පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීම සඳහා සොබාදම් මෑණිය විසින් පිරිනැමූ තිළිණයක් ලෙස කුරුල්ලන් හැඳින්වීමට හැකි යි. අප කවවුරුත් පාහේ සවන්දෙන්නට ප්‍රිය කරන හඬක් මෙන්ම දකින්නට ප්‍රියකරන දසුනක්ය කුරුල්ලන්. ස්වභාව සුන්දරත්වය අතින් ඉහළ රටක් වන ශ්‍රී ලංකාව තුල ද ඉතාමත් දුර්ලභ ගණයේ, එමෙන්ම සුන්දරත්වයෙන් මුල්තැන සිටින පක්ෂීන් රැසක් ද දැකගැනීමට හැකි යි. එහිදී ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්ට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. නමුත් වර්තමානය වන විට මෙම ආවේණික පක්ෂීන් අතරින් බොහෝ දෙනෙකු වඳවීමේ තර්ජනයට මුහුණ පා තිබෙනවා. එලෙස වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇති, ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් කීපදෙනෙකු පිළිබඳව විස්තර මෙම ලිපියෙන් ගෙන එනවා.

ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත

ලංකාවට ආවේණික පක්ෂීන් පිළිබඳව අවධානය යොමු කරන්නට පෙර,ර ලංකාවේ කුරුළු සම්පත පිළිබඳව සඳහන් කිරීම ද වැදගත්. එහිදී ශ්‍රී ලංකාව තුල කුරුළු විශේෂයන් 444ක් පමණ දක්නට ලැබෙනවා. ඒ අතරින් විශේෂයන් 203ක් සංචාරක පක්ෂීන් වන අතර තවත් විශේෂයන් 33ක් පමණ ලංකාවට ආවේණික බව හඳුනාගෙන තිබෙනවා. තව දදකින්නට ලැබෙනපක්ෂි විශේෂයන් 128ක් ජලාශ්‍රිත පක්ෂීන් වන අතර ඉන් 34ක් මුහුදුබදව වෙසෙන මුහුදු පක්ෂීන් වෙයි. එසේම ගොඩබිම ආශ්‍රිතව වෙසෙන පක්ෂීන් විශේෂ 232ක් පමණද හදුනාගෙන තිබෙයි. මේ ආකාරයට ලංකාවේ කුරුළු සම්පත පිළිබඳව හඳුනාගැනීමට ලැබෙන අතර ලංකාවට ආවේණික පක්ෂීන් බොහෝ දෙනෙක් වඳ වී යාමේ තර්ජනයටද මුහුණ දී ඇති බව හදුනා ගන්නට ලැබෙනවා. එනිසා බොහෝ විට ලාංකිකයන්ට මෙම ආවේණික පක්ෂීන් දැක ගැනීමට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින් වන අතර ඔවුන් එක් ප්‍රදේශයකට පමණක් සිමා වී තිබෙනුද දකින්නට පුළුවන්.

වඳ වීයාමේ තර්ජනයට මුහුණපා ඇති ලංකාවට ආවේණික කුරුල්ලන් පිළිබඳව අධ්‍යයනය කරන විට ජාත්‍යන්තර සංරක්ෂණ ආයතනය ප්‍රකාශයට පත් කරන වඳ වීයාමේ තර්ජනය ඇති රතු ලැයිස්තුව (IUCN) මගින් ඉදිරිපත් කර ඇති තොරතුරු වැදගත් වෙනවා.

වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා ඇති ආවේණික පක්ෂීන්

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන් වර්ග තුනක් යටතේ හඳුනාගැනීමට හැකියි. එනම්, වඳ වීමේ තර්ජනට ලක්ව ඇති පක්ෂීන්, වඳ වීමේ අනතුරු සීමාවේ සිටින පක්ෂීන්, හා වඳ වීයාමේ තර්ජනට බඳුන්වීමේ හැකියාව ඇති පක්ෂීන් වශයෙනි. පහත සඳහන් වන්නේ එයින් කීපදෙනෙකි.

