මිහිමතින් වඳවී යාමට දින නියම වූ ශ්‍රී ලාංකික වනවාසීන්

මිනිසා සහ සොබාදහම අතර පවතින ගැටුම අනාදිමත් කාලයක සිට පැවත එන්නක්. මිනිසා සෑම විටම සොබාදහම අභිබවා යාමට උත්සාහ කරන අතර, පෙරලා සොබාදහම මිනිසාට එහි ප්‍රතිවිපාක විඳීමට සලස්වනවා. 

සොබාදහම ඉක්මවා යාමේ දී මිනිසා තමා මුහුණ දෙන අභියෝගයන් හමුවේ සාර්ථක ප්‍රතිචාර දැක්වීමට සමත්කම් දැක්වූවත්, මිනිසා සහ සොබාදහම අතර ඇතිවන ගැටීමේ දී ඉන් පීඩා විඳින, ජීවිතයෙන් වන්දි ගෙවන කොටසක් ද සිටිනවා. මිනිසාගේ ක්‍රියාකාරකම් හමුවේ ලොව බොහෝ ජීවීන් අධික වේගයකින් වඳවී යාමේ තර්ජනයට ලක්වෙමින් පවතිනවා. ඇතැම් ජීවීන් මේ වනවිටත් සම්පූර්ණයෙන්ම වඳවී ගොස් අවසන්. සොබාදහම අතික්‍රමණය කිරීමට මිනිසා දරණ උත්සාහය, අවසානයේ මහා පාරිසරික ව්‍යසනයකට දොරගුළු විවර කරමින් පවතිනවා. 

මෙම ලිපිය මඟින් විස්තර කරන්නේ ශ්‍රී ලංකාව තුළ පමණක් ඉතා අවදානම් ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇති වනවාසීන් පිරිසක් පිළිබඳව යි. තර්ජනයට ලක් වූ සහ වඳ වී ගිය සත්ත්ව හා ශාක විශේෂයන් පිළිබඳ දත්ත ඇතුළත් වන්නේ රතු දත්ත වාර්තාවේ යි. තවමත් අප පරිහරණය කරන්නේ 2012 වර්ෂයේ අවසන් වරට නිකුත් වූ ශ්‍රී ලංකාවේ රතුදත්ත වාර්තාව යි. එනිසා මේ වෙද්දී, එම වාර්තාවේ සඳහන් වනවාට වඩා විසල් වෙනසක් සිදුවී තිබිය යුතු යි. 2012 සිට 2020 දක්වා වසර 8ක කාලයක් ගත වී තිබෙන අතර, මෑතකාලීනව වාර්තා වූ අති විශාල වන සංහාරයන් හා සසඳන විට තත්ත්වය හැරී ඇත්තේ දරුණු අතට බව නොඅනුමාන යි.

රන්වැල්ලගේ ගස් ගෙම්බා

ඉතා විරල උභයජීවී විශේෂයක් වන රන්වැල්ලගේ ගස් ගෙම්බා ලංකාවට ආවේණික වූ සත්ත්ව විශේෂයක්. මොවුන් වාර්තා වී ඇත්තේ රත්නපුර ගිලීමලේ ප්‍රදේශයෙන් පමණ යි. මේ හේතුව නිසාම ඉතා වේගයෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින සත්ත්ව විශේෂයන් අතර මොවුන් ඉහළම ස්ථානයක පසුවෙනවා. 

උරග සහ උභයජීවී විශේෂඥ මෙන්ඩිස් වික්‍රමසිංහ විසින් හඳුනාගැනුණු මෙම ගෙඹි විශේෂයට ‘රන්වැල්ලගේ ගස් ගෙම්බා’ යන නාමය ලබා දී ඇත්තේ, ඔහුගේ හිතමිත්‍ර, එවකට ගිලීමලේ රෝහලේ සේවයෙහි නිරතව සිට අභාවප්‍රාප්ත වූ පරිසර හිතකාමී වෛද්‍ය සංජීව රන්වැල්ලට ගෞරව පිණිස යි. 

