ගොඩ ක්‍රමයෙන් කොම්පෝස්ට් පොහොර සාදන්නේ මෙහෙමයි

පසුගිය වසර ආරම්භයේ සිට අප රට තුළ පැතිරී ගිය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකුට සිය නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට සිදුවුණා. ඇතැම් උදවිය ඒ අතරතුර සිය නිවසේ විවිධ බෝග වර්ග වගාකරන ආකාරයත් අපට දකින්නට ලැබුණා. එහි දී වගාවන් සඳහා රසායනික පොහොර යොදනවාට වඩා කොම්පෝස්ට් පොහොර යෙදීම පිළිබඳව විශාල පිරිසකගේ අවධානය යොමුව තිබුණා.

ඉතින් අද ලිපියෙන් අපි කතා කරන්නේ කොම්පෝස්ට් ගැන. 

කොම්පෝස්ට් පොහොර පිළිබඳව කෙටියෙන් 

කොම්පෝස්ට් නිෂ්පාදනය කියන්නේ ක්ෂුද්‍ර ජීවීන්ගේ මාර්ගයෙන් ශාක කොටස් හා සත්ත්ව අපද්‍රව්‍ය දිරාපත්වීමට සලස්වා, එයින් හියුමස් වැනි සරල කාබනික ද්‍රව්‍ය නිපදවගැනීම යි. මෙම පොහොර වාණිජමය වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොර ලෙසින් සලකනු ලබනවා. 

කොම්පෝස්ට් පොහොර නිපදවීම හේතුවෙන් අප අවට පරිසරය පිරිසිදු වනවා. විශේෂයෙන්ම නාගරික පරිසරයක දී මෙය අපද්‍රව්‍ය කළමනාකරණයට බෙහෙවින් උපකාරී වන බව අමුතුවෙන් කිවයුතු නැහැ. එමනිසා අපද්‍රව්‍ය ක්‍රමවත්ව කළමනාකරණය කරන ක්‍රමවේදයක් ලෙසින් ද කොම්පෝස්ට් නිෂ්පාදනය හැඳින්විය හැකියි.

කොම්පෝස්ට් පොහොර සාදන ප්‍රධාන ක්‍රම 

කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීම සඳහා විවිධ ක්‍රම අනුගමනය කරනවා. ඒ සඳහා භාවිතා කරන ක්‍රම 4ක් පහත දක්වා තිබෙනවා.

1) ගොඩ ක්‍රමය 

2) බැරල් ක්‍රමය 

3) වල ක්‍රමය 

4) කෝටු රාමු ක්‍රමය 

ඉහත දක්වා තිබෙන ක්‍රම අතුරින් පහසුවෙන්ම කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා ගොඩ ක්‍රමය භාවිතා කළ හැකියි. 

ගොඩ ක්‍රමයේ දී අනුගමනය කළ යුතු පියවර 

ගොඩ ක්‍රමය මඟින් කොම්පෝස්ට් සෑදීමේ දී සැලකිලිමත් වියයුතු පියවර කීපයක් තිබෙනවා.

1) කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සුදුසු ස්ථානයක් තෝරා ගැනීම 

2) තෝරාගත් ස්ථානය පොහොර නිෂ්පාදනයට උචිත වන ආකාරයට සකස් කර ගැනීම 

3) පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය එකතු කර ගැනීම 

4) එකතු කරගත් අමුද්‍රව්‍ය තට්ටු ආකාරයට තැන්පත් කිරීම 

5) තට්ටු ආකාරයට තැන්පත් කර කොම්පෝස්ට් පොහොර ගොඩ සකස් කර ගැනීම 

6) දිරාපත් කිරීම ඉක්මන් කිරීමට පිළියම් යෙදීම 

7) පොහොර ගොඩේ තෙතමනය පරීක්ෂා කිරීම 

8) පොහොර ගොඩ ආවරණය කිරීම 

9) පොහොර ගොඩ පෙරළීම 

10) නිෂ්පාදනය කළ පොහොරවල තෙතමනය පරීක්ෂා කිරීම 

කොම්පෝස්ට් පොහොර ගොඩක් (Magnolia Landscaping)

පොහොර සෑදීමට සුදුසු ස්ථානයක් තෝරා ගැනීම 

ගොඩ ක්‍රමය භාවිතා කරමින් කොම්පෝස්ට් පොහොර සාදාගැනීම සඳහා අමුද්‍රව්‍ය පහසුවෙන් සපයාගත හැකි ස්ථානයක් තෝරාගත යුතු යි. එසේම එය අමුද්‍රව්‍ය සහ නිපදවන කොම්පෝස්ට් පහසුවෙන් ප්‍රවාහනය කළ හැකි ස්ථානයක් විය යුතු යි. තව ද, එය ජලයෙන් යට නොවන ප්‍රදේශයක් විය යුතු යි. 

