දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම්

මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් පසුගිය කාල සමය තුළ ලොව පුරා සිටින මිනිසුන් පීඩාවට පත්වන ආකාරය දක්නට ලැබුණා. වර්තමානය වන විට ලෝකයේ බොහෝ රටවල ඉතාමත් දියුණු මට්ටමේ කර්මාන්තශාලා ඉදිවී තිබෙනවා. එවැනි කර්මාන්තශාලාවන් පිටකරන හරිතාගාර වායූන් වායුගෝලයට එක් වීම දේශගුණික විපර්යාස ඇතිවීමට ප්‍රධාන හේතුවක් වනවා. එයත්, තවත් විවිධ හේතූන් ද මත සිදුවන දේශගුණික විපර්යාස නිසා අනාගතයේ දී බොහෝ ස්වභාවික විපත් ඇති විය හැකි බවට අනාවැකි පළ වී තිබෙනවා. 

දේශගුණික විපර්යාස යනු මොනවාද?

දේශ­ගු­ණික වෙන­ස්වීම් ‍යනුවෙන් අද­හස් කරන්නේ කිසි­යම් භූගෝ­ලීය ප්‍රදේ­ශ­යක දීර්ඝ කාල­යක් තිස්සේ පව­තින උෂ්ණ­ත්වය, වර්ෂා­ප­ත­නය, සුළං, වායු­ගෝ­ලීය තෙත­ම­නය, වායු පීඩ­නය වැනි කාල­ගු­ණික අංග­යන්ගේ සාමාන්‍ය තත්ත්වය වෙන­ස්වී­මට යි. පෘථිවි ඉතිහාසයේ සෑම කාලපරිච්ජේදයක් තුළ දීම දේශගුණික විපර්යාස සිදුවුණත් වර්තමානයේ දී අප දකින දේශගුණික විපර්යාස මානව ක‍්‍රියාකාරකම් හේතුවෙන් සිදුව ඇති විපර්යාස යි. එලෙස මානව ක‍්‍රියාකාරකම් නිසා දේශගුණය වෙනස්වීම මඟින් සිදුවෙමින් පවතින ස්වභාවික ව්‍යසනයන් ඉදිරියේ දී මිනිසාගේ පැවැත්මට බරපතල තර්ජනයක් විය හැකියි.

හරිතාගාර වායු 

වායුගෝලයේ ස්වාභාවිකවම ඇති, එමෙන්ම කෘතිමව නිපදවා ඇති, හිරුගෙන් මුදාහැරෙන හෝ පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන විකිරණ අවශෝෂණය කිරීමට සහ ඒවා නැවත පරිසරයට මුදාහැරීමට හැකියාව ඇති වායුන්, හරිතාගාර වායුන් ලෙස හැඳින්විය හැකියි. ගෝලීය උණුසුම වැඩිවීම සඳහා හරිතාගාර වායුන් කිහිපයක් දායකවන බවත් එම වායුන් මිනිසා විසින් විවිධ ක්‍රම හරහා පරිසරයට මුදා හැරෙන බවත් අනාවරණය කරගෙන තිබෙනවා. පහත දක්වා තිබෙන්නේ ප්‍රධානතම හරිතාගාර වායු කිහිපයක්.

1) කාබන් ඩයොක්සයිඩ් ( CO2 ) 

2) මීතේන් ( CH4 )

3) නයිට්‍රස් ඔක්සයිඩ් ( N2O )

4) හයිඩ්රොෆ්ලෝරෝ-කාබන් ( HFC ), 

5) ක්ලෝරොෆ්ලෝරෝ-කාබන්  ( CFC ) 

6) සල්ෆර් හෙක්සාෆ්ලෝරයිඩ් ( SF6 ) 

7) නයිට්‍රජන් ෆ්ලෝරයිඩ් ( NF3 ) 

කාබන්ඩයොක්සයිඩ් (CO2), මීතේන් (CH4), නයිට්‍රස් ඔක්සයිඩ් (N2O), ක්ලෝරොෆ්ලෝරො-කාබන් (CFC), හයිඩ්‍රොෆ්ලෝරො-කාබන් (HFC) දැනට හඳුනාගෙන ඇති වායුගෝලයට විමෝචනය වීම පාලනය කළයුතු ප‍්‍රධානතම හරිතාගාර වායුන් බවට පත්ව තිබෙනවා.

