Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

යකඩ සන්නාහයක් පැළඳි මුහුදු පතුලේ නයිට්වරයා

මහා බ්‍රිතාන්‍යය සබැඳි ඉතිහාස කතා රස විඳි අපිට “නයිට්වරුන්” කියන්නේ බොහොම හුරු පුරුදු වචනයක්. විශේෂයෙන් ම ආතර් රජු කේන්ද්‍ර කරගත් නිර්මාණවල දී අපට නයිට්වරුන් දකින්නට ලැබෙනවා. නයිට්වරුන්ගේ ඇඳුමත් බොහොම සුවිශේෂ යි. සතුරු ප්‍රහාරවලින් ආරක්ෂා වීම පිණිස ඔවුන් යකඩ මිශ්‍රිත විශේෂිත සන්නාහ පැළඳ සිටියා. අපේ කතා නායකයාත් යකඩ සංඝටක අඩංගු ආරක්ෂිත ආවරණයක් සහිත එක්තරා නයිට්වරයකු ලෙස හඳුන්වන්නට පුළුවන්. හැබැයි මොහු මනුෂ්‍යයෙක් නම් නොවෙ යි. 

ස්කේලි-ෆූට් ස්නේල්

“ස්කේලි-ෆූට් ස්නේල්” කියන්නේ මුහුදු පතුලේ ජීවත් වන එක්තරා බෙල්ලන් විශේෂයක්. විද්‍යාත්මක නාමකරණයේ දී මොවුන් Chrysomallon squamiferum යනුවෙන් නම් කර තිබෙන අතර, ශරීරාවරණයේ තිබෙන සුවිශේෂී බව නිසා ඇතැම් අවස්ථා වල “සී පැන්ගලින්” (මුහුදු කබල්ලෑවා යන අර්ථයට සමීප) ලෙසත් හඳුන්වනවා. අනෙකුත් සියලු ම මුහුදු බෙල්ලන් විශේෂවලට වඩා ස්කේලි-ෆූට් ස්නේල් අද්විතීය ලක්ෂණ වලින් යුක්ත යි. නොගැඹුරු මුහුදු හෝ ගල්පර සහිත සමුද්‍රාසන්න පරිසරය ආශ්‍රිත ව බෙල්ලන් වැඩි වශයෙන් දැකිය හැකි වුවත්, ස්කේලි-ෆූට් ස්නේල් හාත්පසින් ම වෙනස් පරිසරයක් තම වාසස්ථානය කර ගෙන තිබෙනවා. ඔවුන් ජීවත් වන්නේ මුහුදු පතුලේ පිහිටි ජලතාප විවර ආශ්‍රිත ව යි.

ජලතාප විවරයක ක්‍රියාකාරීත්වය – www.grida.no 

ඉතා කටුක පරිසරයක්

 ගොඩබිම මෙන්ම ගැඹුරු මුහුදෙත් යමහල් ක්‍රියාකාරීත්වය බොහොම සක්‍රීය ව පවතිනවා. මේ හේතුවෙන් සාගර පතුලේ ගැඹුරු විවර නිර්මාණය වීම සිදු වෙනවා. විවර ඔස්සේ සාගර ජලය ඇතුළු වූ විට ඒවා සාගර කබොලේ ගැඹුරට ම ගමන් කරමින් උණුසුම් මැග්මා වෙත සමීප වෙන්නට පුළුවන්. මැග්මා හමුවේ අධික උෂ්ණත්වයට ලක් වූ ජල යේ විවිධ ඛනිජ ද්‍රව්‍ය දියවන අතර, අධික පීඩනයකටත් ලක් වෙනවා. ඛනිජ ද්‍රව්‍යවලින් පොහොසත් වූ සාගර ජලය අධික පීඩනය ඔස්සේ නැවත සාගර පතුලේ පැලීම් මතින් පිටවන්නේ උණුදිය උල්පතක් නිර්මාණය කරමින්. මේවා ජලතාප විවර ලෙස හඳුන්වනවා.

ජලතාප විවර තුළින් පැමිණෙන උණුසුම් ජලය ඇසිල්ලකින් සිසිල් ජල කඳ සමඟ ගැටෙන නිසා දිය වූ ඛනිජ ද්‍රව්‍ය ඝනීභවනය වී අවට තැන්පත් වීම ඇරඹෙනවා. ඒ අනුව ජලතාප විවර විවිධ පෝෂණ සංඝටක අඩංගු ප්‍රදේශ ලෙසත් හැඳින්විය හැකි යි.

