බලධාරින්ගේ කුඩම්මාගේ සැලකිලි නිසා වැනසෙන ජල ගැලුම් නිම්නය

ජලගැලුම් නිම්න වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙ. කොළඹ සිට ඒ වෙත දුර කි. මී. 233ක්. පසුගිය දා මේ වනාන්තරය ගැන නිතර ප්‍රවෘත්තිවල කියැවුණා. ඒ මේ වටිනා පරිසර පද්ධතිය මැදින් පාරක් හදන්න යන කතාවක් නිසයි.

පාරේ අවුල මොකක්ද?

වනෝද්‍යානය මැදින් තැනිමට යන පාරේ පිහිටීම -medialk.com

පසුගිය දිනෙක පොළොන්නරුව යක්කුරේ ගම්මානයට රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ හා වනජීවී රාජ්‍ය අමාත්‍ය  විමලවීර දිසානායක ගියා. ඒ යන විට ගම්වැසියන් විරෝධතා පුවරු අතේ තබාගෙන උද්ඝෝෂණය කරමින් සිටියා.

ඇමැතිතුමනි, අපේ පාර අපට දෙන්න. යක්කුරේ මනම්පිටිය මාර්ගය ලබාදෙන්න යැයි පුවරුවල සඳහන් ව තිබුණා. එහිදී වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යක්කුරේ හා අවට ගම්වල අයට විතරක් හදිසියකට ලෙඩකට දුකකට යන්න පාර ලබා දෙනවා. හැබැයි පිට වාහන ගෙන්වාගන්න වැලි අදින්න ගඩොල් අදින්න බැරි බව යි.

ජාතික වනෝද්‍යානයක් මැදින් නීතිවිරෝධී අයුරින් මාර්ගයක් ලබාදීම වන සත්ත්ව ආරක්ෂක පනතට අනුව නීති විරෝධී වැඩක් බව වනජීවී නිලධාරින් එයට පෙර අවස්ථාවක දී ඇමැතිවරයාට පෙන්වා දී තිබුණා. එහිදී ඇමැතිවරයා සහ නිලධාරින් අතර බහින්බස්වීමක් හටගත්තා. එය රූපවාහිනී මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමග සමාජ මාධ්‍යවලින් මේ ගැන ඇමැතිවරයාට විශාල විරෝධයක් එල්ල වුණා. වනජීවී නිලධාරීන් වෘත්තිය ක්‍රියාමාර්ග ද ගත්තා.

සමාජ මාධ්‍යවල විරෝධතා බැනර – facebook

ජලගැලුම් නිම්න වනෝද්‍යානය 1984 දී ප්‍රකාශයට පත් කළේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ යි. ඒ අවස්ථාවේ වන ජිවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් යක්කුරේ සිට මනම්පිටිය දක්වා වනාන්තර මැදින් භාවිත කළ පැරණි මාර්ගය වසා දැම්මා. දමනෙවැව සිට යක්කුරේ හරහා මනම්පිටිය දක්වා තිබී ඇති මෙම මාර්ගය මුළුමනින්ම ජාතික වනෝද්‍යානය ඇතුළත යි පිහිටා තිබෙන්නේ. ගිරාමංකඩ ඇතුළු වැලිමංකඩවල් රැසක් පිහිටි යක්කුරේට ආසන්න මහවැලි ගඟේ වංගු සහිත ප්‍රදේශයේ දී මෙම මාර්ගය ඇත්තේ ගඟට මීටර් 700 – 800ක් තරම් දුරකින්.

ජල ගැලුම් නිම්නයේ පිහිටීම- Dailymirror.lk

ජාතික වනෝද්‍යානය ආරක්ෂා කිරීම සඳහා මෙම මාර්ගය භාවිතයෙන් ඉවත් කර, ඒ වෙනුවට මනම්පිටිය, දිඹුලාගල, පැලැටියාව, කළුකැලේ හරහා යක්කුරේට කාපට් සහිත පුළුල් මාර්ගයක් ඉදිකර තිබෙනවා. ගැමියන් පවසන්නේ ඒ පාර දුර වැඩි බව යි. වර්ෂ 36ක් වනයට යටව තිබූ මාර්ගය නැවත ප්‍රතිසංස්කරණය කර විවෘත කර ගැනීමට දේශපාලනඥයෝ මැදිහත්ව සිටින බව පෙනෙනවා. මේ පිළිබඳව වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියේ මෙසේ සඳහන් වෙනවා:

දෙපාර්තමේන්තු සහ අමාත්‍යාංශ නිලධාරීන්ගේ විරෝධය නොතකා ජල ගැලුම් නිම්න වනෝද්‍යානය මැදින් මාර්ගයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව වනජීවී නිලධාරීන්ගෙන් අප සංගමයට තොරතුරැ වාර්තා වී ඇත. රක්ෂිතයක් මැදින් මාර්ගයක් ඉදිකිරීම මඟින් සිදුවන්නේ රක්ෂිතයේ ජීවත්වන වනජීවී ගහණයන් හා ඔවුන්ගේ පරිසරය ඛණ්ඩනය වීම ය. එය වනජීවීන්ගේ වඳ වී යාමට හේතුවකි.

