Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කුඩා දූපතක් පාරාදීසයක් බවට හැරවූ පුවත්පත්කලාවේදියා

ලෝකයේ ඇතැම් ධනපතියන් නිවර්තන කලාපයේ දූපත් මිල දී ගනිමින් තම සුඛෝපභෝගීත්වය ලොව හමුවේ ප්‍රදර්ශනය කරන අවස්‍ථා තිබෙනවා. විශේෂයෙන් ම හොලිවුඩ් නළු නිළියන් අතර සොබා සුන්දරත්වයෙන් අනූන කුඩා දූපත් මිල දී ගැනීම ප්‍රචලිත යි. කෙසේ නමුත්, හාත්පසින් ම වෙනස් අරමුණක් අරබයා දූපතක හිමිකාරීත්වය ලබාගත් පුද්ගලයෙක් ලෙස බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ හැඳින්විය හැකි යි. ඔහු මිල දී ගත් බිම්කඩ “මොයෙන් දූපත” ලෙස හඳුන්වන අතර, එය ඉන්දියන් සාගරයේ පිහිටි සුන්දර දූපත් රාජ්‍යයක් වූ සීෂෙල්ස්වලට අයත් වන්නක්.

නිවාඩුවක් ගත කිරීම සඳහා ග්‍රිම්ෂෝ සීෂෙල්ස් දූපත් වෙත 1962 වසරේ දී පැමිණියා. ඒ වනවිටත් අප්‍රිකාවේ ඇතැම් රටවල් යටත් විජිතභාවයෙන් නිදහස ලබා නොතිබුණ හෙයින්, යුරෝපාකරයෙන් පැමිණි වෘත්තිකයන් අප්‍රිකාවේ සේවය කරමින් සිටියා. ග්‍රිම්ෂෝත් නැගෙනහිර අප්‍රිකාවේ ප්‍රමුඛ පෙළේ පුවත්පත් කිහිපයක ම සංස්කාරකවරයෙක් ලෙස සේවය කළ තැනැත්තෙක්.

තුරුලතාවලින් පොහොසත් මොයෙන් දූපත – explanders.com 

එකල අප්‍රිකාව තුළ යම් උද්වේගකර වාතාවරණයක් හට ගෙන තිබුණා. අප්‍රිකානු රටවල් එකින් එක යටත් විජිතභාවයෙන් මිදෙමින් ස්වාධීන පාලන තන්ත්‍රයක් කරා ගමන් කරමින් සිටි අවධියක් වීම ඊට හේතුව යි. නොබෝ දිනකින් ම තමාගේ රැකියාව ස්වදේශිකයන් අතට පත්වන බව ග්‍රිම්ෂෝ දැන සිටියා. රැකියා විරහිතභාවය සම සිතින් දරා ගැනීමට තීරණය කළ මේ වියත් වෘත්තිකයා, ජීවිතයේ නව දිශානතියක් සොයමින් සිටියා. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු සොබාදහමට වඩාත් සමීප වුණා. සොබා සුන්දරත්වයෙන් අනූන සීෂෙල්ස් බිමෙන් කුඩා බිම්කඩක් තමා සතු කර ගැනීමට ග්‍රිම්ෂෝ සිහින මැව්වේ ඒ නිසා යි.

මොයෙන්ට පෙම් බැඳි ග්‍රිම්ෂෝ

සීෂෙල්ස් හි ගත කළ පළමු සති කිහිපයේ දී තම සැලැස්ම වෙනස් කරනවාදැ යි ග්‍රිම්ෂෝ කල්පනා කළා. විකිණීමට සූදානම් කර තිබූ දූපත් කිහිපයක් සීෂෙල්ස් සතුව තිබුණත්, ග්‍රිම්ෂෝට දැරිය නොහැකි විශාල මිල ගණන් ඒවාට නියම කොට තිබුණා. කෙසේ නමුත්, වියැකෙමින් තිබූ ග්‍රිම්ෂෝගේ සිහිනය නැවත මතු කරමින් එකතරා ස්වදේශික තරුණයෙක් ඔහුට අලුත් බලාපොරොත්තුවක් ගෙන ආවා. සීෂෙල්ස් රාජ්‍යයට අයත් විශාලත ම බිම්කඩ වන මාහේ දූපතේ උතුරු කෙළවරේ සිට කිලෝමීටර් 4.5 ක් ඔබ්බෙන් වූ මොයෙන් දූපත වෙත ග්‍රිම්ෂෝ රැගෙන යාමට මේ තරුණයා ඉදිරිපත් වුණා.

බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ – www.dailymail.co.uk 

 වර්ග කිලෝ මීටර් 0.099 (අක්කර 24 ක් පමණ) පමණ ඉතා කුඩා බිම් කැබැල්ලක් වූ මොයෙන් දූපතත් සමඟ ආදරයෙන් බැඳෙන්නට ග්‍රිම්ෂෝට වැඩි වේලාවක් ගියේ නැහැ. එහි තිබූ නිශ්ශබ්දතාව සහ තුරුලතා ඔහුගේ නෙත් සිත් පැහැර ගත්තා.

“ඒක සම්පූර්ණයෙන් ම වෙනස් සහ විශේෂ හැඟීමක්.”

දූපත පිළිබඳ ව ග්‍රිම්ෂෝට ඇති හැඟීම 2009 දී එක්තරා වාර්තා චිත්‍රපට කණ්ඩායමකට ඔහු පැහැදිලි කළේ ඒ අයුරින්.

සීෂෙල්ස් නිවාඩුවේ අවසාන දිනයේ දී ග්‍රිම්ෂෝ පවුම් 8000 කට මොයෙන් දූපත මිල දී ගැනීමේ ගිවිසුම් අත්සන් කළා. දූපත මිලට ගැනීමටත් වඩා දූපත රැක බලා ගැනීම බැරෑරුම් කාර්යයක් බව ඒ වනවිටත් ඔහුට තේරුම් ගොස් තිබුණා. දූපතේ ජීවත් වූ ධීවර පවුලක් හැරෙන්නට මොයෙන් දූපත දශක ගණනාවක් පැවතියේ හුදෙකලාව යි. කාලය ගත වනවිට සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරක කර්මාන්තය දියුණු වූ නිසා දූපත් බොහෝමයක් සංවර්ධනයට ලක් වෙමින් නිවාඩු නිකේතන ගොඩ නැගුණා. නමුත්, ග්‍රිම්ෂෝ මේ සියල්ලට ම කලින් මොයෙන් දූපත තමා සතු කර ගත් නිසා දූපතේ නොඉඳුල් බව දිගින් දිගට ම රැකුණා.

ග්‍රිම්ෂෝ – රෙනේ ලැෆෝචූන් සමඟ – www.dailymail.co.uk

දූපතේ සොබාදහම

මොයෙන් දූපතේ උපරිම දිග කිලෝ මීටර් 0.4 ක් වන අතර, උප‍රිම පළල කිලෝ මීටර් 0.3 ක් පමණ වෙනවා. කිලෝ මීටර් දෙකකටත් වඩා අඩු වෙරළ තීරයක් මොයෙන් දූපත සතු වුවත්, වෙරළ තීරය මනස්කාන්ත සුදු වැල්ලකින් සහ ග්‍රැනයිට් පාෂාණවලින් සෑදී තිබෙනවා. මේ නිසා සීෂෙල්ස් දූපත්වලට ආවේණික වූ වෙරළබඩ සුන්දරත්වය මොයෙන් දූපතේ පවා නොඅඩුව අත් විඳිය හැකි යි. මීට අමතරව, ඝනව වැඩුණු වෘක්ෂලතා පද්ධතියක් දූපතේ දක්නට ලැබෙනවා.

සැබැවින් ම මොයෙන් දූපත යනු නිල්වන් පැහැ සාගර ජල තලයෙන් ඉහළට එසවුණු කුඩා ම කුඩා වැසි වනාන්තරයක් වැනි ස්ථානයක්. නමුත්, මේ සොබා සුන්දරත්වය ඉබේම ඇති වූවක් නොවෙයි. එය ග්‍රිම්ෂෝගේ ශ්‍රමය සහ බුද්ධිය මත නිර්මාණය වූවක්.

