Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාව පවා ඒ තුල ගිල්වා දැමිය හැකි සුපීරියර් විල

ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව යන රටවල් ද්විත්වයේම භූමි වපසරියෙන් සැළකිය යුතු තරමේ ඉඩක් ගන්නා මහා ජල තලයන් වන පංච මහා විල් වලට අයත් හ්‍යුරන්, හා මිචිගන් යන විල් පිළිබඳව අපි පසුගිය ලිපි වලින් සාකච්ඡා කළා. පංච මහා විල් වල සාමාජිකයන් අතරින් විශාලත්වයෙන් වැඩිම සාමාජිකයා වන, මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එන, සුපීරියර් විල පිළිබඳවත් ඒවාට නොදෙවනි රසබර තොරතුරු ගණනාවක්ම භූගෝල විද්‍යා හා සාමාන්‍ය දැනුම සොයා යන්නෙකුට හඳුනාගත හැකියි. පංච මහා විල් වලින් පමණක් නොව ලෝකයේම පිහිටා ඇති මිරිදිය විල් අතුරින් විශාලතම වපසරියට හිමිකම් කියන සුපීරියර් විල තුල මුළු ශ්‍රී ලංකාවම පහසුවෙන් ගිල්විය හැකි වීම එහි විශාලත්වය පිළිබඳ ශාක්ෂි සපයනවා.

සුපීරියර් විල පිළිබඳ හැඳින්වීම

සුපීරියර් විල වර්ග කිලෝමීටර 82,100 ක් තරම් විශාල වූ යෝධ ජල තලයක්. මෙහි ඝණ කිලෝමීටර 12,100 ක් තරම් විශාල ජල කඳක් රැඳී පවතිනවා. කිලෝමීටර 4,385 ක ඉතා දීර්ඝ වෙරළ තීරයකට හිමිකම් කියන සුපීරියර් විලේ දිග කිලෝමීටර 563ක් වන අතර පළල කිලෝමීටර 257ක් දක්වා වෙනවා.

tes.com

සුපීරියර් විල වපසරියෙන් මෙන්ම ගැඹුරෙනුත් සැළකිය යුතු තරම් වැඩි විලක්. මෙහි ගැඹුරින් වැඩිම ස්ථානය මීටර 406ක් පමණ වෙනවා. මේ වැඩි ගැඹුර නිසා ඉතා දරුණු ශීත කාලයකදී වුවද සම්පූර්ණයෙන් මෙය මිදී යාම සිදු වන්නේ ඉතාම කලාතුරකින්.

බහුතරයක් මහා විල් මෙන් නොව සුපීරියර් විල ඉතාම පිරිසිදු ජලයට ප්‍රසිද්ධියක් උසුළනවා. මෙම විලේ ජල තලය සාමාන්‍ය වශයෙන් මීටර 8.2 ක් දක්වා ගැඹුරකට විනිවිද දැකිය හැකියි. යම් හෙයකින් මේ විල සම්පූර්ණයෙන් හිස් කළහොත් යලි සම්පූර්ණයෙන් පිරී යාමට වසර 200කට ආසන්න කාලයක් ගත වේ යැයි පැවසෙනවා.

සුපීරියර් විලේ පිහිටීම

සුපීරියර් විල පංච මහා විල් අතුරින් උතුරින්ම පිහිටා ඇති විලයි. මෙය ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් ප්‍රාන්තයේ උතුරු සීමාවේ පිහිටා තිබෙනවා. සුපීරියර් විල මිචිගන් ප්‍රාන්තයේ උතුරු පෙදෙසේ සිට මිනෙසෝටාවේ නැඟෙනහිර සීමාව දක්වාම විහිදෙනවා. ‘සුපීරියර්’ යන නාමයෙන් මෙහි විශාලත්වය හැඟවෙන අතර එය උතුරින්ම පිහිටා ඇති මහා විල බවත් හැඟවෙනවා.

