මේ බොටම් ට්‍රෝලනය තහනම් කරන්නට කාලයයි

බොටම් ට්‍රෝලනය (Bottom trawling) යනු මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයකි. මෙහිදී මාළු දැල් වලට විශාල බරවල් ගැට ගසා මුහුදට විසි කරන අතර එම දැලේ වපසරියට හසුවන සියල්ල සමඟ මුහුදු පත්ල දිගේ එය නැවත ගොඩට අදිනු ලැබේ. දැලට හසුවී ගොඩට ඇදගන්නා දෙයින් සියයට අනූවක් පමණ  සමන්විත වන්නේ ඔවුන්ට අනවශ්‍ය කොරල්පර හෝ වෙනත් සාගර ජීවින් වර්ග වේ. මේවා නැවත මුහුදට විසිකර දැමෙන නමුත් ඒ වනවිට හානිය සිදු වී හමාරය.

දිගු කලක් පුරාවට පැවතෙන ඉන්දු – ශ්‍රී ලාංකීය මසුන් මරන්නන්ගේ අර්බුදයට මෙයද විශාල වශයෙන් බලපා ඇති නමුත් ඉන්දීය මසුන් මරන්නන් ලංකා මුහුදු සිමාවේ මසුන් මැරීමෙන් වැළකීමෙන් පමණක් මේ ගැටලුවට පිළියමක් සොයාගත නොහැක.

මාදැල් ඇදීමකට පෙර සහ පසුව මුහුදු පතුල පෙන්වීමට ගත් සංසන්දනාත්මක චායාරුපයක්. (occupy.com)

මාදැල් ඇදීමකට පෙර සහ පසුව මුහුදු පතුල පෙන්වීමට ගත් සංසන්දනාත්මක චායාරුපයක්. (occupy.com)

තවදුරටත් විතර කිරීමේදී…

ඉන්දියාවේ මසුන් මරන්නන් මෙලෙස මසුන් මැරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිසා බොහෝ දෙනෙක් ප්‍රථමයෙන්ම ඇඟිල්ල දිගු කරන්නේ ඔවුන් වෙතය. කෙසේ වුවද ලංකාවේ මසුන් මරන්නන් ද, විශේෂයෙන්ම යාපනය මුහුදු තිරයේ මෙම විනාශකාරී ක්‍රමවේදය භාවිතා කරන බවට වාර්තාවී ඇත.

මේ අනුව නම්, ඉන්දියානු මසුන් මරන්නන්ට ලංකාවේ මුහුදු සිමාවේ මසුන් මැරීම තහනම් කිරීමෙන් පමණක් අමුතුවෙන් සිදුවන ප්‍රතිලාභයක් නොමැත. නිසැකයෙන්ම ලාංකික මසුන් මරන්නන් ඔවුන් නැවැත්වූ තැනින් පටන් ගෙන දිගින් දිගටම මෙම ක්‍රමවේදයෙන්ම මසුන් මරනු ඇත. සිදු වන්නේ බොටම් ට්‍රෝලනය සිදුකරන ජාතිය මාරු වීම පමණි.  මේ නිසා මීට  ඇති එකම සහ සුදුසුම පියවර වන්නේ අපේ වැනසී යන සාගර පරිසරපද්ධතියට තවදුරටත් හානි වීමට පෙර මේ ක්‍රමය සම්පුර්ණයෙන්ම තහනම් කරදැමීමට ක්‍රියා කිරීමයි.

වර්තමානයේ පවතින තත්වය   

ශ්‍රී ලංකාවේ බොටම් ට්‍රෝලනය මගින් මිරිදිය මසුන් ඇල්ලීම තහනම් කර ඇති නමුත් තවමත් මේ ක්‍රමවේදයෙන් කරදිය මසුන් ඇල්ලීම නම් තහනම් කර නොමැත. Verité Research ආයතනයේ අධ්‍යක්ෂ/නීති අධ්‍යක්ෂ ගෙහාන් ගුණතිලක මහතා පවසන ආකාරයට අනුව මෙම ක්‍රමවේදයෙන් මසුන් ඇල්ලීමේ බලපත්‍ර නිකුත් කෙරෙන්නේ ඉතාමත් කලාතුරකින් වුවද මත්ස්‍ය සහ සාගර සම්පත් පනත යටතේ මෙම ක්‍රියාවට නීතියෙන් අවසර තිබේ.

මිට අමතරව, 2010 වසරේ මත්ස්‍ය (ආනයන සහ අපනයන) රෙගුලාසියට අනුව මෙසේ බොටම් ට්‍රෝලනය මගින් අල්ලා ගන්නා ලද මසුන් ආනයනය හෝ අපනයනය කිරීම නීතියෙන් තහනම් වුවද දේශීය වෙළඳපොලේ එසේ අල්ලා ගත් මසුන් විකිණිම සම්බන්ධයෙන් සම්බාධකයක් පනවා නොමැත. මෙනිසා මසුන් මරන්නන් හට මෙය දිගටම කරගෙන යාමට හොඳ රුකුලක් සැපයී තිබේ.

