Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නිසි ආකාරයට මුහුණු ආවරණයක් බැහැර කරන්නෙ කොහොමද?

කොවිඩ් 19 වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සියළු රටවල් සිය දෛනික කර්තව්‍යයන් සිදුකිරීමේ දී සැළකියයුතු කරුණු බොහෝමයක් ගැන දැනුවත්කිරීම් කරනු ලැබුවා. ලෝකය මෙතෙක් පැවති සාමාන්‍යයෙන් මිදී, වසංගතය සමග ඇති වූ නව සාමාන්‍ය සමග ඉදිරියට යාමේ දී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කාරණාවක් බවට බොහෝ රටවල් අවධාරණය කරනු ලැබුවා. මීට ඉහත අවස්ථාවක දී මුහුණු ආවරණ නිසි ආකාරයෙන් හැබැර නොකිරීම නිසා සිදුවිය හැකි පාරිසරික සහ සමාජයීය බලපෑම පිළිබඳ Roar තුළින් සාකච්ඡා කරනු ලැබුණා. භාවිතයෙන් පසු ඉවත් කරනු ලබන මුහුණු ආවරණයක් බැහැර කිරීම කිසිසේත්ම අනාරක්ෂිත ලෙස, වගකීම් රහිතව සිදු නොකළ යුතු කාර්යක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබෙනවා. එම නිසා මුහුණු ආවරණයක් නිසි ලෙස පැළඳිය යුතු ආකාරය, නැවත භාවිතයට ගත හැකි මුහුණු ආවරණයක් නම් එය නැවත භාවිතයේ දී සැළකිලිමත් විය යුතු කරුණු, සහ භාවිතා කර අවසන් කළ මුහුණු ආවරණයක් නිසි ලෙස බැහැර කළ යුතු ආකාරය ප්‍රජාවට වගකිවයුතු පුද්ගලයෙකු ලෙස දැනුවත් වී සිටීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් බව අවබෝධ කරගත යුතු වෙනවා.

මුහුණු ආවරණයක් නිසි ආකාරයෙන් පැළඳීම

මුහුණු ආවරණයක් නිසි ආකාරයෙන් පැළඳීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉතා පැහැදිලි සහ ආරක්ෂිත ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. පියවර හතරකින් යුතු මෙම ක්‍රමවේදය හරහා ආරක්ෂිත ආකාරයෙන් මුහුණු ආවරණයක් පැළඳීමටත්, භාවිතයෙන් පසු නිසි ආකාරයෙන් මුහුණු ආවරණය ගලවා ඉවත් කරන ආකාරයත් දක්වා තිබෙනවා. 

මුහුණු ආවරණයක් නිසි ලෙස පැළඳීම. Northwestern.edu

 

  • මුහුණු ආවරණය පැළඳීමට පෙර මධ්‍යසාර අඩංගු දෑත් සේදුම් දියරයක් භාවිතා කිරීමෙන් හෝ සබන් සහ ජලය භාවිතා කර ඔබේ දෑත් පිරිසිදු කර ගත යුතුයි.
  • මුහුණු ආවරණයෙන් ඔබේ නාසයත්, මුඛයත් ඉතා හොඳින් ආවරණය වන පරිදි  මුහුණු ආවරණය පැළඳිය යුතු අතර, මුහුණු ආවරණය සහ මුහුණ අතර හිස් අවකාශයක් නොපවතින ලෙස එය පැළඳීමට ඉතා පරීක්ෂාකාරී විය යුතුයි.

භාවිතය අතරතුර යම් හෙයකින්, මුහුණු ආවරණයේ මතුපිට ඔබගේ දෑතින් ස්පර්ශ වීමකට ලක් වුවහොත්, වහාම මධ්‍යසාර අඩංගු දෑත් සේදුම් දියරයක් භාවිතා කිරීමෙන් හෝ සබන් සහ ජලය භාවිතා කර ඔබේ දෑත් පිරිසිදු කර ගත යුතුයි.

