Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නාවිකයන් බියපත් කළ මහාරාවණ පරය

ශ්‍රී ලංකාව වටා පිහිටි ඉන්දියන් සාගරය පුරාණ නාවික වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් වුණු බව අපි දන්නවා. චීනයේ සිට දිව ගිය පුරාණ සමුද්‍ර සේද මාවත වැටී තිබුණෙත් ලංකා මුහුදු තීරය හරහා. දකුණු චීනයට යාත්‍රා කරන නැව් ගමන්කළේ හම්බන්තොට මුහුදු තීරය හරහා යි. නමුත් මෙසේ ගමන් කරන නාවිකයන්ට මුහුණදීමට සිදුවන මරු කපොල්ලක් දකුණු මුහුදේ කිරින්දට නුදුරුව පැවතුණා. මෙම කොරල් පරයේ හැපී බොහෝ නැව් විනාශයට පත් වුණා. මේ නිසා නාවිකයන් ඒ පෙදෙසෙන් යාත්‍රා කිරීමට පවා බිය වූ බව පැවසෙනවා. 

මහා රාවණ කොරල් පරය

රුවල් නැව්වල මාරකයක් වූ කොරල් පරය – wikipedia.org 

මෙම කොරල් පරය හඳුන්වන්නේ “මහා රාවණ පරය” කියලා යි. මුහුදු තීරයේ ඇති ගල්පරයේ කොටසක් ජලයෙන් ඉහළට මතුවී තිබුණත්, වැඩි කොටසක්  මුහුද යට සැඟවී මතුපිටට ඉතා ආසන්නව පවතිනවා. මේ නිසා දැවයෙන් තැනූ පැරණි රුවල් නැව් පහසුවෙන් විනාශ කිරීමට රාවණ පරයට හැකි වුණා.  ඒ කාලෙ නාවිකයන් සිතුවේ මෙම මුහුදේ තිබෙන අද්භූත බලයන් හින්දා නැව් මුහුදු පතුලට ඇදගන්නා බව යි. තවත් නාවිකයන් සිතුවේ මෙම ප්‍රදේශයේ තිබෙන කාන්දම් බලයක් නිසා නැව්වල ඇණ බුරුල්වී එය තුළට ජලය කාන්දු වන බව යි.

ඉංග්‍රීසි ගවේශන

විලියම් ඩග්ලස් -douglashistory.co.uk 

මෙතැන මුහුදේ සිදුවන නාවික අනතුරු එවකට රට පාලනය කළ ඉංග්‍රීසින්ට හිසරදයක් වුණා. ඒ හින්දා 1800 මැද භාගයේ දී මේ ගැන සොයා බැලූ අතර එහිදී හෙළිවුණේ ජලය මතුපිටට ආසන්නව පවතින කොරල් පරය නිසා නැව් අනතුරට ලක්වන බව යි. එයට පිළිතුරක් ලෙස 1867 දී ඉංජිනේරු විලියම් ඩග්ලස් නම් ඉංග්‍රීසි ජාතකයාට මෙහි ප්‍රදීපාගාරයක් ඉදිකිරීමට බාර වුණා. ඔහු ස්කොට්ලන්තයෙන් අමුද්‍රව්‍ය ගෙනවිත් ප්‍රදීපාගාරයක් මුහුද මැද ගල්පරයක ඉදිකළා. මුලින්ම ගින්දරින් ක්‍රියාත්මක වූ මහාරාවණ ප්‍රදීපාගාරයට පසුව විදුලි ජනක යන්ත්‍රවලින් ආලෝකය ලබාදුන්නා.

මහා රාවණ ප්‍රදීපාගාරය- wikipedia.org 

2004න් පසු මෙහි ආලෝකය නිපදවන්නේ සූර්යකෝෂවලින් ලැබෙන විදුලියෙන්. පසුකාලීනව එයට නුදුරින් කුඩා රාවණා ප්‍රදීපාගාරය 1878 දී ඉදිකළේ නැව්වලට වැඩි මඟපෙන්වීමක් ලබාදීමට යි. එය ඩෙඩලස් නම් නෞකාව ගිලී ගිය තැනට නුදුරින් තමයි ඉදිකර තිබෙන්නේ.  

