ලෝක උරුම ලැයිස්තුවට නිර්දේශ වුණු ස්වභාව ධර්මයේ අපූර්ව නිමැවුම් තුනක්

ස්වභාවිකව නිර්මාණය වුණු හෝ මිනිසා විසින් නිර්මාණය කරන ලද, ජාත්‍යන්තර වටිනාකමක් ඇති, අනාගතය උදෙසා රැකගත යුතු යැයි ලෝක උරුම සම්මේලනය මඟින් නිර්දේශ වුණු ස්ථානයක්, ප්‍රදේශයක් හෝ ගොඩනැගිල්ලක් ලෝක උරුමයක් ලෙස හැඳින්වෙනවා. යුනෙස්කෝ සංවිධානයේ ලෝක උරුම සම්මේලනය විසින් ලෝක උරුම ප්‍රකාශයට පත් කරන්නේ අතීතයෙන් හිමිව ඇති ස්වභාවික සහ සංස්කෘතික උරුමයන් අනාගතය දක්වා රැක ගැනීමේ අවශ්‍යතාවය ඇතුවයි.

Unesco.org

මෙම ලෝක උරුම සියල්ලම සුවිශේෂ ආරක්ෂාවක් සහ නිසි නඩත්තුවක් යටතේ පවත්වා ගෙන යා යුතුයි. මෑතකදී යුනෙස්කෝ ලෝක උරුම (UNESCO World Heritage Sites) ලැයිස්තුවට නිර්දේශ වුණු අපූරු තැන් තුනක් තමයි ලොස් ඇලසීස් උද්‍යානය, හූව් සිල් සානුව සහ නයිජීර් හි W ජාතික උද්‍යානය.

ආජන්ටිනාවේ පිහිටි ලොස් ඇලසීස් උද්‍යානය (Los Alerces National Park)

ආජන්ටිනාවේ පැටගෝනියන් ප්‍රාන්තයේ ඇන්ඩීස් හි පිහිටා තිබෙන ලොස් ඇලසීස් උද්‍යානය නිර්මාණය වුණේ 1937දියි. සුන්දර විල් සමූහයකින් අලංකාර වුණු මෙය මධ්‍යම සහ දකුණු ඇමරිකාවේ පිහිටි එකම සෞම්‍ය කලාපික වනාන්තරයයි.

ලොස් ඇලසීස් උද්‍යානය (Thousand Wonders)

මෙම උද්‍යානය නිර්මාණය කිරීමේ මූලික පරමාර්ථය වුණේ ඇලසීස් ශාක ආරක්ෂා කිරීමෙයි. Fitzroya cupressoides යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ඇලසීස් ශාක හෙවත් පැටගෝනියන් සයිප්‍රස් වැඩීම සඳහා බොහෝ කාලයක් ගත වෙනවා. මෙම ශාකය සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වන්නේ Lahuán යන නමින්.

ඇලසීස් ශාක හෙවත් පැටගෝනියන් සයිප්‍රස් (Warren Photographic)

ඇලසීස් ශාකය ලෝකයේ දෙවනුව වැඩිම ආයු කාලයක් (වසර 3600ක් හෝ ඊට වැඩි) ඇති ශාකය වන අතර 2016 දී ලැව් ගිණි ඇති වීමෙන් ඇලසීස් උද්‍යානයේ අක්කර 4000ක් පමණ විනාශ වුණා. මේ නිසා ඇලසීස් ශාකය අන්තරායට ලක් වූ ශාක විශේෂයක් ලෙසයි පවතින්නේ.

ලොස් ඇලසීස් උද්‍යානයේ දක්නට ලැබෙන ගංගාවක් (Warren Photographic)

ඒ වගේම මෙය අන්තරායට ලක් වූ ජීවී විශේෂයක් වන ඇන්ඩියන් මුවාට (Andean deer), මහාද්වීපයේ කුඩාම මුවා වන පූඩු මුවාට (Pudu deer) සහ දකුණු පුල්ලි බළලාටත් වාසස්ථාන සපයනවා.

ලොස් ඇලසීස් උද්‍යානයේ ජීවත් වන ඇන්ඩියන් මුවා (Pinterest)

ලොස් ඇලසීස් උද්‍යානයේ ජීවත් වන පූඩු මුවා (Fingerson Blast)

ක්විංහයි හූව් සිල් සානුව (Qinghai Hoh Xil)

චීනයේ විශාලම පෙදෙසක පැතිරී ඇති ස්වභාවික උරුමය වන ක්විංහයි හූව් සිල් සානුව වර්ග කිලෝමීටර 45,000 ප්‍රමාණයක පුරා පැතිරී තිබෙන අතර කඳු පන්ති වලින් වටව ඇති හූව් සිල් හි අහස හැම විටම වලාකුළු අවම තත්ත්වයත පවතිනවා.

ක්විංහයි හූව් සිල් සානුව (CGTN)

මෙය චීනයේ විශාලම, මිනිස් වාසයක් නොමැති ප්‍රදේශය වන අතර ලෝකයේ මිනිස් වාසයක් නැති තෙවන විශාලම ප්‍රදේශයයි. සෞම්‍ය කාලගුණයක් ඇතත් මෙහි ඇති හුදෙකලා බව නිසාම එහි ජීවත් වීම සාමාන්‍ය වැසියාට අසීරු කාරණයක්. ලොව පවතින, කිසිවකුගේ බලපෑමට යටත් නොවූ ස්වභාවික පරිසර පද්ධති කිහිපයෙන් එකක් වන මෙහි කුඩා විල් 7,000ක් පමණ සහ විශාල විල් 107ක් පමණ පිහිටා තිබෙනවා. හූව් සිල් හි විශාලම විල වන්නේ උලන් වුල් විල වන අතර ක්විංහයි ප්‍රදේශයේ සිව්වන විශාලම විල වන්නේත් එයයි.

