Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සත්ත්ව ලෝකයේ ධාවන ශූරයෝ

අද වන විට ලෝකයේ වේගවත්ම මිනිසාට හිමි කිරුළ දිනාගෙන සිටින්නේ ජැමෙයිකානු ජාතික උසේන් බෝල්ට්. මීටර් 100 ක දුරක් ගෙවීම සඳහා ඔහු ගත කර ඇත්තේ තත්පර 9.58 ක් පමණ යි. ඔහු එම වාර්තාව තැබුවේ 2009 දී බර්ලින් හි පැවැත් වූ ලෝක ශූරතා තරඟාවලියේ දී යි.

නමුත් ලෝකයේ වේගවත් ම මිනිසා අබිබවා යා හැකි උදවිය, සත්ත්ව ලෝකයේ සිටින බව ඔබ දැන සිටියා ද? මේ සත්ත්ව ලෝකයේ වේගවත් ම ඇත්තන් කිහිප දෙනෙකු ගැන තොරතුරු යි.

ගොඩබිම වේගවත්ම සත්ත්වයා (කෙටි දුර) : චීටා

© Raywood

කෙටි දුර දිවීමේ දී ඉහළ වේගයක් පවත්වා ගන්නා සත්ත්වයා ලෙස සැලකෙන්නේ Acinonyx jubatus යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන චීටා යි. සාමාන්‍යයෙන් චීටාවෙකුගේ වේගය පැයට සැතපුම් 64.8 ක් (තත්පරයට මීටර් 29 ක් පමණ) වෙනවා. චීටාවන් අතරින් වේගවත් ම චීටා ලෙස කිරුළ හිමි කරගෙන ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සින්සිනාටි සත්ත්වෝද්‍යානයේ වාසය කරන 11 හැවිරිදි සාරා නම් චීටා යි. National Geographic සඟරාව මගින් සිදු කරන ලද කැමරාගත කිරීමේ වැඩසටහනක් අතරතුර දී පිහිටු වන ලද මෙම වාර්තාව සටහන් වුණේ පැයට සැතපුම් 61 ක් ලෙස යි. ඒ අනුව මීටර් 100 ක දුර තරණය කිරීම සඳහා ඇය තත්පර 5.95 ක කාලයක් වැය කර තිබෙනවා.

ගොඩබිම වේගවත්ම සත්ත්වයා (දිගු දුර) : ප්‍රොන්ග්හෝන් ඇන්ටිලෝප්

© Ken Trease

දිගු දුර දිවීමේ දී චීටාව අබිබවා ගොඩබිම වේගවත් ම සත්ත්වයාට හිමි ස්ථානය සුරක්ෂිත කරගෙන ඇත්තේ Antilocapra americana ලෙස විද්‍යාත්මක ව හඳුන්වන ප්‍රොන්ග්හෝන් ඇන්ටිලෝප් විසින්. මොවුන්ට පැයට සැතපුම් 55 ක් (පැයට කිලෝ මීටර් 89) දක්වා තම වේගය වැඩි කළ හැකි බව පැවසෙනවා. නමුත් දිගු දුර දිවීමේ දී ප්‍රොන්ග්හෝන් ඇන්ටිලෝප් සත්ත්වයෙකු සාමාන්‍යයෙන් පවත්වාගෙන යන්නේ පැයට සැතපුම් 30 ක වේගයක් පමණ යි. මොවුන් සෑම වසරක ම සැතපුම් 300 ක පමණ දුරක් සංක්‍රමණය කරන අතර ඒ සඳහා මෙම හැකියාව බොහෝ සෙයින් උපකාරී වන බව සඳහන් වෙනවා.

වේගවත්ම පක්ෂියා (කෙටි දුර) : පෙරිග්‍රින් කුරුලුගොයා

© Insu Nuzzi

Falco peregrinus යන විද්‍යාත්මක නමින් හඳුන්වනු ලබන පෙරිග්‍රින් කුරුලුගොයා, ගොදුරු ඩැහැ ගැනීම සඳහා කිමිදීමේ වේගය පැයට සැතපුම් 220 ක් (පැයට කිලෝ මීටර් 354) පමණ වෙනවා. නමුත් මොවුන්ගේ සාමාන්‍ය පියෑඹීමේ වේගය පැයට සැතපුම් 40 – 60 අතර දක්වා අගයක් ගන්නවා. ඇමෙරිකාවේ බොස්ටන් සරසවි පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට පෙරිග්‍රින් කුරුලුගොයාට මෙසේ කෙටි කාලයක් ඇතුළත අධික වේගයක් ලබා ගැනීමට උපකාර කරන්නේ ඔවුන් සතු උලක හැඩය ගන්නා අනාකුලිත (streamlined) පියාපත්, ශක්තිමක් මාංශපේෂීන්වලින් සැදි විශාල පපු ඇටය සහ ප්‍රතිරෝධයන් අඩු කරන නොනැමෙන සුලු පිහාටු යි.

