ලෝකයක් ලෙස වර්තමානයේ අප මුහුණ දෙන ප්‍රධානම ගැටළුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම යි. කාබන් ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු ප්‍රතිශතය ඉහළ යාමත් සමග හරිතාගාර ආචරණය ප්‍රශස්ත මට්ටමට වඩා ඉහළ යාමක් සිදුවෙනවා. මේ හේතුවෙන් පෘථිවිය මතට වැටෙන හිරු කිරණ පරාවර්තනය වීමේ ගැටළු මතුවෙන අතර, ඒ හේතුවෙන් පෘථිවි මතුපිට උෂ්ණත්වය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ යනවා. මෙය ප්‍රධාන ලෙස ගෝලීය උණුසුම ඉහළ යාම ලෙස හඳුන්වා දෙනවා. 

ගෝලීය උණුසුම ඉහළ යාමත් සමගම ධ්‍රැවාසන්න ග්ලැසියර දිය වීමේ තත්ත්වයක් නිර්මාණය වන අතර, ඒ හේතුවෙන් කුඩා දූපත් මුහුදු ජලයෙන් යට වී යාම සිදුවෙනවා. විශේෂයෙන්ම, මේ හේතුවෙන් ආසියාකරයේ දූපත් ලෝක සිතියමෙන් ඉවත් වී යා හැකි බව එක්සත් ජාතීන් මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා.

වායු දූෂණය ඉහළ යාම, ඕසෝන් වියන සිදුරු වීම වැනි තවත් කරුණු වර්තමානයේ දී ලෝකයක් ලෙස මුහුණ දෙන අනෙකුත් ගැටළු ලෙස හැඳින්විය හැකි යි. 

පාරසරික සුරක්ෂිතභාවය තුළින් ඉහත අභියෝගවලින් මිදීමට හැකියාව ලැබෙන අතර, ඕසෝන් වියන සුරැකීම සඳහා මෙන්ම ගෝලීය උණුසුම ඉහළ නැංවීම පාලනය සඳහා ද ලෝකයේ රටවල නායකයන් එකතු වී විවිධ සම්මුති සඳහා සිය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අතරින් ඕසෝන් වියන ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වන වියානා සම්මුතිය හා මොන්ට්‍රියෙල් සම්මුතියත් ගෝලීය උණුසුම ඉහළ යාම පාලනය කිරීම සඳහා අත්සන් තබන ලද කියතෝ සම්මුතිය හා පැරිස් සම්මුතිය පිළිබඳවත් තමයි මෙම ලිපිය සඳහන් වෙන්නේ.

ඕසෝන් වියන සුරැකීම සඳහා වන වියානා සම්මුතිය- 1985 (The Vienna Convention for the Protection of the Ozone Layer)

ඕසෝන් සිදුර (i.ytimg)

ඕසෝන් වියන, සූර්යයා වෙතින් නිකුත් වන අහිතකර පාරජම්බුල කිරණ පෘථිවිය මත පතිත වීම අඩාළ කරමින් මිහිමත සියලු ජීවීන්ගේ මෙන්ම සමස්‌ත පරිසර පද්ධතියේ ආරක්ෂාව සඳහා වැදගත් මෙහෙයක් ඉටුකරයි. එය සුරැකීම සම්බන්ධයෙන් වන ප්‍රථම අන්තර්ජාතික සම්මුතිය වන්නේ වියානා සම්මුතිය යි. 

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) හා ලෝක කාලගුණ විද්‍යා සංගමයේ (WMO) මෙහෙයවීම මත ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍ය ක්‍රමයෙන් අඩුකිරීම සඳහා රාජ්‍යයන් ගිවිස ගැනීම 1985 වසරේ වියානා සම්මුතිය ඔස්සේ සිදුවෙනවා. මේ මඟින් ඕසෝන් ස්ථරය ක්‍රමානුකූලව නිරීක්ෂණය කිරීම, ක්ලොරෆ්ලොරෝ කාබන් (CFC) නිෂ්පාදනය අධීක්ෂණය කිරීම, පර්යේෂණ හා තොරතුරු හුවමාරු සඳහා අන්තර් රාජ්‍ය සහයෝගිතාව ලබාගැනීම වැනි අභිමතාර්ථ ක්‍රියාවට නැංවීමට අදහස් කෙරෙනවා. ශ්‍රී ලංකාව 1989 වසරේ දී මෙම සම්මුතියට ඇතුළත් වන අතර, වියානා සම්මුතියේ වර්තමාන සාමාජිකයන් ගණන 197ක් වෙනවා.

