Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සහකාරිය වෙනුවෙන් සටන් කරන කොමෝඩෝ මකරා

කොමෝඩෝ දූපත

“පුලෝ කොමෝඩෝ” යනුවෙන් ඉන්දුනීසියානුවන් හඳුනාගන්නේ කොමෝඩෝ දූපත යි. කුඩා දූපත් 17,508කින් සමන්විත වන ඉන්දුනීසියාවට අයත්වන තවත් එක් දූපතකි, මෙය. මෙය මකරුන් සඳහා ම වෙන් වුණු මකරුන්ගේ රජ දහනක් වුවත්, මෙහි පදිංචි ව සිටින්නේ නම් ඔවුන් පමණක් නොවේ. මේ දුපත තුළ මිනිසුන් ද වාසය කරයි. නමුත් ඒ බොහෝම සුළු පිරිසක්.

අපරාධකරුවන් පිටුවහල් කරන සිර කඳවුරක් ලෙස ය අතීතයේ මේ දුපත තිබී ඇත්තේ. වර්තමානයේ මෙහි ජිවත් වන ජනයා එකී අපරාධකරුවන්ගෙන් පැවත එන්නන් බව යි සඳහන් වන්නේ.

කොමෝඩෝ දූපත තුළ ඔවුන් සහ මකරුන් පමණක් නොව, කුළු හරක්, මුවන්, මී මින්නන්, ගෝනුන් ආදී සතුන් ද ජිවත් වනු දැකගත හැකියි. ඒ අනුව මෙය ද ජීවයෙන් පිරුණු දූපතක්.

කොපමණ සතුන් මෙහි වාසය කළත්, මෙය මකරුන්ගේ නිවහන යි. මිහිමත වාසය කරන විශාලතම උරගයා වන කොමෝඩෝ මකරුන්ගේ නිවහන මෙය යි.

කොමෝඩෝ මකරා

කොමෝඩෝ දුපත තුළ කොමෝඩෝ මකරුන්ගේ ගහනය 2,000ක් පමණ ය. අප රට තුළ ද බහුල ව දැකගත හැකි කබරගොයා, තලගොයා ආදීන්ගේ කුලයට අයත් වන මේ මකරා ද උරගයෙක්. හොඳින් වැඩුණු කොමෝඩෝ මකරෙක්ගේ බර රාත්තල් එකසිය පනහ (150) ඉක්මවයි. දිග අඩි දහයකට (10) වඩා වැඩි ය. බිහිසුණු පෙනුමක් ගන්නා මොවුන් ඇත්තෙන්ම ප්‍රචණ්ඩ ගති ස්වභාවයෙන් යුක්ත යි.

news.com.au

උරග විශේෂයක් වන කොමෝඩෝ මකරුන් චලතාපි ජීවින් ය. අචලතාපී ක්ෂීරපායි මාංශ භක්ෂකයන්ට මෙන් නොව, චලතාපි කොමෝඩෝ මකරුන් හට අවශ්‍ය වන ආහාර ප්‍රමාණය සීමිත යි. ඒ අනුව එක ගොදුරක් එක මකරෙකුට මාස ගණනාවකට ම සෑහේ. මේ නිසයි වසර මිලියන හතරක් තිස්සේ හුදෙකලා වුණු දුපතක් වූ කොමෝඩෝ දුපතේ ආධිපත්‍යය පැතිරවීමට මොවුන්ට හැකියාව ලැබී ඇත්තේ.

ගොදුරු දඩයම් කරන අලුත්ම ක්‍රමය

කොමෝඩෝ දුපත තුළ ආධිපත්‍යය පතුරුවන ප්‍රධානම සත්ත්වයා වන්නේ කොමෝඩෝ මකරා යි. කොමෝඩෝ මකරා අනෙක් විලෝපිකයන් මෙන් නොව, ගොදුරක් දඩයම් කරගැනීම සඳහා අනුගමනය කරන්නේ වෙනස් ම ක්‍රමවේදයක්.

youtube.com

අනෙක් මාංශ භක්ෂකයන් මෙන් නොව, කොමෝඩෝ මකරා ගොදුරක් දුටු විගස ක්ෂණයෙන් ක්‍රියාත්මක වී ගොදුර වෙත කඩා පනින්නේ නැහැ. ඉතා සෙමින් ගොදුර වෙත ළඟා වන කොමෝඩෝ මකරා එක්වරක් ගොදුර සපා කෑම පමණි සිදු කරන්නේ. ඉන්පසු ව ගොදුර පලා ගියත් කොමෝඩෝ මකරා නොවෙයි කලබල වන්නේ. සෙමෙන් ගොදුර පසුපසින් ගමන් කරන මකරාට ප්‍රාණය නිරුද්ධ වූ ගොදුරයි හමුවන්නේ. එයට හේතුව වන්නේ කොමෝඩෝ මකරාගේ ඛේටය අධික විෂ සහිත වීම යි. ගොදුර සපා කෑමේ දී මකරාගේ විෂ සහිත වූ ඛේටය ගොදුරේ තැවරීමෙන් ඒ විෂෙන්ම සත්ත්වයා මියයයි.

