ශ්‍රී ලාංකිකයෙකුට හිම කියන්නේ ආගන්තුක දෙයක්. සමහර විට සීතල ජනේරුවේ නුවර එළියට තුහින පතිත වුණත් හිම පතිතවීම නම් ඉතාම විරළ දෙයක්. ලංකාවට හිම නොවැටෙන්නේ නිරක්ෂයට ආසන්නව පිහිටා ඇති නිසායි. මේ හේතුවෙන් හිරු එළිය වැඩි ක්ෂමතාවයකින් යුතුව වසර පුරාම ලැබෙනවා. මේ නිසා වසර පුරාම පවතින්නේ උණුසුමක්. එනිසා නිරක්ෂයට ශ්‍රී ලංකාවටත් වඩා කිට්ටු ස්ථානයක හිම මිදෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරන එකක් නැහැ.

පාරිසරික දේශගුණය සහ ඒ හා සබැඳි සාමාන්‍ය උෂ්ණත්වය වෙනස් වීමට ප්‍රධාන වශයෙන් අක්ෂාංශගත පිහිටීම මෙන්ම උන්නතාංශය ද බල පවත්වනවා. අප්‍රිකානු මහාද්වීපයේ උසින් වැඩිම ප්‍රදේශය වන කිලිමන්ජාරෝ කන්දේ උසම ස්ථානය අවට වසරේ වැඩි කාලයක් හිම පතනය සිදු වෙනවා. ඒ වාගේම මෑත අතීතයේ කාලගුණික විපර්යාස නිසා සීඝ්‍රයෙන් අඩු වෙමින් පැවතුනත්, කිලිමන්ජාරෝහි උසම කඳු මුදුන වන කිබෝ හෙවත් උහුරු හි සැළකිය යුතු තරමේ හිම වැස්මක් තිබෙනවා.මෙය පිහිටා තිබෙන්නේ දකුණු අක්ෂාංශ 3 තරම් සමකාසන්නවයි.

කිලිමන්ජාරෝ ගැන හැඳින්වීමක්

අප්‍රිකානු මහාද්වීපයේ උසම කන්ද වන කිලිමන්ජාරෝව මුදුන් තුනකින් සමන්විතයි. එහි ඉහළම මුදුන උසින් මීටර 5,895ක්. මෙය විශාල නිෂ්ක්‍රීය ගිණි කන්දක්. අවුරුදු මිලියන ගණනක් තිස්සේ විදාරණය වීමෙන් එකතු වූ ලාවා, අළු, ගල් කැබලි, හා දුහුවිලි වැනි දේ එකතු වීමෙන් මේ කඳු පන්තිය සෑදී තිබෙනවා.

කිලිමන්ජාරෝ දැනට නිෂ්ක්‍රීය තත්වයේ තිබෙන ගිණි කන්දක්   (bingwasafaris.com)

කිලිමන්ජාරෝ යන නාමය මේ කඳු පන්තියට ලැබීම ගැන මත කිහිපයක්ම තිබෙනවා.එක් මතයකට අනුව මෙම නාමය ස්වහිලි හා කිචග්ගා භාෂා ද්විත්වයෙන් බිඳුණු එකක්. ස්වහිලි භාෂාවට අනුව කිලිමා යනු කන්ද වන අතර කිචග්ගා භාෂාවට අනුව න්ජාරෝ යනු ‘ධවල’ යන අදහස දෙනවා. තවත් මතයකට අනුව මේ නාමයේ තේරුම කිචග්ගා භාෂාවට අනුව ‘අපට තරණය කිරීමට නොහැකි වුණා’ යන්නයි.

කිලිමන්ජාරෝ කඳුකර කලාපය අයත් වන්නේ ටැන්සානියාවටයි. ටැන්සානියාවේ කෙන්යා දේශසීමාව ආසන්නයේ පිහිටා ඇති මෙය වර්ග කිලෝමීටර 756ක ප්‍රදේශයක් පුරා පැතිරී ඇති අතර පාදමේ සිට මීටර 5100ක් දක්වා උසකට විහිදී තිබෙනවා. (මුහුදු මට්ටමේ සිට මීටර 5895). මේ නිසා මෙය ලොව උසම ශේෂ කන්ද ලෙසත් හැඳින්වෙනවා. ජාතික උද්යානයක් ලෙසද නම් කර ඇති කිලිමන්ජාරෝ කඳුකර කලාපයට ආසන්නතම නගරය මෝෂි නගරයයි.

