ඇනකොන්ඩාවන් හඳුනාගනිමු

සත්ත්ව ලෝකය පිළිබඳ තොරතුරු දැනගන්නට අප බොහෝ දෙනා තුළ ඇත්තේ නොතිත් ආශාවක්. එයිනුත් නිතර තොරතුරු හමු නොවන සත්ත්වයින්ගේ කරුණු කාරණා සිය දැනුමට එකතු කර ගැනීමට අපි මහත් ප්‍රියතාවයක් දක්වනවා. ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනා ඇනකොන්ඩා නම් සර්ප විශේෂය ගැන අසා ඇතුවා නිසැක යි. බොහෝ විට ඒ ඔවුන් අරබයා තැනුණු සිනමාපට නිසා යි. ඒවායේ ඇනකොන්ඩාවන් පිළිබඳ අතිශ්‍යෝක්තියකින් දක්වා තිබෙනු දැකිය හැකි යි. ඇනකොන්ඩාවන් ගැන සැබෑම තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ඒ නිසා යි.

ඇනකොන්ඩාවන් පිළිබඳ මූලික තතු

ජලකාමී සත්ත්ව විශේෂයක් වන ඇනකොන්ඩාවන් දකුණු ඇමෙරිකාවේ ඝර්ම කලාපික ප්‍රදේශ වලින් හමුවන අතර මොවුන් ලොව විශාලම සර්ප විශේෂයක් වනවා. ඇනකොන්ඩාවන් විශේෂ 4ක් ලොව හමුවන අතර ඔවුන් කොළ ඇනකොන්ඩා, කහ හෙවත් පැරගුවේ ඇනකොන්ඩා, අඳුරු තිත් සහිත ඇනකොන්ඩා, හා බොලිවියානු ඇනකොන්ඩා යනුවෙන් හඳුන්වනවා. මොවුන් විශේෂය අනුව විශාලත්වයෙන් හා ජානමය වශයෙන් ද වෙනස් වන අතර, මින් කොළ ඇනකොන්ඩා විශාලම විශේෂය වෙනවා.

කොළ ඇනකොන්ඩා – unf–kthegulf.com

කොළ ඇනකොන්ඩාවන් ලොව වෙසෙන බරින් වැඩිම හා විශාලතම සර්ප විශේෂය ලෙස හඳුනාගෙන තිබෙනවා. විද්‍යාත්මකව ඔප්පු කර නැතත්, මීටර 12, 15 මෙන්ම කලාතුරකින් මීටර 30ක් දක්වාත් දික්ව වැඩුණු ඇනකොන්ඩාවන් හමුවූ බවට අතීත ජනවහරේ සඳහන් වෙනවා.

භෞතික සාධක

ඇනකොන්ඩාවන් ශක්තිමත් මාංශ පේෂීන් සහිත, පුෂ්ඨිමත්ව වැඩෙන සර්ප විශේෂයක් වන අතර ඔවුන් අයත් වන Boidae නම් කුලයේ සෙසු සර්ප විශේෂයන් වලට වඩා වට ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඇනකොන්ඩාවන්ට පුළුල් ගෙලක් හා සිහින් නමුත් විශාල හිසක් පිහිටනවා. හිසෙහි ඉහළ කොටසේ ඇස් හා හුස්ම ගැනීම සඳහා වූ විවර පිහිටනවා. මේ පිහිටීම නිසා ඔවුනට සිය සිරුර සම්පූර්ණයෙන් පාහේ දිය යට තබාගෙන ජල තලයට ඉහළින් පිහිටි දේ දැකගන්නට පිළිවන්. ඇනකොන්ඩාවන්ගේ ඇසෙහි සිට හකු දක්වා තද කළු ඉරක් සටහන් වී තිබෙනවා.

ඇනකොන්ඩාගේ හිස -pinterest.com

ඇනකොන්ඩාවන්ගේ සමෙහි කොරල පිහිටන අතර එය ජලයට හොඳින් ඔරොත්තු දෙනවා. ඇනකොන්ඩාවන් පිළිබඳ තවත් විශේෂිතම කාරණාවක් වන්නේ මොවුන්ගේ ගැහැණු සත්ත්වයා පිරිමි සත්ත්වයාට වඩා සැළකිය යුතු තරම් විශාල වීම යි.

