ස්වභාවික ව්‍යසන සතුන් කලින් ම හඳුනා ගන්නා හැටි

2004 වර්ෂයේ දී ඉන්දුනීසියාවට ඔබ්බෙන් ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් හටගත් සුනාමිය ඔබට තවමත් මතක ඇති. ඉන්දියන් සාගරයට මායිම් වන රටවල් 12 කට පමණ බලපෑ එම සුනාමියෙන් අවම වශයෙන් 225,000 ක් පමණ මිය ගියා. සුනාමියෙන් ශ්‍රී ලංකාවට අත් වූ හානියත් සුළුපටු නැහැ.

 2004ට පෙර ශ්‍රී ලාංකිකයන්ට සුනාමි අනතුරු ගැන අවබෝධයක් නොතිබූ බැවින්, සුනාමියක් පැමිණීමේ පූර්ව ස්වභාවික සංඥා ගැන දැනුමක් තිබුණේ නැහැ.  සුනාමියේ බලපෑමට ලක් වූ බොහෝ රටවල් වලට පූර්ව අනතුරු හැඟවීම් ලැබී තිබුණේ නැහැ. දේශීය වශයෙන් පිහිටුවා තිබූ උදම් සහ භූ කම්පන සංවේදක හරහා පැහැදිලි අනතුරු හැඟවීමක් නොලැබීම, නඩත්තු ගැටලු හේතුවෙන් බොහෝ සංවේදක ක්‍රියා විරහිත ව තිබීම, වැනි ගැටලු ඒ පිටුපස තිබුණා.

2004 සුනාමි ව්‍යසනයේ කටුක මතක – www.thenewhumanitarian.org 

 මේ උපද්‍රවය වේලාසන ම අවබෝධ කරගත් කණ්ඩායමක් සිටියා. ඒ තමයි වන සතුන් සහ ගෘහාශ්‍රිත සතුන්. ඇසින් දුටු සාක්ෂිකරුවන්ගේ වාර්තාවලට අනුව සුනාමි රළ පැමිණීමට පැය කිහිපයකට මත්තෙන් වන අලින් උස්බිම් කරා දිව ගිය අතර, ෆ්ලෙමින්ගෝ වැනි ජලාශ්‍රිත පක්ෂීන් පහත්බිම් අතහැර දැමුවා. ගෘහාශ්‍රිත ව සිටින සුනඛයන් එළියට යෑම ප්‍රතික්ෂේප කරද්දී වෙරළාසන්න බිම්වල සිටි ඇතැම් ගව රංචු එක්වර ම කන් සෘජුකොට, මුහුද දෙස බලා රළ පැමිණීමට මිනිත්තු කිහිපයකට මත්තෙන් කඳු මුදුන්වලට දිව ගියා.

මෙලෙස පුරුදු බිම්වලින් වහා ම ඉවත් වූ ගොවිපළ සතුන් පසුපස ඇතැම් මිනිසුන් ලුහුබැඳ ගොස් තිබූ අතර, ඔවුන්ටත් සුනාමියෙන් දිවි ගලවා ගැනීමේ වාසනාව උදා වුණා. සුනාමිය පැමිණෙන්නට පෙර සතුන් පෙන් වූ අමුතු හැසිරීම් රටා ගැන ඇසින් දුටු සාක්ෂි සැපයුවේ, එලෙස සතුන් අනුගමනය කරමින් දිවි ගලවා ගත් මිනිසුන්. 

රික්ටර් පරිමාණයේ එක් එක් අගයට සමගාමී ව භූකම්පනයක බලපෑම – www.cbc.ca

සතුන් ගෙන් උදව් පතන විද්‍යාව

2004 වර්ෂයේ ඉන්දියානු සාගර කලාපය මුහුණ දුන් සුනාමි අනතුර පමණක් නොව, ලෝකයේ සිදු වූ ස්වභාවික ව්‍යසන බොහෝමයක් කල් ඇතු ව සංවේදනය වූ සතුන් ගේ ක්‍රියා කියවන්නට ලැබෙනවා. මෑත කාලීන උදාහරණයක් ගතහොත්, ටොංගා දිවයින ආශ්‍රිත ව සිදු වූ යමහල් විදාරණයේ දී අලුතින් මුදාහල කැස්බෑවකුගේ අසාමාන්‍ය හැසිරීමක් නිරීක්ෂණය කර තිබුණා. යමහල් විදාරණයට දින දෙකකට කලින් එම කැස්බෑවා සිය ගමන් දිශාව හදිසියේ ම වෙනස් කර තිබීම ඊට හේතුව යි.

