දුම්බර කන්දේ දිවි ගෙවා වඳ වී යන සත්තු

බොහෝ දෙනෙක් දුම්බර හෙවත් නකල්ස් වනාන්තරයේ පිටවල පතන, රිවස්ටන්, සේරඇල්ල වැනි තැන්වල සංචාරය කරනවා. මේ කඳුවැටියේ ජීව විශේෂවල ආවේණිකත්යට ඉතා ඉහළ යි. එම ජීවින් අප රටේ තබා ලෝකයේ වෙන කිසිම තැනක නැහැ. අද වන විට වනාන්තර විනාශය, වගාවන්වලට කෘමිනාශය භාවිතය, දේශගුණය වෙනස්වීම වැනි හේතු නිසා මේ ජීවින් වඳවී යාමේ අනතුරට ලක්වෙලා.

 සංචාරකයන් අතර ජනප්‍රිය දුම්බර කඳුවැටි පෙදෙස- srilankasafari.com

හෙක්ටයාර් 21000ක් විශාලයි

මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවල පැතිරි ඇති දුම්බර කඳුවැටියේ විශාලත්වය හෙක්ටයාර් 21,000 ක් වෙනවා. ඔක්තෝබර් සිට පෙබරවාරි දක්වා මෙහි සෑම පෙදෙසකට වැසි ලැබෙන අතර එය දුම්බර ජෛව විවිධත්වයට හිතකර ලෙස බලපානවා. මාතලේ දිස්ත්‍රික්කය හරහා ගලාබසින කළුගඟේ සහ අඹන් ගඟේ ද, මහනුවර දිස්ත්‍රික්කය හරහා ගලනා මහවැලි ගඟේ ද, ප්‍රධාන ජල පෝෂක පෙදෙසක් ලෙසින් දුම්බර කඳුවැටිය වැදගත්. මහවැලි ජල පෝෂක ප්‍රදේශ අතුරින් 30% ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙන්.

මෙහි එයට ම ආවේණික සත්ව සහ ශාක විවිධත්වය ඉතා ඉහළ යි. එනිසා ම මෙය සංරක්ෂණ වනාන්තරයක් ලෙස ද නම්කර ඇති අතර යුනෙස්කෝව එය ලෝක ස්වභාව උරුමයක් වශයෙන් ද නම් කළා. දුම්බර කඳුවැටිය මධ්‍ය කඳුකරයෙන් වෙන් වූ හුදෙකලා පෙදෙසක් ලෙස පවතින බව ඔබට සිතියම් පරීක්ෂා කිරීමේ දී දැකගත හැකි යි.

කඳුවැටිය මහවැලි ගංගාව නිසා අනෙක් වනාන්තරවලින් වෙන් කෙරෙන ස්වභාවික බාධකයක් ලෙස පවතිනවා. මේ හුදෙකලා බව නිසා කඳුවැටියට ම වෙන්වූ ආවේණික වූ සත්ව හා ශාක විශේෂ පරිණාමය වීමට බලපෑ බව සැලකෙනවා. මේ එම කඳුවැටියේ පමණක් ජීවත්වන ජීව විශේෂ කිහිපයක්.

 දුම්බර අං කටුස්සා- Dinamina.lk

දුම්බර අං කටුස්‌සා

අප රටේ ආවේණික අංකටුස්සන් විශේෂ කිහිපයක් වාර්තා වෙනවා. එම අං කටුස්සන් අතරින් නකල්ස් හෙවත් දුම්බර වනපෙතට ම ආවේණික වූ රතු දත්ත පොතට ගිය කටුසු විශේෂයක් තමයි දුම්බර අං කටුස්‌සා (Ceratophora tennentii ). මෙම කටුසු විශේෂය මුලින් ම අනාවරණය කළේ වර්ෂ 1861 දී ගන්තර් නමැත්තා යි. ඔහු ලංකාවේ සිටි ආණ්ඩුකාරවරයකු මෙන් ම ලේඛකයකු ද වුණු සර් ජේම්ස් එමර්සන් ටෙනන්ට්‌ගේ නමින් එම කටුස්සා නම්ක ර තිබෙනවා.

ඒ නිසා මෙම කටුස්‌සා “ටෙනන්ට්‌ගේ අං කටුස්‌සා” ලෙසත්, අඟේ හැඩය ශාක පත්‍රයක ආකාරය ගන්නා නිසා “පත්‍ර අං කටුස්‌සා” ලෙසත් හැඳින්වෙනවා. පත්‍රාකාර අඟ පාර්ශ්වීය ව පැතලි ස්වරූපයක් ගන්නා අතර එය කොරළ කීපයකින් සමන්විත යි. එම ශරීර ලක්ෂණය මෙම විශේෂය හඳුනාගැනීමේ ප්‍රධාන ලක්ෂණ වෙනවා. කටුස්සා පැහැයෙන් කොළ පාටට හුරු යි. සමහරවිට දුඹුරු පැහැයත් දැකගත හැකි යි. ගැහැනු සතාගේ අඟ තරමක් කෙටි යි. මෙම කටුසු විෂේශය ද ශරීර වර්ණය පරිසරයට අනුව වෙනස් කර සතුන් දඩයම් කිරීමට පුරුදු වී සිටිනවා.