කොළ-දුඹුරු, කොළ -අළු මෙන්ම සමහර විටෙක ඔලිව් පැහැති වන කොළ ඇනකොන්ඩා ගේ සිරුරෙහි පසුපස කොටසට වන්නට බිත්තර හැඩැති, කළු හෝ දුඹුරු පැහැති පුල්ලි පිහිටා තිබෙනවා. සමහර විටෙක මොවුන්ගේ සිරුර දෙපස කහ පැහැයට වඩාත් බර වන අතර කහ පැහැති මධ්‍යයන් සහිත පුල්ලි ද දකින්නට පිළිවන්. මේ විශේෂයේ ගැහැණු ඇනකොන්ඩාවෙක් මීටර 4.5ක් පමණ දිගු වෙද්දී පිරිමි සත්ත්වයෙකුගේ සාමාන්‍ය දිග මීටර 2.7කට සීමා වෙනවා. කොළ ඇනකොන්ඩාවෙක් සාමාන්‍යයෙන් කිලෝ 45-68 අතර බරකින් යුක්ත වෙනවා.

කහ ඇනකොන්ඩා -inkart.net

කහ ඇනකොන්ඩාවන් කහ හෝ රන් පැහැති ශරීරයකට උරුමකම් කියන අතර එහි කළු හෝ තද දුඹුරු පැහැති සළකුණු පිහිටනවා. මේ වර්ගයේ ඇනකොන්ඩා සත්ත්වයෙක් මීටර 2.7ක පමණ සාමාන්‍ය දිගකින් යුතු වෙනවා.

බොලිවියානු ඇනකොන්ඩා -reptilefact.com

බොලිවියානු ඇනකොන්ඩාවන් කොළ ඇනකොන්ඩාවන්ගේ වර්ණයට උරුමකම් කීවත්, කහ ඇනකොන්ඩාවන් මෙන් ප්‍රමාණයෙන් කුඩා වෙනවා. අඳුරු තිත් සහිත ඇනකොන්ඩාවන්ගේ දුඹුරු පැහැ ශරීරයේ තද දුඹුරු හෝ කළු පැහැ ලප පිහිටන අතර, මේ වර්ග දෙකෙහිම ඇනකොන්ඩාවෙකුගේ සාමාන්‍ය දිග අඩි 9ක් හෙවත් මීටර 2.7ක් පමණ වෙනවා.

අඳුරු තිත් සහිත ඇනකොන්ඩා-Lutz Dirksen

ඇනකොන්ඩාවන් විසිරී පවතින ප්‍රදේශ

ඇනකොන්ඩාවන් ජීවත් වන්නේ දකුණු ඇමෙරිකා මහාද්වීපයේ, ඇන්දීස් කඳු පන්තියට නැඟෙනහිරින් පිහිටි කොටසේ යි. කොළ ඇනකොන්ඩාවන් ඇමසෝන් ගංගා නිම්නයේ ද, ඊට අමතරව ඔරිනොකෝ ගංගා නිම්නය, කොලොම්බියාව, වෙනසියුලාව, ඉක්වදෝරය, පේරු , බොලිවියා, ට්‍රිනිඩෑඩ් හා ගයනාව යන රට වලදී ද දැකගන්නට පිළිවන්. කහ හෙවත් පැරගුවේ ඇනකොන්ඩා සතුන් පැරගුවේ, බ්‍රසීලයේ දකුණු පෙදෙසේ, හා ඊසාන දිග ආජන්ටිනාවේ දී දැකගත හැකියි. බොලිවියානු ඇනකොන්ඩා බොලිවියාවේ කුඩා කොටසකට සීමා වී පවතින අතර අඳුරු තිත් සහිත ඇනකොන්ඩාවන් බ්‍රසීලය හා ප්‍රංශ ගයනාව යන රටවල ජීවත් වෙනවා.

ජීවන චර්යා රටා

ජලකාමී සතුන් වන ඇනකොන්ඩාවන් ගංගා, වගුරු, වැසි වනාන්තර, හා තෘණ භූමි වල ජීවත් වෙනවා. දියෙහි පීනමින් හෝ ඒ ආශ්‍රිත ශාක වලට වී ඔවුන් වැඩි කලක් ගත කරනවා.

ඇනකොන්ඩා ජලාශ්‍රිත ශාක මත සිටිනු දැකිය හැකියි-National Geographic

ඇනකොන්ඩාවන් වඩා සක්‍රීය වන්නේ රාත්‍රී කාලයේ යි. විශාල ශරීරය නිසා ගොඩබිම ඇදී යාම ඔවුනට කරදරකාරී වන අතර දියෙහි පහසුවෙන් ඇදී යාම සිදු කරනවා. මඩෙහි ජීවත් වන ඇනකොන්ඩාවන් වියළි කාලයට සිය ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පාහේ අඩාල කොටගෙන නිසොල්මන්ව යම් කලක් සිටින අවස්ථාත් තිබෙනවා.