ඇතැම් සාම්ප්‍රදායික ජන කොට්ඨාශවලට සතුන් ගේ හැසිරීම් මඟින් ළඟ එන අනතුරු ගැන පූර්ව නිගමනවලට එළඹීමේ හැකියාව තිබෙනවා. විද්‍යාත්මකව ගොඩනැඟූ පූර්ව අනතුරු හැඟවීමේ පද්ධතිවලටත් වඩා සාර්ථක අන්දමින් ඉදිරි අනතුරු අනාවරණය කර ගැනීමේ හැකියාවක් සතුන්ට පවතී නම්, ඒ හැකියාව මිනිසාගේ සුබසෙත සඳහා යොදා ගත නොහැකි ද?

 පර්යේෂකයන් දැන් ඒ ගැනත් අවධානය යොමු කොට තිබෙනවා. ඒ සඳහා පරිසරයේ අසාමාන්‍ය වෙනස්කම් සතුන් සංවේදනය කරන්නේ කෙලෙස ද යන වගත් ඔවුන්ට තේරුම් ගැනීමට සිදු වෙනවා.

මාර්ටින් විකෙල්ස්කි – www.dw.com 

මාර්ටින් විකෙල්ස්කිගේ පර්යේෂණ

මේ කරුණ සම්බන්ධයෙන් ජර්මනියේ පිහිටි චර්යාත්මක ජීව විද්‍යාව පිළිබඳ මැක්ස් ප්ලාන්ක් ආයතනයේ මාර්ටින් විකෙල්ස්කි ප්‍රමුඛ කණ්ඩායම වැදගත් විමර්ශනයක් කර තිබුණා. ඔවුන් සි‍ය අධ්‍යයන සඳහා මධ්‍යම ඉතාලියේ භූමිකම්පා අවදානම් කලාපයක් තෝරා ගත් අතර, එම කලාපයේ සිටි විවිධ ගොවිපළ සතුන් ගේ සංචරණ රටා පටිගත කිරීමට ඔවුන් කටයුතු කළා. 2016 ඔක්තෝබර් සිට 2017 අප්‍රියෙල් දක්වා කාල පරාසය තුළ සෑම මිනිත්තු කිහිපයකට වරක් සතුන්ගේ චලන දත්ත මධ්‍යම පරිගණකයට ඇතුළත් කරමින් විධිමත් දත්ත පද්ධතියක් පවත්වා ගැනීමට ඔවුන් සමත් වුණා.

එම කාල පරිච්ඡේදය තුළ කලාපයේ භූ කම්පන 18,000 කට අධික සංඛ්‍යාවක් සිදු වී තිබුණා. ඉන් බහුතරයක් රික්ට‍ර් මාපක 0.4 තරම් කුඩා කම්පන වූ අතර, මාපක 4.0 හෝ ඊට වැඩි භූ කම්පන දුසිමක් සහ 6.6 ක ප්‍රබලත්වයෙන් යුත් විනාශකාරී භූමි කම්පාවක් ද ඇතුළත් වුණා. භූ කම්පනයක් සිදු වීමට පැය 20 ට මත්තෙන් ගොවිපළ සතුන් ගේ හැසිරීම් රටාව වෙනස් වන බව මාර්ටින් ඇතුළු කණ්ඩායම නිරීක්ෂණය කර තිබුණා. ගොවිපළේ සතුන් ගෙන් 50% ක් මිනිත්තු 45 කට වැඩි කාලයක් පුරා වෙනස් හැසිරීම් දැක් වූ සෑම අවස්ථාවකදී ම රික්ටර් මාපක 4.0 ට වැඩි භූ කම්පන පුරෝකථනය කිරීමේ හැකියාව පර්යේෂණ කණ්ඩායමට ලැබුණේ ඒ අනුව යි.

