Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව විශාලතම කෘමීන්

ලෝකයේ කෘමි විශේෂ රාශියක් ජීවත් වෙනවා. ඔවුන් විවිධ ලක්ෂණවලින් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. මින් යමෙකුට පියාසර කිරීමේ හැකියාව තිබෙන අතර තවත් සමහරෙක් සංචරණය කරන්නේ බඩගෑම මඟිනුයි. දැනට අනුමාන කර ඇති අන්දමට ලොව කෘමි විශේෂයන් ලක්ෂ ගණනක් ජීවත් වන අතර ඉන් සමහරක් තවමත් මිනිසා හඳුනාගෙන නැහැ.

ලොව නන් දෙසින් හමුවන කෘමි විශේෂ අතුරින් සමහරෙක් ඇසට පෙනෙන නොපෙනෙන තරම් කුඩා වන අතර තවත් සමහරෙක් ඉතා විශාල වෙනවා. මේ සටහන ලොව මෙතෙක් හඳුනාගෙන තිබෙන ප්‍රමාණයෙන් විශාලතම කෘමි විශේෂ කිහිපය පිළිබඳව යි.

මහා දර කෝටුවා (Giant Stick Bug)

China Xinhua News/Twitter

ලොව දැනට හඳුනාගෙන තිබෙන කෘමි විශේෂ අතුරින් දිගින් වැඩිම කෘමීන් හමුවන්නේ මේ ජීවීන් අයත් විශේෂයෙනුයි. ඔවුන්ගේ ශරීරය ඉතා සිහින්, දිගැටි කෝටුවක් මෙන් අනුවර්ථනය වී ඇත්තේ සිය සතුරන්ගේ ඇසෙන් අතුපතර පහසුවෙන් සැඟවී සිටීම සඳහා යි.

මේ විශේෂයට අයත් සතුන්ගේ දිගින් වැඩිම උපවිශේෂය හමුවෙන්නේ ගිනිකොණදිග ආසියාවෙනුයි. ඔවුන් අඩි දෙකක් පමණ දිගකට වැඩෙනවා. මේ සමහර සතුන්ට සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා, ඉතා තද ගන්ධයක් සහිත රසායන ද්‍රව්‍යයක් සිය ශරීරයෙන් පිටකරන්නට පුළුවන්. කෙසේ නමුත් මොවුන්ගෙන් මිනිසාට කිසිදු කරදරයක් සිදුවන්නේ නැහැ. සමහරු මොවුන් සුරතලයටත් සාදාගන්නවා.

Giant Weta

Youtube

නවසීලන්තයට ආවේණික කෘමි විශේෂයක් වන මේ සතුන් රැහැයියන්ට ඉතා සමීප බන්ධුතාවයක් දක්වනවා. මේ වර්ගයේ සතෙක් සම්පූර්ණයෙන් වැඩුණු විට ග්‍රෑම් 70කට වඩා බරින් වැඩි විය හැකියි. මේ අනුව ඔවුන් ලොව හමුවන බරින් වැඩිම කෘමි වර්ග කිහිපය අතරට ඇතුළත් වෙනවා.

මේ වර්ගයේ සතුන් ද දිගින් යම් පමණකට වැඩිවන අතර සාම්පූර්ණයෙන් වැඩුණු සතෙක්ගේ ශරීරයේ බඳ කොටස පමණක් අඟල් 4ක් පමණ දිගු යි. මොවුන් සතුව දිගු පාද හා ග්‍රාහිකා ද තිබෙනවා.

ගොලායත් කුරුමිණියා

Youtube

ඉතා විශාල පළල් ශරීරයක් ඇති ගොලායත් කුරුමිණියන් ශරීර ප්‍රමාණය සැලකීමේ දී ලොව විශාලතම කෘමී වර්ග කිහිපය අතරට පහසුවෙන් ගැණෙනවා. අප්‍රිකා මහාද්වීපයට පමණක් ආවේණික මොවුන් අඟල් 4ක් පමණ දිගට වැඩෙන අතර උපරිම වශයෙන් ග්‍රෑම් 100ක් තරම් බරකින් යුක්ත විය හැකියි.

සොබාවික පරිසරවල වෙසෙන විට මේ වර්ගයේ කුරුමිණියන් බොහෝ කොටම සැලකෙන්නේ ශාක භක්ෂකයින් ලෙස යි. කෙසේ නමුත් මොවුන් අල්ලා ඇතිදැඩි කරන විට ප්‍රෝටීන සහිත සත්ත්ව ආහාරවලටත් යම් ප්‍රියතාවයක් දක්වන බැව් සොයාගෙන තිබෙනවා. මොවුන් විවිධ පර්යේෂණ කටයුතු සඳහා විද්‍යාගාරවල ඇතිදැඩි කිරීම සිදුකරන විට බොහෝ කොටම මොවුනට සුනඛයින්ට හා බිළාලයින්ට දෙන ප්‍රෝටීනමය ආහාර ද ලබා දෙනවා.

ඇට්ලස් සලබයා

Vladimir Sazonov/Shutterstock

මැලේසියානු දූපත් සමූහය තුළ බහුලව හමුවන මේ වර්ගයේ සලබයින් පක්ෂියෙකු තරම් විශාල වන අවස්ථා තිබෙනවා. මේ විශේෂයට අයත් සලබයින් ලොව විශාලතම සලබයින් වර්ගය ලෙස නම් කොට තිබෙනවා. මොවුන්ගේ පිළා අවධියේ ජීවත් වන කෝෂයනුත් ඉතා විශාල යි. ඒවා කෙතරම් විශාල ද යත් තායිවානයේ සමහරෙක් එය පසුම්බියක් ලෙසත් භාවිතා කරනවා.

