මෙම ලිපිය ආරාධිත රචකයෙකු විසින් ලියැවුණකි.ඔබටත් අප හා ලිපි ලිවීමට අවශ්‍ය නම්, අපගේ ආරාධිත රචක කරළියට පිවිසෙන්න.

දකුණු පළාතට අයත් මිරිස්ස, නැගෙනහිර පළාතට අයත් ත්‍රිකුණාමලය, සහ බටහිර වෙරළේ කල්පිටිය ආදී කලාපයන් ආශ්‍රිතව තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම විශාල සංචාරක ආකර්ෂණයක් දිනාගැනීමට සමත්ව ඇති සංචාරක ව්‍යාපාරයකි. නමුත් අද වන විට මෙහි ක්‍රියාත්මක වන සංචාරක බෝට්ටුවල අහිතකර බලපෑම නිසා තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් මෙරට සාගර කලාපයෙන් ඉවත්ව යාමේ දැඩි අවධානමක් මතුව තිබේ. මෙම තත්ත්වය පාරිසරික, ආර්ථික මෙන්ම සාමාජීය වශයෙන් ද ශ්‍රී ලංකාවට අහිතකර වන බව යි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කරන්නේ.

ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර

ලෝකයේ අනෙකුත් රටවල වෙරළාශ්‍රිත කලාපයන්වලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙරළ කලාපයන්වල වැඩි වශයෙන් තල්මසුන් සහ ඩොල්ෆින් දැකබලා ගැනීමට හැකියි. මෙම කලාපයන්වල මුහුදේ ගැඹුරු ආගාධයන් පිහිටා තිබෙනවා. එය විශේෂයෙන්ම තල්මසුන්ට හිතකර පිහිටීමක්. ඒ වගේම ගංගා ඔස්සේ පැමිණෙන පෝෂකාංග මෙම කලාපවල බහුලව පවතින නිසා තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට අවශ්‍ය ආහාර ප්‍රභවයන් සුලභ වෙලා තියෙනවා. මේ නිසා යි ශ්‍රී ලංකාව අවට මුහුදේ මෙම සතුන් වැඩි වශයෙන් දැකගන්න හැකියාව තිබෙන්නේ.

තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් නැරඹීම කර්මාන්තයක් බවට පත්වීම

මෙම කර්මාන්තය ආරම්භ වෙන්නේ 2004 වසරේ සුනාමියෙන් පසුව යි. තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් ශ්‍රී ලංකාව අවට මුහුදු කලාපයේ සැරිසැරීම මුල්කාලයේ දැන සිටියේ සුළු පිරිසක් පමණයි. 2004 වසරේ සුනාමි ව්‍යවසනයෙන් පස්සේ විදේශිකයන් අතර මෙය ප්‍රචලිතවීමත් සමග යි මෙම සංචාරකයන් ඉලක්ක කරගත් කර්මාන්තය ආරම්භ වුණේ.

මීට කළින් තිබුණු තත්ත්වයක් තමයි ශ්‍රී ලංකාව ලෝකයේ කතාබහට ලක්වුණා ඩොල්ෆින් මසුන් මරන, ඩොල්ෆින් මසුන් අනුභව කරන රටක් බවට. මේ තත්ත්වය රටේ ප්‍රගමණය වෙනුවෙන් එතරම් හිතකර නොවන නිසා දැඩි නීතිරීත් සම්පාදනය කළා එම තත්ත්වය පාලනය කිරීම සඳහා. එහි ප්‍රතිඵලයක් ලෙස 2004 වසර වන ඩොල්ෆින් මසුන් මැරීම අවම කරගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

තල්මසුන් සහ ඩොල්ෆින් ලංකාවෙන් එලවන සංචාරක බෝට්ටු

බෝට්ටු කිහිපයකට පමණක් සීමා වුණු මේ කර්මාන්තය කාලයත් තරගකාරීත්වය වැඩිවීමත් එක්ක බෝට්ටු ප්‍රමාණය වැඩි වෙලා ඒවාට පනවා තිබෙන නියාමනයන්, සීමාවන් සහ නීති උල්ලංඝණය වෙන තත්ත්වයකට මේ වෙද්දි පත්වී තිබෙනවා. මේ සංචාරක බෝට්ටු අතර මේ වෙද්දි විශාල තරගයක් දකින්නට ලැබෙනවා.

