Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විද්‍යාවේ උපකාරයෙන් යළිත් මිහිමත සැරිසැරීමට මඟ බලන සත්ත්ව අමුත්තෝ

ස්ටීවන් ස්පීල්බර්ග් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Jurassic Park’ චිත්‍රපට මාලාව නැරඹූ අයට බිලියනපති ජෝන් හැමන්ඩ්ගේ මූල්‍ය අනුග්‍රාහය සහිත ව ජාන විද්‍යාඥයින් විසින් ක්ලෝනීයකරණය යොදාගනිමින් මිහිමතින් සදහට ම වඳ වී ගොස් සිටි ඩයිනසෝර් සත්ත්වයින් යළිත් වරක් නිර්මාණය කළ අයුරු අමතක නැති බවට සැකයක් නැහැ. පරිසර සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Union for Conservation of Nature හෙවත් IUCN) මඟින් ප්‍රකාශයට පත් කරන තර්ජනයට ලක් වී ඇති ජීව විශේෂයන්ගේ රතු ලැයිස්තුව (The IUCN Red List of Threatened Species) නැතහොත් රතු දත්ත පොතට අනුව ‘වඳ වී ගිය’ (Extinct : EX) සතුන් ලෙස සැලකෙන්නේ “නිරන්තරයෙන් ගැවසෙන බවට හඳුනාගන්නා ලද වාසස්ථාන සමීක්ෂණයට ලක් කිරීමෙන් පසු ව කිසියම් ශාක හෝ සත්ත්ව විශේෂයකට අයත් ව සිටි අවසාන ජීවියා මියගිය බවට සාධාරණ සැකයක් නොමැති සහ අදාළ විශේෂයේ නව පරපුරක් බිහිකිරීම සඳහා අවස්ථාවක් නැති බවට පැහැදිලි සාක්ෂ්‍ය සහිත ජීව විශේෂ” යි.

© Isabella Kirkland / Revive & Restore

මිනිස් ක්‍රියාකාරකම් හෝ වෙනත් හේතූන් මත සදහට ම මිහිමතින් වඳ වී ගිය සත්ත්ව විශේෂ යළිත් බිහිකිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ ජාන විද්‍යාඥයින් උත්සාහ කරමින් සිටින බව නොරහසක්. වඳ වී ගිය සත්ත්වයෙකුගේ ෆොසිලයකින් ලබාගන්නා ලද ඩී. එන්. ඒ. කොටස්, අදාළ ජීවියාගේ ළඟ ම ඥාතියෙකු ලෙස සැලකිය හැකි වර්තමානයේ දී දැකගත හැකි සත්ත්ව විශේෂයකගේ ඩී. එන්. ඒ. කොටස් සමග මුසුකර දෙමුහුම් ජීවීන් බිහිකිරීමේ ක්‍රියාවලියක් ලෙස ඇරඹුණු පර්යේෂණ, 2003 වර්ෂයේ මුල්කාලයේ සිට ම සාර්ථක ප්‍රතිඵල පෙන්වීම ආරම්භ කර ඇති බව යි වාර්තා වන්නේ. නූතන විද්‍යාවේ දියුණුව සමග ක්‍රමයෙන් වර්ධනය වන ක්ලොනීයකරණ තාක්ෂණය මත විශ්වාසය තබා ඇති ජාන විද්‍යාඥයින්, නුදුරු අනාගතයේ දී වඳ වී ගිය සත්ත්ව විශේෂ කිහිපයකට යළිත් මිහිමත සැරිසැරීමට අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. මේ එවැනි සත්ත්ව විශේෂ කිහිපයක් ගැන තොරතුරු යි.