කිලිමන්ජාරෝවේ පිහිටීම  (carolyncustisjames.com)

කිලිමන්ජාරෝ කඳු පන්තියේ නිෂ්ක්‍රීය තත්වයේ පවතින යමහල් ද්වාර 3ක් තිබෙනවා. මීටර 5895 උස “කිබෝ” ද්වාරය සහිත කඳු මුදුන ඉන් උසින් වැඩිම වන අතර, මීටර 5149ක් උස “මාවෙන්zසි”, හා මීටර 3962ක් උස “ශිරා” ද්වාර සහිත කඳු මුදුන් දෙක ඉතිරි ස්ථාන දෙක වනවා. කිබෝ ද්වාරය සහිත කඳු මුදුන ටැංගනිකාවට 1961 වසරේ නිදහස ලැබීම නිමිත්තෙන් “උහුරු” යනුවෙන් නම් කරන ලද අතර පසුව ටැංගනිකාව සැන්සිබාර් දූපත් සමඟ ඒකාබද්ධ වී ටැන්සානියාව බවට පත් වුණා.

කිලිමන්ජාරෝවේ කඳු මුදුන් (යමහල් ද්වාර) 3  (ultimatekilimanjaro.com)

කිලිමන්ජාරෝව සතු අනෙකුත් ගිණිකඳු ද්වාර දෙකම ස්ථිර ලෙසම නිෂ්ක්‍රීයව පැවතුනත් උසම කඳු මුදුනේ ඇති කිබෝ ද්වාරය ඈත අනාගතයේ දිනක නැවත සක්‍රීය විය හැකි බවට විද්‍යාඥයින් මත පළ කරනවා. එහි අවසාන විදාරණය සිදුවී වසර 360,000ක් ගත වී තිබුණත්, මීට වසර 200කට පෙරද යම් ක්‍රියාකාරීත්වයක් දැක්වූ බව සඳහන් වෙනවා. කිබෝ ද්වාරයෙන් පිටවන වායු නිසා එහි යම් යම් ඛාදනයන්ද සිදු වී තිබෙනවා.

කිලිමන්ජාරෝවේ දේශගුණය

කිලිමන්ජාරෝව මීටර 5000කට වඩා උසින් වැඩි නිසාත් (අඩි 19341), ශේෂ කන්දක් නිසාත් දේශගුණික කළාප 5ක් එහි දැකගත හැකියි. සරළවම කිලිමන්ජාරෝව තරණය කරන්නෙකුට සමකයේ සිට ක්‍රමයෙන් ධ්‍රැවයක් වෙත ගමන් කළා සේ හැඟීමක් ඇති වෙනවා.

central224.com

කිලිමන්ජාරෝව අවට පහත්ම බිම් වගා බිම් වන අතර අඩි 6000-9000 (මීටර 1800-2700) අතර පිහිටි නිවර්තන වනාන්තර දේශගුණය උණුසුම් හා සදාහරිත වනවා. මේ කළාපය තුළ විවිධාකාර දුර්ලභ ජීවීන්ට වාසස්ථාන සැපයී තිබෙනවා. බොහෝ ආවේණික සත්ත්ව හා ශාක වර්ග මෙහි හමු වෙනවා.

කිලිමන්ජාරෝ වැසි වනාන්තර  (gadventures.com)

අඩි 9200 -11000 (මීටර 2800-3350) අතර උසින් යුතු ප්‍රදේශයේදී අත්දැකීමට වන්නේ නිවර්තන වර්ෂා වනාන්තරයට වඩා වියළි බවින් යුතු මහදෙණි බිමකුයි. මේ ප්‍රදේශයේ උස පඳුරුත්, ලයිකන වර්ග වැනි දේ බහුලයි.

කිලිමන්ජාරෝවේ මධ්‍යම උසින් යුතු ප්‍රදේශ ශුෂ්කරූපී හෝ උස් කඳුකර වනාන්තර ලක්ෂණ පෙන්නුම් කරනවා   (frostmagazine.com)

සදාහරිත වනාන්තරයට හා වියළි වනාන්තරයට පසු අඩි 11000-13200 (මීටර 3350-4000) අතර උසකින් ශුෂ්කරූපී ලක්ෂණ පෙන්නුම් කරන පරිසර කොටසක් හමු වෙනවා. මේ ප්‍රදේශයේ ජල සංරක්ෂණයට හුරු වූ ශාක දැකිය හැකියි.

අඩි 13200-16000(මීටර 4000-4900) අතර උසකින් යුතු පෙදෙස සමන්විත වන්නේ කඳුකර කාන්තාරයකින්. මේ ප්‍රදේශය වියළි හා ශීතල එකක්. බොහෝ දෙනා පවසන පරිදි මෙහි ඇති ශෛලමය ස්වභාවික නිමැවුම් නිසා චන්ද්‍රයාගේ මතුපිට මෙන් ස්වභාවයක් මෙයට ලැබී තිබෙනවා.