ටොංගා දූපත් ආශ්‍රිත ව සිදු වූ යමහල් විදාරණය – www.dw.com 

චලන කැමරාවේ නිරීක්ෂණ

චර්යාත්මක පාරිසරික විද්‍යාඥයකු වන රේචල් ග්‍රාන්ට් ද මාර්ටින් සිදු කළ ආකාරයෙන් ම පර්යේෂණයක් සිදු කර තිබුණා. මේ සඳහා ඇය තෝරා ගත්තේ පේරු රාජ්‍යයේ ඇන්ඩීස් කඳුකරය ආශ්‍රිත ව පිහිටි ජාතික වනෝද්‍යානයක්. ඇය සත්ත්ව චලන රටා නිරීක්ෂණය කළේ චලන-ප්‍රේරක කැමරාවක් ආධාරයෙන්. 2011 දී සිදු වූ රික්ටර් මාපක 7.0 ක ප්‍රබලවත්වයෙන් යුත් කොන්ටමානා භූමිකම්පාව ඇයගේ පර්යේෂණයට බොහෝ සෙයින් වැදගත් වුණා. භූමිකම්පාවට දින 23 ට පමණ පෙර ඇය සවි කළ චලන-ප්‍රේරක කැමරාවල සටහන් වූ සතුන් සංඛ්‍යාව යම් මට්ටමකින් අඩු වුණා. භූමිකම්පාවට දින අටකට පෙර පටන් කැමරාවල සටහන් වූ සතුන් ගණන වේගවත් අඩු වීමකට ලක් වූ අතර, අවසාන දින හය, පහ, තුන සහ භූමිකම්පාවට පෙර දිනයේ දී කිසිදු සත්ත්වයෙක් ඇය ඇටවූ කැමරා උගුල් වල සටහන් වුණේ නැහැ.

භූමිකම්පාවට සති දෙකක් තිබිය දී සෑම මිනිත්තු දෙකක් හෝ හතරකට වරක් අවට වායුගෝලයේ විද්‍යුත් ආරෝපණවල ප්‍රබල කැළඹීම් මාලාවක් නිරීක්ෂණය කරන්නට ලැබුණේ මේ අතරතුරේදී යි. එම කැලඹීම් සහ සතුන්ගේ හැසිරීම් රටා වෙනස් වීම අතර වූ සබඳතාවක් අනාවරණය කර ගැනීමට රේචල්ට හැකි වුණා. සාපේක්ෂ ව විශාලත ම විද්‍යුත් ආරෝපණ කැලඹීමක් වාර්තා වුණේ භූමිකම්පාවට දින අටකට පෙරාතුව යි. ඊට සමගාමී ව කැමරාවට හසුවන සතුන් ගණනත් වේගයෙන් අඩු වුණා.

චීනයේ නැනිං හි පිහිටි භූමිකම්පා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට අනුව භූ කම්පන හඳුනා ගැනීමේ විශිෂ්ට හැකියාවක් සර්පයන් සතුව තිබෙනවා – www.bbc.com 

අනතුරෙහි භාෂාව

භූමිකම්පාවකට පෙර ඇතිවන මෙම විද්‍යුත් ආරෝපණ කැලඹීම් සතුන්ට දැනෙන ආකාරය ගැන විද්‍යාඥයන් ගවේෂණය කරමින් සිටිනවා. අනාගතයේ ඇති විය හැකි භූමිකම්පා කල් තියා ම හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් ගොඩ නැඟීම එහි අරමුණ යි.   එය සාක්ෂාත් කර ගැනීමට නම් මෙම කැලඹීම් සතුන් සංවේදනය කරන ආකාරය ගැනත් අවබෝධය තිබිය යුතු යි. භූ කම්පනයක් හට ගැනීමට පෙර පොළෝ ගැබ තුළ පාෂාණ සම්පීඩනයෙන් හට ගන්නා පීඩන තරංග හඳුනා ගැනීමේ යාන්ත්‍රණයක් සතුන් තුළ පරිණාමික ව දියුණු වී ඇති බවටත් ඇතැමුන් උපකල්පනය කරනවා.

භූමිකම්පාවක් සිදුවීමට පෙර ඇතැම් විෂ සහිත රසායනික ද්‍රව්‍ය පොළොව මතුපිටට පැමිණීමේ හැකියාවකුත් පවතිනවා. උදාහරණයක් ලෙස පොළෝ කුහරයේ ඇති රසායනික ද්‍රව්‍ය ජලය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නමැති විරංජනකාරකය ඇතිවීමේ ඉඩක් තිබෙන අතර, කාබනික ද්‍රව්‍ය සහ ආරෝපණ වාහක අතර ප්‍රතික්‍රියාවෙන් ඕසෝන් වැනි වායු නිකුත් වීමේ සම්භාවිතාවක් ද තිබෙනවා. භූමිකම්පා හා සබැඳුණු රසායනික වෙනස්කම් ගැන ප්‍රබල සාක්ෂියක් අපට 2001 දී ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තය තුළ සිදු වූ රික්ටර් මාපක 7.7 ක් ප්‍රබල භූ කම්පනයෙන් හමු වෙනවා. භූ කම්පනයට දින කිහිපයක් තිබිය දී වායුගෝලයේ කාබන් මොනොක්සයිඩ් මට්ටම ඉහළ ගොස් ඇති අයුරු නිරීක්ෂණය වී තිබුණා.