 ජලතාප විවර අවට පවතින්නේ කිසිසේත් ඔරොත්තු නොදෙන අන්දමේ අධික උෂ්ණත්වයක්. ඉතා ගැඹුරින් පිහිටන නිසා සාගර ජල කඳින් හට ගන්නා පීඩනය සහ අඳුරු පරිසරය එහි කටුකත්වය තවත් වැඩි කරනවා. නමුත්, ජලතාප විවර ආශ්‍රිත පරිසරයට ඔරොත්තු දෙන සුවිශේෂි ජීවි ප්‍රජාවක් සිටිනවා. ඔවුන්ගේ ශරීර ව්‍යුහ නරකාදියක් බඳු මේ පරිසරයට හැඩ ගැසී ඇති අන්දම විස්මයජනක යි. ඒ අනුව ස්කේලි-ෆූට් ස්නේල් අපට හමු වන්නේ මීටර් 2,400 – 2,900 අතර ගැඹුරින් පිහිටි සමුද්‍ර පරිසරය තුළ යි. සෙල්සියස් අංශක 400 ක් තරම් අධික උෂ්ණත්වයක් දරා ගැනීමේ හැකියාව මොවුන් සතු ව තිබෙනවා. 

ස්වභාවික පරිසරයේ සිටින ස්කේලි-ෆූට් ස්නේල් සත්ත්වයෙක් – www.ststworld.com 

දුර්ලභ යි; ඒත් විවිධ යි.

 ස්කේලි-ෆූට් ස්නේල් සියලු ජලතාප විවර ආශ්‍රිත ව ජීවත් වන සත්ත්වයෙක් නොවෙයි. දැනට නිරීක්ෂණය කර ඇති අන්දමට ඉන්දියන් සාගරයේ පිහිටි ජලතාප විවර තුනක් ආශ්‍රිත ව පමණ‍යි මොවුන් දක්නට ලැබෙන්නේ. ඒවායේ මුළු භූමි ප්‍රමාණය දළ වශයෙන් අමෙරිකානු පාපන්දු පිටි දෙකක ප්‍රමාණයට සමාන බව පැවසෙනවා.

නිසැකයෙන්ම ස්කේලි-ෆූට් ස්නේල් යනු බොහොම දුර්ලභ සත්ත්ව විශේෂයක්.

ස්කේලි-ෆූට් ස්නේල් කරුණු කිහිපයක් නිසා සත්ත්ව විද්‍යාඥයන්ගේ විමතියට හේතු වී තිබෙනවා. ඔවුන්ගේ කවචය එයින් ප්‍රධාන වන අතර, ජීවත් වන ජලතාප විවරය අනුව ඔවුන් වෙනස් වන අයුරුත් විද්‍යාඥයන්ගේ කුතුහලයට හේතු වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ බටහිර වෙරළ සහ නැගෙනහිර අප්‍රිකානු වෙරළ අතර පිහිටි මධ්‍යම ඉන්දියානු සමුද්‍ර වැටියේ පිහිටි “කයිරෙයි” ජලතාප විවරය අසලින් කළු පැහැති බෙල්ලන් විශේෂයක් සොයාගෙන ඇති අතර, “කයිරෙයි” විවරයට කිලෝමීටර් 700 ක් ඈතින් පිහිටි “සොලිටයර්” ජලතාප විවරය අසලින් සුදු පැහැ විශේෂයක් සොයා ගෙන තිබෙනවා.

ජලතාප විවර තුනේ ජීවත් වන එකිනෙකට වෙනස් ස්කේලි-ෆූට් කවච – www.australiangeographic.com.au

“සොලිටයර්” ප්‍රදේශයට කිලෝ මීටර 2500 ක් පමණ ඈතින් පිහිටි “ලොන්ග්කි” විවරයෙන් මේ සියල්ලන්ට ම වඩා වෙනස් රත්‍රන් පැහැ ස්කේලි-ෆූට් විශේෂයක් සොයා ගැනීමට පර්යේෂකයන් සමත් වුණා. එක් එක් ජලතාප විවරවලින් පිට වන රසායනික ද්‍රව්‍යවල විවිධත්වය අනුව මෙම වර්ණය තීරණය වී ඇති බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ඉහත ඡායාරූපයෙන් ඔබට විශේෂ තුනට ම අයත් කවච දැක බලාගත හැකි යි.

