Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පැඟිරි සුවදැති විලවුන් නිපදවන මුහුදු කුරුල්ලෝ

සුදෝසුදු දිය රැලි නංවන නිල්වන් සාගරය කොතරම් සුන්දර වුවත් ඇතැම් විටෙක මුහුදු සුළඟේ රැඳී එන පිළී ගඳ ඉවසන්න අමාරු යි. ආහාර පිණිස මසුන් සොයා මුහුදේ කිමිදෙන පක්ෂීන් ගැවසෙන ස්ථාන ආසන්නයේ දී දරා ගැනීමට අපහසු මෙවැනි ගන්ධයන් සෑම දෙනෙක් ම පාහේ ආඝ්‍රාණය කර ඇති බවට සැකයක් නැහැ. නමුත් මුහුදු පක්ෂීන් නිරන්තරයෙන් ම ගැවෙසන ස්ථානයක දී රට දෙහි (ලෙමන්) හෝ ජමනාරං වැනි පැඟිරි සුවඳක් ආඝ්‍රාණයට කරන්නට ලැබීම ඇත්තෙන් ම පුදුම සහගත කාරණාවක්.

එහෙත් පලතුරු ගසක් නොවැවෙන හිමෙන් වැසුණු ඇලස්කා මහද්වීපයට අයත් ෂුමාජින් දූපත් හරහා හමා යන මද පවන නිරතුරු ව ම නැවුම් පැඟිරි සුවඳින් පිරී පවතින බව වාර්තා වෙනවා. කුඩා දූපත් 20 කින් සැදි ෂුමාජින් දූපත් සමූහය, මුහුදු පක්ෂි විශේෂ රැසකගේ වාසස්ථානයක්. එසේ නිරන්තරයෙන් ම මුහුදු පක්ෂීන් ගැවසෙන ෂුමාජින් දූපත් හරහා හමා යන සුළඟ, පැඟිරි සුවඳින් පිරී යාමේ වගකීම පැවරෙන්නේ කිරුළැති ඌක්ලට් (Crested Auklet) නම් මුහුදු පක්ෂි විශේෂයට බව යි ඔක්ස්ෆර්ඩ් සරසවි මුද්‍රණාලය මගින් ප්‍රකාශයට පත් කරන ‘Behavioral Ecology’ ජ’නලයේ සඳහන් වන්නේ.   

© John Oates

පර්යේෂකයින් පෙන්වා දෙන ආකාරයට කිරුළැති ඌක්ලට් කුරුල්ලන් මෙසේ පැඟිරි සුවඳක් නිෂ්පාදනය කිරීමේ අරමුණ කිරිල්ලියන් ආකර්ෂණය කර ගැනීම යි.  කුරුල්ලා සතු කිරුළේ ප්‍රමාණය සහ පැඟිරි සුවඳේ ප්‍රබලතාවය ඉහළ යන විට ඔහුට හිමි වන ආකර්ෂණය ඉහළ යන බව පර්යේෂකයින් තව දුරටත් සඳහන් කර තිබෙනවා. කිරුළැති ඌක්ලට් කුරුල්ලන්ට උපතින් හිමි නොවන කිරුළ මනා ව වර්ධනය කර ගැනීම සඳහා සැලකිය යුතු තරම් ශරීර ශක්තියක් අවැසි වන අතර කිරුළ නිර්මාණය කිරීම සිදු කරන්නේ හිස මුදුනේ ඇති පිහාටු ඉදිරියට බොකුටු කිරීම මගින්. ඒ අනුව කිරුළ විශාල වන තරමට එහි හිමිකාරයා ශක්තිවන්තයෙකු බව යි කිරිල්ලියන්ගේ විශ්වාසය වන්නේ.

නමුත් කිරුළේ ප්‍රමාණයට අමතර ව කිරිල්ලියන් ව ආකර්ෂණය කර ගැනීම සඳහා කුරුල්ලන් විසින් තවත් උපක්‍රමයක් භාවිතා කරන බව උපකල්පනය කළ විද්‍යාඥයින් ඒ ඔස්සේ පර්යේෂණයන් ඉදිරියට මෙහෙයවා ඇති අතර ඔවුන්ගේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ කිරුළැති ඌක්ලට් කුරුල්ලන් වෙතින් නිරතුරු ව ම හමන පැඟිරි සුවඳ කුමක් ද යන්න සොයා බැලීම යි.  

