Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම පක්ෂීන්

ලෝකයේ විවිධාකාරයේ සතුන් ජීවත් වෙනවා. ඔවුන් විවිධ දේවලින් එකිනෙකට වෙනස් වෙනවා. එක් ජීවී විශේෂයක් වැලි කැටයක ප්‍රමාණය වන විට තවත් ජීවියෙක් කුඩා නිවසක් තරම් විශාල වෙනවා.

කුරුළු ලොව සලකන කල්හීත් විවිධ ප්‍රමාණයේ පක්ෂීන් අපට හමුවනවා. මේ සටහන ලොව විශාලතම පක්ෂී විශේෂයන් කිහිපයක් ගැන යි.

පැස්බරා

marylandzoo.org

පැස්බරා ලොව වෙසෙන විශාලතම පක්ෂියා යි. හොඳින් වැඩුණු පැස්බරෙකු කිලෝග්‍රෑම් 150ක පමණ බරකින් යුක්ත වන අතර උපරිම වශයෙන් අඩි 6ක් පමණ උසකට වැඩෙනවා. පැස්බරාට වේගයෙන් දිවිය හැකි අතර ඔවුන් ලොව වේගයෙන්ම දිවිය හැකි පක්ෂී විශේෂය ද වෙනවා. ඔවුන්ට පැයට කි.මී 70ක පමණ වේගයකට ළඟා වෙන්නට පිළිවන්. එමෙන්ම විශාලතම බිජුව දමන පක්ෂි විශේෂය වන්නේත් පැස්බරා යි.

පියෑඹීමට නොහැකි මේ පක්ෂීන් සර්ව භක්ෂක යි. ඔවුන් සාමාන්‍යයෙන් විවිධ ඇට වර්ග, පැළෑටි, මල් හා කුඩා කෘමීන් වැනි දේ ආහාරයට ගන්නවා. මීට අමතරව ආහාර අඹරාගැනීම සඳහා කුඩා ගල් කැබලිත් සිය මුඛයේ රුවාගන්නවා. අප්‍රිකාවේ සොබාවික පරිසරයේ ජීවත් වන පැස්බරුන් හට දින කිහිපයක් වුවත් ජලය නොමැතිව විසිය හැකියි. ආක්‍රමණශීලී විශේෂයක් වන පැස්බරුන් කණ්ඩායම්ගත වී සතුරාට පහර දෙනවා. පැස්බරුන් වසරකට බිත්තර 60ක් පමණ දමන අතර බිත්තරයක් සාමන්‍යයෙන් අඟල් 5.1ක විෂ්කම්භයක් හා කිලෝග්‍රෑම් 1.4ක බරක් දරනවා.

සදර්න් කැසවරි

australianwildlifejourneys.com

මේ පක්ෂීන් වර්ගය ඉන්දුනීසියාවේ හා ඕස්ට්‍රේලියාවේ වැසි වනාන්තරවලට ආවේණික යි. කැසවරි ලොව දෙවනුවට විශාලතම පක්ෂියා ලෙස යි සැලකෙන්නේ. මේ විශාල, කළු පැහැති පක්ෂියාට ද පියෑඹීමේ හැකියාවක් නොමැති අතර අඩි 5.1ක සාමාන්‍ය උසක් දරනවා. හොඳින් වැඩුණු මේ විශේෂයේ සත්ත්වයෙක් කිලෝග්‍රෑම් 75 සිට 80 දක්වා බරකින් යුතු වෙනවා.

මේ පක්ෂීන්ට ද වේගයෙන් දිවිය හැකි අතර පැයට කි. මී. 48ක පමණ වේගයෙන් දිවිය හැකියි. සර්වභක්ෂකයින් වන මොවුන් කෘමීන්, කුඩා පැළෑටි, දිලීර වර්ග වැනි දේ ආහාරයට ගන්නවා. ගිම්හාන කාලයේ දී මේ විශේෂයේ ගැහැණු සතෙක් බිත්තර 8 සිට 10 අතර ප්‍රමාණයක් දමනවා. පිරිමි සත්ත්වයා එය දින 50කට වැඩි කාලයක් රැකීම සිදුකරනවා.

ඉමියු

australianmuseum.net.au

ඕස්ට්‍රේලියාවට ආවේණික ඉමියු එරට ජීවත් වන විශාලතම පක්ෂියෙක් වෙනවා. අඩි 6ක් පමණ උස් වන මොවුන් කිලෝග්‍රෑම් 60ක පමණ බරකින් යුක්ත යි. මොවුන් ඕස්ට්‍රේලියාව පුරා ඇති වනාන්තර ආශ්‍රිතව හමුවනවා. ඉමියු සත්ත්වයින් ද සර්ව භක්ෂක වන අතර පැළෑටි, ධාන්‍ය, පලතුරු, කටුස්සන් සහ කෘමීන් මත යැපෙනවා. පැස්බරුන්ට සමීප බන්ධුතාවක් දක්වන මොවුන් ද ආහාර අඹරාගැනීමට ගල් කැබලි යොදාගන්නවා.

පියෑඹීමට නොහැකි මේ සතුන්ට වේගයෙන් දිවිය හැකියි. මොවුන්ට ළඟාවිය හැකි උපරිම වේගය පැයට කි.මී 50ක් පමණ වෙනවා. ග්‍රීෂ්මයේ දී මේ විශේෂයේ ගැහැණු හා පිරිමි සතුන් ජෝඩු වන අතර ශීත කාලයේ දී ගැහැණු සත්ත්වයා තද කොළ පැහැති බිත්තර 8-10 අතර ප්‍රමාණයක් දමනවා. මේ බිජුවක් රාත්තලක පමණ බරකින් යුක්ත වෙනවා.