වනාන්තර හෙළි පෙහෙළි කිරීම නිසා කැලෑ ප්‍රදේශ විභේදනයට ලක්වීම මෙම සත්ත්ව විශේෂය තර්ජනයට ලක් වීමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා. මීට අමතරව කුඩා කැලෑ ප්‍රදේශ තේ වගා කිරීම සඳහා හෙළි පෙහෙළි කිරීම, මැණික් කර්මාන්තය, වැලි ගොඩදැමීම, පලිබෝධනාශක භාවිතය ඉහළ යාම, ගස් කපා දැමීම හා ගිනි තැබීම් වැනි කාරණා මොවුන්ට ජීවිත තර්ජනය එල්ල කරනවා. මේ හරහා ඇති වන ජල මූලාශ්‍ර සිඳී යාම, පාංශු ඛාදනය වැනි කාරණා සහ රජය විසින් දිරි ගන්වනු ලබන ඇළවේලි හරස් කොට තනන ඉඳිකිරීම් සහ ගංවතුර තත්ත්වයන් ද මොවුන්ගේ දැනට ජීවත් වන සුළු ප්‍රජාව පවා විනාශ වී යාමට ඍජුව බලපා තිබෙනවා. 

රන්වැල්ලගේ ගස් ගෙම්බා (Mendis Wickramasinghe) 

හෝර්ටන් තැන්නේ උණහපුලුවා 

මොවුන් ප්‍රථම වරට හඳුනගෙන තිබුණේ 1937 වර්ෂයේ දී වූවත්, ඉන් පසු වසර 66ක් යනතෙක් මොවුන් පිළිබඳව කිසිදු ආකාරයක තොරතුරක් වාර්තා වී නැහැ. 2002 වර්ෂයේ දී නැවත ඒ හා සමාන ජීවීයෙකු පිළිබඳ විස්තර වාර්තා වී තිබුණා. එම කරුණු පදනම් කර ගනිමින් ලන්ඩන් සත්ත්ව විද්‍යා සංගමය සිදුකළ පර්යේෂණවලින් 2009 වර්ෂයේ දී පැහැදිලි වූයේ මෙම උණහපුළු විශේෂය වඳවී ගොස් නොමැති බව යි. නමුත් ඔවුන්ගේ සම්පූර්ණ ගහණය ආසන්න වශයෙන් 100ක් වැනි සුළු ප්‍රමාණයක් වන බව ඔවුන් ප්‍රකාශ කළා. 

මිනිසාට නෑකම් කියන කුඩාම සත්ත්ව විශේෂයක් වන උණහපුළුවන්, අඟල් 8ක් පමණ දිගින් හා ග්‍රෑම් 310ක පමණ බරකින් යුක්ත වෙනවා. ඉතා සෙමින් ගමන් ගන්නා මෙම සත්ත්ව විශේෂය, තේ වගාව සඳහා සිදුකරන කැලෑ හෙළි කිරීම් සහ ගිනි තැබීම් නිසා ඉතා දරුණු අන්දමින් වඳවී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා. මීට අමතරව කැලෑ ප්‍රදේශ ලඳු කැලෑ කුට්ටි වශයෙන් පැවතීම හේතුකොටගෙන ඔවුන් හට සහකාරයෙකු හෝ සහකාරියක සොයා ගැනීම ඉතා අපහසු කටයුත්තක් බවට පත්ව තිබෙනවා. එම නිසා ඔවුන්ගේ ගහණය වර්ධනය වීම ඉතා සෙමෙන් සිදුවන්නක් බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. සංරක්ෂකයින් මේ වන විට අවධානය යොමු කරන්නේ කැලෑ ගහණය වැඩි කිරීම සහ ඔවුන් හට පහසුවෙන් එකිනෙකා සමග සම්බන්ධ වීමට හැකි ආකාරයේ පරිසර පද්ධතියක් ඇති කිරීම යි. මීට අමතරව හෝර්ටන් තැන්නේ උණහපුලුවා මීට කලින් හඳුනා නොගත් නව සත්ත්ව විශේෂයක් වීමේ සම්භාවිතාවයක් පැවතිය හැකි බවට ද ඔවුන් විශ්වාසය පළ කරනවා. ඒ අනුව DNA සාම්පල පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ නිසැකවම තහවුරු කර ගැනීමේ අවස්ථාව ඉදිරියේ සැළසෙනු ඇති. 

