Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පළතුරු වගා බිම්වලට හිසරදයක් වී ඇති පළිබෝධකයා

අපි බොහෝදෙනා පළතුරු කෑමට ප්‍රිය කරනවා. නමුත් නැවුම් පළතුරු හැමතැනම හොයාගන්න බැහැ. ඇතැම් වෙළෙන්දන් පළතුරු ඉදවීමට කාබයිඩ් භාවිතා කරන බව කියැවෙනවා. එම නිසා බොහෝ උදවිය සිය ගෙවත්තේ පළතුරු පැළ සිටවාගන්නේ වස විසෙන් තොර පළතුරු ගෙඩියක් කෑමේ බලාපොරොත්තුව ඇතිව යි. 

පළතුරු පැළ සිටවන බොහෝදෙනා තමා දන්නා හඳුනන තැනකින් ඉස්තරම්ම වර්ගයේ පළතුරු පැළ මිලට ගෙන ඒවාට හොඳින් සත්කාර කරනවා. කොච්චර සාත්තු සප්පායම් කළත්, පළතුරු ගස්වල ගෙඩි හොඳින් ඉදීගෙන එන විට ඒවාට හානි කරන පළිබෝධකයෙකු සිටිනවා. පළතුරු මැස්සා නමින් හඳුන්වනු ලබන එම පළිබෝධකයා ඇතැම් පළතුරු වර්ගවලට සිදුකරන හානිය විශාල යි.

හානි කරන පළතුරු මැසි ප්‍රභේද 

මේ වන විට ශ්‍රී ලංකාවෙන් පළතුරු මැසි ප්‍රභේද බොහෝ ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඒ අතරින් ප්‍රභේද හතරක් පළතුරු ශාකවලට බහුලවම හානි සිදුකරනවා. 

1) බැක්ටොසෙරා ඩෝසාලිස් 

2) බැක්ටොසෙරා කැන්ඩියන්සිස් 

3) බැක්ටොසෙරා කොරෙක්ටා 

4) බැක්ටොසෙරා සොනාටා 

බැක්ටොසෙරා ඩෝසාලිස් ප්‍රභේදයට අයත් පළතුරු මැස්සෙක් (Wikipedia)

වැඩිපුරම හානි කරන පළතුරු වර්ග 

පළතුරු මැස්සා සෑම පළතුරු වර්ගයකටම විශාල ලෙස ආකර්ෂණය වන්නේ නැහැ. උන් වැඩි කැමැත්තක් දක්වන පළතුරු වර්ග කිහිපයක් තිබෙනවා. එයින් පළතුරු වර්ග කිහිපයක් පහත ආකාරයට දක්වන්නට පුළුවන්. 

1) අඹ                      2) පේර 

3) අලිපේර               4) කෙසෙල් 

5) අනෝදා               6) කාමරංගා 

7) ජම්බු 

පේර ගෙඩියකට පළතුරු මැස්සා හානිකර තිබෙන ආකාරය (Facebook)

ජීවන චක්‍රයේ විවිධ අවස්ථා 

පළතුරු මැස්සාගේ ජීවන චක්‍රය නිරීක්ෂණය කිරීමේ දී අවස්ථාවන් කිහිපයක් දක්නට ලැබෙනවා. 

1) පළතුරු මැස්සාගේ ගැහැණු සතා පළතුරු ගෙඩියේ පොත්ත විද බිත්තර දැමීම සිදුකරනවා 

2) ඉන් අනතුරුව බිත්තර පිපිරීම මඟින් පිටවන කීටයන් පළතුරු ගෙඩියේ මාංශල කොටස් තුළට ඇතුල් වනවා 

3) එලෙස සෑදෙන කීටයන් මේරීමෙන් පසුව නරක් වුණු ගෙඩි මාර්ගයෙන් පසට ඇතුල් වනවා. ඉන් පසුව පස තුළ දී පිලා කෝෂ සෑදෙනවා.

4) අවසානයේ දී පිලා කෝෂවලින් සුහුඹුල් මැස්සන් පිට වනවා 

හානි සිදුකරන ආකාරය 

තම ගෙවත්තේ පළතුරු වර්ග වගාකර තිබෙන ඕනෑම කෙනෙකු පළතුරු මැස්සා ගෙඩිවලට හානි සිදුකරන ආකාරය පිළිබඳව යම් අවබෝධයකින් පසුවීම වැදගත්. එවිට පළතුරු මැස්සා පළතුරු ගෙඩිවලට හානි කරන මුල් අවස්ථාවේ දීම හානිය වලක්වා ගැනීමට පිළියම් යෙදිය හැකියි. 

