කටුපොල් වගාව නිසා සිදුවන පරිසර හානිය

කටුපොල් වගාව තහනම් කිරීම සම්බන්ධයෙන් ලාංකීය සමාජය තුළ කතිකාවතක් ආරම්භ වුණේ මීට වසර කිහිපයකට පෙර යි. එදා සිට කටුපොල් වගාව මෙරටින් තුරන් කිරීම සඳහා විවිධ පාර්ශවයන් හඬ නැඟුවත් එය තවමත් සාර්ථක වී නැහැ. නමුත් පසුගිය දිනක ජනාධිපතිවරයා පැවසුවේ ඉදිරියේ දී කටුපොල් වගාව අප රට තුළ තහනම් කිරීමට කටයුතු කරන බව යි.

කටුපොල් වගාව ලංකාව තුළ තහනම් කිරීම සඳහා පරිසර සංවිධාන විසින් හඬක් නගන්නේ එම ශාකයෙන් පරිසරයට සිදුවන විනාශය නිසා යි. කටුපොල් වගාව, සහ එසේ සිදුවන විනාශය කෙබඳුදැයි අපි දැන් සොයා බලමු.

කටුපොල් වගාවේ ඉතිහාසය 

මැලේසියාවේ කටුපොල් වගා බිමක් (gettyimages)

1848 වසරේ දී ජාවා දූපත්වල සිටි ලන්දේසි ජාතිකයන් විසින් මුල්ම වරට කටුපොල් වාණිජ්‍ය වගාවක් ලෙස ආරම්භ කරනු ලැබුවා. එලෙස ආරම්භ වුණු කටුපොල් වගාව 1910 වසරේ දී මැලේසියාවට හඳුන්වා දුන්නේ ස්කොට්ස්මන් විලියම් සහ හෙන්රි ඩර්බි යන පුද්ගලයන් දෙදෙනා යි.

1956 වසරේ ජූලි 1 වැනිදා Federal Land Development Authority නම් ආයතනය පිහිටවනු ලැබුවේ මැලේසියාවේ ඉඩම් සංවර්ධන පනතට අනුව දරිද්‍රතාවය පිටුදැකීම සඳහා යි. වර්තමානය වන විට ලෝකයේ විශාලතම කටුපොල් බිම් ප්‍රමාණයක අයිතිය තිබෙන්නේ එම ආයතනය සතුව යි. ඔවුන් සතුව ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ තිබෙන කටුපොල් බිම් ප්‍රමාණය හෙක්ටයාර 900,000ක් පමණ වනවා.

1960 දශකයේ දී රබර් මිල ගණන් පහත වැටුණු නිසා මැලේසියාවේ රබර් වගා බිම් ඉවත් කර කටුපොල් වගා කරනු ලැබුවා. 1961 වසරේ දී එරට වර්ග කිලෝමීටර් 4ක සිදු කෙරුණු කටුපොල් වගාව 2000 වසර වන විට වර්ග කිලෝමීටර් 6855ක් දක්වා ව්‍යාප්ත වුණා. එසේම ඉන්දුනීසියාව තුළ ද කටුපොල් වගාව මහා පරිමාණයෙන් සිදු කරනවා. බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනිබත් කරමින් කටුපොල් වගාව සිදුකිරීම නිසා පාරිසරික ගැටලු රැසක් ඇති වුවත්, එම රටවල් කටුපොල් වගාවෙන් ලබන ඉහළ ආදායම නිසා වගාව අඛණ්ඩව සිදු කරගෙන යනවා.

ලංකාවට කටුපොල් පැමිණි හැටි 

ලංකාවේ කටුපොල් වගා බිමක් (Colombo Magazine)

1968 වසරේ දී ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ආරම්භ වුණා. ජෙරී වේල්ස් නම් යුරෝපීය වැවිලිකරුවා ‘නාකියාදෙණිය’ වතු යායේ හෙක්ටයාර 0.5ක භූමියක කටුපොල් ගස් 68ක් සිටුවමින් එම වගාව ආරම්භ කළා. ඉන් පසුව විවිධ සමාගම් මෙරට තුළ කටුපොල් වගාව කරගෙන යාම සඳහා අනුග්‍රහය දක්වනු ලැබුවා. එම නිසා වර්තමානය වන විට හෙක්ටයාර 10,000කට වඩා වැඩි බිම් ප්‍රමාණයක කටුපොල් වගාව සිදුකරනවා.