මේ වර්ගයේ සම්පූර්ණයෙන් වැඩුණු සතෙක් සිය පියාපත් සම්පූර්ණයෙන්ම විදාහළ විට ඒවායේ වර්ගඵලය වර්ග අඟල් 60ක් පමණ වෙනවා. මොවුන්ගේ එක් පියාපතක කොණක සිට අනෙක් පියාපතේ කොණ දක්වා දිග අඩියක් පමණ වෙනවා. මේ වර්ගයේ සලබයින්ගේ කීට අවස්ථාව හෙවත් දළඹුවන් සමහර විටෙක අඟලකටත් වඩා ඝණකමකින් යුක්ත යි.

දිවිමකුළු බඹරා (Tarantula Hawk)

Alan Schmierer

මේ වර්ගයේ සතුන් ප්‍රමාණයෙන් විශාල වන අතර ඔවුන් සතු සුවිශේෂී හැකියාවක් වන්නේ දිවිමකුළුවන් ජීවග්‍රහයෙන් අල්ලාගෙන අනතුරුව කෙමෙන් කෙමෙන් ඔවුන් ආහාරයට ගැනීමේ හැකියාව යි.

සිය ගොදුරු අල්ලාගැනීම සඳහාම මේ වර්ගයේ කෘමීන් ගේ පාද දේ විකසනය වී තිබෙනවා. මොවුන්ගේ පාද අග කොකු වැනි දේ පිහිටා ඇති අතර මෙමඟින් ඔවුනට සිය ගොදුර අල්ලගෙන, එය හසුරවාගැනීම පහසු වෙනවා. මොවුන්ගේ දෂ්ඨනය ද ලොව වේදනාකාරීම කෘමි දෂ්ඨනයක් ලෙස සැලකෙනවා. කෙසේ නමුත් මොවුන් සාමාන්‍යයෙන් අහේතුකව මිනිසාට උපද්‍රව කිරීමට පැමිණෙන්නේ නැහැ.

ගුල් සාදන යෝධ කැරපොත්තා

abc.net.au

රයිනෝසිරස් කැරපොත්තා නමින් ද හඳුන්වන මේ කැරපොතු වර්ගය ලොව බරැතිම කැරපොතු වර්ගය යි.

අනෙකුත් කැරපොතු විශේෂ බොහොමයකට මෙන් නොව මේ විශේෂයට අයත් කෘමීන් හට පියාපත් පිහිටන්නේ නැහැ. මොවුන් ජීවත්වන පරිසර පද්ධතියේ පැවැත්මට මහඟු දායකත්වයක් සපයන මොවුන් දිරාපත් වූ ශාක පත්‍ර වැනි දේ ආහාරයට ගෙන ඉක්මණින්ම පෝෂකවලට බිඳ දමනවා. එමෙන්ම මොවුන් පළිබෝධකයක් ලෙස ද මෙතෙක් හඳුනාගෙන නැහැ. එනයින් මොවුන් සැලකෙන්නේ මිනිසාට හිතකර කෘමි විශේෂයක් ලෙස යි.

මේ වර්ගයේ කෘමීන් හමුවන්නේ ඕස්ට්‍රේලියාවෙනුයි. මොවුන් අඟල් 3ක් පමණ දිගට වැඩෙන අතර වසර 10ක පමණ කාලයක් ජීවත් වෙනවා. සමහරක් දෙනා මොවුන් සුරතල් සතුන් ලෙස ඇතිදැඩි කළ අවස්ථා ද වාර්තා වී තිබෙනවා.

ටයිටන් කුරුමිණියා

dailynewsdig.com

ඇමසන් වැසි වනාන්තරය සැලකෙන්නේ ලොව වැඩිම ජෛව විවිධත්වයක් උසුළන බිම්කඩ ලෙස යි. මෙහි විශාල කුරුමිණි වර්ග රාශියක් ජීවත් වෙනවා. මේ අතරින් මෙතෙක් හඳුනාගෙන ඇති විශාලතම කුරුමිණි වර්ගය ලෙස සැලකෙන්නේ ටයිටන් කුරුමිණියා යි. ඉතා ශක්තිමත් බාහු හා මුඛ උපාංග පිහිටා ඇති මොවුනට ඉතා පහසුවෙන් පැන්සලක් වැනි යමක් දෙකඩ කරන්නට පුළුවන්. මොවුන් මිනිස් සම ද සිදුරු කර ඇති අවස්ථා වාර්තා වී තිබෙනව.

මොවුන් හට ඉතා අලංකාර, කාලවර්ණ ශරීරයක් පිහිටා තිබෙනවා. මේ නිසා මොවුනට සංචාරකයින්ගේ හා ඡායාරූප ශිල්පීන්ගේ අවධානය හා ආකර්ෂණය ලැබී තිබෙනවා. මේ නිසා දකුණු ඇමෙරිකාවේ සමහර ආයතන සිය ප්‍රවර්ධන කටයුතු සඳහා මේ කුරුමිණියන්ගේ පින්තූර යොදාගන්නවා. මේ වර්ගයේ කුරුමිණියන් සතුරන්ට ඉළක්ක වූ විට ආරක්ෂාව සඳහා උස් හඬක් නගනවා.

කවරයේ පින්තූරය- bedroomfurniture.club

Related Articles