Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වැඩිම කලක් ජීවත් වූ සුරතල් සතුන්

අපේ සුරතල් බල්ලා, බිළාලයා හෝ වෙනත් ඕනෑම සුරතල් සතෙක් අපි ඇතිදැඩි කරන්නේ ඉතා ආදරයෙන්. ඔවුන් වැඩිකල් ජීවත් වෙනවා දැකීම අපි සියළු දෙනාගේ ප්‍රාර්ථනය යි. කෙසේ නමුත් බල්ලෙකු හෝ බළලෙකු වසර 12 -15 කට එහා ජීවත් වනු වාර්තා වන්නේ ඉතාමත් කලාතුරකින්. අශ්වයෙකු වැනි සත්ත්වයෙකු සම්බන්ධයෙන් නම් ඒ කාලය වසර 20-25ක් පමණ වෙනවා. කාරණා මෙලෙස සිද්ධ වෙද්දී පෙර කී සාමාන්‍ය ආයුකාලය අභිබවා ඉතා වැඩි කාලයක් ජීවත් වූ සුරතල් සතු ඉතා අතළොස්සක් ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. මේ එවැනි වාසනාවන්තයින් තිදෙනෙකු ගැන තොරතුරු‍ යි.

වසර 62ක් ජීවත් වූ අශ්වයා – ඕල්ඩ් බිලී

Edmund L. Seyd

පෙර සඳහන් කළ පරිදි අශ්වයෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව වසර 25ක් පමණ වන අතර සමහර විටෙක ඊටත් වඩා වසර 3-4ක් ඔවුන් ජීවත් වෙනවා. කෙසේ නමුත් එංගලන්තයේ ජීවත් වූ එක්තරා අශ්වයෙකු එමෙන් දෙගුණයක් හෙවත් වසර 62ක් ජීවත් වුණා. මොහු නිසි ලෙස වයස ගණනය කරන ලද, ලොව වැඩිම කලක් ජීවත් වූ අශ්වයා ලෙස සැලකෙනවා. ඕල්ඩ් බිලී නම් මෙම අශ්වයා කෙතරම ජනප්‍රිය වී ද යත් වර්තමානය වන විටත් උගේ හිසෙහි කොටසක් සහ තවත් ශරීර කොටස් කිහිපයක් එංගලන්තයේ කෞතුකාගාර කිහිපයක ප්‍රදර්ශනය සඳහා තබා තිබෙනවා.

ඕල්ඩ් බිලී උපත ලබා තිබෙන්නේ 1760 වසරේ එංගලන්තයේ ලැන්කැෂයර් ප්‍රාන්තයේ වූල්ස්ටන් හී දී යි. තුරුණු වියේ දී ඔහු යොදාගැණුනේ ගං ඉවුරු දිගේ භාණ්ඩ පටවාගත් බෝට්ටු ඇදගෙන යාමට යි. වියපත් වීමත් සමග ඉන් ඉවත් කෙරුණු ඕල්ඩ් බිලී කෙමෙන් කෙමෙන් ජනප්‍රිය වන්නට පටන්ගත්තේ සාමාන්‍ය අශ්වයෙකුගේ ආයු කාලය අභිබවා ජීවත් වීමට පටන්ගැනීමත් සමග යි. ඔහුට මුලින් ලබා දී තිබූ ‘බිලී’ නාමයට ‘ඕල්ඩ්’ නම් කොටසක් එක් වූයේ මේ කාලයේ යි.

තිස් විය ඉක්මවීමත් සමග කෙමෙන් කෙමෙන් අතිශය වියපත් ලක්ෂණ බිලී කෙරෙන් විද්‍යාමාන වූ අතර ඔහුගේ මාංශ වැහැරී ගොස් සම අස්ථි පංඤරයට ඇලී ගියා. පිට කොන්ද ද මධ්‍යයෙන් කුදු වී ගියා. කෙසේ නමුත් හිමිකරුවන් විසින් ඔහු හැකිතාක් ජීවත් කරවන්නට උත්සාහ කළේ ඒ වන විට ඔවුන් මෙම අශ්වයා නිසා මූල්‍යමය වශයෙන් වාසි ලැබෙන තත්ත්වයට පත් වී සිටි නිසා යි.

1820 වසරේ දී ඕල්ඩ් බිලීගේ ලිතෝග්‍රාෆයක් නිර්මාණය කෙරුණු අතර ඒ වන විට ඔහු 60 වියැතිව සිටියා. මීට අමතරව ඔහුගේ සිතුවමක් ද නිර්මාණය කෙරුණු අතර එය වර්තමානයේ වොරිංටන් කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.

වසර 38ක් ජීවත් වූ බිළාලයා – ක්‍රීම් පෆ්

Youtube

ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ජීවත් වූ ‘ක්‍රීම් පෆ්’ නම් බිළාලයා වර්තමානය වන විට ලොව වැඩිම කලක් ජීවත් වූ බිළාලයා සඳහා වූ ගිනස් වාර්තාවට උරුමකම් කියනවා. බිළාල ධේනුවක වූ ඇය ඉපදී ඇත්තේ 1967 වසරේ අගෝස්තු මස 3 වන දා යි. 2005 වසරේ අගෝස්තු මස 6 වන දා මියයන විට ඇය වසර 38කුත් දින 3ක් මෙලොව ජීවත් වී තිබුණා.

