පක්ෂීන් නරඹන්නන්ගේ පාරාදීසයන්

දකුණු දෙසින් කුඹුක්කන් ඔයට ද නැගෙනහිරෙන් මහ සයුරට ද මායිම් වී ඇති කුමන ජාතික වනෝද්‍යානය, විසිතුරු කුරුලු පාරාදීසයක් ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. එහි දී දැක ගැනීමට හැකි පක්ෂි විවිධත්වය හේතුවෙන් පක්ෂි විද්‍යාව හදාරන්නන් සහ දෙස් විදෙස් පක්ෂි නිරීක්ෂකයන් අතර කුමන ජාතික වනෝද්‍යානය ඉහළ ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා.

මේ ලිපිය ගමන් බලපත්‍රයක් නොමැති ව නිදහසේ රටින් රටට සංචාරයේ යෙදෙන සොඳුරු කුරුලු අමුත්තන් නැරඹීම සඳහා වඩාත් සුදුසු සහ හොඳ ම ස්ථාන කිහිපයක් ගැන යි.

දක්ෂිණ ජෝර්ජියා දූපත (දක්ෂිණ ධ්‍රැවය)

© Eric Chen/Getty Images

පෙන්ගුයින් රාජධානිය සතු ගණනින් 17 ක් වන පෙන්ගුයින් විශේෂ අතරින් දෙවැනියට විශාලත ම විශේෂය ලෙස සැලකෙන ‘කිං පෙන්ගුයින්’ (දැනට ලොව විශාලත ම පෙන්ගුයින් විශේෂය ලෙස සලකනු ලබන්නේ ‘එම්පරර් පෙන්ගුයින්’ නම් විශේෂය යි) දැක ගැනීමට සුදුසු ම ස්ථානය ලෙස ‘දක්ෂිණ ජෝර්ජියා දූපත’ නම් කිරීමේ වරදක් නැහැ. සදාකාලික හිම වැස්මකින් ආවරණය වී දක්ෂිණ අත්ලාන්තික් සාගරය මැද හුදෙකලාව පිහිටි දක්ෂිණ ජෝර්ජියා දූපතේ දී දස දහස් ගණනක් වන පෙන්ගුයින් පක්ෂීන් පමණක් නොව 2015 වසරේ දී සම්පූර්ණ කරන ලද මූෂිකයින් සහමුලින් ම වඳ කිරීමේ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසින් ටාසෙක් තෘණ සහිත බෑවුම් හි කූඩු තනන මිලියන ගණනක් වූ කුඩා මුහුදු කුරුල්ලන් ද දැක ගැනීමට ලැබෙනවා.

මේ තුඩුව (ඇමෙරිකා එක්සත් ජනපදය)

© Jay Cassario, Getty Images

වසන්ත සෘතුවේදී හෝ හේමන්තයේ දී නිව් ජර්සි ප්‍රාන්තයේ ‘මේ තුඩුව’ වඩාත් සුදුසු වන්නේ නන් දෙසින් පැමිණෙන ගී කියන කුරුල්ලන්ගේ මියුරු රාවයන්ට සවන් දීම සඳහා යි. සවස් යාමයේ ඇතැම් විටෙක මේ තුඩුවේ දී වර්ණවත් වෝබ්ලර් (කෘමීන් ආහාරයට ගන්නා ගී කියන පක්ෂි කොට්ඨාසයක්) කුරුලු විශේෂ 20 ක් පමණ දැක ගැනීමට ලැබෙන බව සඳහන්. එසේ ම මේ තුඩුවේ පක්ෂි නිරීක්ෂණාගාරය සෑම සතියක ම පාහේ පක්ෂි අධ්‍යයනය සඳහා ක්ෂේත්‍ර චාරිකා සංවිධානය කරනු ලබන අතර පක්ෂි නිරීක්ෂණ පාසල විසින් පවත්වනු ලබන වැඩමුළු, පක්ෂීන් ගැන හදාරන දක්නට අයෙක්ට තොරතුරු එක්රැස් කර ගැනීමට ලැබෙන අනගි අවස්ථාවක් ලෙස හැඳින්වීමේ වරදක් නැහැ.

පැන්ටනාල් (බ්‍රසීලය)

© All Canada Photos/Alamy Stock Photo

පක්ෂි විශේෂ 656 කට සෙවණ දෙන බ්‍රසීලයේ ‘පැන්ටනාල්’ ප්‍රදේශය, 2000 වර්ෂයේ දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇත්තේ ලොව විශාලත ම නිවර්තන තෙත්බිම (මෙහි විශාලත්වය හෙක්ටයාර 187,818 ක්) ලෙස එය සතු වැදගත්කම සැලකිල්ලට ගෙන යි. ජූලි – අගෝස්තු දක්වා වන පැන්ටනාල් හි වියළි සමයේ දී තෙත්බිම සම්පූර්ණයෙන් අත්පත් කර ගන්නේ නීල වර්ණ හයසින්ත් මැකෝ ගිරවුන් හෝ ජබිරු කොකුන් විසින්. පක්ෂීන්ට අමතර ව පැන්ටනාල් හි දී ඕස්නලොට් නම් කැළෑ බළලුන්, ජගුවරයින්, කකුළුවන් ආහාරයට ගන්නා නරියන් වැනි දුලබ සතුන් රැසක් දැක ගැනීමට ලැබෙනවා.

