Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website. The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රබලතම හඬ නගන ක්ෂීරපායීන් 5 දෙනෙක්

සත්ත්ව ලෝකයේ සමහරක් සතුන්ට ඔවුන්ටම ආවේණික වූ හඬ නැගිය හැකියි. මේවා විපුලතාවය, තාරතාවය වැනි සාධක අනුව එකිනෙකට වෙනස් වෙනවා. ක්ෂීරපායීන්ගෙන් සැලකිය යුතු සත්ත්ව විශේෂයන් ගණනාවකටම වෙන් කොට හඳුනාගත හැකි ප්‍රබල හඬක් තිබෙනවා. මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නට අදහස් කරන්නේ වැඩිම ප්‍රබලත්වයක් සහිත හඬ උපදවන ක්ෂීරපායීන් කිහිපදෙනා ගැන යි.

අළු වෘකයා

Sam Parks

උස් හඬින් මොරගෑමට සමත් සත්ත්වයින් අතර වෘකයින්ට ප්‍රමුඛ ස්ථානයක් ලැබෙනවා. සුනඛයෙකුගේ උඩුබිරුමකට සමාන මේ හඬ ඔවුන් භාවිතා කරන්නේ තම රැළෙහි අනෙකුත් සාමාජිකයින් සමග සන්නිවේදනය කිරීම සඳහා යි. මේ හඬ ප්‍රබලවම නැගිය හැකි වෘකයන් විශේෂය වන්නේ අළු වෘකයිනුයි. ඔවුන්ගේ ‘උඩු බිරුම’ ඩෙසිබල් 90 සිට 115 දක්වා වූ විපුලතාවයකට ළඟා විය හැකි අතර, වර්ග සැතපුම් 50ක් දක්වා වූ භූමි ප්‍රදේශයක් සිසාරා පැතිරිය හැකියි. ඔවුන් මෙලෙස සන්නිවේදනය කරන්නේ සිය රැළෙහි සාමාජිකයින් එක්කාසු කරගැනීම හා භූමියේ අයිතිය තහවුරු කරගැනීම වැනි කටයුතු සඳහා යි.

අලියා

Shutterstock

බුද්ධිමත් සත්ත්වයෙකු ලෙස සැලකෙන අලියා, සන්නිවේදනය සඳහා හඬ කිහිපයක්ම භාවිත කරනවා. අලියෙකු හෝ ඇතෙකු විසින් නගන වඩාත් ප්‍රකට නාදය වන්නේ කුංචනාදය යි. මෙය ඔවුන් විසින් කලබල වූ විට, කෝපයට පත්වූ විට මෙන්ම තවත් හැඟීම් උද්දීපනය වූ විට නගනු ලබනවා. මීට අමතරව මෙම සතුන් ඉතා අඩු සංඛ්‍යාතයක් සහිත ගෙරවුම් හඬක් ද නිකුත් කරනවා. මෙම නාදය සැතපුම් 10ක් තරම් දුරකට විහිදෙන අතර ඩෙසිබල් 117ක තරම් ප්‍රබලතාවයකින් යුක්ත යි. කෙසේ නමුත් මෙම නාදයේ සංඛ්‍යාතය මිනිසාගේ ශ්‍රවණ පරාසයට පහළින් පිහිටා තිබීම නිසා මෙය මිනිසුන්ට ඇසෙන්නේ නැහැ.

වඳුරන්

Evan Gissis/wildtracksusa.org

සමහර වඳුරු විශේෂ ඉතා වැඩි විපුලතාවයකින් යුතු හඬක් නගනවා. වඳුරන් බොහෝ විට ඉතා සමාජශීලී, බුද්ධිමත් සතුන් වන අතර සිය කණ්ඩායමෙහි සාමාජිකයින් අතර පණිවුඩ හුවමාරු කරගැනීමට විවිධ ශබ්ද භාවිතා කරනවා. වඳුරු විශේෂ අතරින් Howler Monkey නම් විශේෂය ගොඩබිම වෙසෙන පියාසර කළ නොහැකි සතුන් අතරින් ඉහළම ප්‍රබලත්වයක් හෙවත් විපුලතාවයක් සහිත නාදය නගන අයවලුන් වන අතර, ඉහළ තාරතාවයකින් යුතු මෙම නාදය ඩෙසිබල් 128ක් තරම් ඉහළ විපුලතාවයකින් යුක්ත වෙනවා. මෙම නාදය සැතපුම් 3ක පමණ දුරකට විහිදෙනවා.

බුල්ඩෝග් වවුලා

Merlin D. Tuttle/Science Source

වවුලන් පියාසැරිය හැකි ක්ෂීරපායී සත්ත්ව කොට්ඨාසයක් වෙනවා. ධ්වනී තරංග මාර්ගෝපදේශනය සඳහා යොදාගන්නා ඔවුන් ඉතා ඉහළ සංඛ්‍යාතවලින් යුක්ත ප්‍රබල හඬ මේ සඳහා භාවිතා කරනවා. විශේෂයෙන් බුල්ඩෝග් වවුලන් නම් වවුල් විශේෂය ඩෙසිබල් 140ක් දක්වා වූ හඬ නැගීමට සමත්. මඟ සොයාගැනීමට හා ගොදුරු අල්ලාගැනීමට ඔවුන් මෙම හඬ භාවිතා කරනවා. මෙය මිනිසෙකු හට ඇසෙන උපරිම ධ්වනී තරංග සංඛ්‍යාතයට වඩා වැඩි නිසා එය මිනිසුන්ට ශ්‍රවණය වන්නේ නැහැ.

තල්මසුන්

Tui De Roy

මුහුදු ජලයේ සිය ජීවිතය ගතකරන තල්මසුන් ද ක්ෂීරපායී සත්ත්ව විශේෂයක් වෙනවා. නිල් තල්මසා ලොව විශාලතම සත්ත්වයා ලෙස සැලකෙනවා. මොවුන්ට ඩෙසිබල් 188ක් තරම් විපුලතාවයකින් යුතු උරුවම්බෑමක් වැනි හඬක් නගන්නට පිළිවන්. මෙම හඬ ජලය ඔස්සේ සැතපුම් 500ක් තරම් දුරකට වුව ද ගමන් කළ හැකියි. තල්මස් විශේෂ අතරින් ප්‍රබලම හඬක් නගන්නේ ස්පර්ම් තල්මසා යි. ‘ක්ලික්’ හඬක් වැනි ඉතාමත් ප්‍රබල හඬක් මොවුන් උත්පාදනය කරන අතර, එහි විපුලතාව ඩෙසිබල් 230ක් තරම් වෙනවා. කෙසේ නමුත් මෙය පවතින්නේ මිලිතත්පර 15ත් 30ත් අතර කාල පරාසයක් තුළ පමණක් වන අතර, එය සැතපුම් 10ක් පමණ ඈතින් සිටින එම විශේෂයේම තවත් තල්මසෙකුට ඇසෙනවා.

කවරයේ පින්තූරය- Paul Tessier/Stocksy

Related Articles