Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මිනිසා මෙන් ම සතුන් ද ඔවුනොවුන් ව මරණයට පත් කර ගන්නවා ද?

සති අන්ත පුවත්පතක් කියවන අයෙක්ට සතිය තුළ වාර්තා වූ මිනීමැරුම් කිහිපයක් ම කියවන්නට ලැබෙන බව අතිශයෝක්තියක් නෙමෙයි. බොහෝ අවස්ථාවල දී ඉතාමත් සාහසික අයුරින් අදාළ මිනීමැරුම් සිදු කර ඇත්තේ ක්ෂණික කෝපය හෝ අඩදබරයක දී ඇති වූ උණුසුම් තත්ත්වයක් මත නොවැදගත් හේතුවක් නිසා බව පැවසීම වැරදි නැහැ.

© Icy Tales

දිනෙන් දින ම ඉහළ යන මිනීමැරුම් ප්‍රමාණය පෙන්නුම් කරන්නේ මනසින් උසස් යැයි සැලකෙන මිනිසා ක්‍රමයෙන් පරිහානිය කරා ගමන් ගන්නා ආකාරය යි. මනසින් උසස් සත්ත්වයෙකු මේ අයුරින් කටයුතු කරන විට තිරිසන් සත්ත්වයින් තමන්ගේ වර්ගයා ගැන කටයුතු කරන ආකාරය ගැන ඔබ කවදා හෝ සිතා බලා තිබෙනවා ද? මිනිසා මෙන් ම සතුන් ද ඔවුනොවුන් ව මරණයට පත් කර ගන්නවා ද? මේ ඔබේ පැනයට පිළිතුරක්.

මිනිසාට දෙවැනි නොවන සතුන්

ඩිස්කවරි නාලිකාව නැරඹීමේ දී මුවෙක් දඩයම් කර ගැනීම සඳහා ඔවුන් පසු පසු විදුලි වේගයෙන් හඹා යන චීටාවන් මෙන් ම සුදෝ සුදු පෙණ කැටි නංවමින් කඩා හැලෙන දිය ඇල්ලක් අසල සැමන් මසුන් ඇල්ලීමේ යෙදී සිටින වලසුන් ද ඔබ දැක ඇති බවට සැකයක් නැහැ. බොහෝ විට සතුන් තවත් සතෙකු මරණයට පත් කරන්නේ තම කුසිගිනි නිවා ගැනීම පිණිස යි. නමුත් සත්ත්ව විද්‍යාඥයින් පවසන්නේ කුසගිනි හැර වෙනත් විවිධ හේතූන් මත මිනිසුන් මෙන් ම සතුන් ද තමන්ගේ ම වර්ගයා මරණයට පත් කරන බව යි.

© Australian Reptile Park

බොහෝ විට කුරුමිණියන්, මකුළුවන් සහ ගෝනුසු විශේෂ අතර ලිංගික පරුෂාදනය (sexual cannibalism) දක්නට ලැබෙනවා. ‍මෙහි දී සිදු වන්නේ සංසර්ගයට පෙර, අතරතුර දී හෝ පසු ව ගැහැනු සත්ත්වයා විසින් පිරිමි සත්ත්වයා ව ආහාරයට ගැනීම යි. ලිංගික පරුෂාදනයේ ඉහළින් ම සිටින සත්ත්ව විශේෂ ද්විත්වයක් ලෙස චීන මැන්ටිස් (Tenodera sinensis) සහ කළු වැන්දඹු මකුළුවා සඳහන් කළ හැකි යි. මෙසේ මකුළුවන් අතර බහුල ලිංගික පරුෂාදනය හේතුව ලෙස සත්ත්ව විද්‍යාඥයින් දක්වන්නේ බොහෝ විට පිරිමි සත්ත්වයා ප්‍රමාණයෙන් කුඩා වීම නිසා වෙනත් විශේෂ හේතුවෙක් නොමැති ව ම ගැහැනු සත්ත්වයාගේ ගොදුරක් බවට පත් වන බව යි.

© Live Tropical Fish

මෙයට අමතර ව මත්ස්‍යයින් අතර ද තමන්ගේ වර්ගයා මරණයට පත් කිරීම දැක ගැනීමට හැකි යි. බොහෝ විට ඔවුන් තමන්ගේ භූමි ප්‍රදේශයට පැමිණෙන ආගන්තුක මසුන්ට පහර දී මරා දැමීම සිදු කරනවා.

මරා ගන්න විවිධ හේතු

සත්ත්ව ලෝකයේ ඉහළින් ම වැජඹෙන දැඩි තරඟයක් සහිත සටනක් ලෙස සහකරුවන් සඳහා වන සටන හැඳින්වීම වරදක් නැහැ. ඇතැම් විටෙක මෙම සටන මරණයෙන් කෙළවර වෙන අවස්ථාව ද නැතුවා ම නොවෙයි. පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පැණි කුරුලු විශේෂ සතු හීනි තුඩ, මල් පැණි උරා බීම සඳහා පමණක් නොව සහකරුවන් තෝරා ගැනීම සඳහා වන සටනේ දී තමන්ගේ විරුද්ධවාදියාට එරෙහි ව ප්‍රබල ආයුධයක් ලෙස ද යොදා ගන්නා බව යි.

