විස පිරි මුහුදු සර්පයන්ගේ සමුදුරු රාජධානිය

 මුහුදේ ජීවත්වන සර්පයන්ගේ විෂ අති භයානක බවයි, සොයා ගෙන තිබෙන්නේ. මුහුදු සර්පයන් ගැන වැඩිපුර තොරතුරු අපි නොදන්නේ උන් ගැන එතරම් පර්යේෂණ කර නැති නිසයි. නැව් පෙරළීමට තරම් විශාල මුහුදු සර්පයන් ගැන කතා අතීතයේ බටහිර රටවල පැතිර තිබුණා. උන් හමුවූ නාවිකයක් ඇඳි චිත්‍රත් ඒ සම්බන්ධ ප්‍රවෘත්තිත් 19 වැනි සියවසේ පුවත්පත්වල පළ වී තිබුණා.  මුහුදු සර්ප දෂ්ටනවලට අවශ්‍ය ප්‍රතිවිෂ ගැනත් ගොඩබිම සර්පයන්ගේ මෙන් එතරම් පර්යේෂණ සිදු ව නැහැ.

 දිගම මුහුදු සර්පයා හයිඩ්‍රොපිස් ස්පිරාලිස්- reptile-database.reptarium.cz

මුහුදු සර්පයො කියන්නේ කවුද?

ලෝකයේ මුහුදු සර්ප විශේෂ 70ක් පමණ පැතිර තිබෙන බව හෙළි ව තිබෙනවා. මුහුදු සර්පයන් කියන්නෙ අවුරුදු දහස් ගණකට පෙරදී මුහුදු ජීවිතයකට අනුවර්තනය වුණ ඉලැපිඩේ කුලයට අයත් සර්පයන්. මෙම කුලය හයිඩ්‍රොෆිනේ සහ ලැටිකෟඩිනේ නමින් උප කුල දෙකකට වර්ග කර තිබෙනවා. ඒ අතරින් ලැටිකෟඩිනේ කුලයට අයත් වන්නේ මුහුදු කරවලුන් නම් සර්ප විශේෂයයි. බිත්තර මගින් තමයි උන් වර්ගයා බෝ කරන්නේ.

 අද්භූත කතාවල සඳහන් යෝධ මුහුදු සර්පයෙක්- facebook

එක් මිරිදිය කරවැල් විශේෂයක් පමණක් සොලමන් දූපත්වලට අයත් රනෙල් දූපතේ  විලක වාසය කරනවා‍. හයිඩ්‍රොෆිනේ උපකුලයට පොදුවේ මුහුදු නයි හෙවත් වාලක්කඩි  ලෙස හඳුන්වන සර්පයන් අයත් වෙනවා. පූර්ණ කරදිය වාසී සතුන් ලෙසයි උන් හඳුන්වන්නේ. දිග ම මුහුදු සර්පයා ලෙස හඳුන්වන්නේ මහ මුහුදු නයා (හයිඩ්‍රොපිස් ස්පිරාලිස්) වන අතර උගේ දිග අඩි 10ක් පමණ වෙනවා.

ජීවත් වන ස්ථාන

ඉන්දියන් සාගරයේ සිට පැසිපික් සාගරය දක්වා මුහුදුවල උන් දිවි ගෙවනවා. මීටර් 1 සිට 5 දක්වා විශාල මුහුදු සර්පයන් අපට වාර්තා වෙනවා. ගොඩක් මුහුදු සර්පයින්ගෙ තියෙන්නෙ ලා අළු වගේ පසුබිමේ තියෙන කළු පටි සහිත වර්ණ රටාවක්.  ඒ නිසා උන්ට වෙනත් සතුන්ට නොපෙනී ගොදුරු අල්ලා ගැනීමට පහසු වෙනවා. දූපත් සහ වෙරළ ආශ්‍රිත ව නොගැඹුරු මුහුදු සීමාවේ හා ගංගා මෝය කට ආශ්‍රිත ව උන් ජීවත් වෙනවා.