ක්‍රීම් පෆ්ගේ ස්වාමියා වන්නේ ටෙක්සාස් හි වෙසෙන ජේක් පෙරී නම් තැනැත්තා යි. විශේෂත්වය වන්නේ ඇයට පෙර ගිනස් වාර්තාවට උරුමකම් කියූ ග්‍රෑන්ඩ්පා රෙක්ස් ඇලන් නම් බිළාලයා ගේ ද උරුමකරු ඔහුම වීම යි. එම සත්ත්වයා 1964 වසරේ පැරීසියේ ඉපිද 1998 වසරේ මියයන විට වසර 34කුත් මාස 2ක් දිවි ගෙවා තිබුණා. ග්‍රෑන්ඩ්පා රෙක්ස් ඇලන් 2001 වසර වන තුරු මෙම වාර්තාවට උරුමකම් කියූ අතර ඉන්පසු එහි ගෞරවය ක්‍රීම් පෆ්ට හිමි වුණා.

ලොව වැඩිම කලක් ජීවත් වූ බිළාලයින් දෙදෙනාම එකම උරුමකරුවෙකුට අයත්ව තිබීම ඉතා අසාමාන්‍ය දෙයක් වන අතර බොහෝ දෙනා විමසන්නේ පෙරී ලබා දෙන ආහාර වල විශේෂත්වයක් නිසා මොවුන් මෙසේ දිගු කාලයක් ජීවත් වී ද යන්න යි. පෙරී ඔවුනට බ්‍රොකොලි, බිත්තර, හා බේකන් දිනපතා ලබා දී තිබෙනවා. තවත් විශේෂත්වයක් වන්නේ ඔහු දිනපතාම වැඩි ක්‍රීම් සහිත කෝපි මොවුන් දෙදෙනාටම ලබා දීම යි. කෙසේ නමුත් කෝපි බිළාලයින්ට විෂදායක බැව් සාමාන්‍ය පිළිගැනීම යි. මේ බිළාලයින්ගේ දිගු ජීවිත පිළිබඳ මත පළකරන විද්වතුන්ගේ අදහස වන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා දීම, හොඳින් ආවතේව කිරීම මෙන්ම ආදරය කරුණාව දැක්වීම යන කාරණා සියල්ලම නිසා මොවුන් මෙලෙස ජීවත් වන්නට ඇති බව යි.

වසර 29 ක් දිවි ගෙවූ සුනඛ‍යා – බ්ලුයී

Imgur

සාමාන්‍යයෙන් බිළාලයින් හා සුනඛයින්ගේ ආයු අපේක්ෂාව ආසන්න වශයෙන් සමාන වෙනවා. එමෙන්ම සුනඛ‍යෙක් සාමාන්‍යයෙන් බිළාලයෙකුට වඩා සුළු වශයෙන් වැඩි කලක් ජීවත් වන බැව් සාමාන්‍ය පිළිගැනීම යි. කෙසේ නමුත් ලොව මෙතෙක් වැඩිම කාලයක් ජීවත් වූයේ යැයි වාර්තා වන සුනඛයා නම් ලොව වැඩිම කලක් ජීවත් වූ බිළාලයාට වඩා ජීවත් වී ඇත්තේ වසර කිහිපයක් අඩුවෙන්.

නිසි වාර්තා සහිත ලොව වැඩිම කාලයක් ජීවත් වූ සුනඛයාගේ ගිනස් වාර්තාවට උරුමකම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ බැටළු හා ගව පට්ටියක් මුර කළ ඕස්ට්‍රේලියානු එඬේර බල්ලෙකු වන බ්ලුයී නම් සුනඛයා යි. 1910 වසරේ ජුනි මස 7 වන දා උපන් ඔහු 1939 වසරේ නොවැම්බර් මස 14 වන දා මියයන විට වසර 29කුත් මාස 5යි දින 7ක් දිවි ගෙවා තිබුණා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රොචෙස්ටර් හි විසූ ලෙස් හා එස්මා හෝල් නම් යුවලට මේ සුනඛ‍යා අයත්ව තිබුණා.

බ්ලුයීට අමතරව ඕස්ට්‍රේලියානු එඬේර බල්ලාගේ හා ලැබ්‍රඩෝර් දෙමුහුමක් වූ ‘චිලා’ හා ‘මැගී’ ‘නම් ගැහැණු සතුන් දෙදෙනා වසර 30ක් තරම් කල් ජීවත් වූ බවට වාර්තා වී තිබුණ ද, ඒ ද්විත්වයම නිසියාකාරව තහවුරු කරගැනීමට ඔවුන්ගේ හිමිකරුවන්ට නොහැකි වීම නිසා ඔවුනට ඒ පිළිබඳව වූ ගිනස් වාර්තාව අහිමි වී තිබෙනවා.

ලොව වැඩිම කාලයක් ජීවත් වූ සුනඛයින් තිදෙනාම ඕස්ට්‍රේලියානු මුරබල්ලන් යන වර්ගයට අයත් වීම හෝ එහි මුසුවක් වීම නිසා ඔවුන් අනෙක් සුනඛයින්ට වඩා කල් ජීවත්වන්නේ ද යන්න පිළිබඳව විද්‍යාඥයින් පර්යේෂණ කිහිපයක් සිදුකළා. මෙහිදී අනාවරණය වූයේ සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු එඬේර බල්ලෙක් වසර 13.41 ක කාලයක් ජීවත් වන බව යි. මේ අගය අන් සියලු සුනඛ වර්ගවල සාමාන්‍ය ආයු අපේක්ෂාවට වඩා සැලකිය යුතු තරම් වැඩි අගයක් වෙනවා.

කවරයේ පින්තූරය- Getty Images

Related Articles