භූගත ජලය පිළිබඳ ඔබ දැනුවත් ද?

ලෝකයේ සියලුම ගංගා, විල් පොකුණුවලට වඩා වැඩි ජල පරිමාවක් පෘථිවිය සිය භූමි අභ්‍යන්තරයේ දරා සිටියි. එවැනි ජල සංචිතයන් “භූගත ජලය” ලෙස හැඳින්වේ. එසේම, ස්වභාවික ජල මූලාශ්‍රයයන් අතරින් ධ්‍රැවීය අයිස් වැස්මට පසුව ඇති විශාලම ජල මූලාශ්‍රය වන්නේ ද භූගත ජලය යි.

භූගත ජලය යනු මොනවා ද?

භූමිය අභ්‍යන්තරයේ වූ සංතෘප්ත කලාපය තුළ වන භූගත ජලයෙහි ඉහළ මට්ටම, පොළව මතුපිට සිට අඩියක් හෝ අඩි දහස් ගණනක් පහතින් පිහිටිය හැකිය. වර්ෂා ජලය පොළොව මතුපිට සිට, පහළින් වූ බොරලු, ගල්, වැලි, හුණුගල් ආදියේ ඇති ඉරිතැලීම් අතරින්, හිඩැස් තුළින් පෙරෙමින්, ගුරුත්වාකර්ෂණය හේතුවෙන් පහළට ගලා ගොස් තැන්පත් වීමෙන් භූගත ජල සංචිතයන් ඇතිවේ.

භූගත ජල චක්‍රය
ජල චක්‍රය/researchgate.net

මූලික වශයෙන් භූගත ජල මට්ටම ඉහළ යාමට බලපානුයේ වර්ෂාපතනය හා හිම දියවීම වන අතර, එම ජල මට්ටම පහත බැසීමට කාර්මික, කෘෂිකාර්මික, සහ පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට ළිං හරහා ජලය පොම්ප කිරීම හේතු වේ.

අද වන විට ලොවපුරා භාවිතා කරන ජලයෙන් දළ වශයෙන් 23%ක් සපයනු ලබන්නේ භූගත ජලධර මඟිනි. ඇමෙරිකා එක්සත් ජනපදයේ කෘෂිකාර්මික කටයුතු සදහා ජලය සැපයීම විශාල වශයෙන් රැඳී පවතින්නේ භූගත ජලය මත වන අතර, එරට වාරිමාර්ගයන් වැඩි ප්‍රමාණයක් පෝෂණය වන්නේ ද භූගත ජලයෙනි.

භූගත ජලය යනු ස්වභාවික ජල චක්‍රයේම කොටසකි. පෘෂ්ඨයට වැටෙනා වර්ෂාපතනයෙන් සියයට දහයත් විස්සත් අතර ප්‍රමාණයක් පාෂාණ හිඩැස් අතරින් ගමන් කර සංතෘප්ත ජල කලාපයට පැමිණ භූගත ජලය ලෙස තැන්පත් වන අතර, වාර්ෂිකව සියයට 0.1 සිට 3 දක්වා ජල ප්‍රමාණයක් මෙලෙස පුනරාරෝපනය වේ. ජල ස්තරයන් අතර වූ ක්‍රමානුකූල කම්පන හේතුවෙන් එම පුනරාරෝපිත ජලය ස්වාභාවිකව ගංගා, විල්, සාගර, හා උල්පත් වෙත ගලා යයි .

භූ ජල පුනරාරෝපනය මඟින් තිරසාර භූ ජල කළමනාකරණයක් ඇති වීම, නලළිංවලින් නිරතුරුව ජලය ලබා ගත හැකි වීම, සහ පසේ ගැඹුරු ස්ථර කරා මතුපිට පෘෂ්ඨයේ පවතින කැල්සියම්, මැග්නීසියම් ආදී හිතකර ලවණ  රැගෙන යාම මෙමඟින් සිදු කරයි.

භූගත ජල මූලාශ්‍රවල ජලය අඩුවීම කෙරෙහි බලපාන හේතූන්

1. දේශගුණික වෙනස් වීම්.

වර්ෂාපතන රටාවේ වෙනස් වීම් නිසා භූගත ජල මට්ටම වෙනස් වී ඇත. ගස් කැපීම හා වනාන්තර එළි කිරීම නිසා වර්ෂාපතනය සීඝ්‍රයෙන් අඩු වී යයි.