චන්ද්‍රයාගේ මතුපිට සිහිගන්වන කිලිමන්ජාරෝ ඇල්පයින් කතර  (David Coleman)

සමකාසන්නව තිබුණත් අඩි 16000ට (මීටර 4900) වඩා උස කඳුකර පෙදෙසේ දකින්නට ඇත්තේ ධ්‍රැවාසන්න දේශගුණයක්. මෙහි යන්නෙකුට අයිස් පිරිණු, මිදුණු ලොවකට ගියා සේ ගැඟීමක් ඇති වෙනවා.

අයිස් වලින් වැසුණු උහුරු කඳු මුදුන (Peter Gaylord)

කිලිමන්ජාරෝවේදී හමුවන ශාක හා සතුන්

කිලිමන්ජාරෝවෙදී අත්විඳිය හැකි දේශගුණික කලාප කිහිපයක්ම තිබෙන නිසා ඒවා අනුව සිටින ශාක හා සත්ත්ව ප්‍රජාවත් වෙනස් වෙනවා. නිවර්තන වනාන්තර කලාපයට වසරකට මිලිමීටර 1000-2000 අතර වැඩි වර්ෂාපතනයක් ලැබෙන නිසා විවිධ ශාක වර්ග හොඳින් වැඩෙනවා. ශාක පර්ණාංග, සයිකමෝර්, හා ජුනිපර් ශාක වැනි දෑ මෙහි සුළභව දැකිය හැකියි. විවිධ පාසි වර්ගද බහුළ මෙහි ශාක විවිධත්වය ඉහළයි. මේ කලාපය තුළ “Impatiens kilimanjari” වැනි අවේණික ශාක විශේෂ රැසක් හමු වෙනවා.

සයිකමෝර් ගසක් (youtube.com)

Impatiens kilimanjari (strangewonderfulthings.com)

වියළි වනාන්තර ප්‍රදේශයේ ශාක ඝණත්වය මෙන්ම විවිධත්වයද නිවර්තන වනාන්තර පෙදෙසට වඩා අඩුයි.මේ පෙදෙස හා ඊටත් ඉහළින් ඇති ශුෂ්ක රූපී දේශගුණය ප්‍රකට කරන ප්‍රදේශ ද්විත්වය තුළ වැඩී ඇති සීමිත ශාක වර්ග අතර යෝධ ග්‍රවුන්ඩ්සෙල් ශාක හා තවත් මල් පූදින ශුෂ්කරූපී අනුවර්තන පෙන්වන ශාක වර්ග බහුලව දැකිය හැකියි.

යෝධ ග්‍රවුන්ඩ්සෙල් ශාක (thomsontreks.com)

මීටර 4000ට වඩා ඉහළින් පිහිටි ප්‍රදේශ වල පවතින්නේ වියළි, ශීත, හා වැඩි දෛනික උෂ්ණත්ව උච්ඡාවචනයක් සහිත ප්‍රදේශයි. මේ දේශගුණික තත්ත්ව ශාක වර්ධනයට ඒ තරම් උචිත නොවන අතර ඩේසි වැනි මල් පූදින කුඩා ශාක කිහිපයක් දැකිය හැකියි. මීටත් ඉහළින් ඇති අයිස් ස්ථරයේ සමහර තැන් වල පමණක් ඉතා කුඩාවට වැවී ඇති ලයිකන වර්ග දැකිය හැකියි.

කිලිමන්ජාරෝවේ ඉහළ පෙදෙසේ පීදී ඇති මල්  (summitpost.org)

කිලිමන්ජාරෝවේ ඝණව වැඩුණු පහළ නිවර්තන තෙත් වර්ෂා වනාන්තර වල විවිධ සතුන් වර්ග හමු වෙනවා. විශේෂ කිහිපයකටම අයත් ආවේණික පක්ෂී විශේෂද, වඳුරන්, බැබුන්, වල් ඌරන්, දිවියන්, මුගටියන්, අලින් වැනි ක්ෂීරපායී සතුන් ද මෙහිදී හමු වෙනවා.

Red headed veawer අප්‍රිකා මහාද්වීපය පුරාම පාහේ හමුවන පක්ෂියෙක් (birdingtanzania.blogspot.com)

අප්‍රිකානු අලියාද කිලිමන්ජාරෝ ජාතික උද්‍යානයේ පහළ වනාන්තර වල දැකගන්නට පුළුවන්  (planetware.com)

වියළි කලාපීය, ශුෂ්කරූපී, හා ඊටත් ඉහළ ප්‍රදේශ සැළකූ විට ඇත්තේ සත්ත්වයින්ට ඒතරම් හිතකර දේශගුණයක් නොවේ. වියළි හා ශුෂ්කරූපී වනාන්තර ප්‍රදේශ වල යම් පමණකින් හෝ මීයන්, පරවියන්, හා කපුටන් දැකිය හැකි අතර ඉතාම දුර්ලභ පක්ෂි විශේෂයක් වන Bearded vulture ද මේ කලාප වලදී දැකගත හැකියි. කඳුකර හා ඉහළම අයිස් ස්ථරය මත සත්ත්වයින්ට ජීවත් වීම ඉතාම අසීරුයි.