 ඕස්ට්‍රේලියා වෙරළකට 2016 දී ගොඩ ගැසූ යෝධ මුහුදු නයෙක්- dailymail.co.uk

සර්ප පරිණාමය

අද දකින්න ලැබෙන මුහුදු සර්පයන්ගේ පරිණාමයට දිගු ඉතිහාසයක් තිබෙනවා. හයිඩ්‍රොෆිනේ කුලයේ සර්පයන් අදින් වසර මිලියන 6-8ත් අතර කාලයක සිට පරිණාමය වූ බව තමයි සැලකෙන්නේ. අග්නිදිග ආසියානු කලාපය සහ ඕස්ට්‍රේලියානු කලාපයේ ගොඩබිම සර්පයකුගෙන් ඔවුන්ප රිණාමය වූ බව සැලකෙනවා.

මුහුදු කරවලුන්ගේ පරිණාමයට ආසියානු කලාපයේ වෙනත් එලැපිඩේ කුලයේ සත්වයකු හේතු වූ බවත් වඩාත් පරණ වන්නේ උන් බවත් සැලකෙනවා. උන් ආහාර වශයෙන් ගන්නේ මසුන්. මුහුදු කරවලුන් ආඳන් මත යැපෙන බව යි හෙළි වී තිබෙන්නේ. ඇතැම් මුහුදු සර්පයන් ආහාරයට ගන්නේ මත්ස්‍ය බිත්තර පමණයි.

 මිල අධික මුහුදු සර්ප සුප්- bbc.com

මුහුදු සර්ප සුප්

අතීතයේ පටන් තායිලන්තයේ මුහුදු සර්පයන් ඇල්ලීම සිදු වෙනවා. බෝට්ටුවලින් ගොස් ඇම දමමින් තමයි උන් අල්ලා ගන්නේ. අවදානම නොතකා කිමිදෙමින් දඩයම් කිරීමත් සිදුවෙනවා. තායිලන්තයේ මුහුදු සර්ප සුප් ශක්තිය ලබාදෙන ආහාරයක් ලෙස සැලකෙනවා. එම සුප් හෝටල්වල අධික මිල ගණන්වලට තමයි විකිණෙන්නේ. ජපානයේ ද මුහුදු සර්පයන්ගෙන් සුප් වර්ග හදනවා. ඔවුන් හදන ඉරබු සුප් එක සඳහා මුහුදු සර්පයන් භාවිත කරනවා.

 

අප රටේ ගොඩබිම සර්ප විශේෂ 96ක් ජීවත් වන අතර, ලංකාව අවට මුහුදු තීරයේ මුහුදු සර්පයන් වර්ග 15ක්  වාර්තා වෙනවා. ඉන් විශේෂ 14ක් වාලක්කඩියන් ලෙස හැඳින්වෙන ගණයට අයත් අතර මොවුන් සියල්ල ම උග්‍ර විෂ සහිත සර්පයන්. මොවුන් අයත් වන්නේ හයිඩ්‍රොපිනේ  යන කුලයටයි. එක් විශේෂයක් අයත් වන්නේ මයික්‍රොසෙපාලිස් ගණයටයි.  ලංකාව අවට මුහුදෙන් එක මුහුදු කරවැල් විශේෂයක්වත් වාර්තා වෙන්නෙ නෑ. ශ්‍රී ලංකාව ආශ්‍රිතව වාසය කරනා මුහුදු සර්පයින් ප්‍රමාණයෙන් සෙ. මී. 75 සිට 300ක් දක්වා දිග ප්‍රමාණවලින් වාර්තා වී තිබෙනවා.