මොකක්ද මේ ජල ගැලුම් නිම්නය?

ජල ගැලුම් නිම්නය -Silumina.lk

කඳුකරයෙන් උපත ලබා මනම්පිටිය හරහා තැනිතලාවක ගලන මහවැලි ගංගාව වැසි කාලයේ දී නිතර පිටාර ගලනවා. මනම්පිටියට නුදුරු තුම්මෝදර සිට උතුරට යන ප්‍රදේශය යි මේ ජල ගැලුම්වලට යට වන්නේ. නිතර ගංවතුරට යට වන නිසා ජලයෙන් පිරී පවතින පහත් බිම්, විල්ලු, තෙත්බිම් වනාන්තර මේ අවට පිහිටා තිබෙනවා. ඒවා මහවැලි ගංගාවේ ජල පෝෂක විදිහටයි සලකන්නේ. ඒ වගේම වන සතුන්ගේ වන මංකඩක් සහ නිජබිම් ලෙසත් මේ නිම්නය ක්‍රියා කරනවා. ඒ නිසයි එහි හෙක්යටාර් 17350ක් වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශ කර ඒ භූමිය ආරක්ෂා කිරීමට කටයුතු කර තිබෙන්නේ. කඩිනම් මහවැලියට එළිකළ වනාන්තර නිසා අවතැන් වූ වනසතුන්ට රැකවරණය සැලසීමත් මෙහි ප්‍රධාන අරමුණක්.

පාර ඇරියොත් මොකද වෙන්නේ?

යක්කුරේ ගම්මානය-   Kusumsiri Wijayawadhana

යක්කුරේ සිට මෙම මාර්ගය ඉදිකිරීම කළොත් දැනට ඉතිරිව පවතින බණ්ඩියා විල්ලුව, හඳපාන් විල්ලුව වැනි විල්ලු පද්ධති ද විනාශයට ලක්වන අතර, දැනට පවතින අලි මිනිස් ගැටලුවට අමතරව බරපතළ පාරිසරික විනාශයකට අඩිතාලම වැටෙන බව වනජීවි නිලධාරීන් මෙන්ම පරිසරවේදීන් ද අවධාරණය කරනවා. මහවැලි බී කලාපය, සී කලාපය, පොළොන්නරුව ඇතුළු ප්‍රදේශවල මහජනතාවට මේ නිසා දැඩි වනඅලි ගැටලුවකට මුහුණපෑමට සිදුවන බව වනජීවී අඩවි සහකාරවරුන්ගේ සංගමය පවසා සිටිනවා.

ජල ගැලුම් නිසා නිම්න ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත්කර ඇත්තේ වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ 2(1) වගන්තියට අනුවයි. එම පනත අනුව ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන අවස්ථාවේ පැරණි මාර්ගයේ අයිතිය ජනතාවට ඉතිරි කර තිබුණ ද, අවුරුදු දෙකක් එය භාවිත නොකළේ නම් එහි අයිතිය අහෝසි වන බව පනතේ තුන්වැනි වගන්තියේ සඳහන්ව තිබෙන බව පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කරනවා.

දැනට සිදුවන විනාශය

නීතිවිරෝධී වී වගා බිම් – Dailymirror.lk

මීට පෙර ද අවස්ථා ගණනාවක දී නීතිවිරෝධී ලෙස මෙම ජාතික වනෝද්‍යානයේ ඉඩම් වී වගාව සඳහා ලබාදීමේ උත්සාහයන් පැවති බව ප්‍රදේශවාසීන් කියනවා. එසේ වී වගාකළ ඉඩම් අක්කර 1000කට වැඩි ප්‍රමාණයක් වනජීවී නිලධාරින් අධිකරණ ක්‍රියාමාර්ගවලින් නැවත වනෝද්‍යානයට අත්පත් කර ගෙන තිබෙනවා. දේශපාලනඥයන් පවසන්නේ ඒ ඉඩම් ද නැවත වගා කිරීමට ලබාදෙන ලෙස යි. එසේම වනෝද්‍යාන සීමාවේ වැලි මංකඩ කිහිපයක් ද නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යනවා.  

