Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඇමසන් වනය රකින කොලොම්බියානු ආදිවාසියෝ

ලොව විශාලත ම වැසි වනාන්තරය ලෙසින් සැලකෙන ඇමසන් වනාන්තරය දකුණු අමෙරිකා මහාද්වීපයේ ඇමසන් ද්‍රෝණියේ වැඩි කොටසක් වසාගෙන පැතිරී තිබෙනවා. බ්‍රසීලය, පේරු, සූරිනාමය, බොලිවියාව, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, ගයනාව, සහ  ප්‍රංශ ගයනාව යන රටවල්වලට එහි  කොටස් අයිති වෙනවා.

ඇමසන් වනාන්තරය – foundtheworld.com

මෙම මහා වනාන්තරයෙන් 7.1%ක කොටසක් කොලොම්බියාව ආශ්‍රිත ව පිහිටා තිබෙනවා. එරට ආදිවාසී ජන කොටස් වැඩි වශයෙන් එම ප්‍රදේශවල ජීවත් වෙනවා. ඔවුන් එම වනාන්තර ප්‍රදේශ රැක ගැනීම සඳහා දිගු කාලයක සිට ඇපකැප වී වැඩ කරනවා. මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ කොලොම්බියාවේ වනාන්තර ප්‍රදේශ ආරක්ෂා කරන කොලොම්බියානු ආදිවාසීන් ගැන තොරතුරු යි. 

කොලොම්බියානු ඇමසන් වනාන්තර පද්ධතිය

ඇමසන් වනාන්තරයෙන් වර්ග කිලෝමීටර් ලක්ෂ 4.95ක බිම් ප්‍රමාණයක් කොලොම්බියාව ආශ්‍රිත ව පිහිටා තිබෙනවා. කොලොම්බියානු ඇමසන් වනාන්තර ප්‍රදේශවලින් වැඩි කොටසක් තවමත් ගවේෂණය කර නොමැති බව පැවසෙනවා. ඒ එම ප්‍රදේශවලට ළඟා වීමට තිබෙන අපහසුකම නිසා යි. කොලොම්බියාවේ Amazonas, Vapues, Caqueta, Guiana, Guaviare, Pitumayo යන කලාප හය තුළ ඇමසන් වනාන්තර ප්‍රදේශ පිහිටා තිබෙනවා. කොලොම්බියාවේ නිරිත, දකුණු සහ ගිනිකොන ප්‍රදේශ ඇමසන් වනාන්තරයට මායිම් වී තිබෙනවා. 

කොලොම්බියාවේ සිතියම – Wikimedia.org

 

මෙම වනාන්තර ප්‍රදේශවල ජගුවාර්, විෂ ඩාට් ගෙම්බන්, ඇනකොන්ඩා, විදුලි ආඳා මත්ස්‍යයන්, බුලට් කුහුඹුවන්, හාර්පි ඊගල්, ඔටර්, පිරන්හා වැනි සත්ත්ව විශේෂ ජීවත් වෙනවා. බ්‍රොමෙලියඩ්, තල්, එෆිපයිට්, ලිලී, ඕකිඩ්, මීවන වැනි ශාක විශේෂත් කොලොම්බියානු ඇමසන් වනාන්තර පද්ධතිය තුළ බහුල ව දැකගන්නට පුළුවන්. ලොව දුර්ලභ ඖෂධීය ශාක විශේෂ රැසක් පිහිටා තිබෙන මෙම පරිසර පද්ධතිය කොලොම්බියාව සතු වටිනා ම වස්තුවක් ලෙසින් සැලකෙනවා. 

ඇමසන් හිදී හමුවන විෂ ඩාට් ගෙම්බන් – Pinterest.com

 

කොලොම්බියානු ඇමසන් වනාන්තරවල ජීවත් වන ආදිවාසීහු  

ටිකුනා, යගුආ සහ කොකානා වැනි ආදිවාසී ජන වර්ග කිහිපයක් කොලොම්බියානු ඇමසන් වනාන්තර ප්‍රදේශවල ජීවත් වෙනවා. එම ප්‍රදේශ හරහා සුප්‍රකට ඇමසන් ගංගාව ද ගලා බසිනවා. කොලොම්බියානු ආදිවාසීන් සිය නිවාස තනා තිබෙන්නේ  ඇමසන් ගංගාවට සමීප බිම් ප්‍රදේශවල යි. ඒ එම ප්‍රදේශවල ජීවත් වන ආදිවාසීන් වැඩි වශයෙන් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වන නිසා යි.

