නාච්චිමලේ දොළ ගලනා වන අරණේ සිරියාව

ඉංගිරිය, මඩකඩ වනාන්තරය (නම්බපාන රක්ෂිතය) කොළඹට ආසන්න ව සුන්දර පරිසරයක පිහිටි තැනක්. පසුගිය කාලේ අගනුවර අවට වැඩිදෙනෙක් නාච්චිමලේට ආවේ එහි දොළේ නා කියාගෙන සතුටක් ලබන්න යි. පාරිසරික සුන්දරත්වය වගේ ම ජෛව විද්‍යාත්මකවත් මෙම ස්ථානය විශේෂ වැදගත්කමක් උසුලනවා.

අද වනවිට සංචාරකයන්ට මෙන් ම ආරණ්‍යයට දානමානාදිය ලබාදීමට පැමිණෙන වන්දනාකරුවන්ට ද වැදගත් අත්දැකීමක් එක්කර ගත හැකි තැනක් බවට නාච්චිමලේ පත්වෙලා.

 සොඳුරු දොළේ සිරිසිරියාව- facebook

ගමන් මඟ

කොළඹ සිට ඉංගිරියට පැමිණ මහඉංගිරියෙන් හැරී යන මාර්ග අංක 686 ඉංගිරිය – කීනගහවිල හරහා ඇහැළියගොඩ මාර්ගයේ කිලෝ මීටර් තුනක් පමණ ගමන් කරන විට මඩකඩ හෙවත් නම්බපාන වනාන්තරයත් එම වනය මැදින් ගලන නාච්චිමලේ දොළත් දැකගත හැකි යි. මඩකඩ ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ ද එම රක්ෂිත වනපෙතේ.  කොළඹ සිට ඒ සඳහා දුර කිලෝ මීටර් 48ක් පමණ වෙනවා.

 ආරණ්‍යය තුළ – helabimatour.blogspot.com

මඩකඩ වන සෙනසුන

මඩකඩ වනයේ නාච්චිමලේ දොළට මායිම්ව  වනය තුළ පිහිටා තිබූ ස්වාභාවික ගල්ලෙනක් ආවාසය ලෙස සකසා ගනිමින් රංවල සද්ධාතිස්ස හිමියන් මෙම භාවනානුයෝගී වන සෙනසුන ආරම්භ කර  ඇත්තේ 1948 වසරේ දී යි. මෙය වනවාස මහ නිකායට අයත් ආරණ්‍ය  සේනාසනයක්. වනාන්තරයෙන් වැසුණු ගල් ලෙන් පිහිටා තිබූ  මෙම ප්‍රදේශයේ භාවනා කිරීමට පැමිණි සද්ධාතිස්ස හිමියන් ගේ කැපවීම නිසා ටික කලක් ගතවන විට තවත් භාවනානුයෝගී භික්ෂුන් පැමිණ වනගත ආරණ්‍යයක් බවට පත් වුණා.  

උන්වහන්සේ මුලින් ම වැඩ සිටි එහි ප්‍රධාන ගල් ලෙනේ පසුකාලීන ව පිළිම ගෙයක් ඉදිකර තිබෙනවා.  භාවනා කුටි 12 – 15 අතර ප්‍රමාණයක් මෙහි වනයේ තැනින් තැන පිහිටා තිබෙනවා.   ආරණ‍්‍යයේ භික්ෂූන් වහන්සේලා 15 -20ත් අතර ප්‍රමාණයක් භාවනායෝගී ව වැඩ සිටිනවා.

 

ආරණ්‍ය ගොඩනැගිල්ලක්- ingiriyacity.lk

 

ආරණ්‍ය සේනාසනයේ පිවිසුම් දොරටුවෙන් ඇතුළු වූ විටම ඒකාකාරී ව ඇසෙන රැහැයි නාදය අප සවන්පත්හි වැදෙනවා.  ඈතින් ගල්පර්වත අතරින් දොළ ගලායන හඬත් ඇසෙනවා. ඒ හැරෙන්නට සදාහරිත වනපෙත මැද පිහිටි ආරණ්‍යය පුරා ම පවතින්නේ නිහඬ පරිසරයක්.   ස්වාභාවික වනය  නිසා එහි දී විඳගත හැක්කේ ඉතා සිසිල් දේශගුණයක්.   

