‘ගැෆ්ස් පවර්ෆුල් ඊගල්’: කැන්ගරුවන් දඩයම් කළ රාජාලියා

පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවෙන් හමුවූ, ඉපැරණි පොසිල අධ්‍යයනය කිරීමෙන් පසුව, එය අතීතයේ ජීවත් වූ විශාල රාජාලි වර්ගයකට අයිති වූවක් බව හෙළි වී තිබෙනවා. මේ එදා මෙදා තුර ඔස්ට්‍රේලියාවේ විසුවා යැයි සාධක හමුවූ විශාලත ම රාජාලි වර්ගය යි.

සාර්ථක වූ පර්යේෂණ

මීට වසර 60,000 කට පමණ පෙර ඔස්ට්‍රේලියාවේ යෝධ රාජාලි වර්ගයක් ජීවත් වුණු බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. මෙය තහවුරු වී ඇත්තේ 1956 වසරේ සිට 1969 වසර අතර කාලයේ එරටින් හමුවුණු පොසිල කිහිපයක් ම අධ්‍යයනය කිරීමෙන් අනතුරුව යි. මේ රාජාලි වර්ගය ‘ගැෆ්ස් පවර්ෆුල් ඊගල්’ යනුවෙන් හැඳින්වෙන අතර, ඔවුන්ගේ  විද්‍යාත්මක නාමය වන්නේ Dynatoaetus gaffae යි.

ඔස්ට්‍රේලියාවී ප්‍රමුඛ මාධ්‍ය ආයතනයක් වන ‘ඔස්ට්‍රේලියන් බ්‍රෝඩ්කාස්ටින්ග් කෝපරේෂන්’ (ABC) ආයතනයේ වාර්තාවකට අනුව මේ පොසිල මුලින් ම හමු වී ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවේ Mairs සහ Naracoorte යන ගුහා ආශ්‍රිතව යි.

මොවුන්ගේ පියාපත් විදාහළ විට ඒවා වල පළල අඩි 10 ක් පමණ වන්නට ඇති බව තහවුරු වී තිබෙනවා TORSTEN BLACKWOOD/AFP via Getty Images

කෙසේ නමුත් මෑතක් වන තුරු, හමු වූ පොසිල යොදා ගෙන නිසියාකාර අධ්‍යයනයක් සිදු කිරීමට අවශ්‍ය සම්පූර්ණ අස්ති පඤ්ජරයක් නිර්මාණය කරගැනීමට විද්‍යාඥයන් අපොහොසත් වී තිබෙනවා. කෙසේ නමුත් 2021 වසරේදී, ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකා එලන් මැදර් සහ ඇගේ කණ්ඩායම මේ ගුහා වෙත ගොස් තිබුණේ, මේ විශේෂයේ පරිපූර්ණ පොසිලයක් සොයා ගැනීමේ අපේක්ෂාවෙනු යි.

මේ ව්‍යායාමය සාර්ථක වී ඇති අතර, අවසානයේ මේ ගුහා ආශ්‍රිත ව තිබී, මේ විශේෂයේ රාජාලියන්ට අයත් අස්ථි කැබලි 28 ක් සොයාගන්නට ඔවුන් සමත් වී තිබෙනවා. මේවා ගුහාවල පාංශු ස්ථරවලට යට වී තිබී තිබෙනවා.

එලන් මැදර් වෙජ් ටේල් ඊගල් (දකුණු අතේ) සහ ගැෆ්ස් පවර්ෆුල් ඊගල් (වම් අතේ) අස්ථි කොටස් අත දරා- flinders.edu.au

“අපට මේ තාක් කාලයක් එකතු කරගත නොහැකි වුණු, මේ වඳ වුණු රාජාලියන්ගේ ශරීරවල විශේෂිත ස්ථානවලට අයත් අස්ථි කැබලි රාශියක් ම හමු වුණා. දැන් මේවා ආධාරයෙන් වඩාත් පරිපූර්ණ සැකිල්ලක් සාදා ගන්නට අපට අවස්ථාව ලැබී තිබෙනවා.” ඇය මාධ්‍ය හමුවේ පවසා තිබුණා.

