Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සොබාදහමේ අමිල සහජීවනය: ලයිකන

එදිනෙදා ජීවිතයේ, එකිනෙකා අතර තිබිය යුතු සහයෝගීතාව ගැන අපි කොතෙකුත් කරුණු කාරණා කතාබහ කරනවා ද? සහයෝගය, ඇතැම් විට එකිනෙකා අතර අන්‍යොන්‍ය සබඳතාවක් ලෙස එකිනෙකාගේ ජීවිත හා බැඳී පවතින්නකි. නමුත් අද කතා කරන්න යන්නේ මිනිසා අතර ඇති අන්‍යොන්‍ය සහසම්බන්ධතා ගැන නම් නෙවෙයි, සොබාදහමේ අපූරු බැඳීමක් ගැන ය. ඒ, ලයිකන යි.

ගොඩනැගිලි පෘෂ්ඨයක් මතුපිට වැඩුණු වර්ණවත් ලයිකන/Jeffrey Hamilton

මොනවද මේ ලයිකන කියන්නේ?

“ලයිකන”. ඇතැම් අයට මෙම වචනය හුරුපුරුදු වන්නට ඇත. අන් සමහරුන්ට නම් මෙය කුමක් ද යන්න ගැන පවා අදහසක් නැතිවා වන්නට හැකියි. වසර මිලියන 400කට පෙර පෘථිවියේ පහළ වූවායැ යි සැලකෙන, මිහිමත ඇති ඉතා විශ්මයජනක සහජීවන ජීවී සංගමයක් ලෙස තමයි ලයිකන හඳුන්වා දිය හැක්කේ. දිලීර හා ඇල්ගී යන ජීවී කාණ්ඩයන් දෙක එකිනෙකා අතර සහජීවී සංගමයක් ලෙස ඇති කරගන්නා වූ ව්‍යුහයකි ලයිකන. ඔවුන් අන්‍යොන්‍ය වශයෙන් තම තමන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරාගනු ලබයි. 

ලයිකනවල විශේෂත්වයක් වන්නේ ඒවාට, පර්වත, වෘක්ෂ ආදිය මෙන්ම මිහිමත ඕනෑම ස්ථානයක පවා වැඩෙන්නට හැකිවීම යි. ඒවා බොහෝවිට විවිධ වර්ණයන්ගෙන්, හැඩයන්ගෙන්, ප්‍රමාණයන්ගෙන් මෙන්ම විවිධ ස්වරූපයන් ද පෙන්වනු ලබයි. කොළ, අළු, තැඹිලි, හා කහ පැහැති ලයිකන බහුල වශයෙන් දැකිය හැකි අතර අනෙකුත් වර්ණවලින් ද හැඩ ගැන්වෙයි. ඇතැම් විට මෙම වර්ණය පරිසර තත්ත්වය මත වෙනස්වෙයි.

විවිධ වර්ණයන්ගෙන් යුතු ලයිකන/Alexey Melechin

ලයිකන, එය වැඩෙන උපස්තරය හරහා ඛනිජ පෝෂක අවශෝෂණය කරන අතර ඇල්ගී සෛල කොටස් මඟින් ප්‍රභාසංස්ලේෂණයෙන් කාබනික අහාර නිපදවාගනු ලබයි. එබැවින් ලයිකන ශාක මත වැඩෙන නමුත්, ශාක මත පරපෝෂිත ලෙස යැපෙන්නේ නැති නිසා ශාකවල පැවැත්මට එය බාධාවක් නොවේ. ඇතැම් පාෂාණමය මතුපිට ද ලයිකන වර්ධනය වීම මෙයට උදාහරණයක් ලෙස දැක්විය හැකිය.

කොහෙද මේ ලයිකන හැදෙන්නේ?

ලයිකන සැබවින්ම හැදෙන්නේ කොහේදැ යි ඇසීමට වඩා, ඒවා නොපවතින්නේ කොහේදැ යි ඇසීම සුදුසු ය. මන්දයත් ඒවා නොවැඩෙන තැනක් නැති තරම් නිසා ය. ඇස්කොමයිකෝටා පවුලේ දිලීරවලින් 40%ක පමණ විශේෂයන් ප්‍රමාණයක් ලයිකන ලෙස සහජීවනයෙන් බැඳී පවතී. උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා භෞමික වාසස්ථාන සියල්ලකම වාගේ, ඒ ඒ පරිසර තත්වයනට අනුගත වෙමින් වාසය කරන ලයිකන පවතියි. ලයිකන පෘථිවි පෘෂ්ඨයේ 8% පමණ ප්‍රමාණයක් ආවරණය කරමින් තම පැවැත්ම රඳවා ගැනීමට සමත් වී ඇති බව කැනඩාවේ ඔන්ටාරියෝහි ගෙල්ෆ් විශ්වවිද්‍යාලයයේ ජීවවිද්‍යා අංශයේ මහාචාර්ය ඩග්ලස් ලාර්සන් පවසා සිටියි.

ශාක කඳන් උපස්තරය කොට වැඩෙන ලයිකන/Tanya Kusova

ලයිකන වටිනවා ද?

ලයිකන වටිනවාදැ යි ඇසුවොත් ඔබ එය ගැන මහත් උනන්දුවක් යොමුකරනු ඇත. ඇත්තෙන්ම ලයිකනවල වටිනාකම මිල කළ නොහැකි තරම් ය. ලයිකන සොබාදහම වෙනුවෙන් ඉටුකරනා කාර්යයන් කීපයකි. පාෂාණ මත වැඩෙන ලයිකන වර්ග, පාෂාණ කොටස් වියෝජනයට ලක්කරමින් නව පාංශු කොටස් නිපදවීමට දායක වීම සොබාදහමේ සමතුලිතතාවය පවත්වා ගැනීමට ඉවහල් වී තිබේ. ඒනිසා පාරිසරිකමය වශයෙන් පාංශු ජනනයට මෙම ලයිකන වැදගත් වේ.