කුඩා රාවණ ප්‍රදීපාගාරයේ ලාම්පුව – wikipedia.org

කිරින්ද වෙරළට ප්‍රදීපාගාරය පැහැදිලිව දැකගත හැකියි. මේ වැඩෙන් පස්සේ මුහුදේ භූතයා පලා ගියා. නමුත් පුරාණයේ අනතුරට පත්වූ නැව් ගැන සොයාබැලීම සමුද්‍ර ගවේශකයන්ගේ උනන්දුව වඩවන කාර්යයක් බවට පත්වුණා.

නැව් තුනක්

ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ කිමිදුම්කරුවන්ගේ ගවේශනයක්- archaeology.lk

මෙතෙක් ගොඩබිම වූ පුරාවිද්‍යා කටයුතුවලට පමණක් කොටුව සිටි ලාංකේය පුරාවිද්‍යාඥයන්ගේ අවධානය මුහුද යට ගිලී ඇති උරුමයන් කෙරෙහි යොමුවන්නට මහා රාවණ පරය හේතු වුණා කිව්වොත් නිවැරදියි. රාවණ පර ආශ‍්‍රිත මුහුදේ තිබී සොයාගත් 17 වන සියවසට අයත්යැ යි සැලකෙන රිදී කාසි නෞකාව ඒ සඳහා ආරම්භය සනිටුහන් කළා. මහාරාවණා හා කුඩාරාවණා පරයන් ආශ‍්‍රිතව අනතුරට ලක්වූ නෞකාවන් 5ක් සම්බන්ධ සාක්ෂ්‍යයන් විවිධ පර්යේෂණ ඔස්සේ අනාවරණය වී තිබෙනවා. රිදී කාසි නැව, බෝතල් නැව, තඹ නැව, කුඩා රාවණ යකඩ නැව, හා එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාව ඒවා යි. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ නිලධාරින් 2008 වර්ෂයේ සිට මෙහි කිමිදෙමින් පර්යේෂණ කර තිබෙනවා. ඊට අමතරව පෞද්ගලික කිමිදුම් ගවේශකයන්ගේ ද තෝතැන්නක් බවට මේ ස්ථානය පත්වී තිබෙනවා.

රිදී කාසි නැව (Silver Coin Wreck)

රිදී කාසි නැවෙන් ආතර් සී ක්ලාක්ගේ ගවේශනයේ දී හමුවූ කාසි ඇතුළු පුරාවස්තු -archeaology.lk

මහා රාවණ ප්‍රදිපාගාරය අසල මුහුදේ ගල්පර අතර දකින්න ලැබෙන මෙම  විනාශ වූ නැවෙන් රිදී කාසි විශාල ලෙස හමුවූ නිසා “රිදී කාසි නැව” කියන නම යොදා තිබෙනවා. එහි සුන්බුන් මුහුද යට විශාල පෙදෙසක පැතිරී පවතිනවා. නැවේ නියම නම කුමක්දැ යි සොයා ගැනීමට හැකිවී නැහැ. 

වර්ෂ 1958 දී ආතර් සී. ක්ලාක්  සහ ඔහුගේ මිතුරන් වූ මයික් විල්සන් හා රොඩ්නි ජොන්ක්ලස් සමග අවස්ථා කීපයක දීම රිදීකාසි නැව ආශ‍්‍රිතව කිමිදෙමින් ගවේශන කටයුතුවල නියැලී තිබෙනවා. ක්ලාක් හා මයික් විල්සන් රිදී කාසි නැව ආශ‍්‍රිත පර්යේෂණ පදනම් කරගෙන The Treasure of the Great Reef නම් ග‍්‍රන්ථයක් ලිව්වා.  එය මනෝ ප්‍රනාන්දු සිංහලයට පරිවර්තනය කර තිබෙනවා “මහගල්වැටියේ සැඟවුණු නිධානය” නමින්. 

රිදීකාසි නැව ආශ‍්‍රිතව ක්ලාක් ඇතුළු කණ්ඩායමේ පර්යේෂණවලට එවකට පුරාවිද්‍යා කොමසාරිස් චාල්ස් ගොඩකුඹුර අවසරය හා සහයෝගය ලබා දී තිබෙනවා. එය ප‍්‍රථම වරට ලාංකේය මුහුදු පුරවිද්‍යා කැණීමක් උදෙසා අවසර ලබාදුන් අවස්ථාව ලෙස සැලකෙනවා. මුහුදු පුරාවිද්‍යාවේ විශේෂඥයකු වූ පීටර් ත්‍රෝක්මෝටන් ද ලංකාවට පැමිණි එයට සහභාගි වීම විශේෂත්වයක්.  