ඊට අමතරව එම භූමි ප්‍රදේශය ආසන්නයේ නිවාස, ළිං, හෝ ජල ප්‍රභව පිහිටා නොතිබෙන බවට ද වගබලාගන්න.

පොහොර නිපදවන ස්ථානය සකස් කර ගැනීම 

සුදුසු බිමක් තෝරාගැනීමෙන් පසුව එය පොහොර නිෂ්පාදනය සඳහා උචිත අයුරින් සකස් කළ යුතු යි. එහි දී මුලින්ම භූමිය පිරිසිදු කරගත යුතු වෙනවා. ඉන්පසුව ගල් කැට ඉවත් කර පොළව මට්ටම් කළ යුතු යි. භූමිය මතුපිට පස බුරුල් නම් එය හොඳින් තලාගත යුතු යි. වතුර හොඳින් බැසයාම සඳහා කාණු පද්ධතිය සකස් කිරීම ද වැදගත්. 

භාවිතා කරන අමුද්‍රව්‍ය 

කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීම සඳහා පහත සඳහන් කර තිබෙන ද්‍රව්‍ය භාවිතා කළ හැකියි. 

1) ඔබ ප්‍රදේශයේ සුලබවම දැකිය හැකි කොළ වර්ග, තණකොළ වර්ග, ජලජ වල් පැලෑටි සහ බෝග අවශේෂ 

2) පහසුවෙන් සපයාගත හැකි සත්ත්ව අපද්‍රව්‍ය 

3) නිපදවාගත් කොම්පෝස්ට් ස්වල්පයක් (මුහුන් ලෙස යෙදීම සඳහා- මෙහි දී අමුද්‍රව්‍ය කිලෝ 1000කට මුහුන් කිලෝ 20ක් පමණ යෙදිය යුතු යි)

4) එප්පාවල රොක් පොස්පේට් පොහොර (අමුද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1000කට රොක් පොස්පේට් කිලෝ ග්‍රෑම් 50ක් පමණ යෙදිය යුතුයි)

5) අමුද්‍රව්‍ය තෙමීම සඳහා ජලය 

6) පොහොර ගොඩ වැසීමට කළු ඉටි රෙද්දක් 

නිෂ්පාදන ක්‍රියාවලිය 

මුලින්ම නිපදවීමට බලාපොරොත්තු වන කොම්පෝස්ට් පොහොර ගොඩේ සැලැස්මක් කෝටුවකින් බිම  ඇඳගත යුතු යි. සාදාගන්නා පොහොර ගොඩේ ප්‍රමාණය තීරණය කරන්නේ සපයාගෙන තිබෙන අමුද්‍රව්‍ය සුලබතාවය අනුව යි. එහි දී අමුද්‍රව්‍ය බහුලව ඇත්නම් උපරිම දිග අඩි 14-15ක් සහ උපරිම පළල අඩි 5-6 පමණ ප්‍රදේශයක් සලකුණු කර ගත යුතු යි. එසේ නැත්නම් කුඩා ගොඩවල් සකස් කරගත යුතු යි. ඉන්පසුව කොළ අපද්‍රව්‍ය සහ සත්ත්ව පොහොර අපද්‍රව්‍ය යොදාගනිමින් තට්ටු සකසාගත යුතු යි. එහි දී කොළ හෝ කොළ අතු යටම තට්ටුව ලෙස යෙදීමෙන් පතුලේ ජලය එකතු වීම වලක්වාගත හැකියි. 