2. ජනගහනය වැඩි වීම සමඟ ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නළ ළිං ඉදි කිරීම සීඝ්‍රයෙන් සිදු වේ. එමඟින් භූගත ජලය සීඝ්‍ර ලෙස අඩු වීම සිදු වේ.

3. ඉඩම් පරිහරණ කටයුතු නිසි ආකාරව සිදු නොවීම හේතුවෙන් පොළවට උරා ගන්නා ජල ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් අඩු වීම.

4. නාගරික, ග්‍රාමීය ඉදිකිරීම් බොහොමයක ඇත්තේ වැහි පීලි සහිත වහලවල් ය. එමඟින් වර්ෂාව ඇති විට වහලට වැටෙන ජලය වැහි පීලි මඟින් කාණු පද්ධතියට එක් වී ඇළ දොළ, ගංඟා හරහා මුහුදට ගලා යාම සිදු වේ. එමඟින් පොළවට වැසි ජලය උරාගැනීම අල්ප වී ඇත.

5. පතල් කැණීම් සිදු කිරීම නිසා ද භූගත ජල මට්ටම පහළ යෑම සිදු වේ. ජල මූලාශ්‍ර රැඳී පවතින්නේ පාෂාණ තට්ටු මත යි. පතල් කැණීම් නිසා මෙම පාෂාණ තට්ටු විනාශ වී යන අතර භූගත ජල මට්ටම පහළ බසී.

6. අක්‍රමවත් වාරි ජල ව්‍යාපෘති හේතුවෙන් පොළවේ ඇති ඛණිජ සම්පත්වලට හානිවීම නිසා, භූගත ජල මට්ටමට හානිවීම සිදු වේ. උදාහරණයක් ලෙස උමා ඔය ව්‍යාපෘතිය දැක්විය හැකිය.

7. ගංගාවල වැලි ගොඩදැමීම නිසා භූ ජල මට්ටම පහළ ගොස් ඇත.

8. කෘෂිකර්මාන්තය වාණිජමය ස්වරූපයක් ගැනීම නිසා ජල සම්පාදනයට භූගත ජලය පොම්ප කර යොදා ගැනීම, සහ වගා බිම් සඳහා වන එළි පෙහෙලි කිරීම් නිසා ජල පෝෂක ප්‍රදේශ හීන වීම සිදු වී තිබේ.

වන විනාශය භූගත ජලය හා දේශගුණික විපර්යාස සඳහා සෘජුව බලපායි
businessconnectworld.com

ශ්‍රී ලංකාවේ තෙත් කලාපය තුළ ප්‍රධාන වශයෙන් තේ, රබර්, සහ කටුපොල් වගා කරන අතර වියළි කලාපය තුළ බඩ ඉරිඟු, ළූණු, වී වගාවන් මූලිකව සිදු වේ. ළූණු ගොවීන් තම වගාවන් සදහා භූගත ජලය පොම්ප කර ලබා ගැනීම සිදු කරන අතර, වී ගොවීන් යල මහ කන්න අකාරයෙන් වැසි සමය ඉලක්ක කර වගා කටයුතු සිදු කරයි .

තෙත් කලාපයේ වාර්ශික වර්ශාපතනය 2500mmට වඩා වැඩි වන අතර එම කලාපයට උචිත භෝගයන් තම ජල අවශ්‍යතාව සපුරා ගන්නෙ මතුපිට ජලයෙනි. ශාක තමන්ට අවශ්‍ය ජල ප්‍රමාණය ලබාගත් පසුව ඉතිරිය භූගත ජලය හා එක් වේ .

කටුපොල් ආදී ශාක සැලකීමේ දී තනි ශාකයක් ලෙස ලබා ගන්නා ජල ප්‍රමාණය ඉහළ වුවත්, වගාකර ඇති භූමි ප්‍රමාණය හා සැසඳීමේ දී ඒකක භූමි ප්‍රමාණයකින් පසෙන් ලබා ගන්නා ජල ප්‍රමාණය, අනෙකුන් තෙත් කලාපීය භෝගයන්ට සාපේක්ෂව පහළ අගයක පවතී.

