Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉස්සන් වගාව මඟින් සිදුවන පරිසර හානිය

ඉතාමත් රසවත් ආහාරයක් වන ඉස්සන් ආහාරයට ගැනීමට බොහෝ දෙනෙකු ප්‍රියතාවයක් දක්වනවා. එම නිසා ලංකාවේ වෙළඳපොළ තුළ ඉස්සන්ට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඉස්සන් වෙළඳපොළ තුළ හොඳ මිලකට අලෙවි වන නිසා එම කර්මාන්තයේ යෙදෙන පිරිස විශාල ලාභ ලබනවා. පසුගිය කාලයේ ඉස්සන් වගාකරුවන් ලද සාර්ථකත්වය නිසා ඉස්සන් කොටු ඉදි කිරීම සඳහා අනවසරයෙන් ඉඩම් ඩෝසර් කරන ආකාරය ගැන අසන්නට ලැබුණා. පසුගිය මාසයේ රැම්සා තෙත්බිමක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙන ආනවිලුන්දාව තෙත්බිමට අයත් ප්‍රදේශයක් පවා ඉස්සන් කොටුවක් ඉදිකිරීම සඳහා ඩෝසර් කර තිබීම කණගාටුදායක සිදුවීමක් වුණා. 

ආනවිලුන්දාව ඩෝසර් කර තිබුණු අයුරු (Mawrata)

මෙරට ඉස්සන් වගාවේ ආරම්භය 

1977 වසරේ බලයට පත්වුණු එක්සත් ජාතික පක්ෂ රජය විවෘත ආර්ථික ක්‍රමය මෙරටට හඳුන්වා දුන්නා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉස්සන් වගාව අප රට තුළ වාණිජ වගාවක් ලෙසින් ආරම්භ වුණා. 80 දශකයේ මුල භාගයේ දී ඉස්සන් වගාව සඳහා වැඩි පිරිසක් යොමුවන ආකාරය දක්නට ලැබුණා. ඒ ඉස්සන් කොටු මඟින් විශාල ලාභයක් ලබාගැනීමට හැකි වුණු නිසා යි. එහි දී ඉස්සන් වගාව මහා පරිමාණයෙන් සිදු කළ දිස්ත්‍රික්ක අතුරින් ප්‍රමුඛස්ථානයක් හිමි වුණේ පුත්තලම දිස්ත්‍රික්කයට යි. 1984 වසරේ දී පමණ පුත්තලම මරම්බැට්ට ප්‍රදේශයෙන් ආරම්භ වුණු ඉස්සන් වගාව අක්කර 160ක පමණ භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී තිබුණා. එම වගාව ටික කලකින් හලාවත, මුන්දලම, පුත්තලම කලපුව වැනි ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වුණා. 80 දශකයේ අග භාගය වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගා කරන භූමි ප්‍රමාණය අක්කර 600 දක්වා වැඩි වී තිබුණා. එසේම එම අවධිය වන විට උඩප්පුව, මදුරන්කුලිය, සහ කරුකපනේ වැනි ප්‍රදේශ දක්වා ඉස්සන් වගාව ව්‍යාප්ත වී තිබුණා.

ඉස්සන් වගාව ක්‍රමයෙන් දියුණු වුණු හැටි 

ඉස්සන් වගාව විශාල ලෙසින් ලාභ ලබන කර්මාන්තයක් බව හඳුනාගත් නිසා මහා පරිමාණයේ පෞද්ගලික සමාගම් ඉස්සන් වගාව සඳහා අවතීර්ණ වුණා. එසේම සාමාන්‍ය ජනතාව ද සුළු සහ මධ්‍යම පරිමාණයෙන් ඉස්සන් වගාවෙහි නිරත වුණා. එම නිසා 90 දශකයේ මැද භාගය වන විට ඉස්සන් වගාව සඳහා යොදාගත් බිම් ප්‍රමාණය හෙක්ටයාර 10000 දක්වා වර්ධනය වී තිබුණා. එලෙස වැඩි වුණු ඉස්සන් කොටු අතර නීත්‍යානුකූල ඉස්සන් කොටු සහ අනවසර ඉස්සන් යන වර්ග 2ම දක්නට ලැබුණා. අනවසර ඉස්සන් කොටු වැඩි වශයෙන් ඉදි වුණේ ඉස්සන් වගාව වඩාත් ලාභදායී කර්මාන්තයක් යන සිතුවිල්ල සමාජගත වෙමින් පැවතුණු නිසා යි. 