වේගවත්ම පක්ෂියා (දිගු දුර) : මහා කැස්වටුවා

© Mick Davis

සංක්‍රමණික පක්ෂි විශේෂයක් වන මහා කැස්වටුවා විද්‍යාත්මකව හඳුන්වන්නේ Gallinago media ලෙස යි. සෑම වසරක ම ඊශාන දිග යුරෝපයේ සිට මධ්‍යම අප්‍රිකාවට සැතපුම් 4,200 ක පමණ දුරක් පියඹා යන මහා කැස්වටුවෙකුගේ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 60 ක් පමණ වෙනවා. මේ හේතුවෙන් පැය 48 – 96 කාලයක් ඇතුළත දී සම්පූර්ණ සංක්‍රමණික ගමන නිම කිරීමට මොවුන්ට හැකි යි. එසේ ම පර්යේෂකයන් සඳහන් කරන ආකාරයට මහා කැස්වටුවන් මෙම වේගය අත්පත් කර ගන්නේ අවර සුළඟෙන් (tailwind) සහයෝගයක් ලබා නොගෙන යි.

වේගවත්ම මත්ස්‍යා : සේල්ෆිෂ්

© Casa Vieja Lodge

ඇමෙරිකාවේ ජාතික සාගර සේවාව සඳහන් කරන ආකාරයට ලොව වේගවත්ම මත්ස්‍යා වන්නේ තලපත් මසුන්ට තරමක් සමාන සේල්ෆිෂ් මත්ස්‍යා යි. සාමාන්‍යයෙන් සේල්ෆිෂ් මත්ස්‍ය යෙකුට පැයට සැතපුම් 68 ක වේගයක් පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. නමුත් මෑතක දී මැසචුසෙට්ස් හි Large Pelagics පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයන් පිරිසක් පැයට සැතපුම් 144 ක් වේගයෙන් පිහිනා ගිය නිල් වරල් සහිත ටූනා මත්ස්‍යයෙකු වාර්තා කරගෙන තිබෙනවා. මේ නිසා ලෝකයේ වේගවත්ම මත්ස්‍යා ලෙස සේල්ෆිෂ්ට ඇති ස්ථානයට අභියෝගයට ලක් වී ඇති බව යි වාර්තා වන්නේ.

වේගවත්ම උරගයා : කටු සහිත වල්ගයක් හිමි ඉගුවානා

© Sean Feagan

විද්‍යාත්මක ව Ctenosaura ලෙස කටු සහිත වල්ගයක් හිමි ඉගුවානා ප්‍රමාණයෙන් කුඩා කටුසු විශේෂයක් වුවත් ඔවුන්ගේ වේගය උරග ලෝකයේ අනෙක් සෑම දෙනාම අබිබවා යන බව යි වාර්තා වන්නේ. මධ්‍යම ඇමෙරිකාව නිජබිම වන මොවුන් කලබලයක් නොමැති සන්සුන් සත්ත්ව විශේෂයක්. 1984 වර්ෂයේ දී පර්යේෂකයෙක් කටු සහිත වල්ගයක් හිමි ඉගුවානාගේ වේගය ගණනය කර ඇති අතර එහි වාර්තා වී ඇති වේගය පැයට සැතපුම් 21 ක්.

වේගවත් ම කෘමියා : ඕස්ට්‍රේලියානු ව්‍යාඝ්‍ර කුරුමිණියා

© BBC Earth

BBC Earth වෙබ් පිටුව සඳහන් කරන ආකාරයට ලොව වේගවත් ම කෘමියාට හිමි ස්ථානය හිමි කර ගැනීමට ඕස්ට්‍රේලියානු ව්‍යාඝ්‍ර කුරුමිණියා සහ ඇමෙරිකානු කැරපොත්තා අතර පැවති තරඟයෙන් ජයග්‍රහණය කර ඇත්තේ Cicindela hudsoni යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන ඕස්ට්‍රේලියානු ව්‍යාඝ්‍ර කුරුමිණියා යි. පියෑඹීමට නොහැකි මොවුන්ගේ වේගය පැයට සැතපුම් 5.6 ක් (තත්පරයකට අඩි 8 ක් පමණ) වන බව යි සඳහන් වන්නේ. වෙනත් ලෙසකින් පවසනවා නම් ඕසට්‍රේලියානු ව්‍යාඝ්‍ර කුරුමිණියාට තත්පරයක් තුළ දී තමන්ගේ සිරුර මෙන් 171 ගුණයක දුරක් තරණය කිරීමට හැකි යි.

Cover image: © Mark Dumont

Related Articles