බෘෘම් (ඕස්ට්‍රේලියාව)

© Neerav Bhatt

බටහිර ඕස්ට්‍රේලියාවේ ඉහළ කෙළවරක පිහිටි බෘෘම් නගරය සහ රෝබක් බොක්ක, ඕස්ට්‍රේලියාවේ වෙරළ පක්ෂි අගනුවර ලෙස ද සැලකෙනවා. එයට හේතුව උතුරුකරය බලා පර්යටන චාරිකා ඇරඹීමට මත්තෙන් රෝබක් බොක්ක ආශ්‍රිත වෙරළට සෑම වසරක දී ම එ්කරාශී වන පක්ෂීන් සංඛ්‍යාව 100,000 ඉක්මවීම යි. බෘෘම් හි දී පක්ෂි විශේෂ 325 ක අධික සංඛ්‍යාවක් නිරීක්ෂණය කිරීමට හැකි අතර ලොව සමස්ත වෙරළ පක්ෂි විශේෂ අතරින් හතරෙන් එකකට නොඅඩු ප්‍රමාණයක් ද එහි වාසය කරනවා.

නිව් ගිනියා උස්බිම් (පැපුවා නිව් ගිනියා)

(© Nalaka Mutukumarana)
වික්ටෝරියා කිරුළැති පරෙවියා

1930 දශකය වන තෙක් ලෝක සිතියමේ දැක ගැනීමට නොලැබුණු ‘නිව් ගිනියා උස්බිම්’, ඈත අතීතයේ සිට ම පක්ෂි නිරීක්ෂකයින්ගේ පාරාදීසයක් ලෙස යි සැලකෙන්නේ. එහි දී සොඳුරු වර්ණයන්ගෙන් යුක්ත පාරාදීසයේ කුරුලු විශේෂ (bird-of-paradise) 20 කට අධික ප්‍රමාණයක් දැක ගැනීමට හැකි යි. සමස්තයක් වශයෙන් නිවර්තන කුරුලු විශේෂ 400 ක් පමණ වාසය කරන නිව් ගිනියා උස්බිම් හි දී නිරීක්ෂණය කළ හැකි සුවිශේෂී ම කුරුලු විශේෂ ලෙස කිරුළක් සහිත බදරිය හොට ගසන්නා (Crested Berrypecker), දුලබ පක්ෂි විශේෂයක් වන බෙක්ගේ පෙට්‍රල් (Beck’s Petrel) නම් මුහුදු කුරුල්ලා සහ වික්ටෝරියා කිරුළැති පරෙවියා (Victoria Crowned Pigeon) හැඳින්විය හැකි යි.

කැකුම් ජාතික වනෝද්‍යානය (ඝානාව)

© Wietse Michiels, Alamy Stock Photo

වර්ග කිලෝමීටර 374 ක භූමි ප්‍රදේශයක් ආවරණය කරන මධ්‍යම ඝානාවේ ‘කැකුම් ජාතික වනෝද්‍යානය’ සතු පොළොව මට්ටමේ සිට අඩි 130 ක පමණ උසකින් පිහිටි එල්ලෙන පාලම්, පක්ෂි නිරීක්ෂණය සඳහා කදිම යි. උසැති ගස් හතක් එකිනෙක යා කරන අඩි 1,150 ක සමස්ත දිගකින් යුතු එල්ලෙන පාලම් රැසක් වනෝද්‍යානය සතු වෙනවා. මෙහි දී ෆ්‍රේසර්ගේ රාජාලි බස්සා සහ උකටලී කොට්ටෝරුවා ඇතුළු පක්ෂි විශේෂ 300 ක අධික ප්‍රමාණයක් දැක ගත හැකි යි. එසේ ම විශේෂ 9 කට අයත් කෑදැත්තන් ද කැකුම් ජාතික වනෝද්‍යානයේ වාසය කරනවා.