එලෙස සකස් කරන ලද තට්ටු එකතු වී කොම්පෝස්ට් පොහොර ගොඩ සෑදෙනවා. සාමාන්‍යයෙන් ගොඩ සෑදීමේ දී සෑම තට්ටු 2-3කට වරක්ම මුහුන් ඉසීම සිදුකළ යුතු යි. එසේම තට්ටු 3-4කට වරක් රොක් පොස්පේට් ඉසීම සිදුකළ යුතු යි. තව ද ශාක අමුද්‍රව්‍ය තට්ටු 2-3කට වරක් සත්ත්ව අපද්‍රව්‍ය තට්ටුවක් දැමිය යුතු යි. මෙම පොහොර ගොඩේ තිබෙන දිරාපත් වීමට අපහසු අමුද්‍රව්‍ය (වියළි කොළ, පිදුරු, ලී කුඩු වැනි දේවල් ) තට්ටුවක් ලෙස තැන්පත් කළ පසු ඊට උඩින් සත්ත්ව පොහොර තට්ටුවක් හෝ මුහුන් යෙදීම මඟින් දිරාපත් වීම ඉක්මන් කරගත හැකියි.  

වසා දැමුණු කොම්පෝස්ට් පොහොර ගොඩක් (Tech logic.lk)

ආවරණය කිරීම සහ තෙතමනය පරීක්ෂා කිරීම 

කොළ පැහැති කොළවල තෙතමනය පවතින නිසා ඒවා ඉක්මනින්ම දිරාපත් වනවා. නමුත් වියළි කොළ හෝ වියළි සත්ත්ව පොහොර භාවිතා කරන විට අවශ්‍ය පමණය ජලය යෙදිය යුතු යි. එසේම තට්ටු එකතු වීමෙන් කොම්පෝස්ට් පොහොර ගොඩ සෑදුණු පසුව අවශ්‍ය පමණට ජලය එකතු කළ යුතු යි. 

නිපදවාගත් පොහොර ගොඩට වාතය ඇතුල් වීමට ඉඩ තබා, කළු පොලිතීන්, වියාගත් පොල් අතු හෝ පොලිසැක් බෑග් මඟින් වසා තබන්න. පොළව මට්ටමේ සිට අඟල් 6-12ක් පමණ උසකින් ආවරණය පවත්වා ගැනීමෙන් පොහොර ගොඩට වාතය ඇතුල්වීම හා පිටවීම සිදුවෙයි. එලෙස පොහොර ගොඩට හොඳින් වාතාශ්‍රය ලැබුණු විට දිරාපත්වීම ඉක්මනින් සිදුවෙයි. 

පොහොර ගොඩ ආවරණය කර දින 6-7ක් ගතවුණු පසුව වැස්ම ඉවත් කර උල් කරගත් ලීයක් ගොඩ තුළට ඇතුල් කර පසුව එය පිටතට ගෙන ලීයේ කෙළවර අතගා බැලීමෙන් පොහොර ගොඩේ තෙතමනය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකියි. එහි දී පොහොර ගොඩේ තෙතමනය අඩු වී තිබුණොත් ලීයක් මඟින් ගොඩේ මතුපිට සිදුරු කීපයක් සාදා ජලය යෙදිය යුතු යි. ඉන් පසුව නැවතත් පොහොර ගොඩ වසා තැබිය යුතුයි. මෙවැනි පොහොර ගොඩක මුල්ම පෙරළීම සිදුවන්නේ මාසයකට පසුව යි. එම කාල සීමාව තුළ සෑම සතියකට වරක්ම තෙතමනය පරීක්ෂා කළ යුතු යි. ප්‍රමාණවත් තරම් තෙතමනයක් නැත්නම් ජලය යෙදිය යුතු යි. 

පොහොර ගොඩ පෙරළීම 

නිපදවාගත් පොහොර ගොඩ විවිධ කාල සීමාවල දී තුන් වරක් පෙරළිය යුතු යි. පහත දක්වා තිබෙන්නේ එම එක් එක් වාරයේ දී පොහොර ගොඩ පෙරළන ආකාරය යි. 

  • පළමු පෙරළීම

*මාසයකට පමණ පසුව ආවරණය ඉවත් කර ගොඩ හොඳින් පෙරළිය යුතු යි. 

*එහි දී දිරූ නොදිරූ කොටස් හොඳින් කලවම් වන සේ පෙරලීම සිදුකළ යුතු යි. 

*ගොඩ පෙරලීමේ දී මුහුන් ඉසීම සිදුකර හොඳින් කලවම් කළ  යුතු යි .

එමඟින් මුහුන් ගොඩේ සියළුම ප්‍රදේශවලට මිශ්‍රවීම සිදුවෙයි. 