දූපතේ ස්ථිර ජනාවාස නොතිබුණත්, දූපත මිනිස් බලපෑමට වරින් වර  ලක් වූ බවක් පෙනෙන්නට තිබුණා. ආගන්තුක වල් පැළෑටි දූපතේ යටි රෝපණය අත්පත් කරගෙන තිබූ අතර, ගසකින් වැටෙන පොල් ගෙඩියක් පවා කෙළින් ම පොළොවට පතිත නොවී යටි රෝපණයේ රැඳෙන තරමට එම වල් පැළෑටි ස්ථරය ඝන ව වැඩී තිබුණා. එක
ළඟ වැඩුණු වල් පැළෑටිවල පැටලී යාමේ අවදානම නිසා දූපතට කුරුල්ලන් පැමිණියේ ද නැහැ.

දූපතේ සොබාදහම – explanders.com 

ආගන්තුක ශාකවලින් වැසී තිබුණු මොයෙන් දූපතේ සැබෑ සුන්දරත්වය මතු කර ගැනීම විශාල අභියෝගයක් වුණත්, දූපත මිල දී ගැනීමෙන් ජීවිතයට වෙනස් ම අරමුණක් ලැබුණු නිසා ඒ අභියෝගය භාර ගැනීමට ග්‍රිම්ෂෝ තීරණය කළා.

දුෂ්කර කාලපරිච්ඡේදයක්

අභියෝගය ජය ගැනීම සඳහා ග්‍රිම්ෂෝට කදිම ස්වදේශික යහළුවෙක් ද සිටියා. 19 හැවිරිදි වියේ පසු වූ රෙනේ ඇන්ටොයින් ලැෆෝර්චූන්, ග්‍රිම්ෂෝගේ අරමුණ සාර්ථක
කර ගැනීම සඳහා නොමඳ සහායක් ලබා දුන්නා. දෙදෙනා ම එකතු වී දූපතේ අනවශ්‍ය පඳුරු ඉවත් කළ අතර, අලුතින් ගස් සිටුවා දූපත කෙමෙන් කෙමෙන් නවමු
පරිවර්තනයකට ලක් කළා. දෙපළගේ උත්සාහයෙන් දූපත හරහා ගස් අතරින් දිව යන කුඩා මාර්ග පද්ධතියක් පවා නිර්මාණය කළ අතර, ඒවා තැනීම වෙනුවෙන්  ඉතා
වෙහෙසකාරී සහ දුෂ්කර කාල පරිච්ඡේදයක් ඔවුන් ගෙවා දැමුවා.

මොයෙන් දූපතේ සුදෝ සුදු වෙරළ තීරය – explanders.com 

ග්‍රිම්ෂෝගේ මූලික ඉලක්කය වුණේ දූපත අධි සංවර්ධනයෙන් ආරක්ෂා කර ගැනීම යි. දූපතේ සැබෑ සුන්දරත්වය මතුකර ගනිමින් දූපතේ අනන්‍යතාවය රැක ගැනීම පරම යුතුකමක් ලෙස ඔහු සැලකුවා. දූපත සම්බන්ධයෙන් ග්‍රිම්ෂෝට කෙටි කාලීන අරමුණක් හා දිගු කාලීන අරමුණක් තිබුණා. තමා බලාපොරොත්තු වූ පරිසරය දූපත තුළ නිර්මාණය වූ පසු එහි ජීවත් වීම ඔහුගේ කෙටි කාලීන අරමුණ වූ අතර, තමා නොමැති කාලයක දී පවා දිගින් දිගට ම ආරක්ෂා වන ස්වභාවික පාරාදීසයක් තැනීම ග්‍රිම්ෂෝගේ දිගු කාලීන අරමුණ වුණා.

“නොඉඳුල් දූපතක් අනාගත සීෂෙල්ස් පරම්පරාව සහ ලෝකය වෙනුවෙන් ඉතිරි කිරීම ඔහුගේ අභිප්‍රාය වුණා. සංචාරක ආකර්ෂණය සීෂෙල්ස්වලට යොමු වීමට මත්තෙන් සීෂෙල්ස් යනු කෙබඳු භූමියක්දැ යි පෙන්වීමට ඔහු උත්සහ කළා.”

1976 දී ප්‍රථම වරට මුණ ගැසී, පසුව ජීවිත කාලයට ම ග්‍රිම්ෂෝගේ මිතුරකු බවට පත් වූ සුකේතු පටෙල් පවසා සිටියා.