Bearded vulture  (projectvulture.org.za)

කඳු මුදුනට පා ගමනින් යන අයුරු

කිලිමන්ජාරෝ තරණයට මාර්ග කිහිපයක්ම යොදාගත හැකියි -abakombetours.com)

පා ගමනින් කිලිමන්ජාරෝව තරණය කරන්නෙකුට පාදමේ සිට දින 6-10 පමණ කාලයකින් උහුරු කඳු මුදුනට ළඟා වී නැවත පැමිණිය හැකි ලෙස මාර්ග කිහිපයක්ම සකස් වී තිබෙනවා. සැතපුම් 38ක් පමණ දුරකින් යුත් ‘මචාමේ’ මාර්ගයේ සිට සැතපුම් 56.5ක් දුර ‘උතුරු ආවාටය’ මාර්ගය දක්වා වන මාර්ග 6ක් පමණ සිය අභිමතය පරිදි පා ගමනෙහි යෙදෙන්නෙකුට තෝරාගත හැකියි. කඳුකර කලාපයේ කඳවුරු බැඳ රාත්‍රියේ නවාතැන් ගැනීම සිදු වෙනවා. කිලිමන්ජාරෝව අවට සාධාරණ මිළ ගණන් හා සතුටුදායක පහසුකම් සමඟින්  කඳු තරන ‘පැකේජ’ ලබා දෙන සමාගම් සොයා ගත හැකි අතර විදේශිකයෙක් නම් ටැන්සානියාව  බලා යාමට ප්‍රථමයෙන් ඒ ගැන සොයා බලා කරුණු කාරණා මිල ගණන්, පහසුකම් පිළිබඳ අවබෝධයක් ලබාගෙන සිටීම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වෙනවා.

travels.kilroy.net

කිලිමන්ජාරෝවේ වර්තමානය හා අනාගතය

1912 හා 2002 කිලිමන්ජාරෝ හිම වැස්ම (konakryexpress.org)

දේශගුණික විපර්යාස සමඟ වර්තමානයේ කිලිමන්ජාරෝ කන්දට නම් උරුම වී ඇත්තේ ඒ තරම් හොඳ කලදසාවක් නොවේ. ගෝලීය උණුසුමත් සමඟ කිළිමන්ජාරෝ හි උහුරු කඳු මුදුන වසාගෙන තිබුණු අයිස් ස්ථරය ක්‍රමයෙන් හැකිළෙමින් පවතින අතර මේ නිසා ඒ හා බැඳුණු ග්ලැසියරත් වි‍යැකී යමින් තිබෙන බව 21 වන සියවස මුලදීම ප්‍රකාශ වුණා. විද්‍යාඥයින් 2009 වසරෙදී පැවසූ ආකාරයට 1912 -2009 අතර කාලයේදී කිලිමන්ජාරෝ හි අයිස් වැස්ම 85% කින් ක්ෂීණ වී ඇති අතර තවත් දශක දෙකකින් පමණ එම අයිස් වැස්ම සම්පූර්ණයෙන්ම තුරන් වී යා හැකි යයි කියැවුණා. නමුත් වඩා නවීන වාර්තාවකට අනුව මෙහි අයිස් වැස්ම නැවතත් මදක් වර්ධනය වී ඇති බව කියැවෙනවා. විද්‍යාඥයින්ගේ නවතම මතයට අනුව කිලිමන්ජාරෝවේ අයිස් වැස්ම අඩු වැඩි වන්නේ වර්ෂා හා නියඟ පැමිණෙන ආකාරය අනුව බවත් ගෝලීය උණුසුම ඒ සඳහා අදාලත්වයක් නැති බවත් ළඟකදී ප්‍රකාශ කෙරුණා. ඒ කෙසේ වෙතත් පරිසර දූෂණය හා ගෝලීය උණුසුම වර්ෂාපතන රටා කෙරෙහිත බලපෑම් එල්ල කරන බැවින් වර්තමාන දේශගුණික විපර්යාස කිලිමන්ජාරෝවට වක්‍රාකාරයෙන් හෝ තර්ජන එල්ල කර නැතැයි කියන්නට බැහැ.

cover photo: 1-  (alpineascents.com)