යකඩ අඩංගු පිටත කටුව

 ස්කේලි-ෆූට් ස්නේල්ගේ කවචය පුරාණ නයිට්වරයකුගේ සන්නාහයක් සිහි ගන්වන අයුරින් ශක්තිමත් ව නිර්මාණය වී ඇති බව පැවසෙනවා. කවච වල මතුපිට ම ස්ථරයේ යකඩ අඩංගු සංයෝගයක් වන අයන් සල්ෆයිඩ් තිබීම ඊට හේතුව යි. පහළ ම ස්ථරය සාමාන්‍ය අන්දමින් කැල්සියම් අඩංගු ද්‍රව්‍යවලින් සෑදී ඇති අතර, එම ස්ථර දෙකට මැදි ව ඝන කාබනික තට්ටුවක් පිහිටා තිබෙනවා. මූලිකව ම අධික උෂ්ණත්වය හමුවේ නොනැසී සිටීමට මෙම විශේෂිත කවචය සත්ත්වයාට උපකාරී වුණත්, තවත් බොහෝ පැතිවලින් කවචය නිසා ඔවුන්ට ආරක්ෂාව සැලසෙනවා.

ස්ථර තුනකින් යුක්ත කවචය – asknature.org 

හොඳ කම්පන අවශෝෂකයක්

 ජීව විද්‍යාඥයන් පවසන පරිදි ස්කේලි-ෆූට් ස්නේල් සතුන්ටත් සතුරන් සිටිනවා. විශේෂයෙන් ම ආන්තික පරිසරයට පුරුදු වූ කකුළුවන් සහ අනෙකුත් බෙල්ලන් විශේෂ ඔවුන්ට තර්ජනයක් විය හැකි යි. කවචයේ මතුපිට ම ස්ථරය යකඩ අඩංගු සංයෝගවලින් නිර්මිත නිසා අනෙකුත් බෙල්ලන්ට වඩා ස්කේලි-ෆූට් ස්නේල්ගේ කවචයේ ශක්තිය වැඩි වී තිබෙනවා. ජලතාප විවර අසල ජීවත් වන කකුළුවන්ගේ දැඩි ග්‍රහණයෙන් කවචයට සිදුවන හානිය වලක්වා ගැනීමට මෙම යකඩ ස්ථරය මහෝපකාරී වෙනවා. දැඩි ග්‍රහණය හමුවේ හටගන්නා කම්පනය හේතුවෙන් සත්ත්වයා පීඩාවට පත්විය හැකි යි. ඝන අතරමැදි කාබනික ස්ථරය මඟින් එම කම්පනය අවශෝෂණය කර ගන්නා බව විද්‍යාඥයන් විශ්වාස කරනවා.

ප්‍රහාර වළකන යකඩ පලක

 ප්‍රධාන විලෝපික ආකාරයකින් ඔවුන් මෙලෙස ගැලවුණත්, සාගරය තුළ මාංශ භක්ෂක බෙල්ලන් විශේෂත් වාසය කරනවා. ඔවුන් ගෙන් ඇතැමෙක් විෂ සහිත යි. මාංශ භක්ෂක බෙල්ලන්ට ස්කේලි-ෆූට්ගේ සන්නාහයට හානි කළ නොහැකි වුණත්, ඔවුන් සතු ව ඇවුලුම් බිලියක්  (harpoon) වැනි විශේෂ අවයවයක් තිබෙනවා. මෙම විශේෂිත ව්‍යුහය මඟින් සතුන්ට පහර දී විෂ ඇතුළු කිරීමෙන් ඔවුන් අඩපණ කොට ආහාරයට ගැනීමට මාංශ භක්ෂක බෙල්ලන් සමත්කම් දක්වනවා. 