යෝධ ඉබ්බන් රැක බලා ගැනීමත් ග්‍රිම්ෂෝගේ ප්‍රමුඛ කාර්යයක් වුණා – www.dailymail.co.uk 

මුදලට නොනැමුණු පරිසර හිතවාදියා

ස්වභාවික සුන්දරත්වය රැකෙන අයුරින් දූපත සැකසීමේ දී ග්‍රිම්ෂෝට අපූරු දෙයක් සොයා ගැනීමට හැකි වුණා. දූපතේ වයඹ දිග කොටස එළි පෙහෙළි කිරීමේ දී ඔවුන්ට “Unhappily Unknown” ලෙස සඳහන් කළ සොහොන් කොත් දෙකක් හමු වුණා. ශත වර්ෂ ගණනාවකට පෙර මුහුදු කොල්ලකරුවන්ගේ සිරුරු මෙහි මිහිදන් කොට ඇති බව ග්‍රිම්ෂෝට ඒත්තු ගියා. දූපතේ උතුරු දිග වෙරළේ එක් කොටසක් “Pirate’s Cove” ලෙස හැඳින්වූ නිසා එම අනුමානය වඩාත් සාධාරණ බව සිතිය හැකි යි.

 මුහුදු කොල්ලකරුවන් වස්තුව සැඟවීමේ දී ඔවුන්ගේ නායකයන් පහත් තලයේ මුහුදු කොල්ලකරුවන් මරා දමා නිධානය සමඟ වළ දමන බවට වූ විශ්වාස‍යක් හෝ ජනප්‍රවාද පැවතුණා.  මරා දැමූ සහචරයන්ගේ ආත්මවලින් සැඟවූ වස්තුවට ආරක්ෂාව ලැබෙන බව මුහුදු කොල්ලකරුවන්ගේ නායකයන් විශ්වාස කිරීම ඊට හේතුව යි. මොයෙන් දූපතේ සොහොන් කොත් සමඟ එම ප්‍රවාද ගැළපුණත්, ග්‍රිම්ෂෝ ඒවා විශ්වාස කළාදැ යි පැහැදිලි නැහැ. මුළු දූපත ම නිධානයක් ලෙස සලකා ඔහු කටයුතු කළ හෙයින්, අමුතුවෙන් නිධානයක් සෙවීමට ග්‍රිම්ෂෝට අවශ්‍ය නොවූ තරම්.

දූපතේ සුන්දරත්වය – www.weseektravel.com 

1980 ගණන්වල සීෂෙල්ස් හි සංචාරක ව්‍යාපාරය වේගයෙන් වර්ධනය වූ විට නිවර්තන කලාපීය පාරාදීසයක් බඳු මොයෙන් දූපත කෙරෙහි අයෝජකයන්ගේ ඇල්ම බැල්ම යොමු වුණා. දිවයින වෙනුවෙන් ග්‍රිම්ෂෝට ඩොලර් මිලියන 50 ක් දක්වා ගෙවීමට ඇතැම් ව්‍යාපාරිකයන් උත්සහ කළා. එහෙත්, ඒ සියලු පිරිනැමීම් ඔහු ප්‍රතික්ෂේප කළා. වියපත් වනවිට දිවයින ආරක්ෂා කර ගැනීම සඳහා තමාට ඉතිරි ව ඇත්තේ ස්වල්ප කාලයක් බව ඔහුට වැටහුණා. ග්‍රිම්ෂෝට දරුවන් ද නොසිටි නිසා දූපත භාරදිය හැකි පුරුකක් ඔහුගේ පරම්පරාවේ සිටියේ නැහැ.