ආහාර රටා

ඇනකොන්ඩා විශේෂ සියල්ලම නිර්විෂ යි. ඔවුන් ආහාර වශයෙන් බොහෝ විට මීයන් වැනි සතුන්, කටුස්සන්, සහ මත්ස්‍යයින් ගොදුරු කරගන්නවා. නමුත් කොළ ඇනකොන්ඩාවන් ජගුවරයින් වැනි සතුන් පවා ආහාරයට ගත් අවස්ථා වාර්තා වී තිබෙනවා.

තලගොයෙකු ගොදුරු කරගන්නා ඇනකොන්ඩා-sciencesource.com

ජලාශ්‍රිත ප්‍රදේශ වල සැඟවී සිට සිය ගොදුරට එක්වරම පහර දෙන මොවුන්, ගොදුර අඩපණ කරන්නේ ඒ වටා දඟර ගැසී දැඩි පීඩනයක් යෙදීම තුළිනුයි. මේ නිසා ගොදුරේ අස්ථි බිඳී, මොළයට සිදුවන රුධිර සැපයුම අඩාල වී ගොදුර අඩපණ වෙනවා. මීට අමතරව දත් මඟිනුත්, ජලයේ ගිල්වීම මඟිනුත් ඇනකොන්ඩාවන් සිය ගොදුර මෙල්ල කරගන්නවා. ඔවුන් සම්පූර්ණ ගොදුරම එක් වරම ගිලිනු ලබනවා. මේ සඳහාම සැකසුණු, හොඳින් ඇරෙන හකු පාඩා හා ඇදෙන සමක් ඇනකොන්ඩාවන් සතුව තිබෙනවා. විශාල ගොදුරක් ආහාරයට ගත් විට සමහර ඇනකොන්ඩාවන් මාස ගණන් නිරාහාරව ඉන්නවා.

අභිජනනය හා ජීවන අපේක්ෂාව

වසරේ අභිජනනය සිදුකරන සමයේ ප්‍රමාණයෙන් පිරිමි සතුන්ට වඩා විශාල ගැහැණු සතා පිරිමි සතුන් කිහිප දෙනෙක් සමඟම අභිජනනය කරනවා. කොළ ඇනකොන්ඩාවෙකුගේ ගැබ් කාලය මාස 7ක්. ඇනකොන්ඩාවන් බිහිවන්නේ බිත්තර මඟින් වුවත්, එම බිත්තර බොහෝ පරිනත වන තුරු ගැහැණු සත්ත්වයාගේ ශරීරය තුළ තැන්පත්ව තිබෙනවා.

කොළ ඇනකොන්ඩා ගැහැණු හා පිරිමි සත්ත්වයා-M. Watson /ardea.com

ඇනකොන්ඩාවෙක් උපතේ සිට වසර 3-4 කාලයක් තුළ දී ලිංගිකව පරිණත වෙනවා. ඇනොකොන්ඩාවෙක් වනයේ ජීවත් වන විට වසර 10ක් පමණ කාලයක් ජීවත් වන නමුත්, අල්ලාගෙන නිසියාකාරයෙන් සාත්තු සප්පායම් කරන විට වසර 30ක් වැනි කාලයක් ජීවත් කරවීමේ හැකියාව තිබෙනවා.

ඇනකොන්ඩාවන් මිනිසුන්වත් ආහාරයට ගන්නවා ද?

anaconda-lake-placid.wikia.com

ඇනකොන්ඩා මිනිසුන් ආහාරයට ගෙන ඇති බව පුරාවෘත වල මෙන්ම ජනවහරේ ද දැක්වෙන නමුත් එසේ නියමාකාරවම තහවුරු වූ සිද්ධි වාර්තා වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඔවුන් විසින් ආහාරයට ගන්නා සතුන් විග්‍රහ කිරීමේ දී සාමාන්‍යයෙන් කුඩා ප්‍රමාණයේ මිනිසෙක් ආහාරයට ගැනීම ප්‍රායෝගික නැත්තේ යැයි කිසිවෙකුට කිව නොහැකි යි.

කවරයේ පින්තූරය -pixelstalk.net

Related Articles