  • ඔබ පැළඳි මුහුණු ආවරණය භාවිතයට නුසුදුසු මට්ටමට පැමිණි විගස එය ආරක්ෂිතව ඉවත් කොට නව මුහුණු ආවරණයක් පැළඳිය යුතු අතර, එක් වරක් භාවිතයට සුදුසු මුහුණු ආවරණයක් නැවත භාවිතයට ගැනීම කිසිසේත්ම නොකළ යුතුයි.
  • හාවිතය අවසන් කළ මුහුණු ආවරණය මතුපිට ස්පර්ශ කිරීමකින් තොරව ගලවා, ආවරණය වූ සනීපාරක්ෂක කසල බැහැර කරන භාජනයකට දමා, වහාම මධ්‍යසාර අඩංගු දෑත් සේදුම් දියරයක් භාවිතා කිරීමෙන් හෝ සබන් සහ ජලය භාවිතා කර ඔබේ දෑත් පිරිසිදු කර ගත යුතුයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ආරක්ෂිතව මුහුණු ආවරණය පැළඳීමේ ඉහත දක්වා ඇති ක්‍රමවේදය නිසි ආකාරයෙන් පිළිපැදීම හරහා ඔබට කොවිඩ් සහ එවැනි රෝග රැසකින් ආරක්ෂාව සලසා ගත හැකියි. එමෙන්ම භාවිතය අවසන් කළ මුහුණු ආවරණයක් කසල බඳුනකට බැහැර කිරීමේ දී ඒ පිළිබඳව සැළකිලිමත් විය යුතු කරුණු ගණනාවක් ගැන සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

විෂබීජ හරණයෙන් තොරව මුහුණ ඇල්ලීමෙන් වළකින්න. Cslbehring.com

මුහුණු ආවරණ වර්ග සහ ඒව බැහැර කළ යුතු ආරක්ෂිත ක්‍රමවේදයන්

භාවිතයට ගනු ලබන මුහුණු ආවරණ මතුපිට විවිධාකාර වූ රෝගකාරක විෂබීජ, එකිනෙකට වෙනස් වූ කාල පරාසයන් තුළ සජීවීව පැවතිය හැකි බව සඳහන් වෙනවා. විශේඥයන් ප්‍රකාශ කරන පරිදි ඇතැම් වෛරසයන් හට පැය කීපයක සිට දින කීපයක් දක්වා ස්වභාවික පරිසරය තුළ නොනැසී සිටීමේ හැකියාව පවතින බව සඳහන් වෙනවා. එම නිසා විශේෂයෙන්ම මුහුණු ආවරණයක් සාමාන්‍ය පරිසරයට අපරික්ෂාරී ලෙස කිසිසේත්ම බැහැර කිරීම නොකළ යුතුයි. ඇතැම් අවස්ථාවක දී යමෙකු බැහැර කළ මුහුණු ආවරණයක් තවත් කෙනෙකු විසින් සිය භාවිතය සඳහා ලබා ගැනීමට ඉඩකඩ පවතිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ ඉතා විශාල සෞඛ්‍ය තර්ජන ඇතිවීමේ ප්‍රවනතාවක් ඇතිවීමට ඉඩකඩ සකස් විය හැකි බව සඳහන් වෙනවා. මෙම තත්ත්වය නිසා ඔබ භාවිතා කරනු ලබන මුහුණු ආවරණ වර්ගය සහ එය නිසි ආකාරයෙන් බැහැර කරන්නේ කෙසේ ද යන්න දැන්සිටීම ඉතාම වැදගත්.

