බවට සැකයක් නැහැ. නමුත් එවැනි සොඳුරු දසුන් අබිබවා යමින් සත්‍ය වශයෙන් ම අද්විතීය සහ මනරම් දසුන් මවා පෙන්වන්නේ සොබාදහම බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. මේ ලිපිය ජෛව සන්දීප්තියට (bioluminescence) හෝ වේවා සතුන් ලෝකයේ වාර්ෂික සංක්‍රමණ රටාවන්ට හෝ වේවා නොඑසේ නම් හුදෙක් ම පිනි වැස්සකට හෝ වේවා ස්තූතිවන්ත වන්නට සොබාදහම මිහිකතට දායද කරන සොඳුරු සංසිද්ධි කිහිපයක් ගැන යි.

මොනාක් සමනලුන්ගේ පර්යටනය (මෙක්සිකෝව)

සිසිර සෘතුවේදී කැනඩාවේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින අධික ශිතල මග හැරීමේ අරමුණෙන් මිලියන ගණනක් වන තැඹිලි-කළු පැහැති සොඳුරු මොනාක් සමනලුන් සෑම වසරක ම හේමන්ත සෘතුවේ අග බාගයේ දී (ඔක්තෝබර් මාසයේ දී පමණ) දකුණු දිගට සංක්‍රමණය වෙනවා. මෙසේ සංක්‍රමණය වන සමනලුන් බොහෝ විට සිසිර නිද්‍රාව (winter hibernation) සෘතුව ගත කරන්නේ වසර පුරා ම උණුසුම් දේශගුණයක් පවතින දකුණු දිග කැලිෆෝනියාවේ හෝ මෙක්සිකෝවේ යි.

Image Credit: © Joel Sartore

බොහෝ විට මොනාක් සමනලුන්ගේ තාවකාලික වාසස්ථානය වන්නේ හොඳින් වැඩුණු යුකැලිප්ටස් ගසක් හෝ ඔයමෙල් දේවදාර ගසක්. පුදුමයට කරුණ වන්නේ සැතපුම් 3,000 ක පමණ දුරක් ගෙවා මෙක්සිකෝව බලා පැමිණෙන මොනාක් සමනලුන් සෑම වසරක ම සිසිර නිද්‍රාව සඳහා තෝරා ගන්නේ එක ම ගස වීම යි. එසේ ම මොනාක් සමනලුන්ගේ පර්යටනය සඳහා හේතු වන්නේ සිසිර සෘතුවේ පවතින දැඩි ශීතල පමණක් ම නොව උණුසුම් පෙදෙස්වල දලඹුවන් සඳහා ආහාර බහුලවීම බව ද සත්ත්වවේදීන් පෙන්වා දෙනවා.

සමමුහුර්තක කනාමැදිරියෝ (ඇමෙරිකා එක්සත් ජනපදය)

සෑම වසරකට ම වරක් ඇමෙරිකා එක්සත් ජනපදයේ දුමාර කඳුවැටි ජාතික උද්‍යානයේ වසන සමමුහුර්තක කනාමැදිරියන් (synchronous fireflies) සොබාදහම සතු දීප්තිමත් ම ආලෝක සංදර්ශනයක් පවත්වන්නේ ඔවුන්ගේ අභිජනන ක්‍රියාවලියේ එන චාරිත්‍රමය පියවරක් ලෙස යි. සති දෙකක පමණ කාල සීමාවක් පුරා පවතින මෙම ආලෝක සංදර්ශනයන් සාමාන්‍යයෙන් මැයි මාසයේ අග බාගයේ දී හෝ ජූනි මාසය මැද දී දැක ගැනීමට ලැබෙනවා. නමුත් සමමුහුර්තක කනාමැදිරියන්ගේ අභිජනන කාල සීමාව උෂ්ණත්වය සහ පසේ පවතින තෙතමනය මත වෙනස් වන බැවින් ඔවුන්ගේ අලෝක සංදර්ශනයන් ගැන කල් තබා අනාවැකි පැවසීම අසීරු බව යි සත්ත්වවේදීන් පෙන්වා දෙන්නේ.

Image Credit: © National Park Service

එකවිට ම නිවි නිවී දැල්වෙන කනාමැදිරිය ආලෝකය බොහෝ විට කොළ පැහැයට හුරු කහ පැහැයකින් යුතු වුව ද ඇතැම් විටෙක නිල් පැහැයට හුරු ආලෝකයන් ද දැක ගැනීමට ලැබෙනවා. මේ අලෝක රටාවන් පිරිමි සහ ගැහැනු සතුන්ට ගැළපෙන සහකාරියන් හෝ සහකරුවන් හඳුනා ගැනීම සඳහා උපකාරී බව බව යි සඳහන් වන්නේ.

ටැන්‍යෝ ක්‍රිස්ටාලෙස් (කොළොම්බියාව)

Image Credit: © Mario Carvajal

ස්පාඤ්ඤ බසින් ‘ටැන්‍යෝ ක්‍රිස්ටාලෙස්’ යන වදනේ අරුත වන්නේ පළිඟු ඇළ යන්න යි. වසරේ වැඩි කලක් එය දිස් වන්නේ හරිත පැහැ දියසෙවල බැඳි බොරලු සහ පැහැදිලි දියෙන් පිරි ඇළක් ලෙස වුවත් වැසි සමය සහ වියළි සමය මැද කෙටි කාල සීමාවකට කොළොම්බියාවේ පළිඟු ඇළ නොයෙක් වර්ණයෙන්ගෙන් පිරී යනවා. එයට හේතුව ගංගා පතුලේ  වාසය කරන Macarenia clavigera නම් පැළැටි විශේෂය දීප්තිමත් රතු, කහ සහ ළා නිල් පැහැයකට හැරීම යි. සාමාන්‍යයෙන් මේ අපූරු දසුන දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ සැප්තැම්බර් – නොවැම්බර් දක්වා කාල සීමාව තුළ දී යි.

