ඇමසන් වනාන්තරයේ සිටින භයානක සත්ත්ව විශේෂ 5ක්

ලොව විශාලත ම වැසි වනාන්තරය ලෙසින් සැලකෙන ඇමසන් වනාන්තරය දකුණු අමෙරිකා මහාද්වීපයේ ඇමසන් ද්‍රෝණියේ වැඩි කොටසක් වසාගෙන පැතිරී තිබෙනවා. ඒ අනුව බ්‍රසීලය, පේරු, සූරිනාමය, බොලිවියාව, කොලොම්බියාව, වෙනිසියුලාව, ඉක්වදෝරය, ගයනාව, සහ  ප්‍රංශ ගයනාව යන රටවල්වලට එහි  කොටස් අයිති වෙනවා.

මෙම මහා වනාන්තරයෙන් 60%ක් තරම් විශාල කොටසක්  පිහිටා තිබෙන්නේ බ්‍රසීලය තුළ වීම විශේෂත්වයක්. හෙක්ටයාර මිලියන 670කට වඩා අධික භූමි ප්‍රදේශයක් පුරා පැතිරී පවතින මෙම වනාන්තරය ආශ්‍රිත ව විවිධ ආකාරයේ සත්ත්ව විශේෂ රැසක් ජීවත් වෙනවා. ඒ අතුරින් සමහර සත්ත්ව විශේෂ ඉතාමත් භයානක යි. මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එන්නේ එවැනි සත්ත්ව විශේෂ 5ක් පිළිබඳව යි. 

5) බුලට් කුහුඹුවා  

ලෝකයේ ප්‍රධාන වනාන්තර ආශ්‍රිත ව විවිධ ආකාරයේ කුහුඹු විශේෂ ජීවත් වෙනවා. ඉන් සමහර කුහුඹු විශේෂ ඉතාමත් විෂ සහිත නිසා උන් දෂ්ට කළ විට වඩාත් භයානක ප්‍රතිඵල අත්වන්නට පුළුවන්. දකුණු අමෙරිකාවේ ඇමසන් වනාන්තරයේ දී හමුවන බුලට් කුහුඹුවන් ද ඒ වගේ දරුණු විෂ සහිත කුහුඹු විශේෂයක්. උන්ට එවැනි නමක් පටබැඳීමට හේතුව වී තිබෙන්නේ බුලට් කුහුඹුවකු දෂ්ට කළ විට උණ්ඩයකින් වෙඩි තැබුවාක් මෙන් වේදනාවක් දැනෙන නිසා යි. ප්‍රධාන වශයෙන් ගස් පාමුල ජීවත් වන මෙම භයානක කුහුඹු විශේෂය අඟල් 2ක් තරම් උපරිම දිගක් දක්වා වර්ධනය වෙනවා. 

බුලට් කුහුඹුවා – inaturalist.org

 

වනාන්තරයේ ජීවත් වන විට සිදුවන අනතුරුවලින් බේරීම සඳහා බුලට් කුහුඹුවන් එවැනි දෂ්ට කිරීම් කරනවා. මෙම කුහුඹුවන් නිකරුණේ සතුරකුට දෂ්ට කරන්නේ බොහොම කලාතුරකින්. බුලට් කුහුඹුවකු දෂ්ට කළ විට දැනෙන වේදනාව මී මැස්සකු දෂ්ට කළ විට දැනෙන වේදනාව මෙන් 30 ගුණයක් පමණ වන බවට හඳුනාගෙන තිබෙනවා. උන්ගේ විෂ තුළ පොනරෙටොක්සීන් අඩංගු වෙනවා. එනිසා උන් දෂ්ට කළ විට තාවකාලික අංශභාග රෝගී තත්ත්වයක් ඇතිවන්නට පුළුවන්. ඊට අමතරව දෂ්ට කළ ස්ථානය ආශ්‍රිත ව වේදනාවක්, දැවිල්ලක් සහ ඉදිමුමක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. එම තත්ත්වය පැය 24ක් පුරාවට පැවතීමෙන් බුලට් කුහුඹුවන්ගේ භයානකකම පිළිබඳ ව ඔබට වටහාගත හැකි යි.  