නැවේ නැංගුරමක් අද දිස්වන අයුරු-divesrilanka.com

මෙම නැවෙන් ලැබුණු කාසි ගැන කළ පර්යේෂණවල දී හෙළිවුණේ රිදී කාසි වයඔ දිග ඉන්දියාවේ සුරත් ප‍්‍රදේශයේ නිෂ්පාදනය කළ රුපියලේ රිදී කාසි බව යි. එම රිදී කාසි සල්ෆියුරික් ඇසිඩ්වලින් පිරිසිදු කළ අතර එහිදී 1113 යන අංක හඳුනා ගැනුණා. ඒ පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කළ පසුව එම අංකවලින් පෙන්නුම් කරන්නේ ඉස්ලාම් ආගමික අල් හිජිරා වර්ෂ ක්‍රමයට අයත් වසරක් බවට තහවුරු වුණා. එම සාධක අනුව එම නාවික යාත‍්‍රාව ක‍්‍රිස්තු වර්ෂ 1702 දී ඉන්දියාවේ පාලනය ගෙන ගිය මෝගල් අධිරාජ්‍යා වූ ඖරංසේබ්ට අයත් (1658-1707) නෞකාවක් බව තහවුරු කරගැනීමට ලැබුණා.

1992 වර්ෂයේ දී ගාලු වරාය ආශ්‍රිතව කළ මුහුදු පුරාවිද්‍යා පර්යේෂණවලින් පසු, 2001 වර්ෂයේ ස්ථාපිත කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුහුදු පුරාවිද්‍යා ඒකකය ද පසුගිය කාලයේ මෙම නැව ආශ්‍රිත ගවේශන කටයුතුවල නිරත වුණා.

මහාරාවණ බෝතල් නැව (Bottle Wreck)

බෝතල් නැවේ සුන්බුන් පැතිර තිබෙන ආකාරය සිතියමකින් – archaeology.lk

මෙය අඩි 20ක් පමණ ගැඹුරු මුහුදේ තැන්පත් වී තිබන නිසා ජලය මතුපිට සිට වුව ද නැරඹීමට අවස්ථාව හිමිවෙනවා. 1961-63 අවුරුදුවල දී ආචාර්ය ආතර් සී. ක්ලාක් ඇතුළු කණ්ඩායම රාවණ පර ආශ‍්‍රිතව කළ දියයට ගවේශනයේ දී පළමුවරට මෙම නෞකාව පිළිබඳව සඳහන් කරනවා. ඔවුන්ට මෙම නෞකාව අවටින් හමුවුණු, කොළ වර්ණය ආලේප කළ වීදුරු බෝතල් මතුපිට සටහන්කොට පැවති ඉංගිරීසි වදන් හඳුනාගැනීමට ලැබුණා. Clarke-Romer, Ceylon, Soda Water, Brandy, Soda ආදී වචන බෝතල්වල සටහන් කර තිබුණා. මෙහි සෙරමික් භාජන විශාල ප්‍රමාණයක් ද තිබෙනවා. 

නෞකාව 1850 හෝ 1860 යන කාලයට අයත් වියහැකි බව ප‍්‍රකාශ කොට තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම විසින් සොයාගත් ඊයම් ඇබයක සලකුණු කරන ලද බි‍්‍රතාන්‍ය රජයට අයත් සංකේතයක් වන ඊතල සටහනක් පැවතීම හේතුකොටගෙන, මෙම නෞකාව බි‍්‍රතාන්‍ය රජයට අයත් නෞකාවක් බව අනුමාන කිරීමට හැකියාව ලැබී තිබෙන බව ආතර් සී. ක්ලාක් සඳහන් කරනවා.

නැවේ තිබුණු බතාවියා කාලතුවක්කු – divesrilanka.com

ක්ලාක් ඇතුළු කණ්ඩායම මෙම පර්යේෂණයේ දී පාවිච්චි නොකළ සෝඩා හා විස්කි බෝතලයක් මතුපිටට රැගෙන ආ බව පැවසෙනවා. මෙහි නැංගුරම් දෙකක් හා තට්ටුව ලෙස භාවිත කළ යකඩ පුවරු රාශියක් ඉතිරිව තිබෙනවා. අනෙක් කෙටස් විනාශ වී හෝ නැව් කඩන්නන් විසින් විනාශ කර තිබෙන බව යි පේන්නේ. ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය 2008 දී මෙම නැව  යළිත් ගවේශනය කළා.