ඇසින් දුටු සාක්ෂි අනුව සුනාමි රළ පැමිණීමට මත්තෙන් සතුන් විශාල ගණනක් උස් භූමි කරා දිව ගොස් තිබුණා – www.bbc.com 

බොහෝ සතුන්ට සිය ජීවිතය පවා රැකදෙන දියුණු සංවේදන පද්ධතියක් ඇති බව අපි අත්දැකීමෙන් ම දන්නවා. එසේ නම්, ඉහත සඳහන් කළ කටුක රසායනික ද්‍රව්‍ය හඳුනා ගැනීමේ හැකියාවක් සතුන්ට බොහෝ දුරට තිබෙන්න පුළුවන්. භෞතික සාධක මෙන් ම රසායනික සාධක පවා ළඟ එන අනතුරු හඳුනා ගැනීමේ භාෂාවක් ලෙස සතුන් ඉදිරියේ ක්‍රියා කරන බව මින් අනුමාන කළ හැකි යි.

විකෙල්ස්කි ගේ මූලාකෘතිය

ඉහත සාකච්ඡා කළ පර්යේෂණවල අවසාන අරමුණ වුණේ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියකට ප්‍රායෝගික තලයෙන් සත්ත්ව හැසිරීම් යොදාගත හැකි ආකාරයක් ගොඩ නැඟීම යි. මධ්‍යම ඉතාලිය මූලික කර ගනිමින් පර්යේෂණ පැවැත් වූ මාර්ටින් විකෙල්ස්කි, ඒ සඳහා යම් මූලාකෘතියක් නිර්මාණය කර තිබුණා.

ඔහුගේ ඇස්තමේන්තුවට අනුව භූමිකම්පාවේ මූලාරම්භක ස්ථානයට ඉහළින් සිටින සතුන්ට පැය 18 කට පෙර අනතුර හඳුනා ගැනීමේ හැකියාව ඇති බව අනුමාන කෙරුණා. මූලාරම්භක ස්ථානයේ සිට කිලෝමීටර් 10 ක් ඈතින් සිටි සතුන්ට පැය අටකට පසුවත්, කිලෝමීටර් 20 ක් පමණ ඈතින් සිටින සතුන්ට තවත් පැය අටක ප්‍රමාදයෙන් පසුවත්, අනතුර හඳුනා ගත හැකි බව විකෙල්ස්කි නිගමනය කළා. මෙය සිතන තරම් සරල නැහැ. මධ්‍යම ඉතාලිය යනු එක ස්ථානයක් පමණ යි. පුරෝකථන හැකියාව වැඩි දියුණු කර ගැනීමට නම් ලෝකය පුරා භූමිකම්පා වැඩියෙන් සිදුවන කලාපවල සිටින දහස් ගණනක් වූ සතුන්ගේ චර්යා රටා අධ්‍යයනය කිරීමට සිදු වෙනවා. විකෙල්ස්කි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ “Icarus” නමැති ගෝලීය සත්ත්ව නිරීක්ෂණ පද්ධතිය වෙත හැරෙමින් සිටින්නේ ඒ නිසා යි.

හයිටි රාජ්‍යයේ සිදු වූ දරුණු භූමිකම්පාවකින් පසු අපේක්ෂා භංගත්වයට පත් වූ ජන ජීවිතය – www.doctorswithoutborders.org 

හයිචෙංග් සිදුවීම

 චීනය දැනටමත් සතුන් ගේ හැසිරීම් හරහා භූමිකම්පා හඳුනා ගැනීම ප්‍රායෝගික තලයෙන් ක්‍රියාත්මක කොට තිබෙනවා. එය ක්‍රියාත්මක වන්නේ චීනයේ නැනිං හි භූමිකම්පා කාර්යාංශය පදනම් කරගත් අනතුරු ඇඟවීමේ පද්ධති‍යට සමගාමී ව යි. මෙහි දී පුළුල් කලාපයක විසිරී සිටින සර්පයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කොට තිබෙනවා. ඊට හේතුව වන්නේ සර්පයන් සතු ව ඉතා ප්‍රබල සංවේදී යාන්ත්‍රණයක් පැවතීම යි.

 ඉන් සාර්ථක ප්‍රතිඵල පවා ඔවුන් අත්කර ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස 1975 දී චීනයේ හයිචෙංග් නගරය ආශ්‍රිත ව සිටි සර්පයන් සහ වෙනත් සතුන් ගේ හැසිරීම් රටා හදිසියේ වෙනස් වූ නිසා නගරයෙන් මිනිසුන් ඉවත් කිරීමට බලධාරීන් ක්‍රියා කළා. අනුමාන කළ අන්දමට ම දරුණු භූමිකම්පාවක් සිදු වූ අතර, පෙර සූදානම නිසා ජීවිත රාශියක් බේරා ගැනීමට හැකි වුණා.