ලොම් සහිත මැමත් අලියා

© Royal British Columbia Museum

අවසන් අයිස් යුගයේ දී නිදහසේ මිහිමත සැරිසරන ලද විද්‍යාත්මක ව Mammuthus primigenius ලෙස හඳුන්වන ලද ලොම් සහිත මැමත් අලින්, ගෝලීය උණුසුම ඉහළ යාම සහ ආහාර හිඟකම හේතුවෙන් අදින් වසර 4,000කට පමණ පෙර සදහට ම වඳ වී ගොස් තිබෙනවා. නමුත් විද්‍යා ලෝකයෙන් ලැබෙන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ නුදුරේ දී ම ලොම් සහිත මැමත් අලියා සහ අසියානු අලියා අතර දෙමුහුම් සත්ත්වයෙක් බිහිකිරීමේ හැකියාව පවතින බව යි. සත්ත්ව විශේෂ දෙවර්ගයෙන් ලබාගන්නා ලද ඩී. එන්. ඒ. කොටස් මුසු කිරීමෙන් නිර්මාණය කරන දෙමුහුම් කලලය, කෘතිම ගර්භාෂයක් තුළ වර්ධනය කිරීමට ජාන විද්‍යාඥයින් බලාපොරොත්තු වන අතර ‘මැමොෆන්ට්’ ලෙස හඳුන්වන නව දෙමුහුම් සත්ත්ව විශේෂය, ලොම් සහිත මැමත් අලින් යළිත් බිහිකිරීමේ පළමු පියවර විය හැකි බවට දැනටමත් මත පළ වී තිබෙනවා.

මගී පරෙවියා හෙවත් වන පරෙවියා

© Louis Agassiz Fuertes

1914 දී සින්සිනටි සත්ත්වෝද්‍යානයේ වාසය කළ 29 හැවිරිදි ‘මාතා’ නම් මගී පරෙවියා මියගියේ 19 වැනි සියවසේ මැද භාගයේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ පක්ෂි ගහනයෙන් 25% – 40%ක ප්‍රමාණයක් (පක්ෂීන් බිලියන 3 – 5ක් පමණ) සංයුක්ත කළ සුලබ පක්ෂි විශේෂයක් සදහට ම මිහිමතින් තුරන් කරමින්. විද්‍යාත්මක ව Ectopistes migratorius ලෙස හඳුන්වන උතුරු ඇමෙරිකාවට ආවේණික මගී පරෙවියන් වඳ වී යාම සඳහා මූලික වශයෙන් හේතු වී ඇත්තේ වන විනාශය සහ පහසු ප්‍රෝටීන් මාධ්‍යයක් ලෙස දඩයම් කිරීමට ලක් වීම යි. මගී පරෙවියන් නැවත බිහි කිරීම සඳහා 2012 දී ‘The Great Passenger Pigeon Comeback’ නමින් වැඩසටහනක් ආරම්භ කරන ලද අතර එය අනෙකුත්, නැවත බිහිකිරීමේ (de-extinction) පර්යේෂණ සඳහා නියමු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

ක්වාගා නම් දකුණු අප්‍රිකානු සීබ්‍රා

© Jacques-Laurent Agasse

සියවසකට පමණ පෙර මිහිමතින් වඳ වී ගිය විද්‍යාත්මක ව Equus quagga quagga ලෙස හඳුන්වනු ලබන ක්වාගා නම් සීබ්‍රා විශේෂය නැවත බිහිකිරීම සඳහා දකුණු අප්‍රිකානු ජාන විද්‍යාඥයින් උනන්දුවෙන් කටයුතු කරන බව යි විදු ලොවින් වාර්තා වන්නේ. දකුණු අප්‍රිකාවේ ජනාවාස පිහිටුවා ගන්නා ලද යුරෝපීයයන් විසින් දඩයම් කිරීම හේතුවෙන් 1883 දී සදහට ම තුරන් වී ගිය ක්වාගා සත්ත්වයින්, නැවත බිහිකිරීම සඳහා දියත් කර ඇති වැඩසටහන ‘Rau Quaggas’ ලෙස හඳුන්වන අතර, සීබ්‍රා සත්ත්වයින්ගෙන් ලබාගන්නා ලද ඩී. එන්. ඒ. කොටස් සමග ක්වාගා ඩී. එන්. ඒ. මුසු කිරීම මඟින් දැනටමත් දකුණු අප්‍රිකානු ජාන විද්‍යාඥයින් ක්වාගා සත්ත්වයින්ට බොහෝ සෙයින් සමාන දෙමුහුම් සත්ත්වයෙකු බිහිකිරීමට සමත් වී තිබෙනවා.