4) විදුලි ඊල් (ආඳා) මත්ස්‍යා  

ඇමසන් වනාන්තරය හරහා ගමන් කරන ඇමසන් ගංගාව තුළ අමුතු ම ආකාරයේ මත්ස්‍යයන් ජීවත් වෙනවා. ඒ අතුරින් විදුලි ඊල් මාළුවා (ආඳා) කාගේත් අවධානය දිනා ගන්නවා. අතීතයේ සිට ඇමසන් ද්‍රෝණියේ මිරිදිය ජලාශ ආශ්‍රිත ව වාසය කළ මෙම මත්ස්‍ය විශේෂය උන්ට තර්ජනයක් එල්ල කරන ඕනෑම සත්වයකුට දැවැන්ත විදුලි කම්පනයක් ලබාදෙනවා. එනිසා මෙම මත්ස්‍ය විශේෂයට විදුලි ඊල් (ආඳා) යන නම පටබැඳී තිබෙනවා. හොඳින් වැඩුණු විදුලි ඊල් (ආඳා) මත්ස්‍යයකු දිගින් අඩි 8ක් සහ බරින් කිලෝ ග්‍රෑම් 20ක් පමණ වෙනවා. ඉන් පැහැදිලි වන්නේ විදුලි ඊල් (ආඳා) මත්ස්‍යයකු ප්‍රමාණයෙන් ඉතාමත් විශාල බව යි.

විදුලි ඊල් මත්ස්‍යා (theconversation.com)

 

සාමාන්‍යයෙන් විදුලි ඊල් (ආඳා) මාළුවකුට වෝල්ට් 600ක පමණ උපරිම විද්‍යුත් ආරෝපණයක් ජනනය කළ හැකි බව විශ්වාස කරනවා. ඒ අයුරින් මෙම අපූරු මත්ස්‍යයා ලබා දෙන විදුලි කම්පනය හේතුවෙන් මිනිසකු වුණත් අනතුරකට ලක්විය හැකි යි. විදුලි ඊල් (ආඳා) මාළුවන් මිනිසුන්ට ප්‍රහාර එල්ල කරන්නේ ඉතාමත් කලාතුරකින්. උන්ගේ ප්‍රහාර හමුවේ පක්ෂීන්, වෙනත් මත්ස්‍යයන්, කිඹුලන්, අශ්වයන් වැනි සත්ත්ව විශේෂ මරණයට පත් වුණු අවස්ථා පිළිබඳ ව වාර්තා වී තිබෙනවා. ඉන් නිගමනය කළ හැක්කේ ඇමසන් වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වන වඩාත් භයානක සත්ත්ව විශේෂ අතරට විදුලි ඊල් (ආඳා) මත්ස්‍ය විශේෂයත් අයත් වන බව යි.  

3) හරිත ඇනකොන්ඩා 

හරිත ඇනකොන්ඩා යන නම ඇසුණු සැනින් අපගේ මතකයට නැගෙන්නේ ඇමසන් වනාන්තර යි. එහි වගුරු බිම් සහ ගංගා ආශ්‍රිත ව මෙම දැවැන්ත සර්පයා ජීවත් වෙනවා. හොඳින් වැඩුණු හරිත ඇනකොන්ඩාවකුගේ බර කිලෝ ග්‍රෑම් 250ක් පමණ වෙද්දී දිග මීටර් 9ක් පමණ වෙනවා. ලෝකයේ සිටින විශාලත ම නිර් විෂ සර්පයා ලෙසින් සැලකෙන හරිත ඇනකොන්ඩා සම්පූර්ණයෙන් ම ජලයේ ගිලී සිටිනවා. මෙම සර්පයාගේ නාස් පුඩු හිස් මුදුනේ පිහිටා තිබෙන නිසා ජලය යට දී හුස්ම ගැනීමේ හැකියාව පවතිනවා. හරිත ඇනකොන්ඩාවන් ඒ අයුරින් ජලයේ ගිලී සිටින්නේ පහසුවෙන් ම සිය ගොදුර අල්ලා ගැනීම සඳහා යි.