ස්කේලි-ෆූට් ස්නේල්ගේ කවචය සහ ඵලක – www.wired.com

 සාමාන්‍යයෙන් බෙල්ලකු සංචරණය කරන විට පාදය මෙන් ක්‍රියා කරන කොටසත් සමඟ ශරීරයෙන් යම් ප්‍රමාණයක් කවචයෙන් පිටතට පැමිණෙනවා. මාංශ භක්ෂක බෙල්ලන්ගේ ප්‍රහාරයට සැණෙකින් ලක් වෙන්නට මේ ශරීර කොටස වුණත් ප්‍රමාණවත්. මේ හේතුවෙන් ස්කේලි-ෆූට් ස්නේල්ගේ පාදය මෙන් ක්‍රියා කරන කොටස යකඩ අඩංගු පලකවලින් වැසී තිබෙනවා. “ස්කේලි ෆූට්” ලෙස ඔවුන්ට නම පටබැඳී ඇත්තේ ඒ නිසා යි. සන්නාහය නිසා සතුරාගේ කඩු ප්‍රහාරයකින් ආරක්ෂා වන නයිට්වරයකු මෙන් ස්කේලි-ෆූට් ස්නේල්, තම යකඩ පලක පිරි පාදය හරහා මාංශ භක්ෂක බෙල්ලන්ගේ විෂ ප්‍රහාරයෙන් ආරක්ෂා වෙනවා.

 මෙතරම් ආරක්ෂාවක් ඔවුන්ට සොබාදහමෙන් ලැබුණේ ඇයි? ඇතැම් විට ස්කේලි-ෆූට්ගේ දුර්ලභත්වය මේ සඳහා හේතු වූ බව සිතිය හැකි යි. ජලතාප විවර සාගරයේ සෑම තැනක ම දකින්න ලැබෙන්නේ නැහැ. ජලතාප විවර කේන්ද්‍ර කරගෙන බිහි වූ පාරිසරික පද්ධතියත් ඒ අනුව ස්වභාවිකව ම සීමා වීම සිදු වෙනවා. එමෙන් ම, භූතාපජ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පෘථිවි කබොල වෙනස් වන විට ජලතාප විවර හරහා රසායනික ද්‍රව්‍ය පිටතට පැමිණීම අඩාල වන්නට පුළුවන්. එවිට මෙම රසායනික ද්‍රව්‍යවලින් යැපෙන සියලු ම ජීවීන් විනාශ වී යනවා. සීමා සහිත ව පැතිරුණු සහ බිඳෙනසුලු පරිසර පද්ධතියක ජීවත් වන සාමාජිකයකුට විලෝපික අවදානමක් පැමිණීම කිසිසේත් දරාගත නොහැකි යි. විශේෂිත කවචය හරහා සොබාදහම මෙම සත්ත්වයන්ට සාධාරණයක් ඉටු කළ බව එයින් පෙනී යනවා.

කයිරෙයි ප්‍රදේශයේ පිහිටි ජලතාප විවරයක් – www.jamstec.go.jp 

කවචයට යකඩ ලැබෙන හැටි

ස්කේලි-ෆූට් ස්නේල්ගේ කවචයට යකඩ සංඝටක ලැබෙන අන්දම තවමත් පර්යේෂණ මට්ටමේ පවතින්නක්. මෙම සතුන් සමඟ ජීවත් වන සහයෝගී බැක්ටීරියා මඟින් කවචයට අවශ්‍ය අයන් සල්ෆයිඩ් නිෂ්පාදනය කරන බව ජීව විද්‍යාඥයන් විශ්වාස කරනවා. ජලතාප විවරවලින් පිටවන සල්ෆයිඩ විෂ සහිත යි. ක්ෂුද්‍ර ජීවින් මෙම සල්ෆයිඩවල ස්වභාවය වෙනස් කිරීමේ දී විෂ සහිත බව අවම වන බව අනුමාන කෙරෙනවා.

 කළු පැහැති බෙල්ලන්ට සාපේක්ෂ ව සුදු පැහැති බෙල්ලන්ගේ කවචයේ යකඩ සංඝටක ප්‍රමාණය අවම බවත් සොයාගෙන තිබෙනවා. ඔවුන් වටා ජීවත් වන සහයෝගී බැක්ටීරියාවල ගහණයත් ඊට අනුරූපී ව වෙනස් වෙනවා. කවචයට අවශ්‍ය යකඩ සංඝටක ලැබීම පිටුපස බැක්ටීරියා ක්‍රියාකාරීත්වයක් ඇති බවට කරන අනුමානය මේ නිසා තවදුරටත් ශක්තිමත් වෙනවා. අයන් සල්ෆයිඩ් බෙල්ලන් ම නිපදවන බව විශ්වාස කරන තවත් කණ්ඩායමක් සිටිනවා. ඉදිරි දවසක මේ රසායනික ක්‍රියාකාරීත්වය ගැන නිශ්චිත පිළිතුරක් ලබා දීමට විද්‍යාවට හැකි වේවි.