හෝර්ටන් තැන්නේ උණහපුලුවා (COURTESY ZSL)

රන් හෝතඹුවා 

අඳුරු දුඹුරු පැහැති සමක් සහිත සත්ත්ව විශේෂයක් වන අතර, “පැණි උගුඩුවා, සපුමල් කලවැද්දා” යන නම්වලින් ද හඳුන්වනු ලබනවා. ඒකචාරී, නිශාචර සත්ත්ව විශේෂයක් වන මොවුන් ඉතා කුඩා සංඛ්‍යාවලින් ලංකාව පුරා වාර්තා වී තිබෙනවා. බහුල වශයෙන් සිංහරාජය, සීගිරිය, උඩවලව, සහ යාල වැනි ප්‍රදේශවලින් මෙම සත්ත්ව විශේෂය වාර්තා වෙනවා. 

රන් හෝතඹුවන් අල්ලා තබා ගැනීම හෝ දඩයම් කිරීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් ක්‍රියාවක් වන අතර එවැනි ක්‍රියාකාරකමක් සිදුකර ඇත්නම් අත්තඩංගුවට ගෙන නඩු පැවරීම හෝ දඩ ගැසීමට අවශ්‍ය නෛතික පසුබිම සකසා තිබෙනවා. මොවුන් වඳවී යාමේ දැඩි තර්ජනයකට ලක්වී ඇති බැවින් ලංකාවේ සත්ත්වෝද්‍යාන ආශ්‍රිතව, ආරක්ෂිත ලෙස මොවුන්ගේ අභිජනන කටයුතු සිදුකොට රක්ෂිත ප්‍රදේශ තුළට නිදහස් කිරීමට ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කර තිබුණා. ඒ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහාය ලබා දීමට එකඟතාව පළකොට තිබුණා. 

රන් හෝතඹුවා (funnypetslk.wordpress.com)

ගඩයා

ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂයක් වන ගඩයා මුල්ම වරට හඳුනාගෙන තිබෙන්නේ ආචාර්ය පී.ඊ.පී. දැරණියගල, තබ්බෝව වනාන්තර ප්‍රදේශය ආශ්‍රිතව යි. ඉන් පසු මොවුන් වඳවී ගිය මත්ස්‍ය විශේෂයක් බවට විශ්වාස කරනු ලබුණා. නමුත් පසු කාලීනව නැවත වතාවක් මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලින් මොවුන් වාර්තා වී තිබෙනවා. මීට අමතරව නාවලපිටිය සහ කොත්මලේ ප්‍රදේශවලින් ද ඉතා අල්ප වශයෙන් මෙම මත්ස්‍ය විශේෂය වාර්තා වී තිබෙන බව සඳහන්. 

මෙම මත්ස්‍ය විශේෂයෙහි තොල් තරමක් විශාලව වර්ධනය වන අතර මුඛය යටි අතට පිහිටා තිබෙනවා. මොවුන් 40cm-60cm අතර දිගකින් වර්ධනය වෙනවා. ප්‍රධාන වශයෙන් ජලජ ඇල්ගී ආහාරය ලෙස ලබාගන්නා මොවුන්ගේ මුඛය දෙපසින් කුඩා අංකුර දෙකක් දැකගත හැකියි. මහවැලි ගඟ ආශ්‍රිතව ඉදිකළ පොල්ගොල්ල ව්‍යාපෘතිය නිසා මොවුන්ගේ වාසස්ථාන අහිමිවීම මොවුන් අධි තර්ජනයකට ලක් වීමට ප්‍රධාන හේතුව යි. නමුත් පොල්ගොල්ල ඉදිකිරීම්වලින් අනතුරුව පේරාදෙණිය වරාතැන්න ප්‍රදේශයෙන් නැවත මොවුන් ඉතා සුළු වශයෙන් ජීවත් වන බව සොයා ගැනීමට හැකියාව ලැබී තිබුණා. 