 අංකටුස්සාගෙ පත්‍ර හැඩැති අඟ -Anuradha Ratnaweera- Wildlife Sri Lanka facebook page

දුම්බර අං කටුස්සා ජීවත් වන්නේ නකල්ස් වන්නාන්තරයේ මීටර 750-1200 උස බෑවුම්වල පොළොවට ආසන්න ගස් කඳන් මත යි. ඉතා අලංකාර පෙනුමක් සහිත මේ කටුසු විශේෂය වඳවී යාමේ තර්ජනයට ලක් වූ සත්ව විශේෂයක් ලෙස රතු දත්ත පොතට එක් ව ඇත්තේ 2006 වසරේදී යි. ඉතා සියුම් පරිසරවලට ප්‍රිය කරන මෙම ජීවත් වන පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම කාගෙත් වගකීමක් වෙනවා.

මාතලේ – රත්තොට මාර්ගයේ දී හෝ ලග්ගල සිට පිටවල පතන හරහා වැටි ඇති මාර්ගය ඔස්සේ ගමන් ගන්නා සංචාරකයන්ට නකල්ස් කඳුමුදුන සමීපයේ ඇති වන ලැහැබ් තුළ දී මේ දුම්බර අං කටුස්සා දැකගත හැකි යි. අත්හැර දැමූ එනසාල් වගාබිම්වල ද උන් නිරීක්ෂණය වෙනවා. දැඩි මීදුම් තත්ත්වය පහව යාමත් සමඟ ඇති වන මද හිරු එළිය සහිත කාලගුණය සහිත දවස්වල දුම්බර අං කටුස්සා හොඳින් දැක බලා ගැනීමට ලැබෙනවා.

දුම්බර කුරු කටුස්සාගේ හිස පෙදෙස – breathtaking ceylon facebook page

 දුම්බර කුරු කටුස්සා

නකල්ස් කුරු කටුස්සා මෑතක දී සොයා ගත් දුම්බර කඳුවැටියේ පමණක් ජීවත්වන ආවේණික කටුස් විශේෂයක්. දුම්බර කුරු බෝදිලිමා කියලත් මේ කටුස්සා හඳුන්වනවා. මෙම කටුස්සා සොයාගෙන ඇත්තේ මෑතකදි යි. වර්ෂ 2006 දී පමණ ප්‍රදීප් සමරවික්‍රම, කැලුම් මනමේන්ද්‍ර ආරච්චි ඇතුළු පර්යේෂකයන් පිරිසක් මෙම කටුස්සා ලෝකයට හඳුන්වා දීමට මුල් වුණා.

දැනට මේ කටුස්සන් ජීවත් වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් බවයි හෙළි ව ඇත්තේ. සත්ත්ව විද්‍යාත්මක ව Cophotis dumbara කියල හඳුන්වන දුම්බර කුරු කටුස්සා ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ Knuckles pygmy lizard කියල යි. වනාන්තරයේ එනසාල් වගාබිම් ආශ්‍රිත වනාන්තර ගස් කඳන් මතවල තමයි උන් නිරික්ෂණය වී තිබෙන්නේ. මීටර් 1425ක් උස් මට්ටමේ වනබිම් කුරු කටුස්සාගේ නිජබිම් සේ සලකනවා.

මේ කටුස්සා දිගින් මිලිමීටර් 60 – 110 අතර වන අතර අලංකාර තොල් පෙදෙසකුත්, වර්ණ රටා යුගළකින් රටා ගැනුණු වලිගයකුත් පිහිටා තිබෙනවා. අවට පරිසරයේ පැහැයන්වලට අනුරූප ලෙස තමන්ගෙ වර්ණ කඩිනමින් ගළපාගෙන වෙනස් කිරීමට ඌට හැකියාව පවතිනවා. IUCN රතුදත්ත පොතේ සඳහන්ව ඇත්තේ මේ කටුස්සාත් වඳවීයාමේ දැඩි තර්ජනයට ලක්වූ සත්ත්ව විශේෂයක් ලෙස යි.

 හඳුනා ගැනිමට අසීරු ගල්පර මැඩියා – anuradha rathnaweera facebook page

දුම්බර ගල්පර මැඩියා

අප රටෙන් වාර්තා වී ඇති දුර්ලභ ආවේණික මැඩි විශේෂ ගණනාවකගේ නිවහන ලෙස දුම්බර කඳුකරය හඳුන්වා දෙන්නට පුළුවන්. දුම්බර කන්දේ ජීවත් වන උභය ජීවී විශේෂ සංඛ්‍යාව 20ක් වන අතර ඉන් 12ක් ආවේණික යි. ඒ විශේෂ සියල්ලට ජාතික වශයෙන් අවදානම් සතුන් ලෙස රතු දත්ත ලැයිස්තුවේ ඇතුළත්.
දුම්බර ගල්පර මැඩියා, නකල්ස් වකරැලි මැඩියා, නකල්ස් පඳුරු මැඩියා, මුවර්ගේ පඳුරු මැඩියා, ස්ටුවට්ගේ පඳුරු මැඩියා වැනි දුර්ලභ මැඩි වර්ග රාශියක් මෙහි ජීවත් වෙනවා.