2015 වසරේ අප්‍රේල් 21 වැනි දින පාරිලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා විසින් මෙම ක්‍රමවේදය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට ව්‍යවස්ථාදායක සංශෝධන යෝජනාවක් ගෙන ආවද එම වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද නිසා මෙය සලකා බැලුණේ  නැත. 2015 ඔක්තෝබර් 9 වැනි දින පාර්ලි‌‌මේන්තුව අමතා ඔහු කළ ප්‍රකාශයේ දී පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සුමන්දිරන් මහතා පවසා සිටියේ   “ආරංචි වන පරිදි  මෙම ක්‍රමයෙන් (බොටම් ට්‍රෝලනයෙන්) මසුන් මැරීම නිසා ඉන්දියානු මුහුදු තීරයේ සියලුම සාගර සම්පත් දැන් විනාශ වී ගිහින්. ඒ පැත්තේ දැන් කිසි දෙයක් නැහැ. එකයි ඔවුන් දැන් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව පැත්තට එන්න පටන් අරන් තිබෙන්නේ” යනුවෙනි.   

“බොටම් ට්‍රෝලනය සම්බන්ධයෙන් ලංකා රජය ඉක්මනින්ම තීරණාත්මක පියවරක් ගත යුතුයි. මෙම ක්‍රමයට මසුන් මැරීම නීතිගත කර ඇති රෙගුලාසියක් මත්ස්‍ය සහ සාගර සම්පත් පනත යටතේ තිබෙනවා, ඒක ඉතින් හරියන වැඩක් නෙමෙයි. මෙම ක්‍රමය සම්පුර්ණයෙන්ම තහනම් කර දැමිය යුතුයි. මොකද මේ ක්‍රමයෙන් මසුන් මැරීමෙන් සාගර සම්පත සම්පුර්ණයෙන්ම විනාශ වී මතු පරම්පරාව සඳහා කිසිවක් ඉතුරු නොවන තත්වයකට දැන් පත් වෙලා තිබෙන බව දැන් හොඳටම පැහැදිලි කරුණක්” ඔහු තවදුරටත් පැවසිය.

පසුවදනක් ලෙස  

මාදැල් වැඩකරන ආකාරය සහ මුහුදු පතුලට ඉන් සිදුවන විනාශය

මාදැල් වැඩකරන ආකාරය සහ මුහුදු පතුලට ඉන් සිදුවන විනාශය

මේ ක්‍රමයට මසුන් මැරීම කෙතරම් හානිදායක දැයි මේ පිළිබඳව ලෝක වනජීවී අරමුදල දරන මතයෙන් මනාව පැහැදිලි වෙයි. ලෝක වනජීවී අරමුදලට අනුව 1980 වසරේ දී රොක්හොපර් මාදැල් ඇදීමේ ආම්පන්නය හඳුන්වා දීමෙන් පසු දැලට කිසිම ආපදාවක් නොවන පරිදි ඕනෑම රළු මතුපිටක් ඔස්සේ ලෙහෙසියෙන්ම ඇදීමට හැකියාව ලැබිණි. “ මින් විශාලතම වර්ගය සෙන්ටිමීටර් 75ක් පමණ විෂ්කම්භයකින් යුත් රෝලර වලින් සමන්විත වන අතර එම දැල් ඉතා ශක්තිමත්. කෙතරම් ශක්තිමත් ද කිව්වොත් ටොන් 25ක් බරැති ගල් කුට්ටියක් වුවද ඇදීමට ඊට හැකියාව තිබේ” යි කියවේ. එනම් මුහුදු පත්ලෙන් විශාල වපසරියක, මීටර දෙදහසක පමණ ගැඹුරක් දක්වා වුවත්, මේ ක්‍රමයෙන් මසුන් ඇල්ලිය හැක.  

ලෝක වනජීවී අරමුදල තවදුරටත් දක්වා සිටින්නේ “ ඇලස්කාවට ඔබ්බෙන් සිදුකරන ලද පරීක්ෂණයකදී හෙළි වූ පරිදි එක් බොටම් ට්‍රෝලන ඇදීමක දී විනාශයට පත් වූ සිසිල්-දිය කොරල් වලින් 55%ක් පමණ ඊළඟ වසර වන විටත්  නැවත ප්‍රකෘති තත්වයට පත් වී නොතිබුණු” බව සහ “ඊසාන දිග අත්ලාන්තික සාගරයේ කිලෝමීටර් 4ක් පමණ දුරක් දක්වා සමුදුර පත්ලේ එහි කැළල දක්නට තිබූ” බවයි. මිට අමතරව, “දකුණු දිග ඔස්ට්‍රේලියාවට ඔබ්බෙන් පිහිටි කොරල් පිරි මුහුදුගිරි වටා  මසුන් ඇල්ලීම බහුල වශයෙන් සිදු කෙරේ. දැන් මේවායින් 90%ක පමණ දැන් ඉතිරි වී ඇත්තේ හුදෙක් කන්ද පමණක් වන අතර කොරල් සියල්ල විනාශ වී ගොස් ඇත”  බවද ඔවුන් නිරීක්ෂණය කර ඇත.

මෙම ක්‍රමවේදයෙන් සිදුවන හානිය තක්සේරු කිරීමට ලංකාවේ පර්යේෂණ ආදිය සිදු නොකෙරුනද අපේ සාගර පරිසරපද්ධතියට මින් කෙතරම් හානියක් සිදුවන්නේ ද යන්න සිතා ගැනීම එතරම්ම අපහසු නැත. ඉතින් බොටම් ට්‍රෝලනය ඉක්මනින් තහනම් කර දැමීමේ ඓතිහාසික පියවර තැබීමෙන් ආසියානු කලාපයටම මනා ආදර්ශයක් සැපයීමට මේ අපට සුදුසුම කාලයයි.

කවරයේ චායාරුපය: Kambou Sia AFP/GETTY

Related Articles