© Deborah Bifulco

මීට අමතර ව තමන්ගේ නායකත්වයට තර්ජනයක් වන්නන් ව ද මරණයට පත් කිරීමට ඇතැම් සත්ත්ව විශේෂ කටයුතු කරනවා. ඒ අතරින් බළල් පවුලේ අය විශේෂ යි. කුඩා රංචු වශයෙන් ජීවත් වන සිංහයින් තම රැළට ජවයෙන් වැඩි සත්ත්වයෙකු එක් කර ගැනීමට අකැමති වීම නිසා සිංහ පැටවුන් මරා දැමීම සිදු කරනවා. මෙම අවාසනාවන්ත ඉරණමට වැඩි වශයෙන් ගොදුරු වන්නේ මාස 9 ක් හෝ ඊට අඩු වයසින් යුතු සිංහ පැටවුන්.

වඳුරු කුලේ මිනීමරුවෝ

සත්ත්ව විද්‍යාඥයින් පෙන්වා දෙන අන්දමට අනෙක් සත්ත්වයින්ට වඩා වඳුරු විශේෂ අතර තම වර්ගයා මරා ගැනීම බහුල ව සිදු වෙනවා. සංඛාත්මක ව සලකා බැලුවොත් එය අනෙක් සත්ත්ව විශේෂවලට සාපේක්ෂ ව 8 ගුණයකින් වැඩි යි. එසේ ම චිම්පන්සීන් අතර මෙම තත්ත්වය පැහැදිලි ව හඳුනා ගත හැකි වෙනවා. මේ සඳහා බලපාන ප්‍රධාන ම සාධක වන්නේ ආහාර සහ භූමි ප්‍රදේශ සඳහා ඇති තරඟය යි.

© Simon Vander Heyden

එසේ ම තමන් අවට භූමි ප්‍රදේශයේ වැඩි වශයෙන් චිම්පන්සි සමූහයන් නිර්මාණය වන විට චිම්පන්සීන් එක් ව ඔවුන්ට පහර දී මරා දැමීම සඳහා ශක්තිමත් පිරිමි සත්ත්වයින්ගෙන් සැදි මුර සංචාර සිදු කරන බව සත්ත්ව විද්‍යාඥයින් නිරීක්ෂණය කර තිබෙනවා. මෙම හැසිරීම තරමක් බියකරු වුවත් මිනීමරු හැඟීම් චිම්පන්සීන්ට අනායාසයෙන් ම පැමිණෙන බව පැවසෙනවා.

දරුණු ම මිනීමරුවා කවුද?

සත්ත්ව ලෝකයේ දරුණු ම මිනීමරුවාට හිමි ස්ථානය රැකගෙන ඇත්තේ මියර්කැට් (Meerkat) ලෙස හඳුන්වන දකුණු අප්‍රිකානු මුගටි විශේෂය යි. පෙනුමෙන් හුරුබුහුටි සත්ත්වයින් වන මියර්කැට් මුගටියන් 40 දෙනෙකුගෙන් පමණ සමන්විත රංචුවක් ලෙස වාසය කරන අතර ප්‍රමාණයෙන් ලෙහෙනුන්ට සමාන වෙනවා. එසේ ම සාමූහික වැඩ කරන්නන් ලෙස ද ඔවුන් සත්ත්ව ලෝකයේ ප්‍රකට යි.

© Clare

නමුත් සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට මියර්කැට් මුගටියන් තම වර්ගයා මරා ගැනීමේ ප්‍රමාණයට 19.36% පමණ වෙනවා. එසේ ම දැනට අනාවරණය වී ඇති ආකාරයට සත්ත්ව විශේෂ 1,000 කට අධික ප්‍රමාණයක් තම වර්ගයා මරා දැමීම සිදු කරනවා.

සත්ත්ව ලෝකයේ සාමකාමී උදවිය

දරුණු ම මිනීමරුවා ලෙස මියර්කැට් වැජඹෙන විට ඔවුනොවුන් මරා ගැනීම බොහෝම කලාතුරකින් සිදු කරන සත්ත්ව විශේෂ ලෙස හඳුනාගෙන ඇත්තේ තල්මසුන්, වවුලන් සහ හාවන්. එසේ ම පර්යේෂණ මගින් හෙළි වී ඇති තවත් කරුණක් වන්නේ මිනිසුන් මෙන් නොව සතුන් තමන්ගේ වර්ගයා මරණයට පත් කිරීම සිදු කරන්නේ ඔවුන් කුඩා කාලයේ දී බව යි.

කවරයේ පින්තූරය : (© Bryan Adams)

Related Articles