ඒ අතරින් වඩාත් තර්ජනයට ලක්වූ ආවේණික උභය ජීවියෙක් ලෙස දුම්බර පිටවල පතනේ ගල්පරවල පමණක් දිවිගෙවන දුම්බර ගල්පර මැඩියා සඳහන් කළ හැකි යි. සත්ව විද්‍යාත්මක ව මේ මැඩියා හඳුන්වන්නේ Nannophyrs marmorata ලෙස යි.

  දුම්බර ගල්පර මැඩියා සොයාගත් පර්යේෂක කණිෂ්ක උකුවෙල – news.mongabay.com

 

මෙම මැඩි විශේෂය ජල පහර හා ගල්පර අතර දැකගත හැකි ය. ගල් පර්වත මත ඇලී ජීවත්වන ආකාරයක් පෙන්නුම් කරනවා. උන් ගල්පරයේ වර්ණය ම ගන්නා නිසා ලේසියෙන් දැක ගැනීමත් අසීරු යි. රතු දත්ත පොතේ දුම්බර ගල්පර මැඩියා දැඩි අවදානමට ලක් වූ ජීවී විශේෂයක් ලෙස ඇතුළත් කර තිබෙනවා. තරුණ පර්යේෂකයකු වන ආචාර්ය කණිෂ්ක උකුවෙල ප්‍රමුඛ පරීක්ෂණ කණ්ඩායමක් මෙම මැඩියා මුල්වරට හඳුනා ගත්තේ 2008 දි යි.

දුම්බර ගල්පර මැඩියා පෘෂ්ඨීය ව කහ පැහැයට හුරු තද දුඹුරු පැහැති වන අතර තද දුඹුරු හෝ කළු පැහැති වටකුරු හැඩවලින් රටා ගැන් වී ඇත. ගාත්‍රාවල දුඹුරු පැහැ විශාල පුල්ලි දැකිය හැකි යි. උදරීය පෙදෙස කහ මිශ්‍ර සුදු පැහයක් ගන්නවා.

 දුම්බර පෙතියා- fishbase.in

දුම්බර පෙතියා

දුම්බර කඳුවැටියේ මිරිදිය මත්ෂ්‍ය විශේෂ 25ක් පමණ ජීවත් වෙනවා. ඒ අතරින් විශේෂ 8ක් අප රටට ආවේණික යි. එම විශේෂ අතරින් 7ක් ජාතික වශයෙන් වඳවීමේ තර්ජනයට ලක්වෙලා. එම විශේෂ අතරින් තුනක් දුම්බර කඳුවැටියේ ජල මාර්ගවලට පමණක් සීමා වී පමණයි ජීවත් වන්නේ.

 දුම්බර පෙතියාගේ වාසස්ථාන – timeout.com

 

ඒ අතරින් අලංකාර මසකු වන දුම්බර පෙතියා දුම්බර කඳුවැටියේ කළුගඟ ඉහළ නිම්නයේ ජීවත් වනවා. සත්ව විද්‍යාත්මක ව මෙම මාළුවා හඳුන්වන්නේ Puntius martenstyni කියල යි. මීටර් 300- 500 දක්වා උස් බිම් පෙදෙස්වල ලග්ගල පල්ලේගම අවට වේගයෙන් ගලා යන ජල මාර්ගවලට දුම්බර පෙතියා සීමා වී සිටිනවා. ඔලිව් දුඹුරු පැහැයෙන් යුත් මෙම මාළුවා දිගින් සෙන්ටි මීටර 13-15 දක්වා වැඩෙනවා. ශරීරය තරමක් දිගටි හැඩයෙන් යුක්ත යි. සෑම කොරලයක ම තද පාට පැල්ලමක් පිහිටා තිබෙනවා. වරල් සියල්ල ම රතු පාට යි. කළු ගගේ මැණික් පතල් නිසා මෙන් ම ආහාරයට අල්ලා ගැනීම නිසාත් මේ මාළුවාගේ වඳවීම ඉක්මන් වෙලා. සීමිත ව්‍යාප්තියක් පෙන්වන අධික ව තර්ජනයට ලක්වූ මසකු නිසා ම දුම්බර පෙතියා නීතියෙන් ද ආරක්ෂිත යි.

 කවරයේ ඡායාරූපය - මෑතකදී සොයා ගත් දුම්බර කුරු කටුස්සා-Sanjaya Kanishka, Snakes of Sri Lanka facebook page 

මූලාශ්‍ර:
සුන්දර දුම්බර - කුසුම්සිරි විජයවර්ධන
සිරිලක ආවේණික මිරිදිය මසුන්-එච්. ජී. සුජාන් මධුරංග
A Guide to the Biodiversity of Knuckles Forest Region- IUCN Sri Lanka
Dinamina.lk
reptile-database.reptarium.cz
news.mongabay.com

Related Articles