වාසස්ථාන අහිමි වීමට අමතරව මෙම විශේෂය පිළිබඳ ධීවරයන් සතුව පවතින අල්ප දැනුම නිසා, අනෙකුත් පොදු මත්ස්‍ය විශේෂ සමග මෙම මත්ස්‍ය විශේෂ ද දඩයමට ලක්වීම, මොවුන් වඳවී යාමේ තර්ජනයට ලක්කරනවා. 

ගඩයා (funnypetslk.wordpress.com)

ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා

ශ්‍රී ලංකාවට ආවේණික මෙම සමනල් විශේෂය ශ්‍රී ලංකාවේ “ජාතික සමනලයා” ලෙස 2010 වර්ෂයේ දී නම් කොට තිබෙනවා. සියොත් පියාසැරියා, සියොත්වැන්නා, සහ සියොත්පියා වැනි දේශීය නම්වලින් ද මෙම සමනල විශේෂය හඳුන්වනු ලබනවා. මෙම සමනල විශේෂය ලංකාවේ හමුවන විශාලතම සමනල විශේෂය යි. ඉතා ආකර්ෂණීය මෙම සමනල් විශේෂයක් වන මොවුන් ශ්‍රී ලංකාවේ පහතරට කලාපයේ ගංගා දොළ පහර ආශ්‍රිතව දැකගත හැකියි. 

පොදුවේ ගත්කළ ලංකාවේ සියළු සමනල විශේෂ සහ කෘමීන් ඉතා අවධානම් ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්වී තිබෙන්නේ කෘෂිකාර්මික පලිබෝධනාශක භාවිතය ඉතා ඉහළ මට්ටමක පැවතීම නිසා යි. මෙම සමනල් විශේෂයෙහි ඇති ඉතාම විශේෂ ලක්ෂණය වන්නේ, මොවුන් සිය බිත්තර තැන්පත් කිරීම සිදු කරන්නේ “සස්සඳ” ශාකයේ පමණක්ම වීම යි. එම හේතුව නිසා මොවුන් වඳවී යාමේ තර්ජනයට ලක්වීමට වඩා, සස්සඳ ශාකය වඳ වී යාමේ අවදානම පැවතීම හරහා මොවුන්ගේ පැවැත්මට තර්ජන එල්ල වී තිබෙනවා. ශ්‍රී ලංකාවට ආවේණික මොවුන් රැක ගැනීමට නම් සස්සඳ ශාකය රැක ගැනීම කළ යුතුම යි. 

ශ්‍රී ලංකා මහ කුරුලු පිය පැපිලියා (studyinsrilanka.org)

මනුෂ්‍ය වර්ගයා සිය ආධිපත්‍යය ලෝකය පුරා පැතිරවීම සහ සොබාදහම අත්‍රික්‍රමණය කිරීම නිසා එහි අතුරුඵලයක් ලෙස බොහෝ ජීවීන් මිහිමතින් වඳවී යාම හෝ වඳවී යාමට දින නියම වී අවසන් වී තිබෙනවා. මෙහි බරපතලම ගැටළුව පවතින්නේ මොවුන් මිහිමතින් වඳවී යාම සමග පරිසරයේ සමතුලිතතාවය බිඳ වැටීම යි. එහි අවසාන ඵලය වන්නේ, මනුෂ්‍ය ක්‍රියාකාරකම්හි අතුරුඵල පෙරලා මනුෂ්‍ය වර්ගයාහටම පහර දෙන බූමරංගයක් වීම යි. 

Related Articles