කැන්ගරුවන් දඩයම් කළ රාජාලි

මැදර් පවසන ආකාරයට මේ දැවැන්ත රාජාලි වර්ගය දැවැන්ත පිලිපීන උකුස්සන්ට සහ දකුණු ඇමෙරිකාවට ආවේණික හාර්පි රාජාලියන්ට නෑකම් කියනවා. මීට වසට 60000 කට පමණ පෙර, මොවුන් වෙජ් ටේල් ඊගල් වැනි රාජාලි වර්ග සමඟ හරි හරියට ජීවත් වෙන්නට ඇති බැව් අනුමාන කෙරෙන අතර, මොවුන්ගේ ශරීර ප්‍රමාණය ඔවුන්ගේ මෙන් දෙගුණයක් පමණ වන්නට ඇති බැව්, එනම් පියාපත් විදාහළ විට ඒවා වල පළල අඩි 10 ක් පමණ වන්නට ඇති බව, තහවුරු වී තිබෙනවා. ශරීර ප්‍රමාණයත්, අනෙකුත් අනුවර්තනත් නිසා, ඔවුන් ඉතා කාර්යයක්ෂ්ම දඩයම් කරුවන් වන්නට ඇති බැව් අනුමාන කෙරෙනවා. විශේෂයෙන් කැන්ගරුවන් වැනි විශාල සතුන් පවා ඔවුන් සාර්ථක ව දඩයම් කරන්නට ඇති බැව් විද්‍යාඥ මතය යි.

ශරීර ප්‍රමාණයත්, අනෙකුත් අනුවර්තනත් නිසා, ඔවුන් ඉතා කාර්යයක්ෂ්ම දඩයම් කරුවන් වන්නට ඇති බැව් අනුමාන කෙරෙනවා – sci.news

” ඔවුන්ට කොයි තරම් ශක්තිමත් සහ නම්‍යශීලී පාද අස්ථි තියෙන්නට ඇතිද යන්න අපිට පෙනී ගොස් තිබෙනවා. මේ නිසා පැහැදිලි ලෙස ම පැවසිය හැක්කේ, මොවුන් යැපෙන්නට ඇත්තේ විශාල සතුන් ගොදුරු කරගෙන බව යි. ඔවුන්ට කැංගරුවෙක් වැනි සතෙක් අල්ලාගැනීමට සහ සම්පූර්ණයෙන් මෙල්ල කර ගැනීමට සමත් තරමේ ශක්තිමත් පාද, පා ඇඟිලි සහ උල් වූ පා නිය තිබී තිබෙනවා” යි මැදර් පවසනවා. ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලයේ, මැදර් ගේ සහායක පර්යේෂකයෙක් වන ට්‍රෙවර් වර්දි පවසන්නේ, මීට අවුරුදු 50,000 සිට මිලියන 7 ක පමණ කාලය වන තුරු, මිහිමත ජීවත් වූ විශාලත ම රාජාලි විශේෂය මොවුන් වන්නට ඇති බව යි.