 

තේ

රබර්

කටුපොල්

පොල්

ගසකට දිනකට අවශ්‍ය ජලය

4

63

249

45

හෙක්ටයාරයකට ගස් ප්‍රමාණය

13200

520

140

177

හෙක්ටයාරයකට අවශ්‍ය ජල ප්‍රමාණය

52800

32760

34860

7965

භූගත ජලය සහ මානව දිවිය 

ලෝකයේ ඇතැම් ප්‍රදේශවල ජනයා උග්‍ර ජල හිඟයන්ට මුහුණපාන අතර, ඊට ප්‍රධාන සාධක වනුයේ ස්වභාවික ජල ස්තර ඇති වීමට සාපේක්ෂව මිනිස් ජල පරිභෝජනය වේගවත්ව සිදුවීම හා, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් භූගත ජලය අපවිත්‍ර වීම යි. භූමිය අභ්‍යන්තරයේ වූ පාෂාණ අතර ඇති හිඩැස් ප්‍රමාණය ඉහළ යාම හා ඒවායේ විශාලත්වය වැඩිවීම මත මතුපිට ඇති ජල දූෂක භූගත ජලයට එක්වීම ඉහළ යන අතර, ඒ හේතුවෙන් මිනිස් පරිභෝජනයට සුදුසු ජලය හිඟ වේ.

භූගත ජලය අපවිත්‍ර වීම ප්‍රධාන වශයෙන් සිදුවන්නේ මානව ක්‍රියාකාරකම් හෝ, ස්වභාවික හේතූන් මත හිතමතා හෝ අතපසුවීමකින් සිදුවන ක්‍රියාවලීන් සමූහයක එකතුවෙනි. ස්වාභාවිකව භූගත ජල දූෂණයට බලපාන ප්‍රධාන කාරණයක් වනුයේ පසෙහි ඇති ජලද්‍රාව්‍ය රසායනික ද්‍රව්‍ය වන සල්ෆේට්, යකඩ, විකිරණශීලි අපද්‍රව්‍ය, ෆ්ලොරයිඩ්, මැන්ගනීස්, ක්ලෝරයිඩ්, සහ ආසනික් ආදිය ජලයට එක් වීම යි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව මෙයින් සුලබව එක්වන්නේ ආසනික් හා ෆ්ලොරයිඩ් වේ.

එසේම ගෘහස්ථ හා කාර්මික රසායනික ද්‍රව්‍ය හා ඝන අපද්‍රව්‍ය ගොඩකිරීම, කෘෂිකර්මාන්තය සඳහා අධිකව පොහොර සහ පලිබෝධනාශක භාවිතය, පතල්වල අපජලය බැහැර කිරීම, ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ ඇති ක්ෂාර වලවල්, භූගත තෙල් ගබඩා ටැංකි කාලයත් සමග විඛාදනය වීම හා නල මාර්ග කාන්දු වීම, සහ රොන්මඩ හා අපවහන පද්ධති මඟින් ද භූගත ජලය දූෂණය වේ.

අපවහන පද්ධති සැලසුම් කර ඇත්තේ මිනිස් අපද්‍රව්‍ය පරිසරයට හානිදායක නොවන වේගයකින් භූගත කිරීමට ය. නමුත් නුසුදුසු ලෙස ඉදිකළ අපවහන පද්ධති මඟින් බැක්ටීරියා, වෙරස, නයිට්‍රේට්, සේදුම්කාරක ආදිය භූගත ජලයට මුසු වේ. නිසි ප්‍රමිතියකින් යුක්ත නොවූ අපවහන ටැංකිවලින් ඇති වඩාත් විශාල තර්ජනයක් වනුයේ, ඒවායින් ට්‍රයික්ලෝරෝඑතේන් වැනි කාබනික රසායනික ද්‍රව්‍ය නිකුත්කිරීම යි.

භූගත ජලය විනාශ වියහැකි ආකාර

භූගත ජලය අපිරිසිදු වීමෙන් වලකාගන්නේ කොහොමද?