පවතින නීති රෙගුලාසි අනුව ඩොල්ෆින් මත්සයෙක් සිටින තැනකට බෝට්ටුවක් පැමිණීමේ දී එම සත්ත්වයා සිටින ස්ථානයට මීටර් 50ක් පමණ දුරින් බෝට්ටුව නැවැත්විය යුතු යි. තල්මසෙක් නරඹනවා නම් ඒ තල්මසා සිටින ස්ථානයට මීටර් 100ක් පමණ දුරකින් බෝට්ටුව නැවැත්විය යුතු යි. මේ සම්මත පරතරය නිරන්තරයෙන්ම සත්ත්වයා සහ බෝට්ටුව අතර තබාගත යුතු යි. ඒ වගේම එම තල්මසා හෝ ඩොල්ෆින් මත්සයා පිහිනන දිශාව හරස් කරමින් ඔවුන්ට අවහිර වන ආකාරයෙන් කිසිදු අවස්ථාවක බෝට්ටු පැදවීම සිදුනොකළ යුතු යි.

ඩොල්ෆින් සහ තල්මසුන් නැරඹීමේ සම්මත දුර සීමා/ BMS

නමුත් අවාසනාවට මේ සංචාරක බෝට්ටුකරුවන් මේ නීති සහ රෙගුලාසි නොතකා හරිමින් මුදලට තිබෙන ගිජුකම නිසා තල්මසෙක් හෝ ඩොල්ෆින් මසුන් රංචුවක් දැක්කොත් සියලුම බෝට්ටු එම ස්ථානයට ඔවුන්ගේ ආසන්නයටම හෝ ඇතැම් අවස්ථාවල තල්මසුන්ගේ සිරුර උඩින්ම බෝට්ටු ගමන්කරවන බව බොහෝ සංචාරකයින් මේ වන විට නිරීක්ෂණය කරලා තිබෙනවා.

බලපෑම

මේ සත්ත්වයින් ජලය මතුපිටට පැමිණෙන්නේ ශ්වසනය සඳහා. හුස්මගන්න එන සතාට මේ ආකාරයෙන් පීඩා කිරීමෙන් සිදුවෙන්නේ එම සත්ත්වය ඉතා කෙටි හුස්මක් අරගෙන කිමිදෙමින් වෙනත් ස්ථානයකට යනවා තවත් හුස්මක් ලබාගන්න. එවිට නැවතත් අර සංචාරක බෝට්ටු එම සත්ත්වයා ලුහුබැඳ යනවා. මේ පීඩාකාරී බව නිසා තල්මසුන්ට සහ ඩොල්ෆින් මසුන්ට ආතති තත්ත්වයක් ඇති වෙනවා. එය එම සත්ත්වයාගේ පැවැත්මට එතරම් හිතකර වෙන්නේ නැහැ. ඒ වගේම බෝට්ටු පතුල වැදීම නිසා සහ අවරපෙති ගැටීම නිසා මෙම සතුන්ට තුවාල සිදුවෙනවා.

නෞකාවක ගැටී තුවාල ලැබූ තල්මසෙක්

 

නෞකාවක ගැටී මියගිය තල්මසෙක්

70 දශකය පමණ කාලයේ දි ගොඩබිම ඉඳලා තල්මසුන් නැරඹන්න තිබුණු හැකියාව අපිට තිබුණා. එතරම්ම තල්මසුන් අපේ වෙරළ කලාපය අවට නිදහසේ සැරිසැරුවා වගේම අපේ වෙරළ කලාපය අවට තල්මසුන් හිටියා. ඒ වගේම පෙරදී මෙම සතුන් වෙරළට ඉතාමත් ආසන්නයෙන් විනාඩි 45ත් පැයක් අතර කාලයකදි නැරඹීමේ හැකියාව තිබුණා. නමුත් අද වනකොට පැය 5ක් 6ක් බලාගෙන සිටියත් මෙම සතුන් දැකගන්න හැකියාවක් නැතිවෙලා තිබෙනවා.

