Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

187 වැනි වියට පා තැබූ ‘ජොනතන්’

මිනිසාගේ පරම ආයුෂය සඳහන් වන්නේ වසර 120ක් ලෙස යි. ලොව වෙසෙන බොහෝ ජීවී විශේෂ දරන්නේ මීට වඩා අඩු ආයුෂයක්. කෙසේ නමුත් මිනිසාට වඩා කාලයක් ජීවත් වන සත්ත්ව විශේෂ කිහිපයකුත් අපට හමුවෙනවා. ඉබ්බන් ඉන් ප්‍රමුඛතම ස්ථානයක ලා සැලකිය හැකියි.

අත්ලාන්තික් සයුර මධ්‍යයේ පිහිටි ශාන්ත හෙලේනා නම් කුඩා දූපත වඩාත් ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ එය පළමුවන නැපෝලියන් අධිරාජ්‍යයා වසර ගණනාවක් සිරගත කොට තැබූ දූපත වීම නිසා යි. ඔහු මියගියේ 1821 වසරේ දී යි. අද වන විට තවත් අයෙකු නිසා එය ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා. ඒ එහි වෙසෙන ‘ජොනතන්’ නම් යෝධ ඉබ්බා නිසා යි. අද වන විට හෙතෙම 187 වන වියට පා තබා ඇති අතර, වර්තමානය වන විට සැලකෙන්නේ ආසන්න වශයෙන් හෝ වයස තහවුරු කරන ලද, ගොඩබිම වෙසෙන වයස්ගතම සත්ත්වයා ලෙස යි. 1832 වසරේ දී ජොනතන් උපත ලබන විට නැපෝලියන් මියගොස් වසර 11ක් පමණක් ගතව තිබූ අතර, බ්‍රිතාන්‍යයේ වික්ටෝරියා රැජින කිරුළු පැළඳවූයේත් ඊට පස් වසරකට පසුව යි.

ජොනතන්- sthelenatourism.com

ජොනතන්ගේ වයසෙහි වැදගත් කම

ජොනතන් මේ වන විට ගෙවමින් සිටින්නේ සිය 187 වැනි වසර යි. මේ අනුව තවත් වසරක් ඔහු නිරුපද්‍රිතව සිටියහොත් ලොව එතෙක් මෙතෙක් වාර්තා වී ඇති, නිසි ලෙස වයස තහවුරු කර තිබෙන ඉබ්බා ගේ වාර්තාව ඔහු සතු වෙනවා. ලොව මෙතෙක් වාර්තා වී ඇති වයස්ගතම ඉබ්බා ටුඉ මලිලා නම් ගැහැණු සතෙකු වන අතර, ඇය 1777 වසරේ ඉපිද 1965 වසර දක්වා පුරා වසර 188ක කාලයක් දිවි ගෙවා තිබෙනවා. මැය බ්‍රිතාන්‍ය ජාතික දේශ ගවේෂක කපිතාන් ජේම්ස් කුක් විසින් සිය අවසන් චාරිකාවේ දී ටොංගාහි රාජකීය පවුලට තෑගි කර තිබෙනවා.

ජොනතන්ගේ ජීවිත කාලය තුළ ලොව වැදගත් සිදුවීම් රාශියක් සිදුවුණා. ඔහුගේ ජීවිත කාලය තුළ පළමුවන හා දෙවන ලෝක යුද්ධ දෙකම ඇති වූ අතර රුසියානු විප්ලවය ද ඇති වුණා. එමෙන්ම එම කාලය තුළ දී බ්‍රිතාන්‍ය සිහසුන 5 දෙනෙකු අතට පත් වූ අතර, ඇමෙරිකා එක්සත් ජනපදයට තේරී පත් වූ ජනපතිවරුන් ගණන 39ක්.

ජොනතන් හා නව සොයාගැනීම්

ලොව පළමු තැපැල් මුද්දරය 1840 වසරේ දී නිකුත් වූ අතර, ඒ වන විට ජොනතන් 8 හැවිරිදිව සිටියා, එමෙන්ම, නවීන ලෝකයේ තට්ටු ගණනාවකින් යුක්ත පළමු ගොඩනැගිල්ල 1885 වසරේ සෑදෙන විට ඔහු 53 වියැති වුණා. සූත්‍රිකා විදුලි බල්බය 1879 වසරේ දී නිපැයෙන විට මෙම සත්ත්වයා සිටියේ 47 හැවිරිදිව යි. අයිෆල් කුළුණ 1887 වසරේ දී සාදන විට ජොනතන් 55 වියැති වුණා.

ජොනතන් (වමේ) 1880 දශකයේදී- guinnessworldrecords.com

ලොව වැඩිම කාලයක් ජීවත් වූ පුද්ගලයා ලෙස සැලකෙන්නේ වසර 122 ක් ජීවත්ව සිටි ප්‍රංශයේ ජීන් කැල්මන්ට් නම් කාන්තාව යි. ඇය උපත ලබන විට 43 වියැති වූ ජොනතන්, ඇය මියයන විට 165 වියැති වුණා. මේ වන විට ඔහු ඇයට වඩා වසර 65ක් ජීවත් වී තිබෙනවා.