ජාතික වනෝද්‍යානයේ වැදගත්කම

උද්‍යානය මැදින් ගලන මහවැලිය- Safarisrilanka.blogpot.com

මෙම ජාතික උද්‍යානය තුළ ඉතා මනස්කාන්ත භූමි දර්ශයක් සහ පරිසර පද්ධති විශේෂයක් වන ‘විල්ලු’ රැසක් පිහිටා තිබෙනවා. උද්‍යානය මැදින් ගලා යන මහවැලි ගංගාව පළලින් වැඩියි. හුදෙකලා දූපත් රාශියක් ගගේ තැනින් තැන පිහිටා තිබෙනවා. ඒ අතර පුරාණ නටබුන් සහිත කාංලිග දූපත ප්‍රකට තැනක්. ඒත් මෙය නරඹන්නන්ට නම් විවෘත කර නැහැ. ඒ නිසා උද්‍යාන කාර්යාලයයන් නැති අතර පාලනය වන්නේ පොළොන්නරුව වනජීවී කාර්යාලයයෙන්. ශ්‍රී ලංකාවේ වන අලින්ගෙන් සියයට තිහකට වඩා වාර්තාවෙන මහවැලි වනජීවී කලාපයේ ඉතා වැදගත් වනජීවී රක්ෂිතයක් වනලෙස  ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානය සැලකෙනවා. මෙම සුවිශේෂී පරිසර පද්ධතියට පමණක් සීමාවූ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ශරීර ප්‍රමාණයකින් යුක්ත විල් අලින්ගේ නිවහනද වන්නේ මේ කලාපය යි. එසේම දකුණින් පිහිටි වස්ගොමුව ජාතික උද්‍යානය සහ උතුරින් පිහිටි සෝමාවතී ජාතික උද්‍යානය එකට යා කරමින් ඒවාට මැදිව පිහිටා තිබෙනවා.

විනාශයට එරෙහි විරෝධතා – Lankaweb.lk

අප රටේ ජීවත් වන විශාල වන සතුන් සියල්ලම මෙහි වාසය කරනවා. අලි ඇතුන් වස්ගමුව හා සෝමවතිය වනාන්තරවලටත් ත්‍රිකෝණමඩු රක්ෂිතයටත් ගමන් කරන්නේ ජල ගැලුම් නිම්නය මැදින්. මුවා, ගෝනා, වැලිමුවා, මීමින්නා, වල්ඌරා, නරියා, කබල්ලෑවා වැනි සතුන් ද මෙහි ජීවත් වෙනවා. කොටියා, වලසා, කුළු හරකා වැනි සතුන් ජීවත් වුණත් උන් දැකගැනීම නම් අසීරු යි.

උරගයන් අතරින් වියළි කලාපයේ ජීවත් වන සියලුම උරගයන් ජල ගැලුම් නිම්නයේ ජීවත් වෙනවා. කිඹුලා සහ පිඹුරා ද මෙහි සිටිනවා. විල්ලුවල හා මහවැලි ගංගාවේ හොද උභයජීවී සහ මත්ස්‍ය විවිධත්වයක් තිබෙනවා.

ගංගාවේ දකුණු ඉවුරේ පිහිටි මුතුගල විල්ලුව ද පැරණි ලෙන් ආරණ්‍යයක්. ක්‍රි. පූ. යුගයට අයත් සෙල්ලිපි කිහිපයක් එහි තිබෙනවා.

කුරුලු විවිධත්වය

පක්ෂින්ට නිවහන වූ තෙත්බිම්- journals.dwc.gov.lk

ලංකාවට පැමිණෙන සංක්‍රමණික පක්ෂි විශේෂ 75ක් මෙම බිම නිවහන කරගන්නා බව හෙළි වී තිබෙනවා.මෙහි විල්ලු පරිසරය ජලජ පක්ෂීන්ට තෝතැන්නක් වෙලා. ඇඹල කොකා, විවරතුඩුවා, හැදිආලාවා, සුදුකොකා, රෑකොකා, කණකොකා, කුඩා දියකාවා, ඉන්දු මහ දියකාවා, කහ කරමල් කිරලා, රත් කරමල් කිරලා, දෑතුඩුවා, සැවුල්පෙද දිය සෑනා ඒ අතරින් කිහිප දෙනෙක්. මොණරා, බෝලවටුවා, වැලි ඔලෙවියා ද වනාන්තර අතර ජීවත් වෙනවා. මෙහි සරන ආවේණික පක්ෂින් වන්නේ වත රතු මල් කොහා, වලිකුකුළා, රන් නළල් කොට්ටෝරුවා හා අළු කෑදැත්තා යි. උකුස්සන් සහ රාජාලි විශේෂ කිහිපයක්ම මේ තුරු මුදුන්වල වෙසෙනවා.

ශාක වර්ග රැසක්

ගංගාධාර වනාන්තර – Kusumsiri Wijayawadhana

කුඹුක්, තිඹිරි වැනි ගස් බහුල ගංගාධාර වනාන්තර මෙහි පිහිටා තිබෙනවා. හැලඹ, මිල්ල, බුරුත, විර, වා, වෙලං, කළුවර, කළුමැදිරිය, කැටකෑල වැනි ගස් බහුල වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ද තැනින් තැන තිබෙනවා. වේවැල් ද බහුලව වැවී තිබෙන අතර ඒවා කපා ගෘහ භාණ්ඩ සදහා යොදා ගැනීමත් දකින්න පුළුවන්.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

සිරිලක ජාතික වනෝද්‍යාන 2- ජගත් කණහැරආරච්චි

A Guide to National Parks of Sri lanka- Dept. of Wildlife Conservation

කවරය- ජල ගැලුම් නිම්නයේ වන අලි- Safisrilanka.blogspt.com

Related Articles