 අපේ මුහුදේ වෙසෙන පර්සියානු මුහුදු නයා- Wikipedia.org

ලංකාවේ මුහුදු සර්ප විශේෂ:

  1. පීටර්ගේ මුහුදු නයා-Peter’s Sea Snake (Hydrophis bituberculatus)
  2. වයිරන් මුහුදු නයා-Annulated Sea Snake (Hydrophis cyanocinctus)
  3. ශ්වෝගේ කුඩා මුහුදු නයා-Shaw’s Short Sea Snake (Hydrophis curtus)
  4. පටි මුහුදු නයා-Striped Sea Snake (Hydrophis fasciatus)
  5. ජර්ඩෝන්ගේ මුහුදු නයා-Jerdon’s Sea Snake (Hydrophis jerdonii)
  6. පර්සියානු මුහුදු නයා-Persian Gulf Sea Snake (Hydrophis lapemoides)
  7. බොම්බේ මුහුදු නයා-Bombay Gulf Sea Snake (Hydrophis mammilaris)
  8. ග්‍රේගේ මුහුදු නයා-Gray’s Sea Snake (Hydrophis ornatus)
  9. බඩ-කහ මුහුදු නයා-Yellow-bellied Sea Snake (Hydrophis platurus)
  10. මහ වාලක්කඩියා-Stoke’s Sea Snake (Hydrophis stokesii)
  11. වාලක්කඩියා-Hook-nosed Sea Snake (Hydrophis schistosa)
  12. මහ මුහුදු නයා-Narrow-banded Sea Snake (Hydrophis spiralis)
  13. ග්‍යුන්තර් ගේ මුහුදු නයා-Günther’s Sea Snake (Hydrophis stricticollis)
  14. පොළොන් මුහුදු නයා-Viperine Sea Snake (Hydrophis viperina)
  15. කුඩා-හිස් මුහුදු නයා-Small-headed Sea Snake (Microcephalophis gracilis)
 එංගලන්ත මුහුදේ වෙසෙන ඔලිව් මුහුදු නයා –  odt.co.uk

ජීවන රටාව

මුහුදු සර්පයන් ස්වසනය කිරීමට දිය මතුපිටට පැමිණිය යුතුයි. ඇතැම් සර්ප විශේෂවලට වරක් ආශ්වාස කළ පසු පැය කිහිපයක් වුවත් දිය යට සිටිය හැකියි. ඒ සඳහා සැදුණු දිගු පෙණහැල්ලක් උන්ට තිබෙනවා.

අනෙකුත් බොහෝ සත්වයන් මෙන් ම මුහුදු සර්පයන්ට ද වරින් වර මිරිදිය ජලය පානයත් අවශ්‍ යයි.  ගේන්ස්විල් හි ෆොලිරිඩා සරසවියේ පර්යේෂකයන් පෙන්වා දෙන අන්දමට නම් මුහුදු සර්පයන් සිදුකරන්නේ අධිකව වර්ෂාව පතනය වන තැනක් සොයා ගොස් දිය මතුපිට දිය කඩිති සෑදෙන තුරු බලා සිට එහි එකතු වන  මිරිදිය පානය කිරීම යි.

අධික වර්ෂාව පවතින විට මුහුදේ මතුපිට සෑදෙන මේ දිය කඩිති විද්‍යාඥයන් පිරිස් හඳුන්වන්නේ ලෙන්සස් කියා යි. නිතර ජලය පානය කිරීමට උන්ට අවශ්‍ය නොවීම විශේෂ වාසියක්. මෙලෙස මිරිදිය නොලැබුණත් ඇතැම් විට මාස හය, හතක කාලයක් පවා උන්ට දිය බීමෙන් තොර ව කල් ගත කළ හැකි බවත් පැවසෙනවා.

විස නොතකා මුහුදු සර්පයන් අල්ලන තායි ජාතිකයෝ- bbc.com

සර්ප විෂ

බොහෝ ගොඩබිම් සර්පයන්ට වඩා ප්‍රබල විසක් මුහුදු සර්පයන්ට හිමි ව තිබනවා. මොවුන්ට එවැනි ප්‍රබල විසක් හිමි ව තිබෙන්නේ ඉක්මනින් පලා යන මසුන් ක්ෂණික ව අඩපණ කිරීමට බවයි විද්‍යාඥයන් පවසන්නේ. ස්නායු ධූලකවලින් හැදුණු උග්‍ර විස සාන්ද්‍රණයක් උන් තුළ පවතිනවා. පේශිවලට බලපාන මයික්ටොක්සීන ධූලක ද ඇතැම් සර්පයන්ට තිබෙන බව හෙළි ව තිබෙනවා.