© Pinterest

මග හැරිය නොහැකි ආකර්ෂණීය සුවඳක්

කිරුළැති ඌක්ලට් කුරුල්ලන් වෙතින් හමන පැඟිරි සුවඳ පිළිබඳ ව අරඹන ලද පර්යේෂණයන් හි මූලිකත්වය හිමි වුණේ සාගර ජීව විද්‍යාඥයෙකු වූ ආචාර්ය හෙක්ටර් ඩී. ඩග්ලස් වෙත යි. ඒ අනුව පර්යේෂණයන් හි මුල් පියවර ලෙස ෂුමාජින් දූපත් ආශ්‍රිත ව වාසය කරන ලද කිරුළැති ඌක්ලට් කුරුල්ලන් දුසිම් කිහිපයක් අල්ලා ගෙන ඔවුන් සතු සුවඳේ ප්‍රබලතාවය මැනීම සඳහා තනි තනි ව විශේෂිත කුටියක් වෙත යොමු කර තිබෙනවා. ඉන් අනතුරු ව පිරිසිදු වායු ධාරාවක් කුරුල්ලාගේ සිරුර වටා ගමන් කරවමින් ඔහු වෙතින් නිකුත් වන පැඟිරි සුවඳ නිෂ්පාදනය කරන වාෂ්පශීලී අණු එකතු කර එය වැඩිදුර විශ්ලේෂණය සඳහා යොමු කරන ලද අතර එම විශ්ලේෂණ වාර්තා මගින් හෙළිදරව් වී ඇත්තේ පැඟිරි පලතුරු තුළ මෙන් ම ලෝක ප්‍රකට සුවඳ විලවුන් වර්ග රාශියක ඇතුළත් ‘ඇල්ඩිහඩ්’ නම් කාබනික සංයෝග එහි අන්තර්ගත වන බව යි.

© Purplle

අල්ලා ගන්නා ලද පක්ෂීන් නැවත මුදා හැරීමට පෙර ආචාර්ය හෙක්ටර් ඩී. ඩග්ලස්, ‘කෝටිකොස්ටෙරෝන්’ නම් ආතති ප්‍රතිචාර හෝමෝනය යොදාගෙන ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා මට්ටම ගණනය කර තිබෙනවා. එයින් අනාවරණය වී ඇත්තේ හෝමෝන නිෂ්පාදනය වේගවත් වන විට කිරුළැති ඌක්ලට් කුරුල්ලන්ගේ ශරීර ශක්තිය ඉහළ යන බව යි. එසේ ම ශරීර ශක්තියෙන් වැඩි කුරුල්ලන්ට වඩාත් විශාල කිරුළක් වර්ධනය කළ හැකි බව ද කිරුළේ ප්‍රමාණය විශාල වන විට ඔවුන්ගේ සිරුර තුළ ස්වභාවික ව නිෂ්පාදනය වන පැඟිරි සුවඳැති විලවුන් ප්‍රමාණය ඉහළ යන බව ද පර්යේෂකයින් නිරීක්ෂණය කර තිබෙනවා.

රහසිගත විලවුන් වට්ටෝරුවක්

කිරුළැති ඌක්ලට් කුරුල්ලන් විසින් නිෂ්පාදනය කරන පැඟිරි සුවඳැති විලවුන් පිළිබඳ ව තොරතුරු හෙළි කර ගැනීමට පර්යේෂකයින් සමත් වුව ද එය සිදු කරන්නේ කෙසේ දැයි අනාවරණය කර ගැනීමට තවමත් ඔවුන් සමත් වී නැහැ. ආචාර්ය හෙක්ටර් ඩී. ඩග්ලස් සඳහන් කරන්නේ එය පරිමාණයේ අතුරු ඵලයක් විය හැකි බව යි. එසේ ම පර්යේෂණ වාර්තාවේ ඔහු තව දුරටත් සඳහන් කර ඇත්තේ කුරුල්ලන් විසින් නිපද වන පැඟිරි සුවඳැති විලවුන්, කිරිල්ලියන් ව ආකර්ෂණය කර ගන්නවා පමණක් නොව කුරුල්ලන් ව නිරෝගී ව තැබීම සඳහා ද උපකාරී වන බව යි.

© Doug Sonerholm

ඒ අනුව කිරුළැති ඌක්ලට් කුරුල්ලන් විසින් නිපද වන පැඟිරි සුවඳැති විලවුන්වලට කුරුල්ලන්ගේ ගෙල වටා ඇති පිහාටු අතර සැඟ වී සිටින උකුණන්, මදුරුවන්, කිනිතුල්ලන් වැනි ලේ උරා බොන පරපෝෂිතයින් අඩපණ කිරීමේ හෝ ඔවුන්ගේ වේගය අඩාළ කිරීමේ හැකියාව පවතින බව සඳහන්.

කවරයේ පින්තූරය : © Kevin Schafer / Minden Pictures / National Geographic Creative

Related Articles