මෙම ප්‍රදේශවල ජීවත් වන ආදිවාසී ජනයා විවිධ මාසවල දී විචිත්‍රවත් සැණකෙළි සහ උත්සව පවත්වමින් විනෝද වෙනවා. ඔවුන් සංවිධානය කරන ප්‍රධාන උත්සව සහ සැණකෙළි අතරට ඇමසන් මත්ස්‍ය ප්‍රදර්ශනය, මොකෝවා සැණකෙළිය, Pirarucu de oro උත්සවය වැනි ඒවා අයත්. 

මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ජනතාව – nytimes.com

 

කොලොම්බියානු ඇමසන් වනාන්තරවල ජීවත් වන ආදිවාසීන්ගේ ජීවිතය පරිසරය සමඟ බද්ධ ව පවතිනවා. වනාන්තරය සමඟ ගැටෙමින් ජීවත් වන එම ජනතාව එහි තිබෙන ස්වභාවික සම්පත් පරිභෝජනය කරමින් සිය ජීවන අරගලය ඉදිරියට ගෙන යනවා. ඔවුන් වසර දහස් ගණනක සිට වනාන්තරයේ තිබෙන සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගෙන සිය ජීවිත ගැට ගසා ගත්තා.

 වර්තමානය වන විට එම ආදිවාසී මිනිසුන්ගේ ජීවිතවල පැවැත්මට තර්ජන එල්ල වී තිබෙනවා. ඒ විවිධ ජාවාරම්කරුවන් සිදු කරන වන විනාශය නිසා යි. ගෙවුණු කාලයේ දී කොලොම්බියානු ඇමසන් වනාන්තර පද්ධතිය ආශ්‍රිත ව එවැනි සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වුණා. 

 ඇමසන් වනාන්තර පද්ධතිය විනාශ වන විධි

කොලොම්බියාව යන නම ඇසුණු සැනින් අපගේ මතකයට එන්නේ කොකේන් නම් මත්ද්‍රව්‍ය යි. කොකේන් නිෂ්පාදනය කිරීම සඳහා භාවිතා කරන කොකා නම් ශාකය කොලොම්බියාව තුළ බහුල ව වගා කරනවා. ඒ සඳහා ඇමසන් වනාන්තර ප්‍රදේශ එළිපෙහෙළි කිරීමත් සුලබ ව සිදුවෙනවා. එරට කොකේන් ජාවාරම්කරුවන්ට අසීමිත බලයක් තිබෙන නිසා ඔවුන්ට වනාන්තර  රිසි සේ එළිපෙහෙළ කරමින් කොකා වගාව කරගෙන යාමට හැකි ව තිබෙනවා. 

කොකා ශාකය – bbc.com

 

කොලොම්බියාව ආශ්‍රිත ව රන්, රිදී, නිකල්, කොබෝල්ට්, මැණික්, දියමන්ති ඇතුළු තවත් බොහෝ ඛණිජ වර්ග දක්නට ලැබෙනවා. කොලොම්බියානු ඇමසන් වනාන්තර ප්‍රදේශවල එම ඛණිජ වර්ග නිස්සාරණය කරන පතල් රැසක් පිහිටා තිබෙනවා. එවැනි පතල් පවත්වාගෙන යාමේ දී අවට වනාන්තර ප්‍රදේශ විනාශයට පත්වෙනවා.

ඒවායේ සේවය කරන බොහෝ කම්කරුවන් ගස් කැපීම, වනාන්තර ගිනි තැබීම, සතුන් දඩයම් කිරීම වැනි ක්‍රියාකාරකම් හරහා මෙම මහා විනාශයට දායක වෙනවා. එපමණක් නොව පතල් කැණීමේ දී රසදිය භාවිත කරන නිසා ගංගා ජලය දූෂණය වෙනවා.

කොලොම්බියාවේ පතල් කැණීම සිදුවන ආකාරය – aljazeera.com

 

ඇමසන් වනාන්තර ප්‍රදේශවල පස සාරවත් බවින් වැඩි නිසා ඇතැම් ගොවීන් එම ප්‍රදේශ භෝග වගාව සඳහා යොදා ගන්නවා. එහි දී ඔවුන්  වනාන්තර අනවසරයෙන් ප්‍රදේශ එළිපෙහෙළි කරමින් ඒවා වගා කටයුතු සඳහා යොදා ගන්නවා. සත්ත්ව පාලනය සඳහා ද ඒ අයුරින්  එළිපෙහෙළි කළ ඉඩම් භාවිතයට ගන්නවා. එම ප්‍රදේශවල ජීවත්වන ගොවීන්ගේ ආත්මාර්ථකාමී වැඩ පිළිවෙළ නිසා කොලොම්බියානු ඇමසන් වනාන්තර ප්‍රදේශ රැසක් විනාශයට පත්ව තිබීම කනගාටුදායක තත්ත්වයක්. 