ග්‍රිම්ෂෝ දූපත භාර ගැනීමේ දී දූපත වල් පැළෑටි වලින් ගහණ භූමියක් ලෙස පැවතුණා – www.bbc.com 

ග්‍රිම්ෂෝගේ නිධානය සීෂෙල්ස් රාජ්‍යයට

දූපත වර්තමාන තත්ත්වයට ගෙන ඒම සඳහා ග්‍රිම්ෂෝ සමඟ කැපවීමෙන් වැඩ කළ රෙනේ ඇන්ටොයින් ලැෆෝර්චූන් 2007 දී මිය ගිය පසු දූපත පිළිබඳ තීරණයකට හැකි ඉක්මනින් එළඹිය යුතු බව ග්‍රිම්ෂෝට ඒත්තු ගියා. ඔහුගේ ඊළඟ සමීපතමයා වූ සුකේතු පටෙල් සහ තවත් හිතවතුන් කිහිප දෙනකු සමඟ දිවයිනේ ආරක්ෂාව වෙනුවෙන් භාරකාර අරමුදලක් නිර්මාණය කළ අතර, 2009 දී සීෂෙල්ස් හි පරිසර අමාත්‍යාංශය සමඟ ගිවිසුමක් අත්සන් කරමින් සෙන්ට් ඈන් සමුද්‍ර ජාතික වනෝද්‍යානයේ කොටසක් ලෙස මොයෙන් දූපත භාර දීමට ග්‍රිම්ෂෝ කටයුතු කළා. මොයෙන් දූපතට ම අනන්‍ය වූ විශේෂ තත්ත්වයක් ලබා දුන් නිසා එය ලෝකයේ කුඩා ම ජාතික වනෝද්‍යානය ලෙසත් වර්තමානයේ දී සලකනවා.

මොයෙන් දූපතේ පිහිටීම – www.dailymail.co.uk 

“ඔහු දිවයින නැවත රටට ලබා දුන්නා. එය ඉතා උතුම් දෙයක්. සාමාන්‍යයෙන් දූපත් මිල දී ගත් මිනිස්සු වියපත් සමයේ දී ඒවා විකුණා මුදල් කර ගැනීමට උත්සහ කරනවා. ඒ වෙනුවට ඔහු කළේ ඇදහිය නොහැකි දෙයක්.”

සීෂෙල්ස් ජාතික වනෝද්‍යාන අධිකාරියේ සේවය කරන ඉසබෙල් රවිනියා, ග්‍රිම්ෂෝගේ පරිත්‍යාගය ගැන අදටත් කතා කරන්නේ ඉමහත් ගෞරවයෙන්. ඉසබෙල් පමණක් නොව මුළු මහත් සීෂෙල්ස් ජාතියම ග්‍රිම්ෂෝගේ පරාර්ථකාමීත්වයට ගෞරවය දක්වනවා.

නොගැඹුරු ජල තලය නිසා බෝට්ටුවකින් දූපතට කෙළින් ම ළඟා විය නොහැකි යි. සංචාරකයන්ට ස්වල්ප දුරක් ජලය හරහා පා ගමනින් පැමිණීමට සිදු වෙනවා – explanders.com 

ග්‍රිම්ෂෝගේ අවසාන කැමැත්ත

2012 දී බ්‍රෙන්ඩන් ග්‍රිම්ෂෝ අවසන් හුස්ම හෙළුවා. ඔහුගේ සොහොන සිය පියාණන්ගේ (පසුව ග්‍රිම්ෂෝ සමඟ ජීවත් වීමට පැමිණි) සහ මුහුදු කොල්ලකරුවන්ගේයැ යි සැක කෙරෙන සොහොන් කොත් ආසන්නයේ පිහිටුවූවා. ග්‍රිම්ෂෝගේ සොහොන් කොත මත පහත අර්ථයට සමීප ආකාරයෙන් සඳහනක් දක්වා තිබෙනවා.

“දෙවියන් වහන්සේට ස්තූති කිරීමටත්, තමා අවට ඇති සුන්දරත්වය දෙස දෑස් විවෘත කොට බලන අයුරුත්, ඔහුට ඉගැන්වූයේ මොයෙන් දූපත යි.”

සීෂෙල්ස් ජාතිකයන්ට සහ ලෝකයේ සියලු ම ජාතීන්ට සාමය, සන්සුන්කම, විවේකය සහ දැනුම උදෙසා වූ තෝතැන්නක් ලෙස මොයෙන් දූපත පවත්වා ගෙන යා යුතු බව ග්‍රිම්ෂෝ සිය අවසාන කැමැත්ත වශයෙන් ප්‍රකාශ කර තිබුණා.