ශ්‍රී ලංකා අරංගයා- Sri Lanka Whistling Thrush

orientalbirdimages.org (ශ්‍රී ලංකා අරංගයා)

Myophonus blighi යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තු වර්ගීකරණයට අනුව වඳ වීයාමේ තර්ජනයට මුහුණ දී ඇති පක්ෂියෙක්.. මොවුන්ගේ පිරිමි කුරුල්ලා පෙනුමින් කළු හා තද දුඹුරු පියාපත් වලින් ද දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින්ද යුතු වෙනවා. කිරිල්ලිය දුඹුරු පැහැති යි. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුළෑටි හැසිරීමකින් යුතු වන අතර එම ලක්ෂණ බොහෝවිට පිරිමි සත්ත්වයාට වඩා ගැහැණු සත්ත්වයා තුලින් දැකගත හැකියි. අරංගයා බොහෝවිට දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව වාසය කරන්නට කැමැත්තක් දක්වනවා.

මොවුන් ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුල බිත්තර රැක පැටවුන් බිහි කිරීම සිදු කරනවා. හෝර්ටන් තැන්න, නුවර එළිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශයන් වලදී අරංගයා දැකගැනීමට හැකි අතර දැනට පක්ෂීන් 1000කට ආසන්න ප්‍රමාණයක් පමණක් වාසය කරතියි ඇස්තමේන්තු ගතකර තිබෙනවා.

ශ්‍රී ලංකා පඬු කන් බස්සා – Serendib Scops Owl

hiveminer.com ( ශ්‍රී ලංකා පඬු කන් බස්සා)

ශ්‍රී ලංකාවෙන් සොයාගන්නා ලද නවතම පක්ෂි වර්ගය ලෙස ලංකා පඬුකන් බස්සා හැදින්වීමට හැකියි. එසේම වඳ වී යාමේ තර්ජනයට මුහුණ දී ඇති තවත් පක්ෂියෙකු ලෙසද හැඳින්විය හැකි මෙම පක්ෂියා Otus Thilohoffmanni යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මොහුගේ ශරීරය ප්‍රධාන වශයෙන් පඬු පැහැ, එනම් කහ දුඹුරු, වන අතර කළු පැහැති තිත් ශරීරය පුරා විසිරී තිබෙනවා. ශරීර ප්‍රමාණයෙන් සෙන්ටිමීටර 17ක් පමණ වන කුඩා පක්ෂි විශේෂයක් වන මෙම පක්ෂීන් පහතරට වැසි වනාන්තර ආශ්‍රිතව ජීවත් වන අතර කෘමි විශේෂ ප්‍රධාන ආහාරය වෙනවා.

සිංහරාජ අඩවිය, කන්නෙලිය රක්ෂිතය, කිතුල්ගල රක්ෂිතය ආදී ප්‍රදේශයන් අශ්‍රිතව මෙම පක්ෂියා දැකගැනීමට හැකියි. ඉතාමත් දුර්ලභ වන මොවුන් දැනට ගණනින් 200 කටත් අඩු බව ඇස්තමේන්තු කර තිබෙයි.

වත රතු මල් කොහා – Red Faced Malkoha

wimukthiweeratunga… (වත රතු මල් කොහා)

රතු ලැයිස්තුවට අනුව වඳ වී යාමේ අනතුරු සිමාවේ සිටින පක්ෂියෙකු ලෙස වත රතු මල් කොහා හැඳින්විය හැකියි. Phaenicophaeus Pyrrhocephalus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පක්ෂියා පහතරට කඳුකරයේ හා වනාන්තර ආශ්‍රිතව වාසය කරයි. මෙම පක්ෂියා දිගින් සාමාන්‍ය ඇටි කුකුලෙකුට සමාන වන අතර ශරීරයෙන් සිහින් වෙයි. එසේම පෙඳය දිගු වන අතර රතු පැහැති මුහුණ මත සියුම් කෙදි වැනි පිහාටු දක්නට ලැබෙයි. හොටය ලා කොළ පැහැති ය. උදරය සුදු පැහැ වන අතර ලය කළු පැහැ වෙයි. තනිව, හෝ ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලි පක්ෂියෙක්. එහෙත් පියාපත් කෙටි හා රවුම් වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකු ලෙස හඳුනාගැනීමට හැකියි.