ධීවරයන් සහ කිමිදුම්කරුවන් මුහුදු සර්පයන්ගේ ප්‍රහාරවලට ගොදුරු වෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ නම් සුලබ ව එය සිදුවන්නේ නැහැ. දෂ්ටන නිසා ස්වසනය අකර්මණ්‍ය වීම, පේශි හානි, වකුගඩු අක්‍රිය වීම ප්‍රධාන වශයෙන් සිදුවෙනවා. අප රටේ මෙම සතුන්ගේ දෂ්ටන නිසා වාර්තා වී ඇත්තේ මරණ දෙකක් පමණයි.

 තායි මුහුදු සර්ප දඩයම – bbc.com

ධීවර කර්මාන්තයේ යෙදෙන අයට එදිනෙදා ජීවිතයේ දී මුහුදු සර්පයන් හා ගැටීමට සිදුවෙනවා. උන් ආඳන් සහ දිය ගොයන් ලෙස වැරදියට වටහා ගැනීම නිසා මේ සතුන් ගැන අවදානමකින් තොරව සීතීම නිසා තමයි මරණ වාර්තා වී තිබෙන්නේ.

වයිරන් මුහුදු නයා

වයිරන් මුහුදු නයා හෙවත් ඉංග්‍රීසි භාෂාවෙන් Annulated Sea Snake යනුවෙන් හදුන්වන මෙම මුහුදු සර්පයා උග්‍ර විෂ සහිතයි. අප රට වටා මුහුදට අමතර ව ඉන්දියන් සාගරයේ  බංගලා දේශය, ඉන්දියාව, පාකිස්තානය, මියන්මාරය, තායිලන්තය වැනි රටවලින් මෙන් ම පර්සියානු ගල්ෆ් වෙරළ තීරයෙන් සහ දකුණු චීන මුහුදු වෙරළ තීරයෙන් ද උන් වාර්තා වෙනවා.  

ලංකාව අවට මුහුදේ වෙසෙන වයිරන් මුහුදු නයා – reptile-database.reptarium.cz

ශ්‍රී ලංකාවේ උතුරු, බටහිර, නැගෙනහිර වෙරළබඩ ආශ්‍රිත ව වාසය කරන බව හෙළි ව ඇති කරුණක්. වයිරන් මුහුදු නයා මන්නාරම, කුමන, වැල්ලවත්ත, මීගමුව, පුත්තලම, කළුතර ආදී ප්‍රදේශවලින් හමු වී තිබෙනවා. වයිරන් මුහුදු නයා සෙන්ටි මීටර 120-170 දක්වා දිගකට වර්ධනය වෙනවා.

බඩ කහ මුහුදු නයා

Yellow-bellied Sea Snake යනුවෙන් ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන මෙම සර්පයා විද්‍යාත්මක ව Pelamis platurus නමින් හඳුන්වනවා. නයා, කරවලුන් අයත්වන ඉලැපිඩේ (Elapidae) කුලයට අයත් මෙම සර්පයා Pelamis ගණයට අයත් ලොව වසන එකම සත්ව විශේෂයයි.  මන්නාරම් බොක්ක ආශ්‍රිත ව බහුලව වාර්තා වී ඇති අතර  උණුසුම් ජලය ඇති මුහුදු ප්‍රදේශවල වාසයට කැමැත්තක් දක්වනවා. උන් සෙන්ටිමීටර් 72 සිට 80 ක් දක්වා වර්ධනය වෙනවා.

 බඩ කහ මුහුදු නයා – britannica.com

කවරය- කොරල් පරයක සිටින මුහුදු සර්පයෙක් සහ තායිලන්තයේ මුහුදු සර්ප දඩයම-poseidonsweb.com / bbc.com

මූලාශ්‍ර:

තම්බපණ්නි සඟරාව- 3 කලාපය, සංජය කණිෂ්ක බණ්ඩාරගේ ලිපිය

ශ්‍රී ලංකාවේ සර්පයන්- තොරතුරු සහ වැදගත්කම- නිහාල් සෙනරත් ද සිල්වා

lkarticles.com

Bbc.com

 

Related Articles