භූමිකම්පා විතරම ද?

සතුන් කල් ඇතුව සංවේදනය කරන ස්වභාවික ව්‍යසන යටතට වැටෙන්නේ සුනාමි සහ භූමිකම්පා පමණක් ම නොවෙ යි. විශේෂයෙන් ම පක්ෂීන්ට සුළි කුණාටු හට ගැනීමේ සම්භාවිතාව කලින් ම හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. 2014 දී එක්සත් ජනපදයේ විද්‍යාඥයන් පිරිසක් “golden-winged warblers” නමැති පක්ෂී විශේෂයේ සංක්‍රමණ පථ අධ්‍යයනය කරමින් සිටි අතර, හදිසියේ ම ඔවුන් සිය අභිජනන මධ්‍යස්ථානයෙන් කිලෝමීටර් 700 ක් පමණ ඈතට පියඹා ගියා. අභිජනන මධ්‍යස්ථානය වෙත ඔවුන් සංක්‍රමණය වූයේ කිලෝමීටර් පන්දහසක් පමණ දුර ගෙවා ගෙන යි. එවැනි පසුබිමක් හමුවේ ඔවුන් සිය අභිජනන මධ්‍යස්ථානය හදිසියේ ම හැර යාම විද්‍යාඥයන්ට ප්‍රෙහේළිකාවක් වුණා.

 ටික වේලාවකට පසු ටොනේඩෝ 80 කට අධික සංඛ්‍යාවක් එම ප්‍රදේශයේ ඇති වූ අතර, ව්‍යසනයෙන් පුද්ගල මරණ 35 ක් සහ ඩොලර් බිලියනයක පමණ අලාභ හානියක් සිදු වුණා. ටොනේඩෝ අනතුරු බහුල ව සිදුවන රටක් ලෙස පක්ෂීන් ගේ මෙම හැසිරීම් අධ්‍යනය කිරීම එක්සත් ජනදයට බොහෝ සෙයින් වැදගත් වෙනවා.

ටොනේඩෝ අනතුරු කලින් ම හඳුනා ගැනීම සඳහා පක්ෂීන් යොදා ගත හැකි ක්‍රමවේදයක් ගැන පර්යේෂණ පැවැත්වෙනවා – www.theintelligencer.com 

දැනටමත් පක්ෂීන් ගේ උපකාරයෙන් සුළි කුණාටු සහ සුනාමි කල් තියාම හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් සැකසීමට විද්‍යාඥයන් උත්සුක වෙමින් සිටිනවා. සුනාමි, සුළි කුණාටු හරහා නිපදවෙන අධෝරක්ත තරංග, අනතුරු කල් තියාම හඳුනා ගැනීමේ සංඥාව ලෙස පක්ෂීන් හඳුනා ගන්නා බව විද්‍යාඥයන්ගේ විශ්වාසය යි. නමුත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කළ යුතු යි.

ස්වභාවික ව්‍යසන පුරෝකථනය කිරීම සඳහා සත්ත්ව හැසිරීම් පූර්ණ වශයෙන් යොදා ගනීම සාර්ථක විකල්පයක්යැ යි සියලු ප්‍රවීණයන් අනුමත කරන්නේ නැහැ. ඔවුන් යෝජනා කරන්නේ පූර්ව අනතුරු හැඟවීමේ පද්ධති සංඥා කිහිපයක එකතුවක් ලෙස ගොඩ නැඟිය යුතු බව යි. එකතුව සඳහා සතුන් ගේ හැසිරීම් රටා එක් සංඥා ආකාරයක් ලෙස පමණක් යොදා ගැනීම උචිත බව යි ඔවුන් ගේ අදහස. ඒ අනුව මිනිසුන් ගේ බුද්ධිය සහ සතුන් ගේ සහජ සංවේදන හැකියාව සංයුක්ත වූ පූර්ව අනතුරු හැඟවීමේ පද්ධති අනාගතයේ දී ප්‍රචලිත වීමට ඉඩක් තිබෙනවා.

කවරයේ ඡායාරූපය: ස්වභාවික ව්‍යසන හමුවේ සතුන් දක්වන ක්ෂණික අසාමාන්‍ය හැසිරීම් රටා පූර්ව අනතුරු හැඟවීමක් ද වෙනවා.  www.storypick.com

මූලාශ්‍ර:

 www.bbc.com

www.icarus.mpg.de 

Related Articles