කි. මී. 3.8ක දිගින් යුත් ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා

ලොව වෙසෙන විශාලතම ජීවියා කවුරුන්දැ යි කිසිවෙක් ඇසුවහොත් නිතැතින් ම බොහෝ දෙනෙක් පවසන්නේ ‘නිල් තල්මසා’ යන්න යි. එමෙන්ම ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා කවුදැ යි යන පැනයට බොහෝ විට ලැබෙන පිළිතුර ‘අප්‍රිකානු අලියා’ යන්න යි. තවත් සමහරෙකුට ‘ජීවීන්’ යනු සත්ත්වයින් ම නොවන බව මතක් වී කැලිෆෝනියානු රෙඩ්වුඩ් ගස සිහිකිරීම ද සිදුවිය හැකියි.

මහා සාගරයේ වෙසෙන ජීවීන්ගෙන් බහුතරයක් අද වන විටත් මිනිස් ප්‍රජාව විසින් හඳුනාගෙන නැහැ. එමෙන්ම මහා සාගරයේ ඇති සුවිශාල බව නිසා ම ලොව විශාලතම ජීවියා මිනිස් ඇස නොගැටී සාගර පතුලක ජීවත් ව සිටින්නට සෑහෙන දුරක ඉඩකඩක් නොතිබෙන්නේයැ යි කිසිවෙකුට කිව නොහැකියි. ඕස්ට්‍රේලියාවේ මහා බාධක පරය ලොව විශාලතම ජීවියා ලෙස සමහරු හඳුන්වනු ලබන අතර ඒ පිළිබඳ ව යම් යම් මතවාද ද තිබෙනවා. ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා පිළිබඳ ව ඒ තරමට ම මතවාද ගොඩනැගී නැත්තේ ගොඩබිමින් සෑහෙන කොටසක් මිනිසා විසින් ගවේෂණය කර තිබෙන නිසා යි. කෙසේ නමුත් ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා ලෙස සැලකෙන්නේ බොහෝ දෙනා අපේක්ෂා කරන පන්නයේ ජීවියෙකු නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ ‘ජීවත් වන’ දිලීරයක් ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා ලෙස හඳුනාගෙන තිබෙනවා.

‘හනී ෆංගස්’

ලොව තැනින් තැන විවිධාකාර බිම්මල් වර්ග හමුවෙනවා. මේවායේ මයිසීලියම භූගත ව වැඩී තවත් තැනෙකින් මතුවීම සිදුවෙනවා. එක්වර ම දිලීර දෙකක් ලෙස පෙනුණත් ඇත්තෙන් ම මේ එක ම දිලීරයකින් හටගත් ඒවා වෙනවා. මේ අනුව බලන කල අප්‍රිකානු අලියා හා රෙඩ්වුඩ් ගසටත් වඩා විශාල දිලීර කිහිපයක් ම ලොව පුරා විසිරී තිබිය හැකියි.

Armillaria වර්ගයේ හතු

ආහාරයට ගත හැකි හතු වර්ග සහිත Armillaria ගණයට අයත් සමහර හතු වර්ග සමස්ථයක් ලෙස ‘හනී ෆංගස්’ හෙවත් ‘පැණි දිලීර’ ලෙස හඳුන්වනවා. මෙයට මේ නාමය ලැබී ඇත්තේ එයින් පැන නගින බිම්මල ‘පැණිවලින් ගැවසීගත්’ ස්වරූපයක් පෙන්වන නිසා යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්‍රාන්තයේ තැනින් තැනත් මේ ආකාරයේ ‘හනී ෆංගස්’ ලෙස හඳුන්වන දිලීර විසිරී තිබෙනවා. ඔරිගන් ප්‍රාන්තයේ බ්ලූ මවුන්ටන් නම් ප්‍රදේශයේ මේවා වැඩි වශයෙන් දැකිය හැකියි.

මේ දිලීර වර්ග ඉතා විශාල ලෙස භූගත ව පැතිරෙන්නට හැකියාවක් දරනවා. මේවායින් පිපෙන හතු කහ, දුඹුරු පැහැති කළඹ ලෙස දැකිය හැකි අතර ඉක්මනින් හා විශාල ලෙස විහිදෙන මයිසීලියම් පද්ධතියක් සහිත නිසා මර්දනය කිරීමත් අපහසු යි.

මේ වර්ගයේ දිලීර සාමාන්‍යයෙන් මිනිසාට රෝග පැතිරවීම හෝ විෂ වීම වැනි සංසිද්ධි සිදු නොකළත්, එය පැතිරෙන සීමාවේ ඇති ශාකවලට නම් අත්වන්නේ යහපත් ඉරණමක් නොවේ. ඝණාවාස ලෙස පීදී විශාල ගස්වල මූල පද්ධතියට සමූර්ණයෙන් ම පැතිරී ඒවා මුළුමනින් ම විනාශ කර දමා එම ශාකය මරණයට පත් කිරීමට මේ දිලීර දක්වන්නේ සුවිශේෂී හැකියාවක්.