ප්‍රධානකොටම මහාපරිමාණයෙන් කසළ බැහැර කිරීම සඳහා වෙන් කරනු ලැබූ භූමි භාගයන්, භූමි අභ්‍යන්තර පාෂාණ ඉරිතැලීම්වලට ලක් නොවී තිබිය යුතු ය. එසේ සිදුවී තිබුණහොත් මහාපරිමාණයෙන් අපද්‍රව්‍ය භූ ජලයට එක් වීම නොවැළැක්විය හැකි කරුණකි. එලෙසම කසල කඳු ගොඩගසනා ස්ථානයන් භූගත ජල මූලාශ්‍රවලට ඉතාමත් දුරස්ථව පිහිටීම භූගත ජල පවිත්‍රතාව ආරක්ෂා කර ගැනීමට හේතු වේ. ලෝකයේ බොහෝ රටවල කසල ගොඩ කරනා ස්ථානවල ප්‍රතිචක්‍රීකරණ කම්හල් ද පිහිටුවා ඇත්තේ, එමඟින් පරිසරයට හා භූගත ජලයට වන බලපෑම අවම කිරීම සඳහා ය.

ඇමෙරිකා එක්සත් ජනපදයේ සෑම වසරකම රසායනික කාන්දුවීම් 16 000ක් ට්‍රක් රථ, ගබඩා බහාලුම්, හා දුම්රිය මැදිරි පිටාරගැලීම්වලින් සිදුවන බව ගණන් බලා ඇත. පාමර් සංවර්ධන කන්ඩායම ඇස්තමේන්තු ගතකර ඇති ආකාරයට, සංවර්ධනය වෙමින් පවතින රටවල එක් පුද්ගලයකු විසින් දිනකට දළ වශයෙන් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 0.3 සිට 0.6 දක්වා මුදාහරින අතර, සංවර්ධිත රටවල එම අගය 0.7 සිට 1.8 දක්වා වේ.

එලෙසම උපද්‍රවකාරී අපද්‍රව්‍ය වන මෝටර් රථ බැටරි අම්ල, තීන්ත, ඖෂධ, පිහිනුම් තටාක රසායනික ද්‍රව්‍ය භූගත ජලය හා මුසුවීම ද ඉතාමත් අන්තරායකාරී වේ.

මේ අයුරින් එක්වන්නා වූ දූෂක විසරණය, අධිශෝෂණය, වර්ෂාපතනය වැනි යාන්ත්‍රණ හරහා ජලය තුළ පැතිරී යාම සිදු වේ.

භූගත ජල දූෂණය මානව සංහතියේ පැවැත්ම, සහ ශාක හා සත්ත්ව ප්‍රජාවගේ පැවැත්මට ද බලපාන මූලික සාධකයකි. එනිසා භූගත ජල සංචිතයන් නිසි ආකාරයෙන් පුනරාරෝපනයට ඉඩ සැලසීම සහ ජලය අපවිත්‍ර වීමෙන් හැකි අයුරින් වළකාගැනීම, අපගේ දිගුකාලීන පැවැත්මට ඉවහල් වේ.

භූගත ජලය පුනරාරෝපනය වැඩිකර ගැනීමට පහත ක්‍රියාමාර්ග යොදා ගත හැකිය.

1. ජලවහන කාණු/වළවල්/ළිං සැකසීම

2. ජලය කාන්දු කිරීම වැඩි කිරීම සඳහා උපක්‍රම අනුගමනය

3. ශාක වගා කිරීම

මතුපිට අපධාවනය අඩු කිරීම, සහ ශාක මුල් නිසා පසෙහි සවිවරතාව වැඩි වී කාන්දු වීම වේගවත් වේ.

4. යම් ප්‍රදේශයක ජලය රැස් කර කාන්දු වීමට වැඩි කාලයක් ලබා දීම.

Source of the cover photo - National Geographic

References;

Athukorala, W., Wilson,C.,(2014). Ground water overuse and farm level technical inefficiency;Evidence from sri lanka

Kuruppuarachchi,D.S.P., Impact of Agriculture on groundwater; Sri lanka perspective

WWW.damsafety.lk

Muhammad,A. And Maris,M.H., (2015).water footprint assessment of oil palm in Malaysia

Brands,E.,Rajagopal,R., Eleswarapu,U.,Li,P.,(2016). Groundwater

Pathmaraj,S.,(2002). Use of groundwater for agriculture in sri Lanka

Palihakkara,I.Ranasinghe,D.M.S.H.K.,weerasinghe,K.D.(2003) Effect of oil palm cultivation on groundwater table

https://www.groundwater.org/get-informed/basics/groundwater.html

https://www.groundwater.org/get-informed/groundwater/contamination.html

Related Articles