හරිත ඇනකොන්ඩා – maekoartma.onrender.com

 

හරිත ඇනකොන්ඩාගේ එම උපක්‍රමයට හසුවන බොහෝ සතුන් ජලය පානය කිරීම සඳහා ඒ අසලට ම යනවා. එවිට එක් වර ම ක්‍රියාත්මක වන ඇනකොන්ඩා ගොදුර ග්‍රහණයට හසුකර ගන්නවා. ඇනකොන්ඩා ගොදුරු වුණු සත්ත්වයාට ඉන් පසු ව  හුස්ම ගැනීමට නොහැකි වන තුරුම මිරිකනවා. එවිට ඇනකොන්ඩාට ගොදුරු වුණු සත්ත්වයාට මරණය උරුම වෙනවා. ඉන් අනතුරු ව ඇනකොන්ඩා මිය ගිය සත්ත්වයාව සම්පූර්ණයෙන් ම ගිල දමනවා. මුවන්, කිඹුලන්, කැස්බෑවන්, කයිමන් වැනි සතුන් ප්‍රධාන වශයෙන් ඇනකොන්ඩාට ගොදුරු වෙනවා. ඇනකොන්ඩාට මිනිසුන් ගොදුරු වුණු බවට තවමත් නිල වශයෙන් වාර්තා වී නැහැ. නමුත් ඇනකොන්ඩාට ගොදුරු වුණු මිනිසුන් පිළිබඳ ව නොනිල වාර්තා පවතිනවා. ඒ පිළිබඳ ව අදහස් දක්වන සත්ත්ව විද්‍යාඥයන් පවසන්නේ ඇනකොන්ඩා වැනි දැවැන්ත සර්පයකුට මිනිසකු ගොදුරු වීම විය හැකි දෙයක් බව යි.     

2) විස ඩාට් ගෙම්බා 

විස ඩාට් ගෙම්බා ඇමසන් වනාන්තරයේ ගංගා, ඇළ දොළ, වගුරු බිම් සහ විල් ආශ්‍රිත ව ජීවත් වෙනවා. එම ගෙඹි විශේෂය විස ඩාට් යන නමින් හඳුන්වන්නේ ඇමසන් වනාන්තරයේ ජීවත් වන ගෝත්‍රිකයන් සතුන් සහ සතුරන් දඩයම් කිරීම සඳහා මෙම ගෙම්බන්ගේ විස ආලේප කළ ඊතල භාවිත කරන නිසා යි. මෙම අපූරු ගෙඹි විශේෂය රන්, තඹ, රතු, නිල්, තැඹිලි, කහ සහ කොළ ඇතුළු විවිධ වර්ණවලින් දැකගන්නට පුළුවන්. ඒ අයුරින් අලංකාර වර්ණයන්ගෙන් යුක්ත වුණත් මෙම ගෙම්බන්ගේ සිරුරේ මාරාන්තික විස ප්‍රමාණයක් එකතු වී තිබෙනවා. ඩාට් ගෙම්බන්ගේ සිරුරේ එතරම් විස ප්‍රමාණයක් අඩංගු වන්නේ විස සහිත කුහුඹුවන්, වේයන් සහ සෙන්ටිපීඩ්ස් සතුන් වර්ග ආහාරයට ගන්නා නිසා යි. 

විස ඩාට් ගෙම්බා – pinterest.com

 

යම් කිසි විලෝපිකයකු විස ඩාට් ගෙම්බකු අනුභව කළහොත් භයානක විස ශරීරගත වීම හේතුවෙන් මුළු සිරුර ම ඉදිමී, ඔක්කාරය ඇති වී මරණය උරුම වෙනවා. ඇමසන් වනාන්තරයේ ජීවත් වන එක්තරා සර්ප විශේෂයක් නම් විස ඩාට් ගෙම්බන් කිසිදු ගැටලුවකින් තොර ව ආහාරයට ගන්නවා.  ඒ අනුව Leimadophis Epinephelus නම් එම සර්පයා විෂ ඩාට් ගෙම්බන්ගේ එක ම ස්වභාවික විලෝපිකයා බවට පත් ව තිබෙනවා.