කර්මාන්තශාලා තුළින් අහිතකර වායු පිටවන ආකාරය (Phys.org)

 හරිතාගාර ආචරණය

සූර්යයාගෙන් ලැබෙන සූර්යය විකිරණ (කෙටි තරංග) පෘථිවිය මඟින් අවශෝෂණය කර, ඉතිරිය දිගු තරංග ලෙස නැවත ඉහළ වායුගෝලයට නිකුත් කරයි. නමුත් හරිතාගාර වායුවල බලපෑම හේතුවෙන් ඉහළ යන භූ විකිරණ පෘථිවි වායුගෝලයේ රදවා ගැනීමේ ක්‍රියාවලිය හරිතාගාර ආචරණය ලෙසින් හඳුන්වයි. හරිතාගාර ආචරණය මිහිතලයට අහිතකර ක්‍රියාවලියක් වන්නේ නැහැ. පෘථිවියේ දේශගුණික සමතුලිතතාවය රඳාපවතින සාධකයක් ලෙසින් එය හැඳින්විය හැකියි. හරිතාගාර ආචරණය සිදු නොවුණොත් පෘථිවියේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක තරම් පහළ අගයක් ගන්නා බව විද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා. එය මිහිමත ජීවීන්ට ජිවත්වීම සඳහා සුදුසු උෂ්ණත්වයක් නොවන නිසා ජීවින්ගේ පැවැත්ම සඳහා හරිතාගාර ආචරණය සිදුවිය යුතු යි. 

හරිතාගාර ආචරණ ක්‍රියාවලිය හුදෙක් ස්වභාවික ක්‍රියාවලියක්ම පමණක් නොව, C02 පරිසරයට මුදාහැරීම මඟින් මිනිසා ද එයට සක්‍රියව දායක වන බව 1895 වසරේ දී ස්වීඩන් ජාතික රසායන විද්‍යාඥයකු වුණු ස්වන්ටේ ඇරීනියිස් විසින් පෙන්වා දුන්නා.

ස්වන්ටේ ඇරීනියස් (Thoughtco)

හිරුගෙන් පිටවන කිරණවලින් වැඩි කොටසක් ආලෝකය ලෙසින් පොළවට පතිත වනවා. පෘථිවි පෘෂ්ඨයෙන් එම ශක්තිය නැවත වායුගෝලයට පරාවර්තනය කරනු ලබන්නේ අධෝරක්ත කිරණ ලෙස යි. මෙය සමතුලිත ලෙස සිදුවිය යුතු ක්‍රියාවලියක්. වර්තමානයේ දී මිනිසා විසින් සිදුකරන අහිතකර ක්‍රියාකාරකම්වල ප්‍රතිඵල නිසා  වායුගෝලයේ හරිතාගාර වායු අණු ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. එම නිසා පෘථිවි පෘෂ්ඨයෙන් පරාවර්තනය වන අධෝරක්ත කිරණ ඒවා මඟින් රඳවාගෙන ශක්තිය නැවත පෘථිවි වායුගෝලයටම මුදා හැරීම නිසා පහළ වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම සිදුවෙමින් පවතිනවා.  පසුගිය කාලයේ ගෝලීය උණුසුම විශාල ලෙසින් ඉහළ ගියේ මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා වායුගෝලයට හරිතාගාර වායු වැඩි වශයෙන් එක් වීම නිසා යි. 

මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසරයට හරිතාගාර වායු එක්වන හැටි 

වර්තමානය වන විට ලෝකය කාර්මීකරණයට ලක්ව තිබෙන නිසා මිනිසා සොබාදහමට පටහැනිව ක්‍රියා කරනු ලබනවා. එම නිසා හරිතාගාර වායු වැඩි වශයෙන් පරිසරයට එකතු වන්නේ පහත සඳහන් ආකාරවලට අනුව යි.