ඉස්සන් එකතු කරන දෙදෙනෙක් (Deshaya)

ඉස්සන් වගාව පරිහානියට ලක් වීම 

අනවසරයෙන් පවත්වාගෙන ගිය ඉස්සන් කොටු සඳහා පුංචි පැටවුන් පිටරටින් ආනයනය කළා. එලෙස විදෙස් රටවලින් නිසි ප්‍රමිතියක් නැතිව සිදුකළ ආනයන නිසා 1996 වසරේ දී මෙරට ඉස්සන් වගාව මුල්ම වරට සුදු පුල්ලි රෝගයට ගොදුරු වුණා. ඉන් අනතුරුව ක්‍රමයෙන් පැතිරී ගිය රෝගය නිසා 2003 වසර වන විට මෙරට ඉස්සන් දැඩි පරිහානියකට ලක් වුණා. 2000 වසරේ දී ඉස්සන් අපනයනයෙන් ලද රුපියල් මිලියන 5131ක ආදායම 2002 වසර වන විට රුපියල් මිලියන 3291 දක්වා අඩු වීම එයට නිදසුනක් ලෙස දැක්විය හැකියි. 

ඉස්සන් වගාව යළි ගොඩනැගීම

ඉස්සන් වගාවට සුදු පුල්ලි රෝගය වැළඳීමට එක් හේතුවක් වුණේ ඉස්සන් ආනයනය යි. නිසි ප්‍රමිතියකින් තොර ඉස්සන් පැටවුන් ආනයනය කිරීම නිසා එම රෝගය වැළඳීම වැලැක්වීම සඳහා මෙරට තිබුණු ඉස්සන් අභිජනන මධ්‍යස්ථාන යළි පණගන්වනු ලැබුවා. එසේම ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය විසින් ඉස්සන් වගාව සඳහා ජලය ලබාගත් ජල ප්‍රවාහයන් එම වගාවට සුදුසු ආකාරයට සකස් කළා. එම නිසා මෙරට ඉස්සන් වගාව යළි දියුණුවට පත් වුණා. එලෙස ඉස්සන් වගාව යළි දියුණුවට පත්වන විට බොහෝ පිරිස් එම වගාව සඳහා යොමුවන ආකාරය දක්නට ලැබුණා. එහි දී අනවසරයෙන් ඉඩම් එළිපෙහෙලි කර ඉස්සන් කොටු සාදාගැනීම නිසා විශාල පරිසර හානියක් සිදුවුණා. 80 දශකයේ සිට ක්‍රියාත්මක වන එම හානිදායක වැඩපිළිවෙළ නිසා ඉස්සන් කොටු ආශ්‍රිත ප්‍රදේශවල පරිසරයට  දැඩි හානියක් සිදුව තිබෙනවා.

අල්ලාගත් ඉස්සන් (Deshaya)

ඉස්සන් වගාව නිසා සිදුවන පරිසර හානිය 

ඉස්සන් කර්මාන්තය හේතුවෙන් සිදුවන පරිසර හානිය සුළුපටු නැහැ. එම කර්මාන්තය සඳහා කඩොලාන මඩතැනි සහ තෙත් බිම් යොදා ගැනීම, ඉස්‌සන් සඳහා භාවිත කරන ආහාර වර්ග මෙන්ම වෙනත් රසායනික ද්‍රව්‍ය කලපුවට එක්‌ වීම, කලපුවේ ජල දූෂණයටත් අවට පරිසර දූෂණයටත් හේතුවක්‌ වනවා. එසේම  ඉතිරි වන ආහාර ද්‍රව්‍ය, ඉස්‌සන් ගේ මළපහ, ශාක ප්ලවාංග, බැක්‌ටීරියා, ඇමෝනියා, පොස්‌පරස්‌ හා යූරියා වැනි රසායනික ද්‍රව්‍ය කලපු ජලය දූෂණය කරන බව නිදසුනක්‌ ලෙස පෙන්වා දිය හැකි යි. ඉස්සන් වගාව සඳහා කලපු, ගංඟා, මෝය, ආශ්‍රිත කඩොලාන ශාක විනාශ කිරීම සීඝ්‍රයෙන් වර්ධනය වුණු ආකාරයටම ඉඩම් මංකොල්ලකරුවන් රජයේ රක්ෂිත ඉඩම්වලට හොර ඔප්පු සකසමින් ඉස්සන් වගාව සඳහා ඉඩම් සොයා එන පුද්ගලයන්ට, සමාගම්වලට එම ඉඩම් විකිණීම සිදුව තිබෙනවා. එලෙස පුත්තලම ප්‍රදේශය ආශ්‍රිතව ඉස්සන් වගාව නිසා සිදුවන පරිසර විනාශයේ නවතම සිදුවීම ලෙසින් වාර්තා වුණේ ආනවිලුන්දාව රැම්සා තෙත්බිමේ කොටසක් ඉස්සන් කොටුවක් සෑදීම සඳහා ඩෝසර් කිරීම යි. 