පාෂාණ මත වැඩෙන ලයිකන (හක්ගල උද්භිද උද්‍යානය)/Sanjeewa Pushpakumara

දැනට ලෝකයේ ලයිකන කාණ්ඩ 400ක් යටතේ විශේෂ 15000ක් පමණ හඳුනාගෙන ඇති අතර එයිනුත් තලසාකාර ස්වරූපයේ ලයිකන බහුල ලෙස දැකිය හැකිය. මේවා බොහෝවිට ශාක කඳන් මත, පොත්ත මත, දිරායමින් පවතින කඳන්/කොටන් මත ආදියේ දැකිය හැක. සෞම්‍ය කලාපයේ මෙන්ම ඝර්ම කලපයේත් දැකිය හැකි ලයිකන බොහෝවිට ස්වභාවික වනාන්තර පද්ධති ආශ්‍රිතව පැතිරී පවතී.

ලයිකන කාර්යක්ෂම ලෙස විවිධ සංඝටක අවශෝෂණය කිරීමේ හැකියාවෙන් යුක්තය. ඇතැම් විකිරණශීලී සංඝටක වන ස්ට්‍රොන්ටියම්(90 Sr) හා සීසියම් (137Cs) ආදිය අවශෝෂණය කිරීමට ලයිකනවලට හැකි ය. මෙම නිසා ලයිකන ස්වභාවිකව වායුගෝලය පවිත්‍ර කිරීමේ හැකියාවක් ඇති ජීවී කාණ්ඩයක් ලෙස හඳුන්වා දිය හැකිය. ලයිකන ලිංගික මෙන්ම අලිංගික ක්‍රම ඔස්සේ ද ප්‍රජනනය සිදුකරනු ලබයි. ඔවුන් ඉතාම සෙමින් වර්ධනය වන නිසා, බොහෝ කාලයක් වර්ධනය සඳහා ගතකරනු ලබයි. 

ශාක කඳක වැඩුණු තලසාකාර ලයිකන/Mar Nunez

ලයිකනවලින් ද්විතියික පරිවෘත්තිජයන් 700කට අධික ප්‍රමාණයක් නිස්සරණය කොට වෙන්කර ගෙන ඇති අතර ඒවා බොහොමයක් වෛද්‍ය විද්‍යාත්මකව වැදගත් වේ. බොහෝවිට මේවා පරිවෘත්තිය ශ්‍රාවයන් ලෙස නිපදවෙන අතර, සුවඳ විලවුන් කර්මාන්තයේ දී විශාල ලෙස මෙම ශ්‍රාවයන් භාවිතයට ගනු ලැබේ.

අනාගත ඉරණම

ලයිකන, ඉහළ විවිධත්වයකින් හා ඉහළ පරිවෘත්තිය ඵලදායිතාවයකින් පැවතුනත්, අහිතකර පරිසර තත්ත්වයනට යම්තාක් දුරට ඔරොත්තු දුන්නත්, පරිසර දූෂණයට ඉතාම ඉහළ සංවේදීතාවයක් පෙන්නුම් කරන ජීවී විශේෂයකි. ලයිකනවල අඛණ්ඩ පැවැත්මට බරපතල ලෙස තර්ජනයක් වී ඇත්තේ වර්තමානයේ පවතින වායු දූෂණය යි. ඒ හේතුකොට ගෙන වායු දූෂණ දර්ශකයක් ලෙස ලයිකන හඳුනාගැනේ.

ලයිකන/Minna Autio

මෑතකාලයේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම හා වායුගෝලීය සංඝටකමය වෙනස්වීම ලයිකනවල පැවැත්මට තර්ජනයක් ගෙන ඒමට සමත්වී තිබේ. මූලිකවම කර්මාන්තශාලා හා රථවාහනවලින් විමෝචනය කරන දුම් හේතුකොට ගෙන සිදුවෙන වායු දූෂණය ලයිකනවල පැවැත්මට ඉතා සංවේදී ලෙස බලපානා කරුණකි. අම්ල වැසි ඇතිවීම, කාලගුණික හා දේශගුණික තත්ත්වයන් කැපී පෙනෙන ලෙස වෙනස්වීම ලයිකනවල පැවැත්ම අනතුරකට ලක්කර ඇත.

මිනිසා විසින් මෑත කාලයේ සිදු කරනු ලැබූ හා කරමින් පවතින පාරිසරික විනාශය හමුවේ දිනකට සිය ගණනක් ජීවී විශේෂ මිහිතලයෙන් වඳවී, වැනසී යයි. වසර මිලියන ගණනක කාලයක් තිස්සේ පැවතුනු, සොබාදහමේ අමිල සබැඳියාව වූ ලයිකන ද තව කොතරම් කලක් මිහිමත ඉතිරි වී තිබේදැ යි කවුරුන්ට කිව හැකි ද? 

Cover: Science in the classroom

මූලාශ්‍රයයන්:

Joneson, S., and Lutzoni, F. (2009). Revisiting compatibility and thigmotropism in the lichen symbiosis. Symbiosis 47, 109–115.

Nash, T.H. (2008). Lichen Biology, Second Edition, (New York: Cambridge University Press)

Lutzoni F, Miadlikowska J (2009) Lichens. Current Biology 19: R502–R503.

Aptroot, Bull. Br. Lichen Soc. 96 (2005) 14–16.

Related Articles