ඕසෝන් වියනට හානි පමුණුවන ප්‍රහීනකාරි ද්‍රවය තුරන් කිරීම සඳහා වූ මොන්ට්‍රියල් සන්ධානය- 1987 (The Montreal Protocol on Substances That Deplete the Ozone Layer)

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (ceu.edu)

ඕසෝන් වියන ක්ෂයකාරක, නිෂ්පාදනය අඩු කිරීම හා අවසානයේ දී සම්පූර්ණයෙන්ම නතර කිරීම සඳහා වූ සම්මුතිය වන මොන්ට්‍රියල් සන්ධානය 1987 වසරේ දී කැනඩාවේ දී අත්සන් තැබෙනවා. මෙය අත්සන් තැබූ සැප්තැම්බර් 16 වන දින “ලෝක ඕසෝන් දිනය” ලෙස නම් කර තිබෙනවා. මොන්ට්‍රියල් සන්ධානයේ වත්මන් සාමාජිකයන් ගණන 197ක්. 1989 වසරේ දී ශ්‍රී ලංකාව ද මේ සඳහා ඇතුළත් වෙනවා. ලන්ඩන්, කොපර්හේගන් හා බිජිං ලෙස පසුව පැමිණි සියලු සංශෝධන ලංකාව විසින් අනුමත කරන ලද අතර වර්තමානය වන විට ලෝකයේ සාර්ථකම පරිසර එකඟතාවයක් ලෙස මෙය හැඳින්විය හැකි යි. මොන්ට්‍රියල් සන්ධානයට අනුව සාමාජික රටවල් සඳහා තනි තනි ඉලක්ක ලබා දී ඇති අතර, 2030 වසර වන විට ශ්‍රී ලංකාව ඕසෝන් ක්ෂයකාරක ද්‍රව්‍යවලින් 100%ක් තොර වන බවට පොරොන්දු දී තිබෙනවා.

2006 වසරේ දී ඇන්ටාක්‌ටික්‌ අර්ධ ගෝලයේ ඕසෝන් ස්‌ථරයේ තුනී වීමක්‌ දකින්න ලැබුණු පසුව එය ඉතා විශාල ප්‍රදේශයක් පුරා පැතිර යනවා. මෙය ඕසෝන් සිදුර ලෙස හැදින්වුණු අතර, මිනිසා විසින් මෙම සම්මුති යටතේ ඕසෝන් ක්ෂයකාරක නිකුත් කිරීම අඩු කිරීම මඟින් වත්මන විට ඕසෝන් සිදුර ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බව විද්‍යාඥයන් විසින් පවසනවා.

කියොතෝ සන්ධානය- 1997 (Kyoto Protocol)

හරිතාගාර ආචරණය සඳහා බලපාන වායු (azimah58)

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කර ගනිමින් සංවර්ධිත රාජ්‍ය හා අනෙකුත් පාර්ශව සිය හරිතාගාර වායු විමෝචනය 1990 වසරේ පැවති මට්ටමේ සිට 5%කින් 2008 – 2012 අතර කාලය තුළ දී අඩුකර ගැනීමට අරමුණු කර ගනිමින් 1997 වසරේ දී ජපානයේ කියෝතෝ හි මෙම සන්ධානය පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව ද 2002 වසරේ දී මේ සඳහා ඇතුළත් වෙනවා. ගෝලීය උණුසුම, හරිතාගාර වායුන් පිළිබඳව කතාබහට ලක් වූ ප්‍රථම සම්මුතිය ලෙස මෙය හඳුන්වනවා.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන පැරිස් සම්මුතිය- 2015 (United Nations Climate Change Conference)

හරිතාගාර වායු ප්‍රතිශතය ඉහළ යාම හේතුවෙන් ලෝකය අද මුහුණපාන ප්‍රධානම ගැටළුව වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාම යි. (sciencenews)

දේශගුණික විපර්යාස අවම කොට ඒවායේ බලපෑම්වලට මුහුණ දීම සඳහා කටයුතු කිරීම 2015 වසරේ ඇති කර ගත් පැරිස් සම්මුතියේ ප්‍රධාන අරමුණ යි. ඒ අනුව ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 2ට අඩු මට්ටමක පවත්වා ගැනීමට ඇමෙරිකාව ඇතුළු රටවල් 187ක් එකඟ වෙනවා. තවදුරටත් එය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ගෙන ඒම සඳහා උනන්දු කෙරුණු නමුත්, සිරියාව සහ නිකරගුවා පමණක් මෙම පහළ දැමීමට එකඟ වෙන්නේ නෑ. නමුත්, වර්තමානය වන විට මෙම සම්මුතියෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වී තිබෙනවා.

මෙම සම්මුතිය අනුව කාබන් ඩයොක්සයිඩ් වායුව විමෝචනය වීම අඩු කිරීමට ඇමෙරිකානු කර්මාන්තශාලා වසා දැමීමට සිදුවීම හා ඒ ඔස්සේ ඇමෙරිකානුවන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වීම වැනි ප්‍රධාන කරුණු හේතුවෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම ගිවිසුමෙන් නිල වශයෙන් ඉවත් වී තිබෙනවා.

කවරයේ පින්තූරය- rsm-media-cdn

මූලාශ්‍රයයන්:

unfccc.int

vienna protocol

unenvironment.org