වනාන්තරය විනාශ කර තිබෙන ආකාරය – reuters.com

 

ෆාක් ගරිල්ලා සංවිධානය දශක ගණනාවක සිට කොලොම්බියාවේ වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව සැඟවී සිටිනවා. ඔවුන් සිය වාසස්ථාන සෑදීම සඳහා වනාන්තර ප්‍රදේශ එළිපෙහෙළි කරනවා. එහි දී ඔවුන් වටිනා ගස් වර්ග කපා දමා ඒවායේ දැවැන්ත කඳන් භාවිතයෙන් සිය ආරක්ෂිත බළකොටු නිර්මාණය කරනවා.

කොලොම්බියානු ඇමසන් වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව දැව ජාවාරම ද මහා පරිමාණයෙන් සිදුවෙනවා. ඒ සඳහා කොලොම්බියාවේ ඉහළ පෙළේ පුද්ගලයන්ගේ ආශිර්වාදය නොමඳ ව ලැබෙනවා. දැව ජාවාරම නිසා වසරකට වනාන්තර හෙක්ටයාර ලක්ෂ 2ක්  පමණ විනාශයට පත් වන බව වාර්තාවල දැක්වෙනවා.

ෆාක් ගරිල්ලෝ – time.com

 

වනය රැක ගන්න ආදිවාසීන් වෙහෙසෙන අයුරු

ඇමසන් වනාන්තර ප්‍රදේශ ආශ්‍රිත ව ජීවත් වන කොලොම්බියානු ආදිවාසී ජනතාව වැඩි වශයෙන් මිරිදිය ධීවර කර්මාන්තයේ නිරත වන බව මෙම ලිපියේ ඉහත දී සඳහන් කළා. ඇමසන් ගංගාව ආශ්‍රිත ව මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන බොහෝ පිරිස් වැඩි මත්ස්‍ය අස්වැන්නක් ලබා ගැනීම සඳහා ඩයිනමයිට් භාවිත කරනවා. එය ජලජ ජීවින්ගේ පැවැත්මට විශාල තර්ජනයක්.

 එමඟින් පරිසරයට සිදුවන හානිය සුළුපටු නැහැ. කොලොම්බියානු ආදිවාසී ජනතාව සාම්ප්‍රදායික ක්‍රම අනුගමනය කරමින්මිරිදිය ධීවර කර්මාන්තයේ  තවමත් නිරත වෙනවා. එවැනි ක්‍රම භාවිතයෙන් වැඩි මත්ස්‍ය අස්වැන්නක් නොලැබුණත් පරිසරයට අවම හානියක් සිදුවන බව ඔවුන් පවසනවා. 

ඩයිනමයිට් භාවිතා කරමින් මසුන් ඇල්ලීම – twitter.com

 

කොලොම්බියානු ආදිවාසී ජනතාව සත්ත්ව පාලනය සිදුකරමින් සැලකිය යුතු තරම් ආදායමක් ලබාගන්නවා. ඔවුන් ගවයන් ඇති කරන්නේ නැහැ. ඒ පිළිබඳ අදහස් දක්වන එම ජනතාව පවසා සිටින්නේ ගවයන් වනාන්තර තුළ තිබෙන තණකොළ සහ කුඩා ශාක ආහාරයට ගැනීම හේතුවෙන් යටි රෝපණය දුර්වල වන බව යි.

එපමණක් ද නොව උන්ගේ කුර නිසා ද පස බුරුල් වීම සිදුවෙනවා. එනිසා වර්ෂා කාලයට පාංශු ඛාදනය වැඩි වශයෙන් සිදුවන බව ඔවුන් පවසනවා. ඒ නිසා වනාන්තරය රැක ගැනීම උදෙසා ඔවුන් ගව පාලනය සිදු කරන්නේ නැහැ. 

වනාන්තර ආශ්‍රිත ව සිටින ගව රංචු  – unsplash.com

 

මෙම ආදිවාසී ජනයා ජීවත් වන ප්‍රදේශවල ශාක සංරක්ෂණය කිරීම සඳහා නීතිරීති මාලාවක් ක්‍රියාත්මක වෙනවා. එය ආදිවාසී ගෝත්‍රික ප්‍රජාව එකතු වී සම්මත කර ගත් නීතිරීති මාලාවක්. ඔවුන් ජීවත් වන ප්‍රදේශ තුළ තිබෙන වටිනා ශාක රැසක් කපා දැමීමට නීතියෙන් තහනම් කර තිබෙනවා.