පළමු පෙරලීම සිදුකිරීමෙන් පසු පෙර සඳහන් කළ පරිදි නැවත වැසූ ගොඩ දින 6 – 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදිය යුතු යි.

  • දෙවන පෙරළීම

*ගොඩ නිපදවීමෙන් මාස 2 කට පමණ පසු නැතහොත් පළමු පෙරළීමෙන් මාසයකට පමණ පසු ආවරණය ඉවත් කර දෙවන පෙරළීම සිදු කරයි. 

*මෙම පෙරළීම ද පළමු පෙරළීම මෙන් සිදු කරනු ලබයි. අවශ්‍ය නම් ජලය යෙදීම ද සිදු කළ යුතු යි.

*එහි දී ද මුහුන් එකතු කර කලවම් කිරීම සිදුකළ යුතු යි.

*දෙවන පෙරළීමෙන් පසුව ද ගොඩ ආවරණය කර තැබිය යුතු යි.

ඉන් පසුව ද දින 6 – 7 කට වරක් තෙතමනය පරීක්ෂා කර බලා අවශ්‍ය නම් ජලය යෙදීම සිදුකළ යුතු යි.

  • තුන්වන පෙරළීම 

*ගොඩ නිපදවීමෙන් මාස 3 කට පසුව නැතහොත් දෙවැනි පෙරළීමෙන් මාසයකට පමණ පසුව තුන්වන පෙරළීම සිදුකරයි. 

*මෙම පෙරළීම ද පළමු හා දෙවන පෙරළීම මෙන් සිදු කර නැවතත් ගොඩ සකස් කර වසා තබනු ලබයි.

*මේ අවස්ථාව වන විට බොහෝ අමුද්‍රව්‍ය දිරාපත් වී ඇති අතර, නිෂ්පාදනය වුණු කොම්පෝස්ට් අවශ්‍ය අවස්ථාවක පාවිච්චියට ගත හැකියි. 

*තුන්වන පෙරළීමෙන් පසුව ගොඩ සම්පූර්ණයෙන් වසා තැබීම වඩාත් යෝග්‍ය යි. ඒ කොම්පෝස්ට් ගොඩේ කෘමීන් බිත්තර දැමීම වලක්වා ගැනීම සඳහා යි. 

කොම්පෝස්ට් ගොඩක් උපරිම ලෙස තුන් වරක් පෙරළීම ප්‍රමාණවත්. වාණිජ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේ දී මෙලෙස නිපදවාගත් පොහොර මි.මී 4ක පමණ දැලකින් හලාගැනීමෙන් පසුව වෙළඳපොලට ඉදිරිපත් කළ හැකියි. එසේ හලාගත් පසුව දැලේ ඉතිරිවන නොදිරූ රළු කොටස් නැවත කොම්පෝස්ට් ගොඩකට එක්කර අමුද්‍රව්‍ය ලෙස භාවිතා කළ හැකියි. 

කොම්පෝස්ට් පොහොර ගොඩක් (Youtube)

නිෂ්පාදනය කළ පොහොරවල තෙතමනය පරීක්ෂා කිරීම 

නිෂ්පාදනය කළ පොහොරවල තෙතමනය පරීක්ෂා කිරීමේ දී මුලින්ම කොම්පෝස්ට් පොහොර ස්වල්පයක් අතට ගෙන හොඳින් මිරිකීම සිදුකළ යුතු යි. එහි දී ඇඟිලි අතරින් ජල බිංදු පිටවන්නේ නම් කොම්පෝස්ට් පොහොර මිශ්‍රණයේ තෙතමනය වැඩි බව නිගමනය කළ හැකියි. එසේ කිරීමේ දී ජලය පිට නොවී දුර්වල තත්ත්වයේ පහසුවෙන් කැඩෙන කොම්පෝස්ට් ගුලියක් සේ නිර්මාණය වන්නේ නම් එහි ප්‍රශස්ත තෙත්මනයක් පවතින බව නිගමනය කළ හැකියි. නමුත් වාණිජ වශයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ දී රසායනාගාරයකින් එහි තෙතමනය නිවැරදිව පරීක්ෂා කරගත යුතු යි. 

කවරයේ ඡායාරූපය- කොම්පෝස්ට් පොහොර එක් කර සෑදූ පැළයක් (Fast News)

Related Articles