ලංකාවේ විවිධ ප්‍රදේශවලින් බැතිමතුන් මෙහි වැඩවසන භික්ෂුන් වහන්සේට දානය පූජා කිරීමට පැමිණෙනවා. ආරණ්‍ය සේනාසනයේ එක් මායිමක පිහිටි නාච්චිමලේ දොළ ආරණ්‍ය සීමාවේ දී ගල්කුළුවලින් සමන්විත අපූරු තටාකයක් ද නිර්මාණය කරනවා. කුඩා දිය ඇල්ලක් කඩා හැලෙන සේ පිහිටි මෙම ගල් තටාගය වන සෙනසුනෙහි සුන්දරත්වය තවත් ඉහළ නංවනවා.  

සිත සුවපත් කරන අරණ- ingiriyacity.lk

මඩකඩ වනාන්තරය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉංගිරිය අඩවියට අයත් මඩකඩ වනාන්තරය කළුතර දිස්ත්‍රික්කය තුළ ප්‍රධාන වශයෙන් පැතිරී තිබෙනවා. වනයේ කුඩා කොටසක් රත්නපුර දිස්ත්‍රික්කයටත් අයත් වෙනවා. කෝට්ටයාවත්ත, මහ ඉංගිරිය, ඌරාගල, නුගදණ්ඩ හා නම්බපාන යන ග්‍රාම නිලධාරී වසම් තුළ තමයි වනය පැතිර තිබෙන්නේ. 

වනාන්තරය කුඩා කඳුවැටි දෙකකින් සමන්විත යි.  එම කඳු නම් උසින් මීටර් 296ක් පමණ වන නම්බපාන කන්ද සහ උසින් මීටර් 203පමණ වන හපුගහ කන්ද යි.  ප්‍රමාණයෙන් අක්කර 550 ක් පමණ වූ මෙම  රක්ෂිතයේ අක්කර 28 ක් පමණ ආරණ්‍ය සේනාසනයේ ප්‍රයෝජනයට පවරා දී තිබෙනවා.

ආරණ්‍යයේ භික්ෂුන් වහන්සේ-sundayobserver.lk

 

වනාන්තරය හේන් වගාව සහ කැලෑ කැපීම නිසා විනාශ ව පැවති අතර මෙහි ස්වාභාවික වනාන්තරයට අමතර ව 1975-76 කාලයේදී වන වගාවක් ලෙස කළ ෆයිනස් හා මැහෝගනී වගාවක් ද පැතිර තිබෙනවා.  මේ නිසා බොහෝ තැන්වල ද්වීතියික වන වියනක් තමයි තිබෙන්නේ.  මඩකඩ ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත්තේ නම්බපාන කන්ද පාමුල යි.

කඳුවැටි දෙක අතරින් ගල්පර්වත සහිත නිම්නයක නාච්චිමලේ දොළ ගලායන්නේ ජල තටාක සහ කුඩා දියඇලි රාශියක් මවා පාමින්. මෙම දොළ නම්බපාන ප්‍රදේශයෙන් කළු ගඟ හා එක්වනවා. එම නිසා  නාච්චිමලේ දොළ නම්බපාන දොළ ලෙස ද හඳුන්වනවා.