වටවල වැවිලි සමාගම, නමුණුකුල වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම, අගලවත්ත වැවිලි සමාගම, කෑගල්ල වැවිලි සමාගම සහ බොගවන්තලාව වැවිලි සමාගම යන වැවිලි සමාගම්  පසුගිය කාලයේ දී මෙරට තුළ කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා අනුග්‍රහය ලබාදුන්නා. මුල් යුගයේ දී ගාල්ල, මාතර, සහ කළුතර යන දිස්ත්‍රික්ක තුළ ව්‍යාප්ත කර තිබුණු කටුපොල් වගාව පසුකලෙක කොළඹ, රත්නපුර, සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ද හඳුන්වා දුන්නා. එහි දී රබර් වගා බිම් ඉවත් කරමින් කටුපොල් වගාව ආරම්භ කෙරුණා. 

කටුපොල් වගාව නිසා සිදුවන පරිසර හානිය 

දැනට ලෝකයේ එළවළු තෙල් නිෂ්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන්නේ කටුපොල්, සෝයා, කැනෝලා, සූරියකාන්ත යන ශාක ශාක වර්ග හතර යි. එම ශාක වර්ග අතුරින් එක් හෙක්ටයාරයකින් වැඩිම තෙල් ප්‍රමාණයක් ලබාදෙන්නේ කටුපොල් ශාකය යි. දිනෙන් දින එළවළු තෙල්වල අවශ්‍යතාවය වැඩි වන නිසා ලෝක වෙළඳපොළ තුළ කටුපොල් ශාකයට ඉහළ වටිනාකමක් ලැබී තිබෙනවා.

කටුපොල් ශාකය වාණිජ්‍යමය වශයෙන් ඉහළ වටිනාකමක් ඇති ශාකයක් වුවත්, එය ලංකාව තුළ තහනම් කරන මෙන් හඬක් නැගෙන්නේ ඉන් සිදුවන පරිසර හානිය නිසා යි. පහත දක්වා තිබෙන්නේ කටුපොල් වගාව තුළින් පරිසරයට සිදුවිය හැකි හානිය පිළිබඳව යි.

එළවළු තෙල් (gettyimages)

ජල උල්පත් සිඳී යාම 

කටුපොල් ශාකයේ පැවැත්ම සඳහා ජලය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනවා. සාමාන්‍යයෙන් කටුපොල් ශාකයක් දිනකට ජලය ලීටර් 250ක් පමණ උරාගන්නවා. භූගත ජල ස්ථරය සීඝ්‍රයෙන් අඩු වීම නිසා ඇතැම් කටුපොල් වගා බිම් ආශ්‍රිත ප්‍රදේශවලට වියළි කාලයේ ජල හිඟයක් පවා ඇති වී තිබුණා. ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වන උඩුගම, නාකියාදෙණිය, නියාගම, ඇල්පිටිය වැනි ප්‍රදේශවල ජනතාව එලෙස ජල හිඟයකට මුහුණ දී තිබුණා. එම ප්‍රදේශවල ජනතාව එක්තරා ජාතික පුවත්පතක් හමුවේ ප්‍රකාශ කර තිබුණේ කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට පෙර වියළි කාලයේ එවැනි ජල හිඟයකට මුහුණ නොදුන් බවයි. ඉන් පැහැදිලි වන්නේ කටුපොල් වගාව නිසා ජල උල්පත් සිඳී යාමේ අවදානමක් තිබෙන බවයි.