සුපීරියර් විල දැක්වෙන සිතියමක් -lakesuperiormagazine.com

සුපීරියර් විල් ජලයේ උෂ්ණත්වය

අන් සියළු මහා විල් මෙන්ම සුපීරියර් විල හා අවට ප්‍රදේශත් විශාල වීල් නිසා ඇති වන දැඩි හිම පතනයෙන් (Lake effect snow ) පීඩා විඳිනවා. ඒ කෙසේ නමුත් මේ අවට සාමාන්‍ය දේශගුණය සෞම්‍ය ලෙස පවතිනවා. සුපීරියර් විල තදාසන්න භූමි ස්කන්ධ වල දේශගුණික උෂ්ණත්වය වසර පුරාම අනෙකුත් සමාන අක්ෂාංශික ප්‍රදේශ වලට වඩා වැඩි අගයක් ගන්නවා. උතුරින් පිහිටා තිබුණත් ශීත ඍතුවේදී පවා මේ අවට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 34 (-34) ට වඩා අඩු වන්නේ ඉතාම කළාතුරකින්. ජුනි හා ජූලි මාස වල සුපීරියර් විල් තලය බොහෝ කොටම නිසංසල වන අතර ඔක්තෝබර් හා නොවැම්බර් මාස වලදී එය සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී චණ්ඩ සුළි කුණාටු වැනි දේ ඇති වෙනවා.

මිදී ගිය සුපීරියර් විල- mprnews.org

බොහෝ ශිශිරයන් වලදී සුපීරියර් විල 40% සිට 95% දක්වා අයිස් වලින් වැසී යනවා ඒ කෙසේ වෙතත් එය සම්පූර්ණයෙන්ම මිදී යන අවස්ථා නැති තරම්. 2014 වසරේදී මේ විල 91% ක් දක්වා මිදී ගියා. ඒ 1979 වසරේ සිට එය මිදී ගිය වැඩිම ප්‍රතිශතයයි. මෙසේ විල් මිදී යාම ගැන ඇමෙරිකානු හා කැනේඩියානු රජයන් අවධානයෙන් සිටින්නේ එය ජල විදුලි බල උත්පාදනයට බලපෑම් කරන නිසායි. මීට අමතරව එය නැව් ගමනාගමනයටද, ධීවර කර්මාන්තයටද බලපෑම් එල්ල කරනවා.

ශීත ඍතුවේදී සුපීරියර් විලෙහි සාමාන්‍ය ජල උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.4ක් පමණ වෙනවා. මේ අගය අනෙක් සියළුම මහා විල් වලට වඩා අඩුයි. ග්‍රීෂ්මයේදී මේ විල් ජලයේ සමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.8ක් වන අතර 2010 වසරේදී මේ අගය සෙල්සියස් අංශක 20.4 ක තරම් වාර්තාගත විශාල අගයක් ගත්තා.

සුපීරියර් විලෙහි සම්භවය හා ඉතිහාසය

සුපීරියර් විල සම්භවය වීමට පදනම වැටී තිබෙන්නේ මීට වසර බිලියන 1.2 කට පමණ පෙර උතුරු ඇමෙරිකානු මහාද්වීපයේ ඇති වූ පැල්මක් නිසායි. මේ ඉලිප්සීය පැල්ම කැන්සාස් හා මිනෙසෝටා ප්‍රාන්ත වල විහිදී තිබුණු අතර ක්‍රි.පූ 8000 දී පමණ මිනිසුන් මෙහි පැමිණ තිබෙනවා. ඒ වන විට මේ ප්‍රදේශය වසා තිබුණු ග්ලැසියරය දිය වී සුපීරියර් විල සම්පූර්ණයෙන්ම පාහේ අද තිබෙන තත්වයට පත් වී තිබුණා. ක්‍රි.පූ 500 පමණ වන විට ස්වදේශික ජනයා මේ විල ලෝහ හා වෙනත් වෙළඳ භාණ්ඩ ප්‍රවාහනයට යොදාගෙන තිබුණා. ක්‍රි.ව 1600 පමණ වන විට මෙහි පදිංචිව සිටි ඔජිබ්වේ ගෝත්‍රිකයින් විසින් මෙහි ඇති මැඩලින් දූපතේ විශාල ජනාවාසයක් ඇති කරගෙන තිබුණා.