මුහුණු ආවරණ වර්ග. Narayanahealth.org

රෙදි මුහුණු ආවරණ

රෙදි මුහුණු ආවරණ රොගීන් රැක බලා ගන්නා, රෝගීන් පරීක්ෂා කරනු ලබන, හෝ රෝගී ජෛව සාම්පල පරීක්ෂා කරනු ලබන කිසිවෙකු විසින් භාවිතා නොකළ යුතු මුහුණු ආවරණ විශේෂයක්. ඊට හේතුව වන්නේ රෙදි මුහුණු ආවරණයක් මඟින් එවැනි කාර්යයන්හි නිරතවන සෞඛ්‍ය සේවා සපයන්නන් හට අවශ්‍ය ආරක්ෂාව නොලැබීම යි. මෙවැනි මුහුණු ආවරණ සාමාන්‍ය ගමන් බිමන් වැනි ක්‍රියාවන්ට සුදුසු වන අතර, හැකියාවක් ඇත්නම් HEPA (High-efficiency particulate air filter) පෙරනයක් සහිත රෙදි මුහුණු ආවරණයක් භාවිතා කිරීම හරහා මෙවැනි වසංගත තත්ත්ව වටපිටාවක වඩා සාර්ථක ප්‍රථිපල අත්කර ගත හැකි බව සඳහන් වෙනවා. නමුත් HEPA පෙරනයක් සහිත මුහුණු ආවරණ භාවිතයේ දී හුස්ම ගැනීමේ මඳ පහසුතා ඇතිවිය හැකි බව ද සඳහන් වෙනවා. මෙවැනි මුහුණු ආවරණ භාවිතය අවසන් වූ පසු සබන් යොදා හොඳින් සෝදා, වියළීමෙන් පසුව ඉවත් කිරීම මඟින් ආසාදන පැතිරී යාම වළක්වා ගත හැකි බව සඳහන් වෙනවා. 

සායනික මුහුණු ආවරණ

මෙවැනි මුහුණු ආවරණ බහුලව භාවිතා කරනු ලබන්නේ රෝගීන් සහ රෝගකාරක විෂබීජ සමග ඉදිරිපෙළ කටයුතු කරනු ලබන පිරිස් විසින්. පොලිප්‍රොපලීන් නම් වූ අමුද්‍රව්‍යයෙන් නිමවා ඇති මෙම මුහුණු ආවරණ රෝගකාරක අංශු සහ බිඳිති, නීරෝගී පුද්ගලයෙකුගේ මුඛය සහ නාසය මඟින් ශරීරගත වීම වැළක්වීමට උපකාරී වන බව සඳහන් වෙනවා. මෙවැනි මුහුණු ආවරණ බැහැර කිරීමේ දී රැඳවුම් පටිවලින් පමණක් අල්ලාගෙන, මුහුණෙහි ස්පර්ශ නොවන ආකාරයට ප්‍රවේශම් සහිතව ගලවා ඉවත් කරගත යුතු වෙනවා. ගලවා ඉවත් කර ගත් මුහුණු ආවරණය රැඳවුම් පටිවලින් අල්ලාගෙන මුහුණු ආවරණයේ හරි අඩක් ඇතුළුපසට රෝල් කළ යුතු වෙනවා. ඉන් පසු ඉදිරි අඩ කොටස රෝල් කළ කොටස ආවරණය වන පරිදි ඒ මතින් රෝල් කළ යුතු වෙනවා. ඉන් පසු රැඳවුම් පටි මඟින් රෝල් කළ මුහුණු ආවරණය ලිහී ගැලවී යෑම වැළැක්වීම සඳහා තවදුරටත් එතිය යුතු වෙනවා. මෙම ක්‍රමවේදය හරහා මුහුණු ආවරණය භාවිතා කළ කාලය අතරතුර මුඛය සහ නාසය මඟින් මුහුණු ආවරණය මත තැන්පත් වූ බිඳිති ස්වභාවික පරිසරයට මුක්ත වීම වැළකෙනවා. මෙලෙස ආරක්ෂිතව රෝල් කරන ලද මුහුණු ආවරණය ටිෂූ කඩදාසියක් හෝ පොලිතීන් කවරයක් භාවිතා කොට ආවරණය කර කහ පැහැති සනීපාරක්ෂක කසල කවරයක බහා විනාශ කිරීම සඳහා ඉවත් කළ යුතු වෙනවා. 