ස්කේලි-ෆූට් ස්නේල් ජීවත් වන ප්‍රදේශ – www.jamstec.go.jp 

පරාජය කළ නොහැකි සතුරා

 කටුක පරිසර‍යෙන් සහ විලෝපික අවදානමෙන් බේරීමට ස්කේලි-ෆූට් ස්නේල්ගේ ශරීර ව්‍යුහය අපූරුවට සැකසී තිබුණත්, මිනිසුන්ගේ තර්ජනයෙන් බේරීමට ඔවුන්ටත් නොහැකි වී තිබෙනවා. මීටර් දෙදහසකටත් වඩා ගැඹුරින් පිහිටි කර්කශ පරිසරයක ජීවත් වන සත්ත්වයකුට පවා මිනිසාගෙන් සිදු විය හැකි අනතුර කුමක්දැ යි ඔබ සිතනවා ඇති.

මිනිසා ගැඹුරු මුහුදේ සිදු කරන පතල් කැණීම් මේ සඳහා හේතු වී තිබෙනවා. තවමත් දියුණු වෙමින් පවතින තාක්ෂණයක් වුවත්, මුහුදු පතුලේ කැණීම් හේතුවෙන් වඳ වීමේ තර්ජනයට ලක් වූ පළමු සත්ත්වයා ලෙස ස්කේලි-ෆූට් ස්නේල් රතු දත්ත පොතට ඇතුළත් වී තිබෙනවා. 

දැනටමත් බෙල්ලන් විශේෂය ජීවත් වන ජලතාප විවර ආශ්‍රිත ප්‍රදේශ දෙකක් සඳහා අදාළ පාර්ශවවලට කැණීම් බලපත්‍ර ලැබී ඇති හෙයින්, ඉදිරියේ දී විනාශය තවත් තීව්‍ර වනු ඇති. අතිශය සංවේදී වූ මේ පරිසර පද්ධතිය එක් කැණීම් වාරයකින් පවා සම්පූර්ණයෙන් විනාශ විය හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවනවා.

ස්කේලි-ෆූට් ස්නේල් ඇතුළු ජලතාප විවර ආශ්‍රිත ව ජීවත් වන අනෙකුත් සතුන් රැක ගැනීම සඳහා කැණීම් කටයුතු කරන්නන්ට එරෙහි වීමට පවා විඳ්‍යාඥයන් කටයුතු කරනවා. ජෛව විවිධත්වයට ඇති විය හැකි බලපෑම් පිළිබඳ ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුම්වත් කිරීමටත් ඔවුන් කටයුතු කරමින් සිටිනවා.

🔔 on Twitter: "#Endangered #ScalyFootSnail #DeepSeaMinning  #ChrysimallonSquamiferum The First animal listed on the International Union  for Conservation (IUCN) of Nature's Red List of Endangered Species - 'SCALY  FOOT SNAIL' due to deep-sea
අතිශය සංවේදී වූ මේ පරිසර පද්ධතිය එක් කැණීම් වාරයකින් පවා සම්පූර්ණයෙන් විනාශ විය හැකියි – Twitter.com

ජලතාප විවර ආශ්‍රිත ව සින්ක්, රත්‍රන්, කොබෝල්ට්, ලිතියම් අඩංගු වටිනා ඛනිජ රැසක් තිබෙනවා. ගැඹුරු මුහුදේ ලෝහ සහ ඛනිජ නිස්සාරණය කිරීම තාක්ෂණිකව සහ ආර්ථිකමය වශයෙන් තවමත් එතරම් ලාභදායී නොවූවත්, දිනෙන් දින ක්ෂය වන ස්වභාවික සම්පත් හමුවේ සමාගම් මුහුද වෙත තම අවධානය යොමු කරමින් සිටිනවා. අවධානය තරමට ම සුදුසු තාක්ෂණය දියුණු කිරීමටත් ඔවුන් උපරිම ශක්තිය යොදවනවා. ඒ අනුව ස්කේලි-ෆූට් ස්නේල්ගේ ප්‍රබලත ම සතුරා නුදුරේදී ම ප්‍රහාරය දියත් කරනු ඇති.

ජලතාප විවර ආශ්‍රිත ව ජීවත් වන යෝධ ටියුබ් පණුවන් ගැන ලිපියත් මෙතනින් කියවන්න.

 

කවරයේ ඡායාරූපය: ස්කේලි-ෆූට් ස්නේල්- www.wired.com

මූලාශ්‍ර:

www.smithsonianmag.com

www.wired.com

www.australiangeographic.com.au 

Related Articles