මැල්හියර් වනය කැළඹූ දිලීරය

ඇමෙරිකාවේ ඔරිගන් හි මැල්හියර් ජාතික වනය තුළ එක්වර ම විශාල ගස් මිය යාමට පටන්ගත්තා. 1998 වන විට එම තත්ත්වය ඉතා දරුණු වූ අතර මෙයට හේතුව වහා ම සොයා යාමට විද්‍යාඥයින්ට සිදු වුණා. ගුවන් මඟින් ලබාගත් ඡායාරූප ඔස්සේ සිය ගවේෂණ කටයුතු ආරම්භ කළ ඔවුන් ඉකමනින් ම යම් යම් ප්‍රදේශ කේන්ද්‍රගත කරගෙන වැඩි වශයෙන් ශාක මියගොස් ඇති බැව් සොයාගත් අතර මියගිය ශාක 112ක මුල්වලින් සාම්පල ලබාගත්තා. එහි දී අනාවරණය වූයේ එම ශාකවලින් 4ක් හැර අන් සියල්ල ම මියගොස් ඇත්තේ ‘හනී ෆංගස්’ වර්ගයට අයත් Armillaria solidipes නම් දිලීර විශේෂයක් නිසා බව යි.

මැල්හියර් ජාතික වනය- pinterest.com

මේ විශේෂයේ දිලීරවලට සුවිශේෂී හැකියාවක් තිබෙනවා. ජානමය වශයෙන් සර්වසම මයිසීලියා දෙකක් එකට හමු වූ විට ඉතා ඉක්මනින් නව දේහ තැනීමට ඔවුනට හැකියි. තමන් ලබාගත් සාම්පල ඔස්සේ පර්යේෂණ දියත් කළ විද්‍යාඥයින් පෙට්‍රි දීසිවල ඒවායේ තිබූ දිලීර වගා කර එකිනෙක පෑහෙන හා නොපෑහෙන දිලීර මයිසීලියම් වෙන් කොට හඳුනාගත්තා. එහි දී අනාවරණය වූයේ දිලීර නිසා මියගිය ශාක 108න් 61 ක්ම මියගොස් ඇත්තේ ජානමය වශයෙන් එකිනෙකට සර්වසම දිලීර වර්ධනය වීම නිසා බව යි. වෙනත් වදන්වලින් පැවසුවහොත් එක ම ජීවියෙකුගෙන් සම්භවය වන මයිසීලියම නිසා මේ ශාක 61 විනාශ වී ඇති බව යි.

ගොඩබිම විශාලතම ජීවියා හඳුනාගැනේ

විද්‍යාඥයින් මෙලෙස එක ම දිලීරය නිසා විනාශ වී ගිය ශාක පැතිරී තිබූ ආකාරය අධ්‍යයනය කළ අතර, එහි දී දැනගැනීමට හැකි වූයේ ඒවා ඉතා විශාල ප්‍රදේශයක පැතිරී තිබෙන බව යි. මේ අනුව අනාවරණය වූයේ මේ දිලීරය කි. මී. 3.8ක උපරිම දිගකින් යුක්ත ව ව. කි. මී. 9.6ක ප්‍රමාණයක විහිදී පැතිරී තිබෙන බව යි. එමෙන්ම මෙය වසර 1,900 සිට 8,650 අතර කාලයක වයසකින් යුතු බව ද තීරණය කෙරුණා. සමස්ථයක් ලෙස ගත් කල්හි මෙහි බර ටොන් 7,500 සිට 35,000 දක්වා වෙතැ යි ඇස්තමේන්තු කෙරුණු අතර එය විශාල තල්මසුන් 200ක පමණ බරක් වෙනවා. මේ අනුව මේ දිලීරය ගොඩබිම වෙසෙන විශාලතම ජීවියා ලෙස තීරණය කෙරුණා.

පසුවදන

දිලීරය හේතුවෙන් විනාශ වූ ගසක්- Vince Patton /OPB

මේ දිලීරය ඔරිගන් ප්‍රාන්තයට හොඳ ප්‍රසිද්ධියක් ගෙනාවත් ඒ අවට වෙසෙන වැවිලිකරුවන් ඇතුළු ජනතාව නම් මේ පිළිබඳ ව පසුවන්නේ යම් අමනාපයකින්. විශාල දිලීරයක් වුවත් එය වැඩිමනක් ම භූගත ව වැඩීමත්, වසරේ වැඩි කාලයක් බිම්මල් වැනි දේහ නොපෙන්වා සුදු පැහැති තුනී ස්ථරයක් ලෙස වැඩීමත් යන කරුණු නිසා මෙහි මූලයන් සොයා මර්දනය කිරීම අපහසු වී තිබෙනවා. මෙය වෙළාගන්නා ඕනෑ ම ශාකයක් ඉතා සෙමින් මරණය කරා ළඟා වන අතර බොහෝ විට රෝග ලක්ෂණ පෙන්නුම් කරන විට ඒවා මුදාගත නොහැකි තත්ත්වයට පත් වී තිබෙනවා. මේ නිසා මෙහි වගාවන් කරන ජනතාවට තමන්ගේ ශාක හා මල් වර්ග පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින්නට සිදුවෙලා.

විද්‍යාඥයින් මෙය හඳුනාගත් දා සිට ඒ පිළිබඳ ව විවිධ පර්යේෂණ සිදුකරනවා. මේවායේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ මේ දිලීරයට ප්‍රතිරෝධයක් දක්වන ශාක වර්ග හඳුනාගෙන ඒවායේ වර්ධනය ප්‍රවර්ධනය කිරීම යි. නමුත් එම උත්සාහයන් සිතූ තරම් සාර්ථක වී තිබෙනවා ද යන්න විවාදිත යි.

කවරයේ පින්තූරය: Armillaria solidipes විශේෂයට අයත් දිලීරයක් – Arterra Picture Library / Alamy

මූලාශ්‍රයයන්:

bbc.com

Nationalgeographic.com.au

opb.org

Related Articles