N95 මුහුණු ආවරණ

මෙම මුහුණු ආවරණ සාමාන්‍ය ප්‍රජාවගේ භාවිතය සඳහා අත්‍යාවශ්‍ය නොවන මුහුණු ආවරණ යි. සීමිත සැපයුමක් ඇති මෙම මුහුණු ආවරණ රෝගකාරක විෂබීජවලට ඍජුවම නිරාවරණය වීමේ අවධානම ඉහළ මට්ටමක පවතින ඉදිරිපෙළ වැඩ කටයුතු සිදු කරනු ලබන පිරිස් වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කර ඇති බව සඳහන්. මුහුණ සහ නාසය හරහා විෂබීජ ශරීරගත වීම 95%, 99% සහ 99.9%ක් වැනි ඉහළ පරාස දක්වා වැළැක්වීමට මෙම මුහුණු ආවරණවලට හැකියාව පවතිනවා. මේ හේතුව නිසා සියළුම ආකාරයේ පාහේ බැක්ටීරියා සහ වෛරසවලින් ආරක්ෂා වීමට මෙය උපකාරී වනවා. නමුත් මෙවැනි මුහුණු ආවරණ පැළඳීම අත්‍යාවශ්‍ය වන්නේ,

  • රෝග නීරීක්ෂණ කර්තව්‍යයන්හි නිරත වන සෞඛ්‍ය සේවා නිළධාරීන්,
  • කොවිඩ් රෝගය තහවුරු වූ හෝ සැකසහිත රෝග ලක්ෂණ ඇති රෝගීන් නිරීක්ෂණය කරන අවස්ථාවල දී,
  • ජෛව සාම්පල පරීක්ෂා කරන්නන් හා ආශ්‍රිත උපකරණ භාවිතා කරනු ලබන කාර්යයන්හි නිරත වන පුද්ගලයන් වැනි රෝගකාරකයන්ට ඍජුව නිරාවරණය වීමේ ඉහළ අවධානමක් පවතින පිරිස් පමණක් යි. 
ගැලපෙන මුහුණු ආවරණයක් තෝරා ගැනීම වැදගත්. Freepik.com

මෙවැනි මුහුණු ආවරණ බැහැර කිරීමේ දී ඉතා සැලකිළිමත් ලෙස මුහුණු ආවරණය ගලවා ඉවත් කළ යුතු අතර, ගලවා ගත් මුහුණු ආවරණය පොලිතීන් හෝ ප්ලාස්ටික් උරයක බහා මුද්‍රා තැබිය යුතු වෙනවා. එලෙස ආරක්ෂිත කළ මුහුණු ආවරණයක් පමණක් කසල බහාලුමකට හෝ ජෛවරසායන කැලිකසල ව්‍යපහරණය කරනු ලබන ඒකකයකට ලබා දිය යුතු වෙනවා. එමෙන්ම නැවත මුහුණු ආවරණයක් භාවිතා කිරීමට ප්‍රථම නිසැක වශයෙන්ම මධ්‍යසාර අඩංගු දෑත් සේදුම් දියරයක් භාවිතා කිරීමෙන් හෝ සබන් සහ ජලය භාවිතා කර ඔබේ දෑත් පිරිසිදු කර ගත යුතුයි. 

ලෝකයා ඉදිරියේ උද්ගතව ඇත්තේ වගකීමෙන් වැඩ කටයුතු කළ කාල වකවානුවකි. සමස්ථ ප්‍රජාවෙන් අයෙකු සිදුකරනු ලබන සෑම සුළු අතපසුවීමක්, අත්වැරැද්දක්ම, රටක, සමාජයක ගමන්මඟ සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි වටපිටාවක් තුළ වගකිවයුතු පුරවැසියෙකු ලෙස ඔබගේ යුතුකම මනාව වටහාගනිමින්, පරික්ෂාකාරී ලෙස ඉටු කරනු ඇතැ යි අපි අපේක්ෂා කරමු. 

Related Articles