ග්‍රිම්ෂෝගේ අවසාන කැමැත්ත දිගින් දිගට ම ඉෂ්ඨ කිරීමේ කාර්යය දැන් පැවරී ඇත්තේ “මොයෙන් දූපත් පදනම” මත යි. එහි අධීක්ෂණ කටයුතු ග්‍රිම්ෂෝගේ හිත මිත්‍ර පටෙල් සිදු කරගෙන යනවා. දේශීය ආහාර සපයන කුඩා අවන්හල, ග්‍රිම්ෂෝට කැප කළ කුඩා කෞතුකාගාරය සහ යෝධ ඉබ්බන්ගේ අභිජනන මධ්‍යස්ථාන දෙක හැරෙන්නට මොයෙන් දූපතේ වෙන කිසිදු විශාල ඉදි කිරීමක් නැහැ. සීෂෙල්ස් හි අනෙකුත් දූපත් සංචාරක ව්‍යාපාරය හමුවේ වේගවත් පරිවර්තනයකට ලක් වුවත්, ග්‍රිම්ෂෝගේ රාජධානියේ එම පරිවර්තනයට කිසිදු ඉඩක් නැහැ.

දූපතේ සුලබ ව දැකිය හැකි යෝධ ඉබ්බන් – explanders.com 

යෝධ ඉබ්බන්ගේ පාරාදීසය

දිවයිනට ජැටියක් නොමැති අතර, නොගැඹුරු ජල තලය නිසා බෝට්ටුවක් මඟින් මොයෙන් වෙත සෘජුව ම ළඟා විය නොහැකි යි. එබැවින්, දූපතේ සිට මීටර් 150 ක් පමණ දුරින් යාත්‍රාව නවත්වා ඉතිරි දුර සාගර ජලය හරහා පා ගමනින් පැමිණිය යුතු වෙනවා.

දූපතට ළඟා වූ සැණින් සංචාරකයන් මුලින් ම සාදරයෙන් පිළි ගන්නේ සුදෝ සුදු වෙරළ තීරය යි. ඉන්පසු ග්‍රිම්ෂෝ ඉතා පරිශ්‍රමයෙන් මතුකර ගත් දූපතේ ස්වභාවික වෘක්ෂලතා ගොන්නේ සිසිලස නොමඳ ව විඳ ගැනීමේ අවස්ථාව සංචාරකයන්ට හිමි වෙනවා. මොයෙන් දූපතේ වර්ග මීටරයක ඇති තුරුලතා ප්‍රමාණය ගණනින් අධික වන අතර, එය ලෝකයේ බොහෝ වනෝද්‍යානවල ඇති ශාක ඝනත්වය අභිබවා යන බවත් පැවසෙනවා.

හඳුනා නොගත් මුහුදු කොල්ලකරුවන් දෙදෙනාගේ සොහොන් කොත් අසල පිහිටි ග්‍රිම්ෂෝගේ හා ඔහුගේ පියාණන්ගේ සොහොන් – www.weseektravel.com 

දූපතේ ඉතා දුර්ලභ ඇල්ඩබ්රා යෝධ ඉබ්බන්ගේ සැලකිය යුතු ගහණයක් සිටින අතර, ඔවුන් සංචාරකයන් යන මාර්ගය අවහිර කරමින් තම දින චර්යාව ගත කරන අයුරු නිතර දැකිය හැකි යි. කැස්බෑවන්ගේ ස්වභාවික අභිජනන පරාදීසයක් ලෙසත් මොයෙන් දූපත ප්‍රචලිත යි.

“ඔබට විශාල ප්‍රශ්නයක් ඇතැයි ඔබ සිතන්නේ නම්, දූපතේ සිටින විට එය තවදුරටත් ප්‍රශ්නයක් නොවන බව ඔබට වැටහේවි. ජීවිතය කෙබඳු විය යුතු ද යන්න මොයෙන් දූපත ඔබට උගන්වනවා.”

ඒ ග්‍රිම්ෂෝගේ දිගු කාලීන මිත්‍රයකු වූ පටෙල්ගේ අදහස යි.

කවරයේ ඡායාරූපය: මොයෙන් දූපත- www.bbc.com 

මූලාශ්‍ර:

explanders.com

www.bbc.com 

Related Articles