දොළේ ස්වභාවික තටාකයක්- Travelkalutara.com

නිවර්තන වැසි වනාන්තරයක්

මෙහි කඳු මුදුන් පයිනස් වගාවෙන් ද කඳුවැටි පාමුල අතහැර දමන ලද රබර් වතුවලින් ද සමන්විත යි. ඉතිරි ප්‍රදේශ ද්විතීයික තෙත වනාන්තර වැස්මක් සහිත යි. ද්විතීයික වනාන්තරයේ ප්‍රමුඛ ව දැක ගත හැක්කේ ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂ දෙකක් වන කැකුණ හා වල්දෙල් ගස්. ඊට අමතර ව බදුල්ල හා ගොඩපර ගස් ද පැතිර තිබෙනවා. කැටකෑල, බූකැන්ද, ඇටහෙරලිය, වැලිපියන්න, හැඩවක, නා, දවට, රත්කෑලිය වැනි ශාක ද එහි දක්නට ලැබෙනවා. ලංකාවට ආවේණික ශාක විශේෂ වන ඇටඹ, කැකිරිවරා, හොර, පේරතඹල ආදියත් මෙහි වැවී තිබෙනවා.

පහත රට නිවර්තන කලාපීය ද්විතියික වැසි වනාන්තරයක් වන මඩකඩ වනය ද සිංහරාජය වැනි සිංහරාජයේ දක්නට ලැබෙන පාරිසරික ලක්ෂණවලින් යුක්ත සුන්දර වනපියසක් ලෙස හැඳින්විය හැකි යි. කැකුණ සහ වල්දෙල් ප්‍රමුඛ ඒක දේශික ශාක විශාල ප්‍රමාණයක් මෙහි පැතිර තිබෙනවා. වනයේ බොහෝ ස්ථානවල ආක්‍රමණික ශාකයක් වන ඇල්ස්ටෝනියා හෙවත් හවරිනුග වැවී තිබෙනවා.

මඩකඩ වනයේ සිදු කළ අධ්‍යයනයකින් හෙළි ව ඇත්තේ  සමනලුන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, ක්ෂීරපායීන් සහ පක්ෂීන් යන සත්ත්ව කාණ්ඩවලට අයත් ජීව විශේෂ 250 කට ආසන්න ප්‍රමාණයක් මෙහි දිවිගෙවන බව යි. ඒ අතරින් විශේෂ 55ක් පමණ මෙරටට ආවේණික විශේෂ යි. නම්බපාන දොළ අවට ජලය ප්‍රිය කරන වනාන්තර පද්ධතියක් දැකගත හැකි යි.   එහි ගොඩපර, දියපර, බට, වැටකෙයියා, හල්, දොඹ, දියනා, දම්මින්න, කැබැල්ල, බට, මිදෙල්ල වැනි  ශාක ප්‍රමුඛ ව පැතිර තිබෙනවා. මේ වනාන්තරය දොළ දෙපසට වැවී එයට උඩින් වියනක් නිර්මාණය කර තිබෙන අන්දම දැකගත හැකි යි.

ආවේණික තොල රතු වැලිගොව්වා- Tharanga Herath, twitter

දුලබ මත්ස්‍ය විශේෂ

මඩකඩ වනය ආශ්‍රිත ව හමුවන සත්ත්ව කාණ්ඩ අතුරින් වැඩිම ආවේණික ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ මිරිදිය මත්ස්‍යයන්. නාච්චිමලේ දොළ තමයි මේ මාළුන්ගේ අභයබිම වී තිබෙන්නේ. මත්ස්‍ය විශේෂවල විශාල ගහනයක් දොළේ දක්නට ලැබීමත් තවත් විශේෂ වටිනාකමක් වෙනවා. ශ්‍රී ලංකාවේ ඉතා දුර්ලභ මත්ස්‍ය විශේෂ කිහිපයකට ම මෙම දිය ප්‍රවාහය වාසස්ථාන සලසනවා. මෙහි මත්ස්‍ය විශේෂ 40 පමණ වාර්තා වන අතර ඉන් 16 පමණ මෙරටට ආවේණික මත්ස්‍ය විශේෂ බව පරිසරවේදී සජීව චාමිකර කළ අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. ඒ අනුව මෙහි මත්ස්‍ය ආවේණිකතාවේ ප්‍රතිශතය සියයට 44ක් තරම් ඉහළ අගයක් ගන්නවා.   