එච්. එම්. එස්. ඩෙඩලස් නෞකාව (HMS Daedalus)

මහා රාවණ පරය – archaeology.lk

කුඩා රාවණා පරය ආශ‍්‍රිතව ගිලී පවතින මෙම නෞකාව පිළිබඳව නම් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. එම තොරතුරු වලට අනුව ප‍්‍රංශ ජාතිකයන්ට අයත් නාවික යාත‍්‍රාවක් වන මෙය 1811 වර්ෂයේ දී බි‍්‍රතාන්‍යන් විසින් අත්පත්කර ගෙන තිබෙනවා. අනතුරුව බි‍්‍රතාන්‍ය යුධ කටයුතු සඳහා යොදාගෙන ඇති බව වාර්තා වෙනවා. බි‍්‍රතාන්‍ය නාවික හමුදාවේ සේවය සඳහා යොදාගත් නෞකාව කාලතුවක්කු 40කින් සමන්විත වී තිබුණා. සම්පූර්ණ නෞකාවේ බර ටොන් 1094ක් හා දිග අඩි 153ක් වී ඇති බව වර්තාවල සඳහන් වෙනවා. එහි කාර්ය මණ්ඩලය 274ක් සිට තිබෙනවා.

1813 වර්ෂයේ ජූලි 2 වෙනි දින උදෑසන 7.45ට පමණ ශ‍්‍රී ලංකාවට අයත් කුඩාරාවණ ගල් පර ආශ‍්‍රිත ප‍්‍රදේශයේ ගමන්කරමින් තිබිය දී අවාසනාවන්ත ලෙස විනාශයට ලක්වූ බව තමයි වාර්තා වන්නේ.

මෙම නෞකා අනතුර බි‍්‍රතාන්‍ය රජය සසල කරවූ සිදුවීමක් බවට පත්වුණා.  නාවික යාත‍්‍රාවේ විනාශය පිළිබඳව සොයා බැලීමට යුද අධිකරණයක් ද පත් කර තිබෙනවා. එහිදී ඩෙඩලස් නෞකාවේ කපිතාන්වරයා වූ මරේ මැක්ස්වෙල් සාක්ෂ්‍ය දුන් අතර ඔහුගේ කරුණු දැක්වීම අනුව එච්. එම්. එස්. ඩෙඩලස් බි‍්‍රතාන්‍යයේ ස්පිතඩ් වරායේ සිට 1813 ජනවාරි 29 වන දින නැගෙනහිර ඉන්දීය නැවකුත් සමග මාස 5ක පමණ මුහුදු ගමනකින් පසුව 1813 ජුලි 1 දින ගාලු වරායට පැමිණ තිබෙනවා. එදිනම සවස දෙවුන්දර තුඩුව පසුකරමින් කුඩාරාවණා ප‍්‍රදේශයට ළඟා වු බවත් ඔහු සඳහන් කරනවා. එය පසුදින උදෑසන තමයි අනතුරට ලක්ව තිබෙන්නේ.

මහා රාවණ මුහුදේ කිමිදීම

ගිලුණු නැව් අතර කිමිදෙමින්- divesrilanka.com

මෙම සාගර තලයේ කිමිදීමට ත්‍රාසයට කැමති කුතුහලයෙන් යුත් කිමිදුම්කරුවන්ගේ ලොකු ආසාවක් දක්වනවා. ගල්පර අතර සැඟවී තිබෙන නැව්වල කොටස් දකිමින් අංලංකාර මාලු රෑන් අතරින් කිමිදීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. නමුත් එය ඉතා දුෂ්කරයි. මෙහි කිමිදිය හැක්කේ මාර්තු – අප්‍රෙල් අතර දෙසතියක කාලයකදී පමණයි. අනෙක් කාලවල මහා රාවණ පරය අවට මුහුද ඉතා රළුයි.

ආශ්‍රිත මූලාශ්‍රයයන්:

archaeology.lk

ජාතික උරුමය සඟරාව- 2013 අප්‍රෙල් - ජුනි

කැප්ෂන්:

Cover - http://www.jetwinghotels.com/

Related Articles