මේ වන විට ඩොල්ෆින් මසුන් සහ තල්මසුන් ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඈතට ගිහින් ක්‍රමක්‍රමයෙන් ගැඹුරු මුහුදට සංක්‍රමණය වීමේ අවදානමක් තිබෙනවා තමන්ගේ නිදහස සඳහා. මේ ආකාරයෙන් මෙම සතුන් වෙරළ කලාපයෙන් ඔබ්බට තල්ලු කිරීම නිසා මෙම සතුන් ගිහින් නැවතෙන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව හරහා වැටී තිබෙන ලෝකයේ නැගෙනහිර හා බටහිර යාකෙරෙන අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගයේ යි. එම මාර්ගයේ වසරකට ගත්තොත් නෞකා විශාල ප්‍රමාණයක් ගමන් කරනවා. මේ නෞකාවල තල්මසුන් ගැටී මියයාමට ඇති සම්භාවිතාව මේ වෙද්දි වැඩි වෙලා තිබෙනවා. මෙය උග්‍ර වුණොත් ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් අහිමි වේවි.

ශ්‍රී ලංකාව ආසන්නයෙන් වැටී ඇති අන්තර්ජාතික මුහුදු මාර්ගය

යෝජිත විසඳුම් ප්‍රායෝගික ද?

තල්මසුන් නෞකාවල ගැටීම අවම කිරීම සඳහා අන්තර්ජාතික මුහුදු ගමන් මාර්ගය මෙරට මුහුදු සීමාවෙන් තවත් ඔබ්බට ගෙනයන්න එක්තරා පිරිසක් යෝජනා කර තිබෙනවා. එම යෝජනාව කිසිම ලෙසකින් ශ්‍රී ලංකාවට සුබදායක වෙන්නේ නැහැ. මේ වනවිට කොළඹ වරාය විශාල සංවර්ධනයකට ලක්වෙමින් තිබෙනවා. ඒ වගේම හම්බන්තොටට වරායක් තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව පවතින්නේ නාවික ගමනාගමනයේ කේන්ද්‍රස්ථානයක් විදිහට යි. එයින් අපට ආර්ථික වශයෙන් විශාල ප්‍රතිලාභ පවතිනවා. එවැනි තත්ත්වයක් යටතේ මෙම මුහුදු මාර්ගය තවත් ඈතට යොමු කිරීමෙන් සිදුවෙන්නේ මෙරටට පැමිණෙන නෞකාවලට වැඩි ආයාසයක් ගැනීමට සිදුවීම සහ සේවා ලබාගැනීමට විශාල වශයෙන් පැමිණෙන නෞකා ශ්‍රී ලංකාව මඟහැරලා වෙනත් රටවල වරායන්‍ වෙත යාම යි. එයින් ශ්‍රී ලංකාවට සිදුවන පාඩුව අතිවිශාල යි.

රටක සංවර්ධනය සහ එම රටේ ජීවී සම්පත් ආරක්ෂා කරගැනීම අතර තුලිතතාවයක් තිබිය යුතු යි. එම නිසා විද්‍යාඥයන් සහ කළමනාකරුවන් වශයෙන් අප යෝජනා කරන්නේ මෙම අන්තර්ජාතික මුහුදු මාර්ගය මෙම ස්ථානයේම තබාගෙන ශ්‍රී ලංකාවට හැකියාව තිබෙනවා මෙම මාර්ගයේ ගමන් කරන නැව්වලට වේග සීමා පනවන්න. ඒ වගේම ඔවුන්ට විධානයන් ලබාදිය හැකියි නැවේ ඉදිරිපස නිරීක්ෂකයෙක් භාවිතා කරමින් තල්මසුන් මඟ හරිමින් නෞකාව ගමන්කරවන ලෙසට.

ඒ වගේම තල්මසුන් හා ඩොල්ෆින් මසුන් නැරඹීමේ සංචාරක බෝට්ටු සඳහා පනවා ඇති නීති රෙගුලාසි තව තවත් දැඩි කරමින් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය යි. මේ අවසනාවන්ත තත්ත්වයන් වළක්වාගන්න නම් ඒ සඳහා අනෙකුත් වගකිව යුතු අංශයන්වලත් නිසි අවධානය යොමු විය යුතු යි. මේ ඔස්සේ අපට පුළුවන් තල්මසුන්ට වන හානිය අවම කරමින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි විශාල ආර්ථිකමය පාඩුවක් මඟහරවා ගන්න.

ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සමගින් සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් ලිපිය සකස් කෙරිණි.

Cover Image: Scuba Diving Costa Rica