මයින්ඩෝ (ඉක්වදෝරය)

© Sue Bishop

ඇන්ඩීස් කඳුවැටිය මායිමේ පිහිටි ‘මයින්ඩෝ ගම්මානය’, පැණි කුරුලු රාජධානියක් ලෙස පැවසීමේ වරදක් නැහැ. එහි දී දැක ගැනීමට ලැබෙන පැණි කුරුලු විශේෂ සංඛ්‍යාව 130 ඉක්මවන බව සඳහන්. සංඛ්‍යා දත්ත පෙන්වා දෙන ආකාරයට ලොව ඉහළ ම කුරුලු ජනගහනයක් සහිත ස්ථාන අතරින් තෙවැනි තැන හිමි කර ගැනීමට සමත් වී ඇත්තේ මයින්ඩෝ ගම්මානය යි. එසේ ම ලෝකයේ ආවේණික කඳුකර පක්ෂීන් වැඩි ම සංඛ්‍යාවක් වාසය කරන ස්ථානය ලෙස ද මෙය සැලකෙනවා.

හුලා නිම්නය (ඊශ්‍රායලය)

© Olga Dubova

බිලියන ගණනක් වූ පක්ෂීන් සෑම වසරක ම අප්‍රිකාවේ සිට යුරෝපය සහ ආසියාව බලා පර්යටනය කරන්නේ ‘හුලා නිම්නය’ හරහා යි. එසේ ම හුලා නිම්නය ආශ්‍රිත ව සිදු කරන ලද තෙත්බිම ප්‍රතිසංස්ථාපනය කිරීමේ යෝජනා ක්‍රම කිහිපයක් ම සාර්ථක වීම හේතුවෙන් පක්ෂීන් විශාල සංඛ්‍යාවක් සිසිර ඍතුව ගත කිරීම සඳහා හුලා නිම්නය බලා පැමිණෙනවා. මෙසේ පැමිණෙන පක්ෂීන් අතර කොකුන් දස දහස් ගණනක් සිටින අතර ඔවුන් කෘෂිකාර්මික වගාබිම්වලට සිදු කරන හානිය පහළ දැමීමේ අරමුණෙන් ඊශ්‍රායල රජය මෙම පක්ෂීන්ට ආහාර පිණිස  ගැනීම සඳහා ඉරිඟු ලබා දීම සිදු කරනවා. සාමාන්‍යයෙන් වසරක දී විශේෂ 390 කට අධික ප්‍රමාණයකට අයත් පක්ෂීන් මිලියන 500 ක් පමණ හුලා නිම්නය හරහා පියාසර කරන බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ.

කෘෘගර් ජාතික වනෝද්‍යානය (දකුණු අප්‍රිකාව)

© Allan Watt

ඊශාන දිග දකුණු අප්‍රිකාවේ පිහිටි ‘කෘෘගර් ජාතික වනෝද්‍යානය’ වඩාත් සුදුසු වන්නේ ගොදුරු සොයා යන පක්ෂීන් නිරීක්ෂණය කිරීම සඳහා යි. වසන්ත සෘතුවේ අවසන් කාලය (ජනවාරි – පෙබරවාරි දක්වා) පක්ෂි නිරීක්ෂණය සඳහා යෝග්‍ය වන අතර පක්ෂීන් වැඩි වශයෙන් ගැවසෙන්නේ ගං ඉවුරු සහ දිය කඩිති ආශ්‍රිත ව බැවින් දෙනෙතියක් රැගෙන යාම පක්ෂි නිරීක්ෂණය පහසු කරන බවට සැකයක් නැහැ. මෙහි දී බැටලියර් රාජාලියා, දුඹුරු සර්ප රාජාලියා, අප්‍රිකානු මත්ස්‍ය රාජාලියා සහ තැඹිලි-දුඹුරු රාජාලියා වැනි ගොදුරු සොයා යන කුරුල්ලන් මෙන් ම පිළිහුඩුවන්, ස්ටාලින් පක්ෂීන්, ලිලැක් පපුවැති රෝලර් වැනි වර්ණවත් කුරුල්ලන් ද දැක ගත හැකි යි.

නාගලන්තය (ඉන්දියාව)

© Jack Pluto

පක්ෂි විශේෂ 500 කට පමණ සෙවණ දෙන ‘නාගලන්තය’ පිහිටා ඇත්තේ මියන්මාරයේ දේශ සීමාවේ යි. සෑම වසරක දී ම මිලියනයක් පමණ වන අමූරු ෆැල්කන් කුරුල්ලන්, ඩෝයන්ග් ජලාශය අසලට එක්රැස් වන්නේ ඔවුන්ගේ සැතපුම් 13,000 ක් වන දකුණු අප්‍රිකානු සංක්‍රමණය ඇරඹීම සඳහා යි. එසේ ම ඔක්තෝබර් මාසයේ දී ගොදුරු සොයා යන පක්ෂි විශේෂ රැසක් නාගලන්තයේ දී දැක ගැනීමට හැකියාව ලැබෙනවා. එසේ ම ඉන්දියාවට ආවේණික පක්ෂි විශේෂ රැසක් ම නාගලන්තය සතු යි.

කවරයේ පින්තූරය : © Thangaraj Kumaravel

Related Articles