දැවැන්ත සතුන් ජීවත් වූ ඔස්ට්‍රේලියාව

මේ තරම් දැවැන්ත උකුස්සන් සහ රාජාලීන් පිළිබඳ ව වාර්තා වී ඇත්තේ ලෝකයේ තවත් දෙතැනකින් පමණ යි. ඔවුන් පිළිබඳව සාධක හමු වී ඇත්තේ නවසීලන්තයෙන් සහ කියුබාවෙනු යි. මොවුන් ද්විත්වය, ඔස්ට්‍රේලියාවෙන් හමු වූ මේ රාජාලි විශේෂයේ ශරීර ප්‍රමාණය ආසන්න වශයෙන් සමාන වන අතර, නවසීලන්ත සහ කියුබානු උකුස්සන්, ඔස්ට්‍රේලියානු උකුස්සන්ට වසා බරින් වැඩි බවට අනුමාන කෙරෙනවා. ඒ අනුව ඔස්ට්‍රේලියාවෙන් හමු වුණු මේ රාජාලි වර්ගය, එදා මෙදා තුර සාධක හමු වී ඇති උකුසු වර්ගවලින් තෙවනුවට දැවැන්ත ම රාජාලියන් වර්ගය ලෙස සැලකෙනවා.

දැවැන්ත පිලිපීන රාජාලි- Paul Bourdin

ඔස්ට්‍රෙලියානු මහාද්වීපය, අතීතයේ දැවැන්ත සතුන් වර්ග කිහිපයක් ම ජීවත් වූ ස්ථානයක්. පියාසර කළ නොහැකි දැවැන්ත පක්ෂීන්, දැවැන්ත කැන්ගරුවන්, විශාල කටුස්සන්, වලසුන්ට සමාන දැවැන්ත ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් වැනි ශරීර ප්‍රමාණයෙන් සුවිසල් සත්ත්ව විශේෂ කිහිපයක් ගැන තොරතුරු ඔස්ට්‍රේලියානු ඉතිහාසය පිරික්සීමේ දී හමුවෙනවා. මේ රාජාලි විශේෂය එකල ජීවත් වූ කැංගරුවන් සහ, ඒ හා සමාන ප්‍රමාණයක ශරීර දැරූ ඉපැරණි ජීවී විශේෂ කිහිපයක් ම ගොදුරු කර ගන්නට ඇතැයි සැලකෙනවා.

මොවුන්ගේ පාදවල නිය අතර දුර අඩියක් පමණ වන්නට ඇති බවට ගණන් බලා තිබෙනවා.ඔවුන් කැන්ගරුවන්, විශාල පක්ෂීන් වැනි සත්ත්ව වර්ග රාශියක් ඉතා පහසුවෙන් ගොදුරු කරගන්නට ඇති බව වර්දි විශ්වාස කරනවා.

ට්‍රෙවර් වර්දි- researchgate.net

පසුවදන

වර්දි පවසන ආකාරයට ප්‍රාග් ඓතිහාසික ඔස්ට්‍රේලියාවේ, භූමියේ විසූ විශාල විලෝපිකයන්ගේ සැලකිය යුතු අඩුවක් තිබී තිබෙන බවට සාධක හමු ව තිබෙනවා. ඔහු පවසන ආකාරයට අනුව, මේ දැවැන්ත රාජාලින් ආහාර දාමවල ඉහළ පුරුක නියෝජනය කරන්නට ඇති නිසා එසේ සිදුවී තිබෙනවා. මොවුන් වඳ වීම පිළිබඳව මැදර්ට මතයක් තිබෙනවා. මේ විශාල රාජාලි, ප්‍රමාණයෙන් විශාල නිසා, ඒ සතුන්ට විශාල වශයෙන් ගොදුරු අල්ලා ගෙන ආහාරයට ගැනීමට සිදුව තිබෙනවා. කෙමෙන් කෙමෙන් භූමියේ විශාල සතුන් අඩු වීම නිසා, ආහාර හිඟ වීමෙන් මොවුන් වඳ වී යන්නට ඇති බවට ඇය විශ්වාස කරනවා.

මොවුන් පිළිබඳ වැඩිදුර පර්යේෂණ ඉදිරියටත් සිදුකෙරෙන අතර, ඉදිරියේදී ඔවුන් පිළිබඳව තවත් තොරතුරු හෙළි වනු ඇතැයි අපේක්ෂිත යි.

කවරයේ ඡායාරූපය - earth.com
මූලාශ්‍ර:
Allthatsinteresting.com
Livescience.com
Msn.com

Related Articles