කඩොලාන පරිසර පද්ධතිය අපට වැදගත් වන්නේ ඇයි?

ලෝකයේ තිබෙන පරිසර පද්ධතිය අතරින් ඉතා වැදගත් පරිසර පද්ධතියක් ලෙස කඩොලාන හැඳින්විය හැකියි. ශ්‍රී ලංකාව ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර දුපතක් නිසා රට වටාම ඇති වෙරළ තීරය ආශ්‍රිතව කඩොලාන පරිසර පද්ධතීන් දැකගත හැකියි. එම කඩොලාන පරිසර පද්ධති මඟින් පහත දැක්වෙන කාර්යයන් ඉටු කරනු ලබයි.

1) බොහෝ මසුන්, ඉස්සන්, කකුළුවන් වැනි සත්ත්ව විශේෂවල ලාබාල අවධි ගත කරන ස්ථාන මෙන්ම අභිජනන ස්ථානයක් වීම.

2) කුඩා සතුන්ට විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සැඟ වී සිටීමට හැකි වීම හා ආහාර සුලභ වීම.

3) කඩොලාන ශාක මඟින් පත්‍ර හා අනෙකුත් ශාක කොටස් ලෙස කාබනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පරිසරයට එකතු කිරීම.

4) ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය අධික වීම.

5) මෙම පරිසර පද්ධතිය මඟින් ජීවීන් විශාල සංඛ්‍යාවකට ආහාර සැපයීම.

6) වෙරළාසන්න ප්‍රදේශවලින් මුහුදට එකතු වන දූෂිත ජලය රඳවා තබා ගනිමින් ඒවායේ විෂ බව පහත හෙළීම මඟින් පරිසර දූෂණය අවම කිරිමට දායක වීම.

7) මෝය හා ඉවුරු ඛාදනය වැළැක්වීම.

8) ධීවර කර්මාන්තය සඳහා මසුන් බහුල ස්ථානයක් වීම හා මත්ස්‍ය උගුල් ලබා ගත හැකි ස්ථානයක් වීම.

9) මාළු දැල් සඳහා සායම් ලෙස ද ඔරු සඳහා දැව ද මෙම පරිසරයෙන් ලබා ගත හැක.

10) කඩොලාන ශාක ඉන්ධන, දැව, පොහොර හා ඖෂධ ලෙස ද යොදා ගනි.

11) පරිභෝජනය සඳහා කැරන් කොකු ද පැදුරු හා කූඩා විවීමට පන් වර්ග ද සපයා ගත හැකිවීම.

12) ශාක හා සත්ත්ව විවිධත්වය නිසා ජීව විද්‍යාව හදාරන්නන්ට කඩොලාන පරිසරය එළිමහන් විද්‍යාගාරයක් වීම.

කඩොලාන පරිසර පද්ධතියක් (Dinamina)

ඉස්සන් වගාව මඟින් අප රටේ ආර්ථික සවිමත් කිරීමට සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනවා. නමුත් එම වගාව මඟින් සිදුවන පරිසර හානිය ක්‍රමයෙන් වැඩිවන ආකාරය දක්නට ලැබෙනවා. එම නිසා අදාළ බලධාරීන් ක්‍රියාත්මක වී පරිසරය වනසමින් අනවසරයෙන් සිදුකරන ඉස්සන් වගාවට වැට බැඳිය යුතු යි. තවදුරටත් පරිසරය වනසමින් මෙම වගාව සිදුකරගෙන ගියොත් අනාගතයේ දී එම ප්‍රදේශවල ඉස්සන් කොටු පිරි මුඩුබිම් පමණක් ඉතිරි වනු ඇති.

කවරයේ ඡායාරූපය- hiloved.com

Related Articles