සහකාරිය වෙනුවෙන් ය, සටන්

කොමෝඩෝ මකරාගේ ප්‍රධාන අවශ්‍යතාව ආහාර නොව, සහකාරියකි. නමුත්  කොමෝඩෝ මකරුන් සියල්ලන්ට ම සෑහෙන පරිදි කොමෝඩෝ මකරුන්ගේ ගැහැණු සත්ත්වයන් නම් මෙහි ඇත්තේ නැත. මෙය යි, සටනට මුල.

කෙසේ හෝ කොමෝඩෝ මකරුන් අතර වන ශක්තිවන්තයන්ට පමණි, තම වර්ගයා බෝ කිරීමේ අවස්ථාව හිමි වන්නේ. ඒ අනුව කොමෝඩෝ ගැහැණු සත්ත්වයෙකු වෙනුවෙන්  සටනකි පවතින්නේ.

කොමෝඩෝ ගැහැණු සත්ත්වයෙක් දකින කොමෝඩෝ මකරුන් ඇය වෙත ඇදෙන්නේ ද ගොදුරක් කරා ලං වන්නා සේ සෙමිනි. එසේ ළඟාවන කොමෝඩෝ මකරා සිය දික් වූ දිව එළියට දමමින් ගැහැණු සතා වටා කැරකෙයි. ඇයගේ කැමැත්ත විමසීම යි එයින් සිදුකරන්නේ. ඇයගේ අකමැත්තක් නොමැති බව පෙනී යන්නේ නම් මීළඟට මකරා කරන්නේ සිය ශක්තිමත් නියවලින් ගැහැණු සත්ත්වයා ස්පර්ශ කර බැලීම යි. එයින් ද ගැහැණු සත්ත්වයාගේ අකමැත්තක් නොපෙනේ නම් ඇය සමග එක්වීමට යි කොමෝඩෝ මකරා උත්සාහ කරන්නේ.

mpouzou.gr

නමුත්, කිසිදු විටෙක කොමෝඩෝ මකරෙකුට එසේ පහසුවෙන් කොමෝඩෝ ගැහැණු සත්ත්වයෙක් හා එක්වීමේ හැකියාවක් ඇත්තේ නැහැ. එසේ එක්වීමට පෙර ඒ ස්ථානයට අනිවාර්යයෙන් පැමිණෙන තවත් ශක්තිමත් මකරෙක් වෙයි. ඒ අනුව ගැහැණු සත්ත්වයා කැමැත්ත පෙන්නුම් කළත්, ඒ සඳහා එසේ එක් වී වර්ගයා බෝ කිරීමට කොමෝඩෝ මකරුන්ට හැකියාවක් නැත. ශක්තිවන්තයා සෑම විටෙකම ජය ගන්නා අතර ශක්තිවන්තයාගේ බසට අවනත වීමට ගැහැණු සත්ත්වයාට ද සිදුවෙයි.

ගැහැණු සත්ත්වයන් වෙනුවෙන් කොමෝඩෝ මකරුන් සිදුකරන සටන අතිශය බිහිසුණු ය. සිරුරුවල හැපෙමින්, බාවෙන් පහර දෙමින් ඔවුන් අතිභයානක ලෙස සටන් කරයි. බාවෙන් එල්ලවන පහර ඇති බිහිසුණු ය. ඉන් අනෙකාට සිදුවන හානිය ද අතිමහත් ය. ප්‍රබලයා විසින් දුබලයා කෙසේ හෝ බිම දමා පරාජය කර ශක්තිවන්තයා ජය ගනී.

youtube.com

බොහෝ විට මෙවැනි සටන් මිනිත්තු විස්සක (මිනි. 20) පමණ කාලයක් එක දිගට සිදුවෙයි. එවැනි බිහිසුණු සටනකින් අනතුරුව ලේ පෙරාගත් කොමෝඩෝ මකරුන් දෙදෙනාව දැකගත හැකි වන අතර, දුබලයා යටත් වෙයි.

ඒ අනුව ගැහැණු සත්ත්වයා සමග එක්වීමේ සහ තම වර්ගයා බෝ කිරීමේ හැකියාව ලැබෙන්නේ ශක්තිවන්තයාට යි. මේ නිසා ප්‍රබල පිරිමි සත්ත්වයෙකු සමග ම සෑම විටෙක ම එක්වන ගැහැණු සත්ත්වයා, සෑම අවස්ථාවක ම බිහි කරන්නේ ශක්තිමත් පැටවෙකි. ශක්තිමත් පරම්පරාවකි.

 

කවරයේ පින්තූරය:  youtube.com

මූලාශ්‍රයයන්:

nationalzoo.si.edu

nationalgeographic.com

mnn.com

livescience.com

Related Articles