කැරොලයිනා බටු ගිරවා

© John James Audubon

ඇමෙරිකා එක්සත් ජනපදයට ආවේණික එක ම ගිරා විශේෂය වූ කැරොලයිනා බටු ගිරවා වඳ වී යාම ඇරඹී ඇත්තේ 19 වැනි සියවසේ දී යි. හදිසියේ මෙන් ලොවින් තුරන් වූ ඔවුන්, ඇමෙරිකානු මහද්වීපයේ වාසය කරන අනෙක් ගිරා විශේෂයන්ට අතිශය සමාන වන බැවින් වඳ වී ගිය සත්ත්ව විශේෂයන් නැවත බිහිකිරීමේ ව්‍යාපෘති සඳහා කදිම අපේක්ෂකයෙකු බව යි ජාන විද්‍යාඥයින්ගේ මතය වන්නේ. විද්‍යාත්මක ව Conuropsis carolinensis ලෙස හඳුන්වනු ලබන කැරොලයිනා බටු ගිරවුන් වඳ වී යාම සඳහා වනාන්තර විනාශය, දඩයම් කිරීම, වසංගත රෝග, විකිණීම සඳහා අල්ලා ගැනීම වැනි හේතු කිහිපයක් ම බලපා තිබෙනවා.

කුඩා පඳුරු මොආ

© John Megahan / PLOS Biology

අදින් වසර 700කට පමණ පෙර මිහිමතින් තුරන් වී ගිය විද්‍යාත්මක ව Anomalopteryx didiformus ලෙස හඳුන්වන කුඩා පඳුරු මොආ, නවසීලන්තයට ආවේණික, පියාසර කළ නොහැකි පක්ෂි විශේෂයක්. විශාල වශයෙන් දඩයම් කිරීම හේතුවෙන් වඳ වී ගිය ඔවුන්, නැවත බිහිවීමට ඉතාමත් ආසන්න බව යි වාර්තා වන්නේ. එයට හේතුව හාවඩ් සරසවියේ පර්යේෂකයින් පිරිසක් කුඩා පඳුරු මොආගේ සම්පූර්ණ ජාන සැකැස්මක් සාර්ථක ව සජීවී ඊම්‍යු (ඕස්ට්‍රේලියාවේ දී දැකගැනීමට ලැබෙන, පැස්බරෙකුට සමාන, පියාසර කළ නොහැකි පක්ෂි විශේෂයක්) බිත්තරයක් තුළට ඇතුළු කිරීමට සමත් වී තිබීම යි.

ඩෝඩෝ පක්ෂියා

© Frederick William Frohawk

විද්‍යාත්මක ව Raphus cucullatus ලෙස හඳුන්වන ඩෝඩෝ පක්ෂීන්ගේ වඳ වී යාම සඳහා හේතු වී ඇත්තේ වන විනාශය සහ මස් පිණිස දඩයම් කිරීම යි. මුරුසි දූපතට ආවේණික වූ ඔවුන්ගේ සම්පූර්ණ ජාන සැකැස්ම සාර්ථක ව අනාවරණය කරගැනීමට ජාන විද්‍යාඥයින් සමත් වී තිබුණ ද ඩෝඩෝ පක්ෂීන්ට ළඟ ඥාතීත්වයක් දක්වන පක්ෂි විශේෂයක් නොමැති වීම හේතුවෙන් ඔවුන් යළිත් බිහිකිරීම තරමක් අභියෝගාත්මක වී ඇති බව යි වාර්තා වන්නේ. කෙසේ වුව ද, දුෂ්කරතා නොසලකමින් ජාන විද්‍යාඥයින් 2016 දී ඩෝඩෝ පක්ෂීන් නැවත බිහිකිරීම සඳහා පාර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

කවරයේ පින්තූරය: © Lisel Jane Ashlock

 

Related Articles