මෙහි කුඩා විල් 7,000ක් පමණ සහ විශාල විල් 107ක් පමණ පිහිටා තිබෙනවා (China Tours Online)

විශාල තැනිතලා, එකිනෙක හරහා යන සිය ගණනින් යුතු ගංගා, අයිස් ග්ලැසියර, පාෂාණ වනාන්තර සහ  සාරවත් නිම්න වලින් පිරි පාරාදීසයක සුන්දරත්වයකින් යුතු හූව් සිල්, සත්ත්ව විශේෂ 250කට වැඩි කොටසකට නිවහනක් ව තිබෙනවා. ටිබෙටියානු යැක් ගවයා, වෘකයා, දුඹුරු වලසා, ටිබෙටියානු වැලි හිවලා සහ හිම දිවියා, බූරුවා, ඒක දේශික ටිබෙටියානු කුරංග මුවා (Tibetan antelope) සහ අන්තරායට ලක්වූ තවත් ජීව විශේෂ 50,000 ක් පමණ මෙම ප්‍රදේශයට ආවේණික සත්ත්ව විශේෂ වනවා. 1997 චීනයේ පළමු ජාතික රක්ෂිතය ලෙස මෙය පිහිටවනු ලැබුවේ මෙවන් ජීවී විශේෂ වල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසායි.

ටිබෙටියානු කුරංග මුවන් – Tibetan antelope (www.scmp.com)

විශේෂයෙන්ම ටිබෙටියානු කුරංග මුවා රැකගත යුතු සත්ත්ව විශේෂයක් ලෙස නම් කර තිබෙනවා. මේ වන විට දඩයම් කරාවි යැයි බියකින් තොරව කුරංග මුවන් 60,000ක් පමණ මෙහි නිදැල්ලේ ජීවත් වෙනවා. මෙහි ශාක වල උස මුහුදු මට්ටමේ සිට මීටර 4000-5000 අතර පවතින අතර මෙයට තිබෙන ප්‍රධාන තර්ජනය වන්නේ ග්ලැසියර දිය වීම නිසා සිදුවන වර්ෂාපතනයයි. දිගු කාලීන ශීත සෘතුවක් පවතින අතර මෙහි ශීත කාලය ගෙවීම ඉතා අසීරුයි. චීන රජය සෑම වසරකම හූව් සිල් වෙත පැමිණිය හැකි සංචාරකයින් පිරිස 1000කට සීමා කර තිබෙන්නේ එය ආරක්ෂා කර ගැනීම එතරම්ම වැදගත් නිසයි.

නයිජීර් හි W ජාතික උද්‍යානය (Niger’s W National Park)

මෙම උද්‍යානයට රටවල් තුනක (Niger, Benin සහ Burkina Faso) ප්‍රදේශ අයත් වෙනවා. ඒ නිසා මෙම උද්‍යානය එම රටවල් තුනේම රජයන් විසින් පාලනය කරනවා. 1954 අගෝස්තු 4 වැනිදා පිහිටුවන ලද මෙම ජාතික උද්‍යාන තුනම W Trans Border Park යන නාමය යටතේ පවතිනවා.

නයිජීර් හි W ජාතික උද්‍යානය – Tibetan antelope (Sean Harris)

මෙය බටහිර අප්‍රිකාවේ වැඩිම ඒකදේශික ජීවී විශේෂ වලින් යුත් ස්වභාවික ප්‍රදේශය ලෙස හැඳින්වෙනවා. බටහිර අප්‍රිකානු අලි, අප්‍රිකානු මනටී (Manatee), චීටාවන්, සිංහයන්, දිවියන්, කුරංග මුවන්, බැබුන්, හිපපොටේමස්, මී හරකුන්, අප්‍රිකාවට ආවේණික ඌරන් සහ වොල්ටා නදී ප්‍රදේශයේ (Volta River)බොහෝ ඒකදේශික මත්ස්‍යයන්ටත් වාසස්ථාන සපයනවා. මීට අමතරව මෙහි සංචාරක කුරුළු විශේෂ රැසක්ද දැකගත හැකියි.

අප්‍රිකානු මනටී සත්ත්වයෙක් (Wallpapers Browse)

මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව පවතින, හෙක්ටයාර මිලියන 1.5ක් පුරා පැතිරී ඇති මෙහි තෘණ භූමි, ගස් කොළන් සහිත තෘණ භූමි සහ සවානා බිම් දැකගත හැකියි.

වොල්ටා නදිය (Stig Nygaard)

කවරයේ පින්තූරය – scmp.com

මූලාශ්‍ර  

https://www.smithsonianmag.com

https://www.newscientist.com

https://en.oxforddictionaries.com

https://www.welcomeargentina.com

https://www.chinatibettrain.com

http://whc.unesco.org/en/list/749

http://www.china-tours-online.com

Related Articles