ශාන්ත හෙලේනාවට ආගමනය

ජොනතන් උප්පත්තිය ලැබුවේ ඉන්දියන් සයුරේ පිහිටි සීෂෙල්ස්හි දී යි. ඔහු ශාන්ත හෙලේනාවට රැගෙන එන විට සම්පූර්ණයෙන් වැඩී සිටියා. 1882 වසරේ ශාන්ත හෙලේනාවට ගෙන ආ ඔහු ඉතිහාස වාර්තාවලට අනුව 1890 දශකයේ දී ශාන්ත හෙලේනාවේ එවක ආණ්ඩුකාර විලියම් ග්‍රේ විල්සන් හට තෑගි ලැබී තිබෙන අතර, ඉන් අනතුරුව දිවි ගෙවා තිබෙන්නේ ආණ්ඩුකාර නිල නිවසෙහි යි. මේ වන විට ජොනතන් 50 විය ඉක්මවා තිබුණා. මෙමෙ නිල නිවස 1790 දශකයේ දී පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම මඟින් ඉදි කරන ලද්දක්. මේ වන විට මෙහි ජොනතන්ට අමතරව ඩේවිඩ් හා එමා යනුවෙන් තවත් යෝධ ඉබ්බන් දෙදෙනෙකු ද සිටිනවා.

ජොනතන් මුලින් සැලකුණේ සීෂෙල්ස්හි ඇල්ඩැබ්‍රා වර්ගයට අයත් ඉබ්බෙකු ලෙසට යි. කෙසේ නමුත් නවීන තාක්ෂණය යොදාගෙන සිදු කරන ලද පර්යේෂණවලට අනුව ඔහු ඇත්තෙන්ම වඩාත් දුර්ලභ සීෂෙල්ස් යෝධ ඉබ්බන්ගේ වර්ගයට අයත් එකෙකු බවට මත පල වී තිබෙනවා. මේ වර්ගය එක් කාලයක දී නෂ්ඨ වූ විශේෂයක් ලෙස සලකනු ලැබූ අතර, තවමත් ඔවුන්ගෙන් 80ක් පමණ ලොව පුරා විසිරී ජීවත් වන බැව් පසුකාලීනව සොයාගැණුනා.

ජොනතන් සිටින් පරිශ්‍රය- sthelenatourism.com

ජොනතන්ගේ ජීවිතාපේක්ෂාව

ජොනතන්ගේ වර්ගයේ ඉබ්බෙකුගේ සාමාන්‍ය ජීවිතාපේක්ෂාව වන්නේ වසර 150ක පමණ කාලයකුයි. ඒ අනුව ඔහු එම කාලයත් පසු කර වසර 35කට අධික කාලයක් ජීවත් වී තිබෙනවා. මේ වන විටත් ජොනතන් ජීවිතයට හානි නොවන තරමේ හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් ජීවත් වෙනවා.

වයසත් සමග ජොනතන් ගේ දෙඇසෙහි සුද මතු වුණා. මේ නිසා වර්තමානය වන විට ඔහු සිටින්නේ සම්පූර්ණයෙන් සිය පෙනීම අහිමි වූ තත්ත්වයක යි. එමෙන්ම ඉව කිරීමේ හැකියාව හා ගන්ධ සංවේදීතාවත් ඔහු කෙරෙන් වියැකී තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ ශ්‍රවණය හා ආහාර රුචිය යම් තවමත් පවතින්නේ ඉතාමත් හොඳ මට්ටමක යි. මීට අමතරව ඔහු තවමත් හොඳ ලිංගික රුචියකින් හා හැකියාවකින් යුක්තව සිටින බව ඔහු රැකබලාගන්නා පශු වෛද්‍යවරුන් ඇතුළු බලධාරීන් පවසනවා.

සාත්තු කරමින්- Youtube

පසුවදන

පෙනීමේ හා ගඳ සුවඳ ආඝ්‍රාණය කිරීමේ හැකියාවන් දුර්වල වීම නිසා වර්තමානයේ ජොනතන් සිටින්නේ නිරන්තර ආහාර කැවිය යුතු තත්ත්වයක යි. මේ නිසා ඔහු හට පෝෂ්‍යදායී ආහාර නිතිපතා ලබා දෙන්නටත්, අවශ්‍ය ප්‍රතිකාර විගස ලබා දෙන්නටත්, ඔහු රැකබලාගන්නා කණ්ඩායම ක්‍රියා කරනවා. මේ නිසා ඔහු ඉතා පහසුවෙන් කාලය ගෙවන බැව් සඳහන් වෙනවා. එමෙන්ම තවමත් ඔහු දැක බලාගැනීමේ හැකියාව ශාන්ත හෙලේනාවට පැමිණෙන සංචාරකයින්ට තිබෙනවා.

උක්ත ප්‍රතිකාර හා යහපත් සලකුම් මධ්‍යයේ තවත් වසර 12ක කාලයක් ජොනතන් ජීවත් වුවහොත්, වසර 200ක් ජීවත් වූ සත්ත්වයෙකු වීමේ අති දුර්ලභ අවස්ථාව ඔහුට ලැබෙනු ඇති.

කවරයේ පින්තූරය- Steven Humphreys/iStock

Related Articles