සාමාන්‍යයෙන් නිහඬ පක්ෂියෙකු වන මොහු කුඩා ඵල වර්ග ආහාරයට ගනියි. පහතරට තෙත්කලාපීය ඝන වනාන්තර ආශ්‍රිතව දැකිය හැකි මෙම පක්ෂියා යටි වියනේ සැරිසැරීමට ප්‍රිය කරයි. මොහු වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ සිංහරාජ, යාල, ලාහුගල, උඩවලව, හා වස්ගමුව වැනි වනෝද්‍යාන ආශ්‍රිතව යි.

ශ්‍රී ලංකා බට ඇටිකුකුළා – Green-billed Coucal

birdguides.com (ශ්‍රී ලංකා බට ඇටි කුකුලා)

Cenrtopus Chlororhynchos යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මෙම පක්ෂියා රතු ලැයිස්තුවට අනුව වඳ වීමේ අනතුරු සිමාවේ සිටින පක්ෂියෙකු වෙනවා. නිරිතදිග තෙත්කලාපය වාසභූමිය කරගත් බට ඇටි කුකුළා සිංහරාජ වනාන්තරය, හඳපාන් ඇල්ල, කන්නෙලිය හා දෙදියගල රක්ෂිතය වැනි ප්‍රදේශ වලින් හමුවෙනවා.

සෙන්ටිමීටර 45ක් පමණ දිගකින් යුතු මොහු කළු පැහැති හිසකින් හා පෙඳයකින් යුක්තයි. දුඹුරට හුරු රතු පැහැයෙන් යුතු අත්තටු යුගලක් තිබෙයි. සාමාන්‍ය ඇටි කුකුළාට සමාන පෙනුමකින් යුතු බට ඇටි කුකුළාගේ අත්තටු වල වර්ණය සාමාන්‍ය ඇටිකුකුළාගේ අත්තටු වල වර්ණයට වඩා තද පැහැයක් ගනියි. මොවුන් ශරීර ප්‍රමාණයෙන්ද සාමාන්‍ය ඇටිකුකුළාට වඩා සෙන්ටිමීටර 5ක් පමණ කුඩායි. මෙම පක්ෂීන් 3500-400ක් පමණ වාසය කරන බව අනුමාන කෙරෙනවා.

ශ්‍රී ලංකා මයිල පරවියා – Sri Lanka Wood Pigeon

exployala.com (ශ්‍රී ලංකා මයිල පරවියා)

වඳ වී යාමේ අනතුරු සීමාවේ සිටින තවත් පක්ෂියෙකු ලෙස සැලකෙන මයිල පරවියා “මයිලගොයා” වශයෙන්ද හඳුන්වනඅතර Columba Torringtonii යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබයි. මධ්‍යම කඳුකරයේ සදාහරිත තෙත් වනාන්තර වාස භූමිය කරගත් මයිලගොයා පරෙවි ගණයට අයත් පක්ෂියෙකි.

සෙන්ටිමීටර 36ක් පමණ දිගින් යුතු අඳුරු පැහැති පක්ෂියෙකු වන මයිලගොයාගේ හිස පිටුපස කළු-සුදු ඉරි සහිත ප්‍රදේශයක් ඇත. දැනට මෙම පක්ෂීන් 2000-3000ක් අතර ප්‍රමාණයක් ඇතැයි ගණන් බලා තිබෙන අතර වර්තමානයේ දී දැකීමට විරල බව වාර්තා වෙනවා.

වාසස්ථාන විනාශය, අධි කෘමිනාශක භාවිතය, ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම, මැණික් ගැරීම සඳහා කරන වන විනාශය ආදී බොහෝ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් මෙන්ම, තෙත් වනාන්තර ප්‍රමාණය කුඩා වීම හා මොවුන් වාසය කරන වනාන්තර එකිනෙකින් හුදෙකලාව පැවතීම ආදිය ද මොවුන් වඳ වී යාමේ තර්ජනයට ලක් වීම කෙරෙහි හේතු වී තිබෙනවා.

කවරයේ පින්තුරය: birdguides.com 

මූලාශ්‍ර:

mysrilanka.com

lanka.com

exploreyala.com

vidya-gaweshana.blogspot.com