පාංශු ඛාදනය

සාමාන්‍යයෙන් කටුපොල් වගාබිම්වල යටිරෝපණයක් දක්නට ලැබෙන්නේ නැහැ. අප රට තුළ කටුපොල් වගා බිම් වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ඉහළ වර්ෂාපතනයක් ලැබෙන, තෙත් කලාපය තුළ යි. වර්ෂා සමය එළඹීමෙන් පසුව කටුපොල් වගා බිම් ආශ්‍රිතව ප්‍රදේශවලට ලැබෙන වර්ෂා ජලයෙන් වැඩි ප්‍රමාණයක් මතුපිට පස් තට්ටුව සෝදාගෙන ගලා යන්නේ එහි යටිරෝපණයක් නොමැති නිසා යි. එම නිසා කටුපොල් වගා බිම් ආශ්‍රිතව පාංශු ඛාදනය වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එලෙස පස මතුපිටින් පමණක් ජලය ගලා යාම හේතුවෙන් භූගත ජල සංචිත ගොඩනැගීම, සහ ජල උල්පත් සක්‍රීය වීම සිදුවන්නේ නැහැ. එසේම පාංශු ඛාදනය නිසා ජල මාර්ගවල රොන්මඩ තැන්පත් වී වර්ෂා කාලයේ දී ගංවතුර තත්ත්වයක් ඇති විය හැකියි. පසුගිය කාල සමයේ දී උඩුගම වැනි ප්‍රදේශ නිතරම ගංවතුර තර්ජනයට ලක්වීමටත් හේතුව එය විය හැකියි.

ශාක සහ සතුන් විනාශ වීම  

ලංකාවේ කටුපොල් වගාව සිදු කිරීම සඳහා රබර් වගා බිම් රිලවුන්, කුරුල්ලන් වැනි සතුන් වාසස්ථාන තනා ගැනීම සඳහා සුලබව භාවිතා කරන රබර් වගා බිම් වැඩි වශයෙන් යොදාගෙන තිබෙනවා. ඒ සමග එම සතුන්ට සිය වාසස්ථාන අහිමි වුණා. ලංකාවේ ඇතැම් ප්‍රදේශවල රිලවුන් ගම් වැදීමට එක් හේතුවක් වී තිබෙන්නේ කටුපොල් වගාව නිසා ඔවුන්ගේ වාසස්ථාන අහිමි වීමයි.

කටුපොල් වගා බිම් ආශ්‍රිතව තිබෙන ජල මූලාශ්‍ර සිඳී යාම නිසාත්,  වගාව සඳහා භාවිතා කරන අහිතකර පොහොර සහ පළිබෝධනාශක වර්ග වර්ෂා ජලය සමග සේදී ගොස් ගංඟා ජලයට එකතු වීමෙනුත් ඒවායේ වාසය කරන දුර්ලභ මිරිදිය මත්ස්‍ය විශේෂ පමණක් නොව දුර්ලභ ජලජ ශාකයන් ද විනාශ විය හැකියි.

ඊට අමතරව, කටු පොල් වගාව සඳහා යොදාගත් බිම්වල පෙර ජීවත්ව සිටි ඇතැම් සත්ත්ව විශේෂවලට සහ ශාක විශේෂවලට නුපුරුදු පරිසරයක ජීවත් වීමට සිදුවීමෙන් එම ශාක සහ සතුන් විනාශ වීමේ ප්‍රවණතාවයක් ද තිබෙනවා.

මෙරට කටුපොල් වගාව තහනම් කිරීම 

පසුගිය කාලයේ මෙරට කටුපොල් වගාකරන බිම් ප්‍රමාණය හෙක්ටයාර 20,000 දක්වා වැඩි කිරීමට කැබිනට් පත්‍රිකා පවා අනුමත වුණා. කටුපොල් වගාව තුළින් අප රටට සැලකිය යුතු මට්ටමේ ආදායමක් ලබාගැනීමට හැකියාව තිබුණත් ඉන් සිදුවන පරිසර හානිය බරපතල යි. කටුපොල් වගාව මෙරට අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් අනාගතයේ දී දැවැන්ත පාරිසරික ප්‍රශ්න ඇති වීමේ අවදානමක් තිබෙනවා. එම නිසා අප රට තුළ ඇතිවන පාරිසරික ප්‍රශ්න රැසකට පිළිතුරු සොයනවාට වඩ‍ා, කටුපොල් වගාව මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම කාලෝචිත වනු ඇති.

කවරයේ ඡායාරූපය- කටුපොල් වගාවක් (gettyimages)

මූලාශ්‍ර:

කටුපොල් පිළිබඳ සිදු කළ ගවේෂණ 

Related Articles