රතු කකුළු පර්යටනය (නත්තල් දූපත)

Image Credit: © Gary Tindale

ගණනින් මිලියන 50 ඉක්මවන නත්තල් දූපතේ රතු කකුළු ජනගහනය සෑම වරක ම වැසි සමය ආරම්භයේ දී (සාමාන්‍ය යෙන් ඔක්තෝබර් – නොවැම්බර් දක්වා) වනාන්තරයන් හි සිට වෙරළ තීරය දක්වා සංක්‍රමණය කරන්නේ අභිජනනයට සහ බිත්තර මුහුදට මුදා හැරීම සඳහා යි. සංක්‍රමණයන් සිදු වන කාල සීමාවන් සෑම විට ම චන්ද්‍රයාගේ බලපෑමට අනුව සිදු වන අතර රතු කකුළුවන් මුහුදට ළඟා වන්නේ ගැහැනු කකුළුවන්ට අව අටවක පෝය දිනයේ දී ඇති වන වඩදිය සමග බිත්තර දැමීමට හැකි වන ආකාරයෙන්. මෙසේ සිදු වන රතු කකුළු පර්යටනයන් දින 18 ක පමණ කාල සීමාවක් පුරා පවතින බව සඳහන් වෙනවා.

මල් පිපෙන කාන්තාරය (චිලී)

Image Credit: © Ron Thomas/Getty Images

ලොව වියළි ම කාන්තාරය වන ඇටකාමා කාන්තාරයේ මල් පිපෙන බව ඇසීම පුදුමයට කරුණක්. නමුත් වසර පහකට පමණ වරක් සුළඟේ ගසාගෙන ඇවිත් කාන්තාරයේ වැළලී ඇති මල් ඇටවලට වැසි වැටීම නිසා ‘desierto florido’ නම් ස්වභාවික සංසිද්ධිය ඇති වීමෙන් කාන්තාරයේ මල් හට ගැනීම සිදු වෙනවා. පසු ගිය වසරේ දී ඇටකාමා කාන්තාරයේ මල් වර්ග 200 කට අධික ප්‍රමාණයක් දැක ගැනීමට ලැබුණු බව සඳහන්. සාමාන්‍යයෙන් මෙවැනි සංසිද්ධියක් දැක ගැනීමට ලැබෙන්නේ වර්ෂාව අධික ව ලැබෙන වසරක සැප්තැම්බර් – නොවැම්බර් දක්වා කාල සීමාවේ දී යි.

කොරල් වැවීම (ඕස්ට්‍රේලියාව)

Image Credit: © Look/Alamy Stock Photo

ඕස්ට්‍රේලියාව සතු සොඳුරු ම ස්වභාවික පුදුමයක් ලෙස මහා බාධක පරය හැඳින්වීමේ වරදක් නැහැ. නමුත් මහා බාධක පරය සතු ව පවතින තවත් අපූරු සංසිද්ධියක් තමයි වාර්ෂික කොරල් වැවීමේ ක්‍රියාවලිය (coral spawning). බොහෝ විට කොරල් වැවීම සිදු වන්නේ හේමන්ත සෘතුවේ පසළොස්වක දිනයට සතියකට පමණ පසු ව යි. සාමාන්‍යයෙන් දිය යට සිදු වන හිම කුණාටුවකට සම කරන කොරල් වැවීමේ ක්‍රියාවලියේ දී මහා බාධක පරය මතුපිට​ ජලයේ පාවෙන ළා රෝස හෝ සුදු පැහැ කොරල් කැබලි දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

තොයමා බොක්කේ දිදුලන දැල්ලන් (ජපානය)

Image Credit: © Atlas Obscura

මාර්තු – ජූනි දක්වා වන කාල සීමාවේ දී පාන්දර 3 ට පමණ ජපානයේ තොයමා බොක්ක සම්පූර්ණයෙන් ම දීප්තිමත් නිල් පැහැයෙන් බැබළීමට පටන් ගන්නේ කුඩා විදුලි බුබුළු දහස් ගණනක් දල්වා ඇති සේයාවක් පෙන්නුම් කරමින්. නමුත් මේ සොඳුරු දසුනට හේතු වන්නේ විදුලි බුබුළු නොව තොයමා බොක්කට එක්රැස් වන දහස් ගණනක් වූ කනාමැදිරි දැල්ලන්. සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේ වාසය කරන කනාමැදිරි දැල්ලන්, වසන්ත ඍතුවේ අග බාගයේ දී ආහාර පිණිස කුඩා මසුන් සොයාගෙන වෙරළ ආසන්නයට පැමිණෙනවා. නමුත් ඇතැම් සත්ත්වවේදීන් විශ්වාස කරන්නේ කනාමැදිරි දැල්ලන් මෙසේ වෙරළ තීරයට පැමිණෙන්නේ අභිජනනයට සහ තොයමා බොක්කේ බිත්තර දැමීම සඳහා බව යි.

කවරයේ පින්තූරය : © Hiroki Ishikuro

Related Articles