පළතුරු මැස්සා ගෙඩිවලට හානි කරන්නේ මෙහෙම යි:

1) පළතුරු ගෙඩිය කුඩා අවධියේ පසුවෙද්දී සුහුඹුල් ගෑණු මැස්සා ගෙඩිය විද බිත්තර දමනවා 

බිත්තර දැමීම සඳහා සිදුරුකළ ස්ථානවලින් සුදු පැහැති යුෂයක් වෑහෙන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන් 

2) බිත්තර පුපුරා පිටවන කීටයන් ඇතුළත පටක කොටස් කා දැමීම නිසා ගෙඩියේ වර්ධනය බාල වනවා 

3) එවිට කුඩා ගෙඩි විකෘතිවීම හෝ අකාලයේ බිමට වැටීම සිදු වනවා

4) එසේම ඉහඳ පණුවන් වැනි කුඩා සුදු පැහැති කීටයන් ගෙඩි තුළ පටක ආහාරයට ගැනීමත්, බැක්ටීරියා සහ දිලීර මඟින් ඇතිවන ද්වීතීක ආසාදනත් නිසා ගෙඩි කුණුවී යන ආකාරය දක්නට ලැබෙනවා.

පාලනය සඳහා යොදාගත හැකි ක්‍රම 

පළතුරු වගාවට විශාල ලෙස හානි සිදුකරන පළතුරු මැස්සා මර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ පාලන ක්‍රම කිහිපයක් හඳුන්වා දී තිබෙනවා. 

1) මීතයිල් ඉයුජිනෝල් යෙදූ ෆෙරමෝන උගුල් යොදා මැසි ගහන ඝනත්වය නිර්ණය කිරීම. 

එහිදී ෆෙරමෝන උගුලට පිරිමි මැස්සන් පමණක් ආකර්ෂණය වන නිසා පිරිමි මැස්සන්ගේ ගහනය අඩුකර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම පාලන ක්‍රමය දිගුකාලීනව සිදුකිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට හැකියි.

2) ප්‍රෝටීන ඇම ස්ථානීයව යොදා වැඩුණු මැස්සන් විනාශ කිරීම. 

එහිදී ප්‍රෝටීන ඇම සඳහා පිරිමි සහ ගැහැණු මැස්සන් දෙවර්ගයම ආකර්ෂණය වන නිසා මෙය වඩාත් සාර්ථක ක්‍රමයක් බවට පත්ව තිබෙනවා. එලෙස යොදන ප්‍රෝටීන ඇම උදේ 7.00-9.00ත් අතර යෙදීම මඟින් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකියි. 

3) හානිවුණු සහ බිම වැටී ඇති ගෙඩි සතියකට වරක් ක්ෂේත්‍රයෙන් ඉවත් කර දැමීම. 

පළතුරු මැස්සන් වගා ක්ෂේත්‍රය තුළම නැවත නැවතත් බෝවීම සිදුවිය හැකි නිසා අස්වනු නෙළීමේ දී හානිවුණු ගෙඩි බිම දැමීමෙන් වැළකිය යුතු යි. ක්ෂේත්‍රය පිරිසිදුව තබාගැනීමෙන් පළතුරු මැස්සන් බෝවීම සෑහෙන දුරකට පාලනය කරගත හැකියි. 

4) ඵලය කුඩා අවධියේ පවතින විට ආවරණය කිරීම මඟින් මෙම පළිබෝධකයාගෙන් සිදුවන හානිය සෑහෙන දුරකට පාලනය කළ හැකියි. 

5) වගාව අවට ඇති විකල්ප ධාරක ශාක ඉවත් කිරීම. 

ෆෙරමෝන උගුලක් (Facebook)

පළතුරු මැස්සා මෙරට පළතුරු වගාවට සිදුකර තිබෙන හානිය නිසා ලංකාවේ පළතුරුවලට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ තිබෙන ඉල්ලුම ද අඩුවී ගොස් තිබෙනවා. එම නිසා පළතුර මැස්සා පාලනය කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා. 

කවරයේ ඡායාරූපය- Digitrac 

මූලාශ්‍රයයන්- doa.gov.lk

Related Articles