1)  බලශක්‌ති උත්පාදනය

බලශක්‌තිය, විදුලිය හා තාපය උත්පාදනය සදහා ගල් අගුරු සහ ඛනිජ තෙල් වැනි ෆොසිල ඉන්ධන භාවිතය හේතුවෙන් වායුගෝලයට CO2 වායුව විශාල වශයෙන් එකතු වනවා.

2) භුමි පරිභෝජනය සහ වනාන්තර විනාශය

මිනිසුන් සංවර්ධන කටයුතු සඳහා වනාන්තර විනාශ කරන ආකාරය පසුගිය කාල සමයේ දී බහුලවම දක්නට ලැබුණා. එලෙස වනාන්තර විනාශ කිරීම නිසා පරිසරයේ තිබෙන CO2 වායු ප්‍රතිශතය ක්‍රමයෙන් ඉහළ නැගීම සිදුවනවා.

3) කර්මාන්තශාලා මඟින් 

කර්මාන්තශාලාවලට අවශ්‍ය බලශක්‌තිය උත්පාදනය සදහා ෆොසිල ඉන්ධන දහනය මඟින් ද, ශක්‌තිය ජනනය නොවන රසායනික, ලෝහමය හා ඛනිජමය ක්‍රියාවලීන් මඟින් ද හරිතාගාර වායු විමෝචනය සිදුවනවා.

4) ප්‍රවාහනය හා ගමනාගමනය 

ප්‍රවාහන ක්ෂේත්‍රයේ දී ප්‍රධාන වශයෙන් හරිතාගාර වායු මුදාහැරෙන්නේ ෆොසිල ඉන්ධන දහනය නිසා යි. එය  මහා මාර්ග, ගුවන් සහ නැව් මාර්ග යන ප්‍රවාහන අංශ සියල්ලම මඟින් සිදුවනවා. ලෝකයේ ප්‍රවාහනයට අවශ්‍ය ශක්‌තිය වැඩි වශයෙන් ලබාගන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන මූලාශ්‍ර ලෙස යොදාගෙන යි.

5) කෘෂිකර්මාන්තය

කෘෂිකර්මාන්තයේ දී නයිට‍්‍රජන් අඩංගු පොහොර අධික ලෙස භාවිතා කරනු ලබනවා. එමඟින් N2O වායුව වායුගෝලයට එකතු වනවා.

6) අපද්‍රව්‍ය හා අප ජලය

වගුරු බිම්වලින් පිටවන මීතේන් (CH4) හා අපජලයෙන් පිටවන නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් (N2O) වායු හරිතාගාර ආචරණයට ප්‍රධාන ලෙසම දායක වනවා. තව ද කැලිකසළ ගොඩගැසීම සහ දහනය මඟින් මීතේන් (CH4) සහ  කාබන්ඩයොක්‌සයිඩ් (CO2)  යන වායු පිටවීම සිදුවනවා.

වනාන්තර විනාශ කිරීම (The nature)

දේශගුණික විපර්යාස නිසා සිදුවන අහිතකර බලපෑම් 

දේශගුණික විපර්යාස නිසා ලොව පුරා සිටින ජනතාවට අහිතකර ප්‍රතිඵල රැසකට මුහුණදීමට සිදුවනවා. පසුගිය සියවස තුළ ලොව පුරා ස්වභාවික විපත් රැසක් ඇතිවුණේ දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් වශයෙන්. දේශගුණික විපර්යාස නිසා අනාගතයේ දී ඇති විය හැකි විපත් කිහිපයක් පිළිබඳව පහත දක්වා තිබෙනවා.

1) සාගර ජලයේ උෂ්ණත්වය වැඩිවීම නිසා සාගර ජිවින් විනාශයට පත්වීම 

2) ගෝලීය උණුසුම වැඩිවීම නිසා ධ්‍රැවීය අයිස් තට්ටු සහ ග්ලැසියර් දියවීම. එම නිසා සාගර ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් කුඩා දූපත් යටවී යාම.