1) පිරන්හා මත්ස්‍යයා

ඇමසන් වනාන්තරය ආශ්‍රිත ව ජීවත් වන සතුන් අතුරින් මිනිසුන්ට පවා හානි කරන භයානක සත්ත්වයකු ලෙසින් පිරන්හා මත්ස්‍යයා හඳුන්වන්නට පුළුවන්. ඒ මත්ස්‍යයා පිරානා නමින් ද හඳුන්වනවා. සාමාන්‍යයෙන් සෙන්ටි මීටර් 30ක් තරම් දිගකට වර්ධනය වන පිරන්හා මත්ස්‍යයන් බැලූ බැල්මට අහිංසක සත්ත්ව විශේෂයක් මෙන් දිස්වෙනවා. නමුත් උන්ගේ ශක්තිමත් හකු සහ තියුණු දත්වලින් ඕනෑම ජීවියකු ඇටසැකිල්ලක් බවට පත්කිරීමට විශාල කාලයක් ගතවන්නේ නැහැ.

එහි දී ගොදුර වෙත පනින පිරන්හා මත්ස්‍යයන් පැන පැන සපා කන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. 400-500ක් තරම් මත්ස්‍යයන් ප්‍රමාණයක් සිටින පිරන්හා රංචුවකට මිනිසකු අසුවුණොත් ඉතාමත් කෙටි කාලයක් තුළ එම මිනිසා සම්පූර්ණයෙන් ම කා දැමීමේ හැකියාව උන්ට තිබෙනවා. 

පිරන්හා මත්ස්‍යා – gettyimages.com

එහි දී දක්නට ලැබෙන සුවිශේෂී කාරණය වන්නේ එක් වරක දී මස් ග්‍රෑම් 100ක පමණ කුට්ටියක් කඩා ගැනීමට එම මත්ස්‍යයින්ට ඇති හැකියාව යි. පිරන්හා එල්ල කරන ප්‍රහාරවල දී එක් මත්ස්‍යයකු ගොදුරේ මස් කඩා ගන්නා ස්ථානයෙන් ම අනිත් මත්ස්‍යයා ද මස් කඩා ගැනීම විශේෂ ලක්ෂණයක්. සාමාන්‍යයෙන් පිරන්හා මත්ස්‍ය කණ්ඩායම් ඉතාමත් වේගයෙන් ගොදුරු වෙත කඩා පනින නිසා ඔවුන්ගෙන් ගැලවී යාම ලෙහෙසි පහසු වන්නේ නැහැ.

තියුණු ඇස් තිබීම, හොඳින් ගන්ධය දැනීම සහ ජලයේ ස්න්දපනය දැනුණු විගස ගොදුර කරා ළඟා වීමට ඇති හැකියාව නිසා පිරන්හා මත්ස්‍යයන් හොඳ දඩයක්කරුවන් බවට පත් ව සිටිනවා. ඇමසන් වනාන්තරය ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන මසුන් මරන්නන් නිතර ම පිරන්හා ප්‍රහාරවලට ගොදුරු වෙනවා. එනිසා බොහෝ මසුන් මරන්නන්ගේ අත් සහ පාදවල ඇඟිලි අහිමි ව තිබෙන ආකාරය දැකගන්නට පුළුවන්. එමඟින් මෙම මත්ස්‍ය විශේෂයේ භයානක බව වටහාගැනීමට ඔබට හැකිවනු ඇති බවට සැකයක් නැහැ.

කවරයේ ඡායාරූපය- ගසක් මත සිටින විස ඩාට් ගෙම්බෙක් - thetimes.co.uk

මූලාශ්‍ර- 

walkthroughindia.com 

themysteriousworld.com 

worldatlas.com

Related Articles