වරක් ඉමියු සතුන්ට එරෙහිව ඕස්ට්‍රේලියානු රජය “මහා සංග්‍රාමයක්” ද දියත් කළ බව ඔබ දන්නවා ද?

එම්පරර් පෙන්ගුයින්

coolantarctica.com

එම්පරර් පෙන්ගුයින් ලොව වෙසෙන විශාලතම මෙන්ම බරැතිම පෙන්ගුයින් විශේෂය වෙනවා. මේ වර්ගයේ පෙන්ගුයින් සත්ත්වයෙක් අඩි 3යි අඟල් 9ක් පමණ සාමාන්‍ය උසකින් යුක්ත වන අතර, කිලෝග්‍රෑම් 45ක පමණ බරකින් යුක්ත වෙනවා. ඇන්ටාක්ටිකාවේ දී පමණක් හමුවන මොවුන් හට ආහාර සොයාගැනීම සඳහා කිලෝමීටර 80ක් පමණ ඇවිද යා හැකි අතර අඩි 1500ක් පමණ දිය යටට කිමිදිය හැකියි.

මේ විශේෂයේ පිරිම් සතුන්, ගැහැණු සතුන් විසින් ලන බිජුවල වගකීම් භාරගන්නා අතර මාස 2ක පමණ බිජු රකින කාලය තුළ එම පිරිමි සත්ත්වයා කිසිදු ආහාරයක් ලබාගන්නේ නැහැ. මේ කාලය තුළ ගැහැණු සත්ත්වයා ආහාර සොයා ඔබමොබ යනවා. මේ කාලයේ ගන්නා ආහාර ඇය විසින් වමාරා සිය පැටවුන්ට කවනවා.

ග්‍රේටර් රීයා

Michael Todd/ ebird.org

පියෑඹීමට නොහැකි පක්ෂී විශේෂයක් වන මේ වර්ගයේ සතුන් දකුණු ඇමෙරිකාවේ වෙසෙන විශාලතම පක්ෂියා වෙනවා. මොවුන් අඩි 4.1 සිට 4.5ක් දක්වා දිගට වැඩෙනවා. මේ වර්ගයේ හොඳින් වැඩුණු සත්ත්වයෙකුගේ සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 27ක් පමණ වෙනවා. විශාල පියාපත් යුගලයක් දැරුව ද, මොවුන්ට පියෑඹීමේ හැකියාවක් නැහැ. එනමුත් භූමිය මත දිවීමේ දී ක්ෂණිකව දිශාව මාරුකර ගන්නට ඔවුනට එය උපකාරී වෙනවා.

ග්‍රේටර් රීයා සතුන් සාමාන්‍යයෙන් හමුවන්නේ තෘණබිම් හා තෙත්බිම්වල යි. මාංශ භක්ෂකයින් වන මොවුන් කෘමි සතුන්, කටුස්සන් හා කුඩා පක්ෂීන් ආහාරයට ගන්නවා. මොවුන්ට පැස්බරුන් මෙන් දිගු, ශක්තිමත් දෙපා යුග්මයක් පිහිටනවා. මේවා ඔවුන්ට අනතුරුවලින් ආරක්ෂා වන්නට උපකාරී වෙනවා. මේ වර්ගයේ ගැහැණු සතෙකු තනි කැදැල්ලක බිත්තර 50ක් පමණ දමනවා.

කෝරි බස්ටර්ඩ්

nationalzoo.si.edu

මේ වර්ගයේ සතුන් සැලකෙන්නේ ලොව ජීවත් වන පියෑඹීමේ හැකියාව දරන විශාලතම පක්ෂියා ලෙස යි. අප්‍රිකා මහාද්වීපයට ආවේණික මේ වර්ගයේ සතුන්ගේ පිරිමි සතුන් ගැහැනු පක්ෂියාට වඩා දෙගුණයකින් පමණ බරින් වැඩි යි. අඩි 4ක පමණ දිගින් යුතු මේ පක්ෂියෙක් සම්පූර්ණයෙන් පියාපත් විහිදාහළ විට ඒවායේ එක් කොණක සිට අනෙක් කොණට දිග අඩි 9ක් පමණ වනවා.

සර්ව භක්ෂකයින් වන කෝරි බස්ටර්ඩ් පක්ෂීන් සාමාන්‍යයෙන් කටුස්සන්, හූනන්, සර්පයින්, ධාන්‍ය වර්ග, බෙරි වර්ග වැනි දේ ආහාරයට ගන්නවා. මේ පක්ෂි වර්ගයේ තවත් විශේෂයක් වන්නේ ඔවුන් ජලය පානය කරන්නේ උරා බීමෙන් වීම යි. පියසැරීමේ හැකියාව දැරුව ද, ඔවුන් වැඩිපුරම කාලය ගතකරන්නේ භූමිය මත යි. විශේෂයෙන් භූමිය මත ඔබමොබ ඇවිදිමින් කුඩා කෘමි සතුන්, පණුවන් සොයා ආහාරයට ගැනීමට මොවුන් විශේෂ ලැදියාවක් දක්වනවා.

කවරයේ පින්තූරය -inverse.com

Related Articles