වෙනත් ගසක් කපා දැමීමට වුණත් ආදිවාසී නායකයාගෙන් විශේෂ අවසරයක් ගත යුතු යි. කපා දමන ගස් වෙනුවට අලුතින් පැළ සිටුවීමට අදාළ පුද්ගලයා වග බලා ගත යුතු යි. ඒ අයුරින් ක්‍රියාත්මක වන නීතිරීති මාලාව නිසා කොලොම්බියානු ආදිවාසීන් ජීවත් වන ප්‍රදේශවල වනාන්තර පද්ධතිය සුරක්ෂිත වී තිබෙනවා. 

වනාන්තරයේ වගා කරන ආදිවාසී ජනයා – returntonow.net

 

වනය රකින්න එක්සත් ජාතීන්ගෙන් ලැබෙන දිරිය 

හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සඳහා විවිධ රටවල්වලට ආධාර දෙන වැඩසටහනක් එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ ක්‍රියාත්මක වෙනවා. එම වැඩසටහන  REDD+ යන නමින් හැඳින්වෙනවා. ඒ යටතේ කොලොම්බියාවට අමෙරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් ලබාදුන්නේ මීට වසර 2කට පමණ පෙර යි.

රිකාඩෝ ලොසානෝ එම අවධියේ දී කොලොම්බියාවේ පරිසර අමාත්‍යවරයා ලෙසින් කටයුතු කළා. ඔහු කොලොම්බියනු ආදිවාසී ප්‍රජාව සම්බන්ධ කරගෙන ආධාර ලෙස හිමි වුණු  මුදල වනාන්තර සංරක්ෂණය කිරීම සඳහා යොදා ගත හැකි ආකාරය ගැන සාකච්ඡා කළා. 

රිකාඩෝ ලොසානෝ- congresocienciasambientalesrcfa.org

 

ඉදිරි දශකය තුළ කොලොම්බියානු ඇමසන් වනාන්තර ප්‍රදේශ සංරක්ෂණය කරමින් රටේ වන වැස්ම වැඩි කරගැනීම කොලොම්බියානු රජයේ අරමුණ යි. කොලොම්බියානු ආදිවාසී ජනයා වසර දහස් ගණනක සිට ඇමසන් වනාන්තර බිම් ප්‍රදේශ ආරක්ෂා කරමින් ජීවත් වෙනවා.

එනිසා ඔවුන්ට වනාන්තරය ආරක්ෂා කර ගත හැකි ආකාරය පිළිබඳ ව මනා වැටහීමක් තිබෙනවා. මෙම වැඩසටහන සඳහා ආදිවාසීන් සම්බන්ධ කරගැනීමට ප්‍රධාන හේතුව එය බව කොලොම්බියානු පරිසර අමාත්‍ය පරිසර ලොසානෝ වරෙක පවසා තිබුණා.

කොලොම්බියානු ආදිවාසී පිරිස් – news.trust.org

 

ආදිවාසී ජනතාවගේ එක ම අරමුණ 

කොලොම්බියානු ඇමසන් වනාන්තර පද්ධතිය සිය රටේ තිබෙන වටිනා උරුමයක් බව එහි ජීවත් වන ආදිවාසීන් පවසනවා. ඔවුන්ගේ මුතුන්මිත්තන් වසර දහස් ගණනක් තිස්සේ දිවිහිමියෙන් එය රැකගත් බව ආදිවාසී පිරිස පෙන්වා දෙනවා. අද  වන විට විවිධ ජාවාරම්කරුවන් මෙම වනාන්තර පද්ධතියට සිදුකරමින් සිටින විනාශය පිළිබඳව ඔවුන් කනගාටුවෙන් පසුවෙනවා.

එම විනාශය දිගින් දිගට ම සිදුවුණොත් කොලොම්බියානු ඇමසන් වනාන්තර පද්ධතියේ අනාගත පරපුරට අහිමි වනු ඇතැයි යන බිය ආදිවාසීන්ගේ සිත්වල පවතිනවා. මෙම වනාන්තර පද්ධතිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරීම කොලොම්බියානු ආදිවාසී ජනතාවගේ එකම අරමුණ බවට පත් ව තිබෙනවා.

කවරයේ ඡායාරූපය- වනාන්තරයේ සැරිසරන ආදිවාසී ජනයා- gettyimages.com

මූලාශ්‍ර:

news.trust.org

news.mongabay.com

globaltimes.cn

undp.shorthandstories.com r

euters.com weforum.org

globalcitizen.org

Related Articles