17 වන සියවසේ මැද භාගය වන විට මේ විලත් ඉටියෙන් බෲල් හා සැමුවෙල් ඩෙ චැම්ප්ලේන් විසින් යුරෝපීයයන් වෙනුවෙන් සොයාගන්නවා. මොවුන් දෙදෙනා ප්‍රංශ ජාතිකයන් වූ නිසා මේ විල lac supérieur නමින් නම් කළා. එහි අර්ථය වන්නේ ‘ඉහළින් පිහිටි විල’ යන්නයි. එසේ නම් කිරීමට හේතුව මෙය මොවුන් විසින් මුලින්ම හඳුනාගත් හ්‍යුරන් විලට උතුරින් පිහිටා තිබීමයි.

සුපීරියර් විල යටත්විජිත සමයේදී සම් කර්මාන්තය වෙනුවෙන් ප්‍රවාහනය සැපයූ ප්‍රධාන මාධ්‍යයක් වුණා. අදටත් මේ විල ඉතාම කාර්යක්ෂම ප්‍රවාහන මාධ්‍යයක් ලෙස භාවිතයට ගැනෙනවා.

එඩ්මන්ඩ් ෆිට්ස්ජෙරල්ඩ් නෞකාව- wahpetondailynews.com /Roger LeLievre

සුපීරියර් විලෙහි තැනින් තැනට වෙනස් වන ගැඹුර හා නිතර වෙනස්වන සුළු කාලගුණය නිසා නාවික අනතුරු බහුළව සිදුවන තැනක්. පෙර ලිපියක සඳහන් කරන ලද එඩ්මන්ඩ් ෆිට්ස්ජෙරල්ඩ් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාව 1975 වසරේදී චණ්ඩ මාරුතයකට හසුව ගිලී ගියේ සුපීරියර් විලෙහි යාත්‍රා කරමින් සිටියදීයි.

සුපීරියර් විල හා ඒ අවට ජීවය

සුපීරියර් විල ට්‍රෞට්, සැමන් හා කාප් වැනි මසුන් වර්ග 80 කට පමණ නවාතැන් සපයනවා. මීට අමතරව සුපීරියර් විල හා ඒ අවට පෙදෙස් වල ආවේණික ශාක විශේෂ රාශියක්ම හමු වනවා. මේ අතරට මිචිගන් ප්‍රාන්තයේ ජාතික වෘක්ෂය වන සුදු පයින් ගස හා ෆ්ලවරින් රෂ් (Flowering Rush) නැමති මල් හටගන්නා ජලජ ශාකයත් අයත් වෙනවා. සුපීරියර් වෙරළ තීරය අවට විවිධ ඕකිඩ් වර්ග 60ක් පමණ දැකිය හැකියි.

සුදු පයින් – gardeningwithcharlie.com

ෆ්ලවරින් රෂ්-kingcounty.gov

අනෙක් මහා විල් මෙන්ම සුපීරියර් විලත් පක්ෂීන් වර්ග රාශියකට නවාතැන් සපයනවා මෙහි ඔබ මොබ සැරිසරන උකුස්සන්, බකමූණන් හා කොට්ටෝරුවන් වැනි සතුන් ඒ තරම් දුලබ දසුනක් නොවේ. සුපීරියර් විලේ උතුරු වෙරළේ පිහිටා ඇති ඩුලුත් හි Hawk Ridge නම් ස්ථානයේදී සරත් ඍතු සංක්‍රමණ සමයේදී ගොදුරු සොයා ගැනීමට පැමිණෙන පක්ෂීන් 10,000ක් පමණ දැකිය හැකි වෙනවා.

Whooping Crane-huffingtonpost.com

සුපීරියර් විල අවට තර්ජනයට ලක්ව සිටින Whooping Crane නම් කොක් විශේෂයද සුළු වශයෙන් දැකිය හැකියි. 2017 වසර වන විට මොවුන් මුළු උතුරු ඇමරිකාවේම සිටියේ 483ක් පමණක් බවට ගණන් බලා තිබෙනවා.

මේ ලිපියත් සමඟ පංච මහා විල් පිළිබඳව අප විසින් ඔබ වෙත ගෙන එන තවත් ලිපියක් නිමාවට පත් වෙනවා.

(කවරයේ පින්තූරය- Matt Silverness)

Related Articles