3) මෝසම් සුළං රටාවන් වෙනස්‌වීම නිසා  නියමිත කාලයට වැසි නොලැබී යාම හේතුවෙන් දිගුකාලීන නියං තත්ත්වයන් ඇතිවීම. එමඟින් භෝග වගාවන්වලට හානි සිදුවීම.

4) සුළි සුලං, නියඟය, කුණාටු, නාය යාම් වැනි ස්වභාවික ආපදා වැඩි වශයෙන් සිදුවීම.

5) දේශගුණ විපර්යාස හේතුවෙන් උෂ්ණත්වය ඉහළයාමත් සමගම  වර්ෂාපතන රටාවේ වෙනස්‌කම් දක්නට ලැබෙනවා. එම නිසා ඩෙංගු, මැලේරියා වැනි රෝග පැතිර යැමේ ප්‍රවණතාව ඉහළ යාම.

6) වර්ෂාපතන රටා වෙනස් වීම හේතුවෙන් කෘෂි වගාවන් නිසියාකාරව කරගෙන යාමට නොහැකි වීම. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලොව පුරා අහාර හිඟයක් නිර්මාණය වීම.

ග්ලැසියර දියවීම (colomboxnews)

දේශගුණික විපර්යාසවලින් සිදුවන හානිය අවම කරගත හැකි ආකාරය 

දේශගුණික විපර්යාස නිසා සිදුවන හානිය අවම කිරීම සඳහා දේශගුණික මහාලේකම් කාර්යාලය මඟින් පහත සඳහන් ක්‍රමවේදයන් නිර්දේශ කර තිබෙනවා. අප සියලුදෙනාම පහත දක්වා ඇති පිළිවෙත් හැකි අයුරින් අනුගමනය කළොත් දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන හානිය අවම කරගත හැකියි.

1) ඉහළ බලශක්‌ති කාර්යක්‌ෂමතාවෙන් යුතු උපකරණ භාවිත කිරීම සහ බලශක්‌තිය කාර්යක්‌ෂමතාවෙන් යුතුව පරිහරණය කිරීම.

2) අඩු බලශක්‌තියක්‌ වැය වන විදුලි බුබුළු භාවිත කිරීම සහ අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම.

3) පරිසර හිතකාමී දෙමුහුන් වාහන භාවිතා කිරීම.

4) සිසිල් පරිසරයක දී වාහනයේ වායුසමන ක්‍රියා විරහිත කර ස්‌වාභාවික පරිසරයෙහි සිසිල විදගැනීම.

5) මෝටර් රථයේ එන්ජිම නිකරුණේ පණ ගැන්වීමෙන් වැළකීම.

6) හැකි සැම විටම විදුලි ආලෝකය වෙනුවට ස්‌වාභාවික ආලෝකය භාවිත කිරීම.

7) නිවසේ අපතේ යන කාබනික අපද්‍රව්‍යවලින් කොම්පෝස්‌ට්‌ නිපදවා ගෙවත්ත තුළම භෝග වගා කිරීම.

8) පුනර්ජනනීය බලශක්‌ති භාවිතය සදහා යොමු වීම.

9) පරිසර සහතික ලත් හරිත ද්‍රව්‍ය මිල දී ගැනීම.

10) හැකි උපරිමයෙන් ගස්‌ සිටුවීම සහ සිටුවන ලද ගස්‌ රැක බලාගැනීමට කැප වීම.

11) ජලය සුරක්‌ෂිතව භාවිතය හා රැකගැනීම.

11) අනවශ්‍ය අවස්‌ථාවල දී විදුලි උපකරණ ක්‍රියා විරහිත කිරීම.

12) ගොඩනැගිලි සැලසුම් කිරීමේ දී හරිත ගොඩනැගිලි සංකල්පය අනුව යමින් ස්‌වාභාවික පාරිසරික සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීම.

කවරයේ ඡායාරූපය- ඇන්ටාටිකාවේ ග්ලැසියර දියවෙමින් පවතින ආකාරය (gettyimages)

Related Articles