මෙහි ජීවත් වන වඳවීමේ, තර්ජනයට මුහුණ පා ඇති මත්ස්‍යයන් අතර කිහිපයක් වන්නේ කලන්දා (Schismatogobius deraniyagalai ), තොල රතු වැලිගොව්වා (Sicyopus jonklaasi), දෙපුල්ලියා (Puntius cumingi), හිත මස්සා (Puntius pleurotaenia), ‍ලේ තිත්තයා (Puntius titteya), බුලත් හපයා (Puntius nigrofasciatus), කොළකනයා (Channaorientalis) ඉරි අහිරාවා (Acanthocobitisurophthalmus), කඳුකර අභිරාවා (Schisturanotostigma) වැනි විශේෂ යි.  

මත්ස්‍යයන්ට අමතර ව වැඩි ම විවිධත්වයක් ඇත්තේ පක්ෂීන් හා සමනලුන්ගේ යි.  මෙහි පක්ෂි විශේෂ 90ක් වාර්තා වන අතර ඉන් 11 ක් ලංකාවට ආවේණික යි. ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂීන් වන අළුගිරවා (Layard’s Parakeet), රතු දෙමලිච්චා (Rufous Babbler),  පුල්ලි වල්අවිච්චියා (Spot – Winged Thrush),නිල් පිලලිච්වා (Legge’sFlowerpecker) වැනි පක්ෂීන් මේ වනපෙතේ ජීවත් වෙනවා.
සමනල විශේෂ 56ක් ද මෙම වනාන්තරය නිවහන කරගෙන ජීවත් වෙනවා.

9 දොළේ නාන පිරිසක්- youtube.com

ජනප්‍රිය නාන තොටක්

නාච්චිමලේ වර්තමානය වන විට වඩාත් ප්‍රකට වී පවතින්නේ කොළඹට තරමක් ආසන්න නාන තොටුපළක් ලෙස යි. කොවිඩි අවදානම පැමිණීමට පෙර, නාගරික ජනතාව විශාල වශයෙන් පුද්ගලික වාහනවල නැගී නෑමට මෙම ස්ථානයට සති අන්තවල පැමිණීම සිරිතක් කොටගෙන තිබුණා.

මේ නිසා ඔවුන්ට පහසුකම් සැපයීමට ආහාරාපාන සපයන හෝටල් ආදියත් පසුගිය කාලෙදි දොළ අවට ඉදිකර පවත්වාගෙන ගියා.  අලංකර දසුන් මවමින් වනතුරු වියන අතරින් ගලනා නාච්චිමලේ දොළේ ආරණ්‍යය අවට නෑමට සුදුසු නොගැඹුරු ස්වභාවික දිය තටාක කිහිපයක් ම පිහිටා තිබෙනවා.  නමුත් ආරණ්‍ය සේනාසන සීමාව තුළ පිහිටි දොළක නම් ගිහියන්ට නෑමට අවසර නැහැ.  

සෙනසුන් බිමට බාධාවක් නොවන ලෙස  නිහඬ බව රකිමින් හැසිරීම මෙහි එන්නන් සැලකිලිමත් විය යුතු කරුණක් වුවත් එසේ හැසිරෙන අය නම් ඉතා කලාතුරකින් තමයි පසුගිය කාලේ අපට දැකගන්නට ලැබුණේ. බොහෝ පිරිස් මත්වී ගීත කියමින් විකාර ලෙස හැසිරීමට පුරුදු වී තිබුණා. සංචාරකයන් දමා යන කැළිකසළ නිසා මේ පරිසරය දූණෂය වීමත් ප්‍රශ්නයක් බවට පත් ව තිබුණා.

කවරයේ ඡායාරූපය-  ගල්පර්වත අතරින් ගලනා දොළ-  helabimatour.blogspot.com

මූලාශ්‍ර:

Dinamina.lk- අසිරු වේදිත කරුණාරත්න සැපයූ ලිපිය

වැනසෙන වනපෙත්- කුසුම්සිරි විජයවර්ධන

Related Articles